සොබා දහමේ අකාරුණික පීඩාවන්ට ගොදුරුවූ ජන ජීවිත සුවපත් කිරීම ක්‍ෂණිකව කළ හැකි දෙයක් නොවුවද ඒ සම්බන්ධ විධිමත් සැලසුම් ආණ්ඩුවට නැති බවට මේ සතියේ රැස්වූ පාර්ලිමේන්තුවේදීත් සමහර මන්ත්‍රීවරු චෝදනා කළහ. වැසි, සුළං,කුණාටු, ගංවතුර,නායයෑම් වැනි ස්වභාවික විපත්වලට දේශපලානය අදාළ නොවුවත් ඒවා වළක්වා ගැනීම සඳහා නිසි සැලසුම් නොමැතිවීමේ වරද ආණ්ඩුවලට මෙන්ම පළාත් පාලන ආයතනවලට ද පැවරෙනු ඇත. ආපදා කළමනාකරණය සඳහා වෙනම අමාත්‍යාංශයක් ද අපට තිබුණත් ගංවතුර, නායයෑම්, මාර්ග අවහිර වන ආකාරයට මහ ගස් ඇද වැටීම් වැනි බොහෝ දේවල් සාමාන්‍යකරණය වී තිබේද යන ප්‍රශ්නය ද අපට මතුවේ. පළාත් පාලන ආයතනවල දූෂිත හා අකාර්යක්ෂමතාව නිසා අනීතික ලෙස සිදු කෙරෙන ඉදිකිරීම් පිළිබඳව ද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය බොහෝ අනාවරණයන් ද සිදු කර ඇත. දේශගුණික කැළඹීම් පොදුවේ ඒ සියලු ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දක්වද්දී ඒවා අනුමත කළ හෝ ඒවායින් ප්‍රතිලාභ ලැබූ අය හෝ නොව, ඒවාට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ හුදී ජනතාවට වීම අපට තිබෙන විවේචනයයි. මෙය අපගේ සමාජ දේශපාලන සංවාදවල ප්‍රමුඛ තේමාවක් බවට පත් වියයුතු බව අපි යළිත් අදාළ සියලු බලධාරීන්ට දැඩිව අවධාරණය කරමු. මේ මහා විපත් කඩා වැටීමට පෙර බොහෝ කලක් තිස්සේ ගංගා, ඇළ, දොළ දූෂණය කෙරෙන විවිධ අනීතික ක්‍රියාකාරකම් වෙරළ සංරක්ෂණය හා වනාන්තර කෙරෙහි අවධානය ගිලිහී යෑම ඇතුළු විෂම ප්‍රතිචාර පෙන්වා දී තිබේ. එහෙත් ඒවාට වගකිව යුතු ආයතන නිලබල සිය කුම්භකර්ණ පිළිවෙතින් අවදි නොවන බව ද අප සඳහන් කළ යුතුය.

මේ අතර සමාජ දේශපාලන අංශවල අවධානයට මෙන්ම සංවාදයට ද ලක්වූ සිදුවීම් කීපයක්ම විය. විශේෂයෙන් මේ වසරේ පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරන ජනාධිපතිවරණය හා මහා මැතිවරණය නිසා දේශපාලන අංශ බෙහෙවින් උණුසුම් වී තිබෙන ආකාරයක් ද දැක ගතහැකිය. ජනාධිපතිවරණය නිසි පරිදි නිසි අවස්ථාවේදී පැවැත්වෙන බවට ආණ්ඩුව විසින් කෙබඳු නිවේදන සිදු කළත් ඒ සම්බන්ධයෙන් සමාජ දේශපාලන අංශවල පවා ඇත්තේ අවිනිශ්චිත බවකි.

රනිල් ලෑස්ති ද?

මෙම මැතිවරණ කල් දැමීමේ යෝජනාව සමාජ ගත කළ එ.ජා.ප. මහලේකම් රංගේ බණ්ඩාරට ලැබුණු ප්‍රතිචාර, විවේචන නිසා ඔහු පසු බැස ගිය බව මතුපිටට පෙනෙන කරුණකි. එහෙත් කිසිදු මහජන නියෝජනයක් නොමැති පරාජිත දේශපාලන චරිතයක් මෙන්ම ජනාධිපතිවරයා අයත් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස එබඳු අදහසක් නිකම්ම ඉදිරිපත් කරනු ඇද්ද? එ.ජා.ප. දේශපාලන වැඩබිම තුළ සිදුවන බොහෝ දේවල්වල ඉලක්කය ජනාධිපති රනිල් තවදුරටත් විධායක පුටුවේ තබා ගැනීමය. ජනාධිපති රනිල් මෙතෙක් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තිබෙන ප්‍රබලම විවේචනය වන්නේ ද ඔහු ජයවර්ධන පන්නයේ ජනාධිපතිවරයකු බවය. 77 දී බලය ලබා ගත් ජයවර්ධන රටට ලබාදුන් ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයේ ඇඳුම් ආයිත්තම් පැලඳ ගත් ව්‍යවස්ථානුකූල ජනාධිපති ඒකාධිපතිත්වයක් බව මෙරටේ කීර්තිමත් දේශපාලනඥයකු මෙන්ම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ප්‍රාමාණික විද්වතකු ද වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සඳහන් කර තිබේ. එබඳුම දේශපාලන විශාරදයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාත් එම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ගමනට හරස් වන්නක් බව ද සඳහන් කර ඇත.

මෙම විධායක ක්‍රමය වෙනස් කළ යුතුය යන සටන් පාඨය සමාජ ගත කළේ අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. උන්වහන්සේගේ 82 වැනි ජන්ම දින අනුස්මරණ උත්සවය පසුගියදා සිදුවූ අවස්ථාවේදීත් එයට එක්වූ හිටපු කථානායක මෙන්ම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කළේත් සෝභිත හිමියන්ගේ අපේක්ෂාව යථාර්ථයක් බවට පත් කළ නොහැකිවූ බවය. 2015 ජනාධිපතිවරණයෙන් බලය ලබා දුන්නේත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණයට වුවත් එය ඉටු නොවූ බවද කරු ජයසූරිය පවසා තිබුණි. එසේම ඔහු විසින් කරන ලද තවත් අවධාරණයක් වූයේ අනිසි ලෙස මැතිවරණ කල් දැමීමට පවා මේ ආණ්ඩුව සැරසුණු බවය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ අදහස වූයේ ද ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය වැඩි වශයෙන් දැනෙන බවය.

කුමක් වුවත් අද තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඔවුන් තුළ දැඩි කනස්සල්ලක් තිබෙන බවද ඒ විවේචන දෙස බලද්දී අපට පැහැදිලි වේ. එහෙත් පුදුමය නම් විධායක ජනාධිපතික්‍රමය වෙනස් කරන බවට පළමු වරට පැවැසූ චන්ද්‍රිකා ජනාධිපතිනිය පවා මේ රටේ ජනතාව රවටා තිබෙන බවය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට අදත් කෙඳිරි ගාන ඒ හැම කෙනකු ගැන ම අප ලැජ්ජා විය යුතුය. මේ සියල්ලන් විසින්ම අනුගමනය කරනු ලැබ ඇත්තේ “කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල” යන පිළිවෙත පමණි. එහෙත් එලෙස රැවටීමට ලක්ව සිටින ජනතාව ගෙන් බහුතරයකට මේ ව්‍යාජ දේශපාලන චරිත හඳුනාගැනීමේ නුවණ තිබෙන බව ද අපගේ අදහසය. නිසැකයෙන්ම ඒ ජනතාව තමන් කෙරෙහි විශ්වාසභංගත්වයට පත්ව සිටින බව ද ඔවුහු දනිති.

අද මහපොළොවේ තිබෙන දේශපාලන යථාර්ථය වන්නේ ද මේ දූෂිත ගර්හිත දේශපාලනයට නැඟෙන විරෝධයයි. ජනාධිපති රනිල්ගේ එ.ජා.ප.යට හෝ රාජපක්ෂවරුන්ගේ පොදුජන පෙරමුණට හෝ ජනතාවගේ ප්‍රසාදයක් නැති බව ඒ නායකයෝ දනිති. ජනාධිපති රනිල්ගේ බලය හා සෙවණ යට එ.ජා.ප.යේ හිටපු ප්‍රධානීන් දේශපාලන කරළියට පැමිණ සිටියත් පක්ෂයක් ලෙස ඔවුහු දුර්වලව සිටිති. මහින්ද රාජපක්ෂගේ තත්ත්වය ද දේශපාලනික වශයෙන් පිරිහෙමින් තිබේ.

ශ්‍රී ල.නි.ප.ය ගැන කතා කිරීම පවා නිෂ්ඵලය. පසුගියදා ජනාධිපති රනිල්ටත් ආණ්ඩුවටත් විශේෂ නිවේදනයක් මගින් මහින්ද කළ සන්නිවේදනය පවා කිසිවකුගේ අවධානයට ලක්ව නැත. ජනාධිපති රනිල් අද ක්‍රියා කරන්නේ ගෝඨාභය විසින් ජනතාවට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම දැයි ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදීත් ප්‍රශ්න කළේය. ඒ ආණ්ඩුව ලහි ලහියේ ඉදිරිපත් කළ විදුලිබල කෙටුම් පනත පිළිබඳ විවාදයේදීය. මෙම විවාදය සම්බන්ධයෙන් ඇතැම් අය අපේක්ෂා කළේ එයට පොදුජන පෙරමුණ විරුද්ධ වීමට හෝ ඡන්දය දී මෙන් වැළකී සිටීමට ඉඩ ඇති බවකි.

මෙම පනත ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබුණි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් මෙන්ම ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු යෝජනා ද එහි ඇතුළත් විය. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දක්වන ලද පරිදි ප්‍රශ්නකාරී යෝජනා සංශෝධනය කර ගැනීමට ද හැකි බව සඳහන් විය. විපක්ෂයේ බොහෝ අය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ මේ හදිසියේ ඒ කාර්ය නොකර විවේකීව විමසා බලා විවාද කර පනත සම්මත කළ යුතු බවය. එහෙත් ආණ්ඩුව එයට එකඟ නොවූ අතර ඉකුත් 06 වැනිදා විවාදය පවත්වා ඡන්ද විමසීමකට ද මුහුණ දුන්නේය.

ආණ්ඩුව වැඩි ඡන්ද 44කින් ජයගත් අතර පනතට විරුද්ධව ලැබුණේ ඡන්ද 59කි. කුමක් වුවත් මෙම ආන්දෝලනාත්මක පනත වෙනුවෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 103ක් ඡන්දය ලබාදෙන මොහොතේ පක්ෂයේ නායක මහින්ද හෝ එහි සංවිධායක නාමල් ද සභාවේ නොවූහ.

මෙම පනතට පක්ෂව කතා කළ කංචන ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ පාර්ශ්වය විසින් කරන ලද අවධාරණය වූයේ මෙය කිසිසේත් විදුලිබල මණ්ඩලය විකිණීමේ ප්‍රයත්නයක් නොවන බවය. එසේම ඇමැතිවරයා විදුලි පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් ද ලබාදුන්නේය. ඒ අනුව ලබන ජූලි 01 වැනිදා සිට විදුලි බිලට සහනයක් ලැබෙනු ඇත. එය ඉතා අගය කළ යුතු පියවරකි. එහෙත් මෙබඳු ආන්දෝලනාත්මක පනතක් මේ තරම් හදිස්සියකින් සම්මත කර ගැනීමේ අදහස කුමක්ද? මෙය දේශපාලනයට වඩා රටේ බලශක්තිය හා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය වැදගත් පනතකි. විපක්ෂයේ බොහෝ කථිකයන් දිගින් දිගට ම ප්‍රකාශ කළේ මෙය නිවීහැනහිල්ලේ පොදුවේ එකඟතාවකට පැමිණ සම්මත කරගත හැකි බවය. එහෙත් ඇමති කංචන එයට එකඟ නොවූ අතර මේ පනතට විරෝධය පළ කළ ගෙවිඳු කුමාරතුංගට නිර්දය ප්‍රතිචාරයක් ද දැක්වීය. ඔහු හා ඇමැතිවරුන් අතර උණුසුම් මත ගැටුමක් ද සිදුවිය. ඒවා දෙස බලන සාමාන්‍ය පුරවැසියකුට වුවද හැඟෙන්නේ අද මේ පාලකයන්ගේ අහංකාරත්වය හා අධිපතිවාදී මානසිකත්වය නොවේද?

රනිල් ලෑස්ති ද?

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන මොහොතේදීත් වෘත්තීය සංවිධාන ඇතුළු සිවිල් ක්‍රියාකාරීන්ගේ විරෝධතා ද විය. විදුලිබල මණ්ඩලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ද විය. විදුලි ඉංජිනේරු සංගමය නිවේදනයක් මගින් කියා සිටියේ මෙය බරපතළ විපාක රටට ලබාදෙන පනතක් බවය. එහි දෝෂ බහුලව තිබෙන අතරම බලශක්තිය රජයෙන් ගිලිහී යෑම ගැඹුරින් අවධානයට ලක්විය යුතු කරුණක් බවය. ජාතික සංවිධාන එකමුතුවෙහි වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසුවේද පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් පක්ෂයේ නායක මහින්ද කළ නිවේදනය විහිළුවක් බවය. ඩලස් අලහප්පෙරුමගේ අර්ථ දැක්වීම වූයේ මෙම පනතට අත ඔසවන සියලු දෙනාම 69 ලක්ෂයේ ජනවරමටත් සිය පරමාදර්ශී නායක මහින්දටත් සරදම් කරන බවය. මාලිමාවේ විජිත හේරත් චෝදනා කළේ විදුලිය ඉන්දියාවේ අදානිට දීමේ අරමුණින් මේ පනත ඉදිරිපත් වූ බවය. කුමක් වුවත් විදුලිබල වෘත්තිය සංවිධාන තවමත් පවසන්නේ මෙම පනත ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බවය. එහෙත් පාර්ලිමේන්තුව අනුමත කළ පනතක් එලෙස අහෝසි කළ හැකි ද?

මේ දේශපාලන කැළඹිලි මැද්දේ ජනාධිපති රනිල් කොළඹ සිය දේශපාලන මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීම ද සුවිශේෂ සිද්ධියකි. මෙහි ඇඟවුම ඔහු එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. ඔහුගේ උපදේශකවරයකු වන ආශු මාරසිංහ ඒ බවට තහවුරු කිරීමක් ද කළේය. එහෙත් පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිලට අනුව නම් ජනාධිපති රනිල් තරග වැදීම අවිනිශ්චතය. කුමක් වුවත් ජනාධිපති රනිල් මේ මොහොත වනතුරුම ඔහුගේ ඉදිරිපත්වීම සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් කර නැත. ඔහු නිර්පාක්ෂිකව ඉදිරිපත් වන බවට ඔහුගේ සමීපතමයෝ අවධාරණය කරති. පවතින දේශපාලන වාතාවරණය තුළ ඔහු සිටිය හැක්කේ ස.ජ.බයට හා ජා.ජ.බයට පසු පසින් බව ඔහුගේ දේශපාලන විඥානයට දැනෙන හා ප්‍රත්‍යක්ෂ කරුණක් ද වේ. ඔහුගේ පසුබෑමට හේතුව එය ද?

ජනාධිපති රනිල් තවමත් තමන්ට ලැබෙන හැම අවස්ථාවක දීම ප්‍රකාශ කරන්නේ රටේ ආර්ථිකය යහපත් නැති බවය. එසේම තමන් රට බරපතළ අර්බුදයක හිර වී සිටින මොහොතක රට භාරගත් බවය. ඒ හැම අවස්ථාවකම ඔහු කට කොනකින් සිනාසෙමින් සජබය හා ජාජබය එම අසීරු මොහොතේ මඟහැර පැන ගිය බව ද මතක් කරයි. එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණ රට ස්ථාවර කිරීමට තමන්ට හැකි වූ බවද පවසයි. මෙහිදී අපට පෙනෙන තවත් දෙයක් ද ඇත. එනම් ස.ජ.බ. හා ජා.ජ.බ. යන පක්ෂවල ආර්ථික වැඩපිළිවෙළ කුමක්ද යන්න පැහැදිලිව රටට ඉදිරිපත් කර නොතිබීමය. ඇත්තටම අපට මේ අර්බුදයෙන් ගොඩයෑමට ඇති එකම ක්‍රියාදාමය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒ උපදෙස් මත ක්‍රියාකිරීම පමණක් ද? බොහෝ ආර්ථික විශේෂඥයන් පවසන කරුණක් වන්නේ මේ උග්‍ර සමාජ – ආර්ථික ගැටලුවලට නව ලිබරල් ධනවාදය තුළ විසඳුමක් නොමැති බවය. දරිද්‍රතාව උත්සන්න වන ආකාරයත් ඇති නැති භේදය ශීඝ්‍රයෙන් පැතිරයෑමත් අද අප රට මුහුණ දී තිබෙන යථාර්ථය බව ද ඔවුහු පෙන්වා දෙති. රටේ තිබෙන දේශපාලන අස්ථාවර භාවයට විසඳුම් ලබාදිය හැකි සාධනීය ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් රටට ඉදිරිපත් නොවීම පිළිබඳවද ඔවුහු කනස්සල්ලට පත්ව සිටිති.

ඇත්ත වශයෙන් ම රනිල්-මහින්ද සුසංයෝගයෙන් ඇතිවන දේශපාලන හවුලකින් මෙන්ම විවිධ ආකාරයේ සන්ධාන ගොඩනැඟීමෙන් හෝ රට ඉදිරියට යනු ඇතැයි පොදු ජනතාව වුවද විශ්වාස නොකරති. රට තවමත් එදා ජේ.ආර්. ජයවර්ධන විසින් රැගෙන යන ලද දේශපාලන වනාන්තරයේම මංමුලා වී ඇති බව පවසන පිරිස් ද සිටිති. තවත් ප්‍රබල දේශපාලන විවේචනයක් වන්නේ ඉන්දියාවේ තුන්වන වරටත් අගමැති ලෙස පත්වන නරේන්ද්‍ර මෝදිගේ දේශපාලනය විසින් ලංකාවට ද බලපෑම් ඇතිවිය හැකි බවය. අද ජගත් දේශපාලනයෙහි අප දකින එක්දෙයක් නම් ඉන්දීය සම්භවයක් සහිත දේශපාලන චරිතවල භූමිකාවය. බ්‍රිතාන්‍යයේ අගමැති රිසි සුනක් එක්සත් ජනපදයේ උප ජනාධිපති කමලා හැරිස් වැනි නිදසුන් කීපයක්ම ඇත. ඊටත් වඩා ප්‍රබලව තාක්ෂණ ක්ෂේත්‍රයෙහි ඉන්දියානු භූමිකාව ද කැපී පෙනේ. ප්‍රකට සමාගම්වල අධිකාරිත්වය ඔවුන් සතුව තිබේ. ලංකාවේ ද අදානි-අම්බානි වැනි ධනීන්ගේ නම් ගම් ද මැදිහත් වීම් ද සම්බන්ධ විවිධ තොරතුරු ඇසෙයි. මෙවර නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය දීප්තිමත් එකක් නොවන බවක් ද කියති. ඉන්දියාවේ විශිෂ්ට නායකයකු වූ ජවහර්ලාල් නේරු අගමැතිවරයාගේ වාර්තාව සම කිරීමට මෝදි සමත් වුවද ඉන්දියාවට ද අභියෝග කීපයක්ම ඇතැයි විදේශ විත්ති විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ කුමක් වුවත් මෝදි හින්දු ජාතික වාදය අතහැර නොතිබීම ද සුවිශේෂය.

මේ හැර විධායකයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දු හා ප්‍රතිචාර ද සමාජ-දේශපාලන අංශවල අවධානයට ලක්ව තිබේ. හිටපු ජනාධිපතිවරුන් විසින් ජනාධිපති සමාව ලබාදී තිබෙන ආකාරය දෝෂ සහගත බව මේ සතියේ හිටපු ජනාධිපතිවරයකු වූ මෛත්‍රිපාල සිරිසේනට ලබාදුන් තීන්දුවෙන් ද තහවුරු වේ. මීට පෙර ගෝඨාභය විසින් දෙන ලද ජනාධිපති සමාව ද අවලංගු කිරීමට සිදුවිය. මේවා නිසැකයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියන්ගේ ප්‍රසාදයට හේතු වන දේවල්ය. එපමණක් නොව විධායක බලය හොබවන අයට ද මේවායින් කෙරෙන සාධනීය බලපෑමක් ද ඇත. මැතිවරණ කල් දැමීම වැනි ප්‍රජාතන්ත්‍රවාදයට කරනු ලබන සරදම්වලට ද ඉඩක් නැති බව අද තහවුරු වන වැදගත්ම දෙයකි.

advertistmentadvertistment
advertistmentadvertistment