රට නොගිය අයටත් පර්මිට් දීලා

විද්‍යුත් වාහන ආනයනයේදී සිදුවූ අවභාවිතාවන් රැසක් හෙළි වෙයි

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම් අධිකාරි බලය අවභාවිත කරලා

වාහන 921ක් ගෙන්වා රජයට කෝටි 242ක පාඩුවක්

වාහන බලපත්‍ර 1077ක් නිකුත් කරලා

වාහන 640ක් ගෙන්වන්න සමාගම් දෙකක් ඉදිරිපත් වෙලා

විගණකාධිපති කෝපා කමිටුවේදී හෙළි කරයි

ලංකාවට විදෙස්ගත ශ්‍රමිකයන් කියන්නේ වටිනාම සම්පතකි. අප එසේ කියන්නේ ලංකාවේ ආර්ථිකයට විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන්නේ සුවිශේෂී වූ දායකත්වයක් නිසා ය. ඔවුන් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය කොතරම් ද යන්න ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්තාවකට අනුව 2024, එනම් පසුගිය වසරේ මුල් මාස අට තුළ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති ප්‍රේෂණ මුදල සියයට 11.5කින් වැඩිවී තිබුණේ ය. 2023 වසරේ මුල් මාස අට තුළ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ප්‍රේෂණ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4,345ක මුදලක් ලැබුණු අතර 2024 වර්ෂයේ අවසාන කාලසීමාවේදී ලැබී ඇති මුදල ඩොලර් මිලියන 4,844කි. එවන් රටට වටිනාකමක් ඇති ඔවුන්ට රට විරුවන් යැයි කියන්නේ කටකහනවාට නොවේ ය. එහෙත් අද අප කතාකරන්නේ ඔවුන් මෙරටට රැගෙන එන විදේශ විනිමය ගැන නොවේ ය. මේ කතාව පසුගියදා රජයේ ගිණුම්කාරක (කෝපා) හි විගණකාධිපතිවරයා හෙළි කළ එතෙර රැකියා කරන ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කරගැනීමට දුන් අවසරයෙන් පසුගිය කාලයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් සිදුකළ වංචාවන් ගැන ය.

රට විරුවන්ට දුන් විද්‍යුත් වාහන අවසරයෙන් වැඩගත්තු හැටි

මේ කතාව පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වන්නේ පසුගියදා පැවැති කෝපා කමිටුවේදී හෙළිවූ තොරතුරු අනුව ය. එහිදී තහවුරුවන්නේ, එතෙර රැකියා කරන ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කරගැනීමට දුන් අවසරයෙන් පැවැති ආණ්ඩුවේ බලවතුන් පිරිසක් වෙනමම ව්‍යාපාරයක් කරගෙන ගොස් ඇති බවට ය. කෝපා කමිටුවේ විගණකාධිපතිවරයා මේ බව හෙළිකරන්නේ විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022 මැයි 01 සිට 2023 සැප්තැම්බර් 15 දක්වා කාලයේදී ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳව සකස් කළ විශේෂ විගණකාධිපති වාර්තා සාකච්ඡාවේදී ය. ඒ සම්බන්ධ පූර්ණ ක්‍රියාවලිය පරීක්‍ෂා කිරීමේදී වැඩිදුරටත් විගණකාධිපතිවරයා කියාසිටියේ, මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබේදැයි සැකසහිත බව ය.

ඉකුත් 2022 වසරේ මැයි 01 සිට 2023 සැප්තැම්බර් 15 අතර කාලසීමාව තුළ වාහන බලපත්‍ර 1077ක් නිකුත් කර එයින් බලපත්‍ර 77ක් අවලංගු වී තිබූ බවද කෝපා කමිටුවේ විගණකාධිපතිවරයා හෙළි කළේය. ඒ අනුව ප්‍රධාන ආයතන දෙකක් බලපත්‍රලාභීන් 640ක් සඳහා පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර ඇති බවද කෝපා කමිටුවේදී අනාවරණය විය. ඒ පිළිබඳව සලකා බැලූ විගණකාධිපතිවරයා කියාසිටින්නේ, බලපත්‍ර නිකුත් කිරීමේ මුවාවෙන් හිටපු බලධාරීන් ව්‍යාපාරයක් සිදුකර ඇති බවට ය.

