මැයි කියන්නේම රතු පාට, රතු පාට ගැන අහලා තිබුණට ඔයාලා දැකල තිබුණේ නෑනේ. එළැඹෙන 17 වැනිදා ඉඳලා තමයි රතු පාට දකින්න හම්බ වෙන්නේ. ඉතිං ඔයාලා සූදානම් ද ඒ අසිරිය විඳින්න. කොහොමද ඒ අසිරිය විඳින්නේ. අපි අහලා බලමු ආසිරිගෙන් රතු කොම්රේඩවරයාගේ අසිරිය විඳින්නේ කොහාමද කියලා.

රතු පාට අසිරිය විඳින්නේ කොහොමද ආසිරි?

ඒක විඳින්න වෙන්නේ එළැඹෙන 17 වැනිදා ඉඳලා තිරගත කිරීම ආරම්භ කරන සුදත් මහදිවුල්වැවගේ නවතම සිනමා නිර්මාණය වන My Red Comrade නිර්මාණය හරහායි.

රතු කොම්රේඩවරයාගේ සම්ප්‍රාප්තියමේ ආරාධනාව මුලින්ම මම ප්‍රතික්‍ෂේප කළා

එතකොට ආසිරිගේ කාර්යභාරය?

මම මෙහි රතුකොම්රේඩවරයාගේ ප්‍රධාන භූමිකාව රඟදක්වනවා. හැබැයි මෙහි තියෙන්නේ චරිත දෙකයි. අනෙක් චරිතය තරින්දි ප්‍රනාන්දු රඟදක්වනවා.

කවුද මේ ආසිරි ඇල්ලගේ?

ඇත්තටම මම යොවුන් පුවත්පතක මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කළා, අනූව දශකයේ අගභාගයේදී. ඊට පසුව මම ඇන්ඩෲ ජයමාන්න මහතාගේ සහායක කැමරා ශිල්පියා විදිහට වසර ගණනාවක් සේවය කළා. ඔහු යටතේ තමයි මම සිනමාවේ තාක්‍ෂණික අංශයට අදාළ කාරණා ටික ඉගෙන ගත්තේ.

රතු කොම්රේඩවරයාගේ සම්ප්‍රාප්තියමේ ආරාධනාව මුලින්ම මම ප්‍රතික්‍ෂේප කළා

ඊට පස්සේ මොකද වුණේ?

ඊට පසුව මම දැන්වීම්කරණයට යොමුවුණා. ඒ අනුව වසර විස්සකට අධික කාලයක් සිංහල දැන්වීම්වල පිටපත් රචකයෙක් විදිහට කටයුතු කරනවා.

චිත්‍ර අඳින්නත් පුළුවන් කියලා ආරංචියි?

ඔව්, මම චිත්‍ර ශිල්පියෙක්.

රතු කොම්රේඩවරයාගේ සම්ප්‍රාප්තියමේ ආරාධනාව මුලින්ම මම ප්‍රතික්‍ෂේප කළා

එතකොට ඔබේ වෘත්තිය?

මම වෘත්තියෙන් දැන්වීම් ප්‍රචාරණ ක්‍ෂේත්‍රයේ සිංහල පිටපත් රචකයෙක් විදිහට කටයුතු කරනවා.

එතකොට කොහොමද ඔබට සුදත් මහදිවුල්වැව මුණගැසෙන්නේ?

මට ඕනෑ වුණා ලංකාවේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් කිහිප දෙනකුගේ චරිතාපදාන රචනා කරන්න. මොකද මගේ වෘත්තිය, ලේඛනය නිසා. ඒ අවස්ථාවේදී මීට වසර පහකට විතර ඉහතදී මම එතුමාට කතා කළා. ඇත්තටම මම ඔහුගේ රසිකයෙක්. අපිට මේ ක්‍ෂේත්‍රය ගැන ඇල්මක් ඇති වුණේ ඔහුගේ නිර්මාණ හරහා. විශේෂයෙන්ම ධවල රාත්‍රිය, දණ්ඩේ ලූ ගිනි, වනස්පති කියන්නේ වෙනස්ම නිර්මාණ. ඔහුගේ චරිතාපදානය ලියන්න ඇති වුණ කතාබහේදි තමයි ඔහුව හමුවුණේ.

රතු කොම්රේඩවරයාගේ සම්ප්‍රාප්තියමේ ආරාධනාව මුලින්ම මම ප්‍රතික්‍ෂේප කළා

ඊට පස්සේ මොකද වුණේ?

මට ඕනෑ වුණා තිර නාටක රචකයෙක් විදිහට ක්‍ෂේත්‍රයට එන්න. මොකද මම වසර විස්සකට අධික කාලයක් දැන්වීම් ප්‍රචාරණ ක්‍ෂේත්‍රයේ හිටියා. මට චිත්‍රපට හා ටෙලි නාට්‍ය රචකයෙක් විදිහට ඉදිරියට එන්න ඕනෑ වුණහම ඒ සම්බන්ධව සුදත් සර්ගෙන් මට විශාල ගුරුහරුකම් ටිකක් ලැබුණා.

