නිදහසින් පසු ගත වූ වසර 77ක කාලයේ අපේ ඉතිහාසය සුන්දර නැත. විවිධ වූ දේශපාලන ගැටුම්, එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඇති වූ පසුබෑම් සියල්ල හේතුවෙන් එදා මෙන්ම අදත් ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙනි. නමුත් වර්තමානයේ යම් පරිවර්තනයක් සිදුවෙමින් පවතී. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයකට අනුව මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම වැඩසටහන වන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනයි. එය දියත් කෙරෙන්නේ ලෝකය ඉදිරියේ සවිමත්ව නැඟී සිටින්නට හැකි දේශයක් අනාගතයට උරුමකර දීම වෙනුවෙනි.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් ක්‍කැ්බ ීරස ඛ්බන් වැඩසටහන ක්‍රියාත්මකය. මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සිදුකිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

ලෝකයේ විවිධ රටවල්වල පරිසරය සම්බන්ධව, සෞඛ්‍යය සම්බන්ධව, ආහාර සම්බන්ධව, අධ්‍යාපනය සම්බන්ධව ඇති විවිධ වූ ප්‍රමිතිගත කිරීම් එක් කර නිසි ප්‍රමිතියකට ශ්‍රී ලංකාව ඉහළ තලයකට ඔසවා තැබීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේදී සිදුකෙරේ.

සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණ ඉටු කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සැලසුම් කිරීම, මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම ක්ලීන් ශ්‍රී ලංකා කාර්ය සාධක බළකාය වෙත පවරා තිබේ.

රටම ක්ලීන් කරන මෙහෙයුමට යුද්ධ හමුදාව එක්වෙයි

වචනාර්ථය පමණක් සැලකුවහොත්, මෙයින් අදහස් වන්නේ භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක්. එහෙත්, මෙම තේමාවෙන් රජය අපේක්ෂා කරන්නේ ඊට වඩා පුළුල් පිරිසිදු කිරීමක් ගැන බව පැහැදිලිය. දශක ගණනකට පෙර පැවැති තත්ත්වයට සාපේක්ෂව ලංකාව භෞතිකව බොහෝ පිරිසිදු තැනක් වුවත්, කිසිසේත්ම මේ අතින් අංග සම්පූර්ණ තැනක් බවට පත්වී නැත. දැනට පවතින තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා රජයේ මෙන්ම සමස්ත ජනතාවගේ ආකල්පමය වෙනසක් සිදුකිරීම අත්‍යවශ්‍ය වී ඇත.

මේ ආකල්පමය වෙනස් ඇති කිරීමේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය ජාතික වගකීම ඉටුකිරීමට ඉදිරිපත් වී සිටී. මෙහිදී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය නොකඩවා ලබාදෙමින් පාසල් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට අදාළව දිවයිනපුරා තෝරාගත් පාසල් වෙත මේ වනවිට ආරක්ෂක සේනා මූලස්ථාන අධීක්ෂණය යටතේ 14500කට අධික යුද්ධ හමුදා භට පිරිසක් යොමුකර ඇත.

යුද්ධ හමුදා භට පිරිස්වල තාක්ෂණික සහාය හා ශ්‍රම දායකත්වයෙන් පාසල් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ වූ 2025 පෙබරවාරි මස 20 දින සිට 2025 මාර්තු 17 වැනි දින දක්වා පාසල් 496ක ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කොට අවසන් කරන ලදි.

තවද මේ යටතේ ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍යව තිබූ පාසල් ගොඩනැඟිලි 300කට ආසන්න ප්‍රමාණයක වහල අලුත්වැඩියා කිරීම, තීන්ත ආලේප කර පිළිසකර කිරීම, වැටමායිම් සකස් කිරීම, පාසල් වෙත පිවිසුම් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම භාවිතයට නුසුදුසු තත්ත්වයේ තිබූ ඩෙස්පුටු 5500කට ආසන්න ප්‍රමාණයක් අලුත්වැඩියා කිරීම ද සිදු කරන ලදි.

දීප ව්‍යාප්තව තෝරාගත් පාසල් තුළ මෙම ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක අතර එම පාසල් ආශ්‍රිත ප්‍රදේශවාසීන්, පාසල් කාර්යය මණ්ඩල, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු දෙමාපිය සහයෝගය ද යුද්ධ හමුදාව වෙත නිරන්තරයෙන් හිමිව ඇත.

රටම ක්ලීන් කරන මෙහෙයුමට යුද්ධ හමුදාව එක්වෙයි

මෙහි වඩාත් ඉදිරිගාමී ප්‍රවණතාව වන්නේ යුද්ධ හමුදාව, පාසල්, දෙමව්පියන්, ගම්වාසීන් අතර ඇතිකරගන්නා වූ බැඳීමයි. මෙය අදාළ සියලුම පාර්ශ්වයන්ට අනාගතයේ දී වැදගත්වනු ඇත. ඒ ගංවතුර, නායයෑම් ආදී ස්වාභාවික විපතකදී ගලවාගැනීමේ සහ මුදා ගැනීමේ මෙහෙයුම් මෙන්ම සහන සේවා සඳහා ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉදිරිපත් වන නිසා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතුවලට මෙම සබඳතා මහත් සේ ඉවහල්වනු ඇත.

එසේම මේ වැඩසටහන හරහා පාසල් දරුවන් තුළ ඇතිකරවනු ලබන ආකල්පමය පරිවර්තනය ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය වන සමාජීය, පාරිසරික හා ආචාර ධාර්මික පිබිදීමකට මඟපෙන්වනු ඇත. එය අපේ අනාගතය වෙනුවෙන් සිදුකරනු ලබන දැවැන්තම ආයෝජනයක් වනු ඇත.

උතුර, නැඟෙනහිර, බටහිර දකුණ සිව්කොනම මෙලෙස මිනිසත්කමේ යදමින් බඳින්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේ දරන වෑයම අතිවිශිෂ්ට ය. එදා මේ පියවරයන් නොගත් නිසා රට වසර සිය ගණනකින් ආපස්සට ගිය වග සිහියේ තබාගෙන යළි එවැනි ඛේදනීය තත්ත්වයක් රටට ඇති නොවන්නට අවැසි පසුබිම මේ සකසන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වීම ඇතැමුන් හට නම් නොරුස්නා කාරණයක් විය හැක. නමුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එදා මෙන්ම අදත්, හෙටත් සෑම විටම කටයුතු කරන්නේ මව්බිම වෙනුවෙන් ඔවුන්ගේ යුතුකම ඉටු කරන්නටය. ඒ යුතුකම නොපිරිහෙළා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉටු කරන්නේ ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාතියේ ආරක්ෂකයන් වන නිසාමය.

දිලංක ගුණතිලක


advertistmentadvertistment