පසුගිය කාලයේ එතෙර රැකියා කරන ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කර ගැනීමට දුන් අවසරය අපට මතක ය. මෙරට ආර්ථික අර්බුදයේ පත්ල අතගාමින් සිටි සමයක පැවැති ආණ්ඩුව විදෙස්ගත රැකියාවල නියුතු ලාංකිකයන් සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ද ඔවුන් රට තුළට එවනු ලබන මුදල් ඉහළ නැංවීමේ අරමුණෙන් ය. එහෙත් අදවන තුරු මේ කියන රටවිරුවන්ට විද්‍යුත් වාහනයක හිමිකරුවකුවීමේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය කෙසේ වුවද ඒ පිළිබඳව කටයුතු කළ පසුගිය රජයේ බලධාරීන් නම් එම වැඩපිළිවෙළ මගින් සාර්ථකව ව්‍යාපාර කළ බවනම් මෙයින් ඉතා පැහැදිලි ය.

විද්‍යුත් වාහන මගඩියෙන් රජයට වූ පාඩුව

2022 මැයි 01 සිට 2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කර තිබූ වාහන 921ක් සඳහා සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 6 සිට 12 දක්වා ඉහළ දැමීම නිසා රජයට අහිමිවන බදු ආදායම රු. බිලියන 2.42කි. මේ පසුගිය කාලයේ අපේ රටේ විදෙස්ගත ශ්‍රමිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කරගැනීමට දුන් අවසරයෙන් රටට සිදුවූ සන්තෑසිය ය. කොටින්ම කිවහොත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ එවකට සිටි බලධාරීන් කලදුටුකල වළ ඉහගන්නේ අපේ රටේ විදෙස්ගත ශ්‍රමිකයාව ද බිල්ලට දෙමින් ය. ඔවුන්, ලද අවසරයෙන් මේ වාහන ව්‍යාපාරය කළ ආකාරය දැන් හෙළිවී අවසන් ය. මෙහි නියමිත ක්‍රමවේදය නම්, එම වාහන ගෙන්වීමට අවසරය හිමිවන්නේ විදෙස් රටක රැකියාවක නියුතු ශ්‍රී ලාංකිකයන්ට ය. එහෙත් මේ කියන අමාත්‍යාංශයේ නිලධාරීන් පසුගිය කාලයේ කටයුතුකොට තිබුණේ, ඔවුන්ටම කියාගත් අමුතුම තාලයේ ක්‍රියාපටිපාටියකට ය. පසුගිය කාලයේ ඔවුන් ක්‍රියාකරනේනේ විදේශගත නොවූ හතරදෙනකුට ද විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදෙන්නට ය. තවද රටවිරුවන් වෙනුවෙන්ම ලබාදුන් විද්‍යුත් වාහන අවසරයට අදාළ චක්‍රලේඛය මගින් අදාළ බලපත්‍ර හිමිකම ලැබීමට විදේශගතවී සිටිය යුතු අවම කාලසීමාවක් නිශ්චිත කර නොතිබීම නිසා මේ කියන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ එවකට සිටි බලධාරීන් අදාළ චක්‍රලේඛයේ ඇති හිල්වලින් අපූරුවට රිංගා යන්නට අතිදක්‍ෂයෝ ය. ඔවුන් කටයුතු කරන්නේ, දින 3 සිට මාස 3 දක්වා වූ කෙටි කාලපරිච්ඡේදය තුළ විදේශගතව සිට පැමිණි පුද්ගලයන්ට හා කඩින්කඩ විදේශගත වූ පුද්ගලයන්ට ද මෙකී යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදෙන්නට ය. පසුගිය කෝපා කමිටුවේදී විගණකාධිපතිවරයා කියන්නේ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් මේ අන්දමින් අදාළ චක්‍රලේඛයට ද පටහැනිව ක්‍රියාකොට ඇති අන්දම හොඳින්ම නිරීක්‍ෂණය වන බව ය.

වරප්‍රසාදත් තෝරාගත් පිරිසකට විතරයි ලු

පසුගියදා පැවැති කෝපා කමිටුවේදී හෙළිවන්නේ, ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කරගැනීමට දුන් අවසරයෙන් පසුගිය කාලයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් සිදුකළ වංචාවන් පමණක්ම නොවේ ය. එහිදී හෙළිවන්නේ, පසුගිය ආණ්ඩුවෙන් එම අමාත්‍යාංශයේ තෝරාගත් පිරිසකට පමණක් වරප්‍රසාද පවා ලබාදුන් බව ය. කෝපා කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ, හිටපු අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් සියලු කටයුතු අවිධිමත් අන්දමින් සිදුකර ඇති බව ය. ඒ හරහා තෝරාගත් පිරිසකට වරප්‍රසාද පිරිනැමීමක් පවා කර ඇති බව පෙනී යන බව කෝපා සභාපති අරවින්ද සෙනරත් කියයි. එම අවස්ථාවේ සුවිශේෂීම සිද්ධියක් වන්නේ, එකී කාරක සභාවට පැමිණ සිටි නිලධාරිනියක කියන කතාවකි. ඇය කියන්නේ, විද්‍යුත් වාහන ගෙන්වීමේ අදාළ යෝජනා ක්‍රමයට අනුබද්ධව සේවය කිරීමේදී රාජ්‍ය සේවකයකු ලෙස සෘජුව කටයුතු කිරීමේ හැකියාවක් ද නොතිබූ බැවින් එකල තමන් සේවා මාරුවක් පවා ලබාගත් බව ය.

කඩාවැටුණු ආර්ථිකය හා විද්‍යුත් වාහන ආනයනය

රටවිරුවන්ට කොකා පෙන්නා අපූරුවට කරපු විද්‍යුත් වාහන මගඩි

ලංකාවේ ආර්ථිකය දරුණු අර්බුදයකට ලක්වන්නේ, මෙරටට ලැබෙන විදෙස් මුදල් ප්‍රමාණය පහත වැටීමත් සමගම ය. ඩොලර් නොමැතිව ඉන්ධන හා ඖෂධටිකවත් ගෙන්වා ගැනීමට අමාරු කාලයක් අපට තිබුණි. හරියටම කිව්වොත් 2021 වර්ෂයේ සිට අපේ රටට විදෙස් මුදල් ගලාඒමේ අඩුවක් දක්නට ලැබුණි. එයට බලපෑ හේතු ද බොහෝමයක් තිබුණේ ය. රට තුළ පැවැති දේශපාලන අස්ථාවර භාවය, වංචාව – දූෂණය රජවීම හා රට තුළ පැවැති අරගලකාරි වාතාවරණය නිසාම මෙරටට විදේශ මුදල් ගලා ආවේ නැත. එකල සංචාරක ව්‍යාපාරය ද වළපල්ලටම වැටී තිබුණි. එවැනි පසුබිමක් රටෙහි නිර්මාණය වෙද්දී විදෙස්ගත වූවන් ද තමන් උපයාගත් ධනය මෙරටට එවීමට උන්ඩියල්, හවාලා වැනි අවිධිමත් මාර්ග භාවිතා කළේ ය. පසුගිය සමයේ ආණ්ඩුව සිදුකරන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ට නීත්‍යනුකූල මාර්ග ඔස්සේ ප්‍රේෂණ එවීම සඳහා දිරිගැන්වීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පූර්ණ විද්‍යුත් වාහන ආනයන කිරීමට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම ය. ඒ අනුව විදේශීය රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකකයන්ට රෝද හතරේ හා රෝද දෙකේ පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළේ ය. මෙකී කරුණු නිසා අපේ රටේ ශ්‍රම බළකාය විදේශගත වූයෙන් රටට විදේශ විනිමය ගලා ආවේ ය. පණ ඇදෙමින් තිබුණු රටේ ආර්ථිකයට යළි පණදුන් මේ රටවිරුවන්ට ලබාදුන් විද්‍යුත් වාහන අවසරය දුන්එක ගැන කිසිම අයුරකින් වාද විවාදයක් අපට නැත. එහෙත් ඒ වනවිට රටේ වාහන ආනයනය නවතා දමා තිබුණේ රටේ විදෙස් මුදල් අර්බුදයට පිළියමක් ලෙස ය. එවැනි වාතාවරණය තුළ පැවැති රජය විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහනයක් ආනයනය කිරීමට අවස්ථාව සහ සුඛෝපභෝගී බදු නිදහස් සීමාව ඉහළ දැමීම තුළින් වාසිදායක තත්ත්වයක් අත්කර දුන්නේ ය. එයින් කිසිදු අවැඩක් ද රටට, රටේ ආර්ථිකයට ද සිදුනොවන බවද අපගේ විශ්වාසය ය. එහෙත් ඒ වාහන ආනයන අවසරයෙන් පසුගිය කාලය මුළුල්ලේ අපේ රටේ දේශපාලනඥයන් හා අමාත්‍යාංශවල නිලධාරීන් සිදුකරන්නේ රටවිරුවන්ට කොකා පෙන්වීමය.

අපේ රටේ විදෙස්ගත ශ්‍රමිකයාට එකී විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ක්‍රමයෙන් සෙතක් සැලසුණේ නම් ඉතා වටිනේ ය. එහෙත් සිදුවූයේ එය නොවේ ය. මෙකී විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී ඇතිවූ අනීතික ක්‍රියාමාර්ග ගැන කතාබහක් ඇතිවන්නේ පසුගියදා පැවැති කෝපා කමිටු රැස්වීමෙන්ම පමණක් නොවේ ය. ඉන් පෙරද ක්‍රම හා විධි කාරක සභාව මගින් මේ විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී සිදුවූ අක්‍රමිකතා අනාවරණය කළේ ය. ඒ ක්‍රම හා විධි, කාරක සභාවේ නියෝගයකට අනුව විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී සිදුවී ඇති අනීතක ක්‍රියාවන් පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා විශේෂ විගණනයක් ජාතික විගණන කාර්යාලය සිදුකරන ලදී. එකී යෝජනා ක්‍රමය තුළ (2022 අගෝස්තු 31 දින සිට 2024 ජුනි 30 දක්වා කාලය තුළ) විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයන් වෙත බලපත්‍ර 1077ක් නිකුත් කර තිබූ අතර ඉන් බලපත්‍ර 77ක් අවලංගු කර තිබුණි. එහිදී නිකුත් කොට තිබූ වාහන බලපත්‍ර 1000 අතරින් බලපත්‍ර 510කට අදාළව පමණක් වාහන ආනයනය කොට තිබුණි. ඒ අනුව නිකුත් කළ හා අවලංගු කළ බලපත්‍ර අනුක්‍රමික අංක අනුව නිශ්චිතව හඳුනාගැනීම සඳහා විධිමත් හා ප්‍රමාණවත් දත්ත පද්ධතියක් පරිගණකගතව හෝ ලිඛිතව පවත්වාගෙන ගොස් ද නැත. එකී හේතුව මත එකම අංකයට බලපත්‍ර දෙකක් නිකුත් කිරීම වැනි බරපතළ දුර්වලතා ද සිදුවූ බව විගණනයේදී අනාවරණය වී ඇත. තවද විද්‍යුත් වාහන සඳහා තීරු බදු නිකුත් කිරීමේදී දැනට ක්‍රියාත්මක රජයේ අධිකාරි ආයතනය වන මහා භාණ්ඩාගාරයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව හෝ ආනයන අපනයන පාලක වෙත මෙකී යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී බලපත්‍ර නිකුත් කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ද ලබාදී තිබුණේ ය. එහෙත් සිදුව ඇත්තේ ආනයන අපනයන පාලක වෙත එම කටයුතු පැවරීමකින් තොරව කම්කරු හා විදේශීය රැකියා අමාත්‍යාංශයේ එවකට හිටපු ලේකම්වරයා විසින් එම කටයුතු තමන්ටම පවරා ගැනීම ය. හිටපු ලේකම්වරයා අධිකාරි බලය අවභාවිතා කර තිබුණේ එසේ ය. ඒ විතරක් ද නොවේ ය. විද්‍යුත් වාහන ආනයනය කිරීම සම්බන්ධව පත්කළ කමිටුව විසින් ප්‍රතිපත්තිමය නිර්දේශ ලබාදීමට නියමිතව තිබුණ ද එකී කමිටුව ලබාදුන් ප්‍රතිපත්තිමය නිර්දේශ හා එම නිර්දේශයන් පවා තම අභිමතය පරිදි කම්කරු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා වෙනස් කිර තිබූ බව ද විගණනයේදී අනාවරණය වී තිබුණි. මේ කියන බලපත්‍ර ද ආනයන අපනයන පාලකවරයා විසින් නිකුත් කරන බවට පැහැදිලිවම සඳහන් කොට තිබුණ ද එම බලපත්‍ර නිකුත් කිරීමේ බලය පවරාගෙන තිබුණේ ද විදේශ රැකියා අමාත්‍යාංශය මගිනි. එකී අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනකු විසින් අදාළ අයැදුම්පත් භාරගැනීම, පරීක්‍ෂා කිරීම, බලපත්‍ර නිකුත් කිරීම, අවලංගු කිරීමේ බලය පවා අක්‍රමවත් පරිදි සිදුකොට ඇති බව ද විගණනය කියයි. තව ද බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පවත්වාගෙන ගොස් තිබූ ලේඛනයෙහි ද බලපත්‍රයේ අංකය පමණක් සටහන් කර ඇති අතර අදාළ බලපත්‍රලාභියාගේ නම, ලබාදුන් බලපත්‍රයේ වටිනාකම, විදේශ මුදල් ප්‍රේෂණ ආදී අනිකුත් තොරතුරු එම ලේඛනවල සඳහන් නොවීම ද විශේෂත්වයකි. පසුගිය කාලය තුළ සිදුකළ වංචාවන් කෙබඳු ද කිවහොත්, අදාළ බලපත්‍රලාභියා විද්‍යුත් වාහන ආනයනය කිරීමට සුදුසුකම් සැපිරූ පුද්ගලයෙක් ද විදේශ ප්‍රේෂණ අනුව නිවැරදිව වටිනාකමට බලපත්‍ර නිකුත් කර තිබුණේ ද යන්න කිසිදු තොරතුරක් තහවුරු කර ගැනීමට විගණනයට ද නොහැකිවී ඇත්තේ ය. මෙකී කාරණා නිසා විශාල මූල්‍ය වටිනාකමක් සහිත බලපත්‍ර සුදුසුකම් නොමැති පුද්ගලයන් වෙත පවා නිකුත් කිරීමට එමගින් අවස්ථාව ද උදාවී තිබිණි.

අප මේ කියන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළ අක්‍රමිකතා හෝ අවභාවිතා සිදුවීම් ඇති බව නම් දැන් කාටත් පැහැදිවනු ඇත. මෙකී යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීමට නම් 2022 වර්ෂයේ මැයි මස 01දින සිට 2023 සැප්තැම්බර් මස 15 වැනි දින දක්වා කාලය තුළ විදේශ රටක සේවා නියුක්තිකයකු විය යුතුය. එහෙත් එය තහවුරු කරගැනීමේ ක්‍රමවේදයක් එකී අමාත්‍යාංශය විසින් අනුගමනය නොකළ බවද දැන් පෙනීයන්නේ ය. විගණන වාර්තා මගින් පෙන්වා දෙන්නේ, විදේශගත නොවූ පුද්ගලයන් හතර දෙනකු වෙනුවෙන් ද පවතින නීතිරීති රෙගුලාසි නොසලකා බලපත්‍ර නිකුත් කර තිබූ බව ය.

පසුගියදා (02දා) පැවැති රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවේදී නිර්දේශ කරන්නේ මේ සම්බන්ධව අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වා මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස හා අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ය. රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට කියා විදේශගත ශ්‍රමිකයන්ට රට තුළට එවනු ලබන ප්‍රේෂණ ඉහළ නැංවීමේ අරමුණින් මෙකී යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ ද සිදුවූ අක්‍රමිකතාවයන් නිසා බලාපොරොත්තු වූ කිසිවක් ඉටුනොවන්නේ මෙම ආයතන තුළ සිදුකරන අකටයුතුකම් නිසා ය. එයට හේතුව රටේ අනෙකුත් රාජ්‍ය ආයතනවල මෙන් කම්කරු හා විදේශ සේවා රැකියා අමාත්‍යාංශයේ ද අක්‍රමිකතාවයටම හුරුවූ, රටේ මුදල් ගිලින බහිරවයන් පිරිසක් සිටින නිසා ය.

රමින්ද මාවතගේ


advertistmentadvertistment