ඉතින් ඔය අතරේ මට මේ My Red Comrade චිත්‍රපටය සම්බන්ධවත් කියල තිබුණ. ඔහු මට දවසක් මේ චිත්‍රපටයේ මුල් දර්ශන කිහිපයකුයි චරිතය පිළිබඳ හැඩ හුරුකමක් ලියලා එවලා තිබුණා. ඒකෙ ඔහු කියලා තිබුණා මේ චරිතය තාගෝර්ගේ සහ චේගුවේරාගේ සම්මිශ්‍රණයක් කියලා ඇත්තටම මට කුතුහලයක් ආව කවුද මේක කරන්නේ කියලා.

ඔබ එතකොට සුදත් මහදිවුල්වැවගෙන් ඇසුවේ නැද්ද ඒ කවුද කියලා?

මම ඇහැව්වා එතකොට එතුමා කිව්වා මම ඒ චරිතය කරන්න ඉන්න කෙනත් එක්ක තමයි මේ කතා කර කර ඉන්නේ කියලා. ඇත්තම කිව්වොත් ඒ ආරාධනාව මුලින්ම මම එකහෙළා ප්‍රතික්‍ෂේප කළා. මොකද මේක විශාල වගකීමක්. මට රංගනය පිළිබඳ පොඩි අත්දැකීම් ටිකක් තියෙන්නේ.

මීට කලින් රඟපාල නැතිද?

මම වෙළෙඳ දැන්වීම් රඟපාල තිබුණා. රංගනය පිළිබඳ කිසිසේත්ම පුළුල් අත්දැකීමක් තිබුණේ නැහැ. හැබැයි මම රඟපෑ වෙළෙඳ දැන්වීමක කොටසක් ඔහුට යවලා තිබුණා. ඔහු ඒක ගැන පැහැදීමකින් හිටියා.

ඔබ බෑකිව්වට පස්සේ සුදත් මහදිවුල්වැව මොනවද කිව්වේ?

මේක චිත්‍රපටයක ප්‍රධාන චරිතය. අනික මේ චිත්‍රපටයේ චරිත දෙකයි තියෙන්නේ. ඒක සුළුවට තකන්න බැරි දෙයක්. මම වතාවක් දෙවතාවක් බොහොම කාරුණිකව ප්‍රතික්‍ෂේප කළහම ඔහු මට කිව්වා මම මේ පිටපත ලිව්වේම ඔබ වගේ කෙනෙක්ව එහෙමත් නැතිනම් මම වගේ රූපකායක් තියෙන කෙනෙක් ඔළුවේ තියාගෙන කියලා. ඊට පසුව මේ තිරපිටපත පිළිබඳ විශාල සාකච්ඡා වට ප්‍රමාණයක් පැවැත්වූවා. පසුව මේ චිත්‍රපටය රූගත කරන්න කලින් විශාල වැඩමුළු ප්‍රමාණයක් පැවැත්වූවා. ඒවත් එක්ක මම හොඳ සූදානමකින් මේ චරිතයට ප්‍රවිෂ්ට වුණා.

ඔබ වැනි ආධුනිකයකුට මේ අභියෝගය ජයගන්න පුළුවන් කියන විශ්වාසය ඇතිවුණේ කොහොමද?

ඇත්තටම මේ චරිතය භාරදෙන කොට බය සහ චකිතය කියන මාතෘකා දෙකම ආවා. අන්තිමට ඔහු මට කිව්වා ඔයා මාව විශ්වාස කරන්න. මට මේක කරන්න පුළුවන්ද කියලා විශ්වාසයක් තිබ්බේ නැහැ. මොකද මම අතිශය ආධුනිකයෙක්. ඇත්තටම ඔහුගේ වචනය මට මාර ශක්තියක් වුණා, මම මේ වැඩේ භාරගත්තා.

පිටපත අතට ලැබුණට පස්සේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය පිළිබඳවත් හැදෑරීමක් සිදු කළාද?

ඇත්තටම මට ඒ ගැන මුලදී අවබෝධයක් තිබුණේ නෑ. මොකද මගේ ක්‍ෂේත්‍රය සම්පූර්ණයෙන්ම දැන්වීම්කරණය. මේ චරිතය කරන්න අවශ්‍ය දැනුම සහ හැඩහුරුව සුදත් මහදිවුල්වැව මහත්තයා ලබා දුන්නා.

ආසිරි ඇල්ලගේගේ ගම් පළාත එහෙම?

ආසරි ඇල්ලගේ කියන්නේ අතිශය සරල මනුස්සයෙක්. මම ජීවත් වෙන්නේ ගම්පහ, කිරිඳිවැල ප්‍රදේශයේ. මම දැන් රැකියාවක් කරන්නේ නැහැ. මම ගෙදර ඉඳන් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරන්නෙ. මගේ වෘත්තිය දැන්වීම්කරණය. එළියේ මිනිස්සු මාව දැනගෙන ඉන්නේ ඉපැරණි කාර්වලට ප්‍රේම කරන ආසිරි කියලයි. හරියටම කිව්වොත් මම ඉපැරණි කාර් ලෝලියෙක්. මුහුණුපොතේ මගේ මිතුරන් අතර මාව ප්‍රකටවෙලා තියෙන්නේ ඉපැරණි කාර්වලට කැමැති ආසිරි කියලයි. පරණ කාර්වලට කැමැති ආසිරි කියලත් මාව දන්නවා.

ඇත්තටම ඉස්සරහට මොකද වෙන්නේ?

මෙහෙමයි ඇත්තටම අවංකවම කිව්වොත් තවම ඒ ගැන හිතලා නැහැ. මම මේකේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර සහ විචාරක ප්‍රතිචාර සෑහෙන බලාපොරොත්තු වෙනවා. මම ඒ ගැන දැඩි අවධානයෙන් ඉන්නේ. දැනට මම සිනමා රංගන ශිල්පියෙක් විදිහට ඉදිරියට යනවා කියලා ගැඹුරට හිතලා නැහැ. මට මේ වැඩේ කළාට පස්සේ මේ ගැන ඇල්මක් ආදරයක් ඇති වුණා. මේ ප්‍රමිතිය ඉස්සරහට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා දැඩි අවධානයක් යොමු කරනවා. අනාගතයේ මේ වගේ හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගනීවි.

ඔබත් ඉන්නේ වාමාංශික දේශපාලනය නියෝජනය කරන ස්ථානය වෙනස් වෙන්න ඕනෑ කියන තැනද?

මම ඒ චිත්‍රපටයට දායක වුණා මිස මට ඒ පිළිබඳ අදහසක් නෑ. චිත්‍රපටයෙන් අධ්‍යක්‍ෂවරයා කියන්න හදන දේට රංගන ශිල්පියෙක් විදිහට දායක වුණා මිසක් මට ඒ ගැන අදහසක් නෑ. දේශපාලනය මට සෑහෙන දුරස්ථ විෂයක්.

මේ වෙලාවේ ඔබේ පෙනුම සහ හැඩය ගැනත් කතාබහ වෙනවා. මේ ඔබ ඉන්න හැටිද?

මම ඇත්තටම කොණ්ඩේ, රැවුල වවලා තිබ්බේ කොරෝනා සමයත් සමඟ. කොණ්ඩේ, රැවුල කපන්න වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. ඉතිං මට හිතුණා ඒ පෙනුම මට ගැළපෙනවා කියලා. දැන් ඒක එහෙම්ම නඩත්තු කළා.

ආසිරිට තරින්දිගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක්ද?

ඇයගෙන් ඉතාම විශිෂ්ට සහයෝගයක් ලැබුණා. ඇය රූපවාහිනී මාධ්‍යයේ ඉතාම දක්‍ෂ රංගන ශිල්පිනියක්. පසුගිය කාලයේ ඇයගේ විශිෂ්ට නිර්මාණ කිහිපයක් එළියට ආවා. ඇයගෙන් ලැබුණ සහයෝගය නිසාම ඒ රූගත කිරීම් කාලය සුවපහසු කලාපයක් වුණා. මට මෙහි දීර්ඝ දෙබස් තියෙනවා, දීර්ඝ දර්ශන තිබෙනවා. සමහර දේවල් අපි දෙන්නා කතා වෙලා සිදු කළා. මේ චරිතය සාර්ථක කරගන්න ඇගේ සහයෝගයත් එක හේතුවක්.

පවුලේ විස්තර?

මම අවිවාහකයි. අම්මත් එක්ක ඉන්නේ. මට එක නංගි කෙනෙක් ඉන්නවා. ඇය විවාහකයි.

ඔබේ මුල් ගමත් කිරිඳිවැලද?

නැහැ. ඉපදුණ දවසේ ඉඳලා අවුරුදු 27ක් වෙනකම් මම හිටියේ කොළඹ. මම නාගරික ජීවිතයට හුරුවෙච්ච කෙනෙක්. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. ඉතිං මම අවුරුදු 27ක් වෙනකම් පොලිස් මහල් නිවාසවල තමයි ජීවත් වුණේ. මට දැන් අවුරුදු 46ක්. අවුරුදු 27න් පස්සේ තමයි ගමට ආවේ. නාගරික සහ ගම්බද ජීවිත දෙක පිළිබඳවම අත්දැකීම් තිබෙනවා. මගේ මිතුරු සමාගම සිටියේ නගරේ. පාසල් ගියේ ඉසිපතන විද්‍යාලයට. මට තියෙන්නේ දුක සහ සතුට දෙකම සම්මිශ්‍රණය වෙච්ච ජීවිතයක්. උසස් පෙළ අවසන් වුණ ගමන් තමයි මේ ක්‍ෂේත්‍රයට ආවේ. ආපස්සට හැරිලා බලද්දි ජීවිතයේ එක එක සන්ධිස්ථාන පසු කළා. මේකත් එක සන්ධිස්ථානයක්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment