පෙරහර නම් ඕනෑ තරම්ය. දැන් දැන් කොතැනක බැලුවත්, මොනතරම් පුංචි ම සිද්ධියකට වුවත් පෙරහැර කරන උදවිය හැමතැනම දක්නට ඇත. නමුත් මේ පෙරහැර සුවිශේෂීය.

මහනුවර සගම රාජමහා විහාරස්ථානයේ රෝපිත විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා දෙවනපෑතිස් රජ කල පටන් සිදු කළ කිරිබඩ පාත්‍ර පූජා පින්කම අද වනවිට සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ වන පළමු පෙරහැර මංගල්‍යය ලෙස ද සඳහන් වෙයි.

විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරපුර මහා මේඝ වනෝද්‍යානයෙහි රෝපිත වේලෙහි පැණනැංගා වූ අෂ්ට ඵලරුහ බෝධි අංකුරයක් රුහුණු රටට අයත් සඳුන්ගම රෝපණය කිරීමට එහි සිට ආ පිරිස වෙත භාර දෙන ලදි. එකී බෝධි අංකුරය රෝපණය කළ රුහුණු රටට අයත් රටවල් දෙ සැටෙන් එකක් වන්නේ කන්ද උඩරටට යාබද සඳුන්ගම නොහොත් සගම් රට චන්දනගාමය යි. වර්තමානයේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බූටාවත්ත දකුණ ග්‍රාමනිලධාරී වසමේ මෙය පිහිටා ඇත.

අලුත් සහල් මංගල්‍යය සඳහා භාවිත වන විශාල පාත්‍ර (කිරිබඩ පාත්‍ර) දිවයිනේ බොහෝ පැරණි වෙහෙර විහාරස්ථානවල කෞතුක භාණ්ඩ ලෙස දක්නට ඇතත් සක්‍රිය ලෙස පුද පූජාවන් වෙනුවෙන් යොදා ගැනෙන්නේ අනුරපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, මහනුවර ශ්‍රී දළදා මාලිගයේ සහ සගම රජ මහා විහාරස්ථානයේ පමණකි. එයිනුදු සැකසූ දානය පිරි පාත්‍රයක් සැදැහැතියන්ගේ කරමතින් වඩම්මවා පූජා කරන්නේ සගම කිරිබඩ පාත්‍ර පූජා පෙරහැරේ පමණක් ම වීම ද සුවිශේෂී කරුණකි. අනුරපුර යුගයේ අෂ්ට ඵලරුහ බෝධි රෝපණයෙන් ඇරඹි සගම රජ මහා විහාරස්ථානයේ ගම්පොළ යුගයේ දී සහ මහනුවර යුගයේ දී රාජ අනුග්‍රහයෙන් නව විහාරාංග ඉදි කර ඇති අතර කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන්ගේ අනුග්‍රහය මත ලංකාවේ උපසම්පදාව යළි පිහිටුවූ පසු වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජහිමියන්ගේ ශිෂ්‍ය පරපුරෙන් පැවතෙන අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් ප්‍රධාන විහාරස්ථානයක් ලෙසත්, පිරිවෙන් අධ්‍යාපනයේ දී අකුරු හුරුව සඳහා භාවිත වන ලංකාවේ රජ මහා විහාර නාමාවලිය හෙවත් “විහාර අස්නෙහි” පළමුව සඳහන් විහාරස්ථානය ලෙසත් සගම විහාරස්ථානයට ප්‍රමුඛත්වයක් හිමි වෙයි.

කිරිබඩ පාත්‍ර පූජා පෙරහැර

ලංකාවටම එකයි…සිංහල අවුරුද්දේ සගම කිරිබඩ පාත්‍ර පූජා පෙරහැර

කපුලියද්ද, ගොඩමුන්න, බූටාවත්ත, නුගලියද්ද, මැදගම සහ සපුතලාගම යන ගම්මාන හයක ප්‍රධාන සිද්ධස්ථානය ලෙස පැවැති සගම විහාරස්ථානයේ කිරිබඩ පාත්‍ර පූජා පින්කම මෙම සියලු ගම්මාන එක් ව මුල්කාලයේ දී පවත්වා ඇතත් පසුව මැදගම සහ සපුතලාගම් ඉවත්ව ඉතිරි ගම්මාන එක්ව පෙරහැර පවත්වා ඇත. යටත් විජිත සමයේ දී ලබාදුන් අධිකරණ තීන්දුවකට අනුව කපුලියද්ද, ගොඩමුන්න සහ බූටාවත්ත, නුගලියද්ද ලෙස ගම්මාන යුගල දෙකක් වර්තමානයේ දී මෙම පෙරහැර පවත්වයි. සිංහල අලුත් අවුරුද්ද ගෙවී තුන් දිනකින් ආරම්භ වන පළමු පෙරහැර කපුලියද්ද සහ ගොඩමුන්න ගම් දෙක දින හතක් පැවැත්වූ පසු අටවැනි දින සිට දින හතක් බූටාවත්ත සහ නුගලියද්ද දෙගම්වැසියෝ පෙරහැර පවත්වති.

මෙම පෙරහැර ඊට ම අදාළ වූ චාරිත්‍ර වාරිත්‍ර ගොන්නක් ලෙස සහ අනන්‍ය සංස්කෘතිකාංග රැසක එකතුවක් ලෙස හැඳින්වීම වරදක් නො වේ. පෙරහැර කටයුතු වෙනුවෙන් ම සැකසුණු පුරාණ ධර්මශාලා හතරක් ඉහත කී ගම්මානවල දක්නට ලැබෙන අතර “බණගේ” නමින් ගම්වැසියෝ ඒවා පහසුවට හඳුන්වති.

මෙම පෙරහැර මල් පින්කම, හම්බා කෙටීම, පාත්‍ර කථිකාව, දංකත් මාරුව නොහොත් “බුදු මඟුල්” පෙරහැර, පාත්‍රාරාධනය, දානය සැකසීම, කිරිබඩ පාත්‍ර පූජා පෙරහැර ලෙස ප්‍රධාන අංගයන් කිහිපයක් අයත් පින්කම් මාලාවක එකතුවකි.

මල් පින්කම

සිංහල අලුත් අවුරුද්ද ගෙවී තුන්වැනි දින සවස ගමේ ධර්මශාලාවට සුදුවතින් සැරසී මල් යොදා අලංකාරවත් ලෙස සකසා ගත් මල්, කොඩි, මල් වට්ටි රැගෙන පැමිණෙන ලොකු කුඩා ගම්වැසියන් හේවිසි ශබ්ද පූජා, බෞද්ධ ධජ පෙරටුව උඩුවියන් සහිතව ගිලන්පස සහිත හේමකද සගම විහාරයට වඩම්මවා පුරා දින පහක් පවත්වන ගිලන්පස පූජාව මල් පින්කම ලෙස හඳුන්වයි.

හම්බා කෙටීම

දානය සඳහා අවශ්‍ය සහල් සකසා ගැනීමට වී කෙටීම “හම්බා කෙටීම” නැත හොත් හම්බා රාජකාරියයි. මහ කන්නයේ අස්වැන්න නෙළාගැනීමේ දී කමතේ දී ම බුද්ධ භෝගය හෝ අක්යාල ලෙස කොටසක් කිරිබඩ පාත්‍ර දානය වෙනුවෙන් වෙන් කිරීම මෙගම් වැසියන්ගේ සිරිතයි. පෙරහැරට සහභාගී වන ශිල්පීන්ට ආහාර සැකසීම වෙනුවෙන් සහල් සහ පෙරහැර වෙනුවෙන් ආධාර මුදල් ගමේ ධර්මශාලාවට ගෙනැවිත් පෙරහැර සංවිධායකයන් වෙත භාර දෙන අතර මල් පින්කමින් දින හතරක් ගෙවී පස්වැනි දින උදෑසන නා පිරිසිදුව සුදුවතින් සැරසී ධර්මශාලාවට එකතු වන පිරිස එකතු වුණු වී සියල්ල කලවම් කර වී බුසල් පහක් වෙන් කර හම්බා කෙටීමට භාවිත කරන “වී ඔරුව” මණ්ඩපය මධ්‍යයේ තබා උඩුවියන් බැඳ කහ දියර ඉස, ගෙලෙහි ගොප් රැහැන් බැඳ පිරුවට හැඳ, සඳුන් කිරිපැන් තිලක තබා සූදානම් වෙති. මෙම කාර්යයට පිරිමින් පමණක් සහභාගී වන අතර ජනසම්මත කිලිවලින් වැළකී ඉතා පිරිසිදුව එක් වීම සිරිතකි. සගම විහාරස්ථානයෙන් වඩම්මවාගෙන එනු ලබන ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් පිරිස පංචශීලයේ පිහිටුවා සෙත්පිරිත් දේශනයෙන් හා කෙටි අනුශාසනයකින් පසු මංගල භේරීනාද පවත්වා පොල් ගෙඩියක් බිඳ,

‘තාන තනා තම්දෙනා තම්දනානා
තෙයිතන තනා තම්දෙනා තම්දනානා
ඉර දෙවියන්ගේ ඉරගල ගාවා
සඳ දෙවියන්ගේ සඳගල ගාවා
ගණ දෙවියන්ගේ කෝවිල ගාවා
අපිත් කොටමු වී බණගේ ගාවා’

ලෙස මේ ගම්මානවලට ආවේණික හම්බා කෙටීමේ කවි ගායනය කරමින් තාලයකට පාද තබමින් බෙරපද තාලයට හම්බා කොටනු ලබයි. හම්බා කොටා සකසාගත් සහල් සේරු 40ක් පමණ දානය සඳහා වෙන් කර ගනී.

පාත්‍ර කථිකාව

හම්බා රාජකාරියෙන් පසුව අවසන් මල්පෙරහැර සගම විහාරස්ථානයට ගෙවදී. ගිලන්පස පූජාවෙන් අනතුරුව වාර්ෂිකව තට්ටුමාරු ක්‍රමයට වෙන් කර ගන්නා සගම පැරණි බුද්ධ මන්දිරයේ තැන්පත් කර ඇති බුදුරඳුන් වෙනුවෙන් නම් කර ඇති සේරු තිස්දෙකක් පමණ ප්‍රමාණයේ පාත්‍රයත් සේරු 40ක පමණ මඳක් විශාල ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් පූජා කෙරෙන දෙවියන් වෙනුවෙන් වෙන් කර ඇති පාත්‍රයත් කථිකාවෙන් බෙදා වෙන් කර ගනියි. එනමුදු ගමේ ධර්මශාලාව ආසන්නයේ කිසියම් ජනසම්මත කිලිගෙයක් ඇත්නම් ඒ බව පවසා දෙවියන්ගේ පාත්‍රය හිමි ගම්මානයකට බුදුරඳුන්ගේ පාත්‍රය ඉල්ලීමට හැකියාව ඇත.

දංකත් මාරුව නොහොත් බුදුමඟුල් පෙරහැර

සය වැනි දිනය පෙරහැරේ විචිත්‍රත්වයෙන් ඉහළ ම දිනයයි. අලි ඇත්තු විවිධ නර්තන කණ්ඩායම් සධාතුක කරඬුව සහිත මහ පෙරහැරේ විචිත්‍ර බව වර්ධනය කරති. සම්බුදු තෙමඟුල සිහිපත් කිරීමක් ලෙස බුදුමඟුල් පෙරහැර ලෙසත් මෙය හඳුන්වනු ලැබේ. දෙගම්වැසියන්ගේ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සිංහල අලුත් අ්වුරුද්දට කදමලු බැඳ තෑගි භෝග රැගෙන නෑගම් ගියා සේ ම සකසාගත් හම්බා සේරු පහක්, පොල්ගෙඩි පහක්, තුනපහ දුරු මිරිස්, ලුණු, පැණි මුලක් (බෝතලයක්) සහ කෙසෙල් කැනක් කද බැඳ සකසාගත් “දං කද” හස්තියකු පිට උඩුවියන් සහිත ව මහ පෙරහැරකින් නෑගම් යන්නේ ලෝකයේ ම මේ ගම්මාන හතරේ පමණි.

කසකරුවන්, සිංහ ධජය, හේවාහැටට අයත් මහා රාවණා ධජය, බෞද්ධ ධජ, සන්නස සහිත පෙරමුණේ රාල රැගත් හස්තියා, හේවිසි කණ්ඩායම, ගජනායක නිලමේ රැගත් හස්තියා, නර්තන කණ්ඩායම, තුම්මල් ගෙය රැගත් රථය, නර්තන කණ්ඩායම, දංකද සහිත රාජකාරිකරුවන් රැගත් හස්තියා, උඩරට වෙස් නර්තන කණ්ඩායම, පෙරහැර කරඬුව වඩම්මවන හස්තියා, වෙස් නර්තන කණ්ඩායම, නිලමෙවරුන් සහ ගම්වැසියන් ලෙස ගම්මාන දෙකෙහි පෙරහැර දෙකක් පෙළගැසෙයි. වර්ෂයෙන් වර්ෂය අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් ප්‍රමාණය වැඩි වීමෙන් පෙරහැර අලංකාර වෙයි. දෙවියන්ගේ පාත්‍රය හිමි වූ ගම්මානයේ පෙරහැර බුදුරදුන්ගේ පාත්‍රය හිමි වූ ගම්මානය වෙත පැමිණ දංකද භාර දෙයි. එම පෙරහැර පෙරටු කොටගෙන තම ගම්මානය වෙත ඔවුන් පෙරහැරෙන් වඩම්මවයි. දංකද භාරගෙන පෙරහැර ද්විත්වය සගම විහාර මළුවට ගෙවදී. තම ගම්මානයට හිමි පාත්‍ර එළියට වඩම්මවා ජලයෙන් දෙහි ඇඹුලෙන් සෝදා පිරිසිදු කොට සඳුන් කිරිපැන් ඉස පැරණි විහාර මන්දිරයේ පිළිම වහන්සේ ඉදිරියේ තැන්පත් කර පිරුවටයකින් වසා ඒ මත බුලත් පඬුරු පුදා ගිලන්පස පූජාවෙන් අනතුරුව බුදුමඟුල් පෙරහැර සහ පාත්‍රාරාධනය අවසන් වෙයි.

දානය සැකසීම

බුදුමඟුල් පෙරහැර අවසන් වූ දින රාත්‍රී 9:30ට පමණ ගමේ දායකයෝ දානය පිසීමට අවැසි දර මිටියක් රැගෙන ගමේ ධර්මශාලාවට එක් වෙති. මේ අවස්ථාවට දානය පිසීමට හැකියාවැති පිරිමි කිහිපදෙනකු පමණක් සහභාගී වන අතර අන් අය වෙනුවෙන් තුන්යම් රාත්‍රිය පුරා ධර්මශාලාවේ නර්තන සන්දර්ශනයන් පැවැත් වෙයි. දානය වෙනුවෙන් අලුත් සහල් බත්, හත්මාලුව, බටු, ගෝවා සහ දංකදේ ගෙනෙන මාළු, කෙසෙල් වෑංජන ලෙස සකසයි. අවුල්පත් ලෙස කිරි රොටී සහ හැඳි කැවුම් සාදයි. ඊට අවශ්‍ය පැණි දංකදෙන් ලැබෙන අතර සහල් පොඟවා කොටා පිටිත් පොල්සිඳ තෙල් සකසා ගෙන කැවුම් සෑදීමට හා වෑංජන තෙම්පරාදු සකසා ගනී. තෙල් කහ ද දානය වෙනුවෙන් පූජා කරයි, පසු දා අලුයම 4:30ට පමණ දානය සකසා තබා විහාරස්ථානය වෙත ගොස් නායක හිමියන්ගේ අවසරයෙන් තම ගම්මානයට අයත් පාත්‍රය කුඩා පෙරහරකින් කදබැඳ ධර්මශාලාව වෙත වඩම්මවා මෙම පෙරහැර තුළ පමණක් ම දක්නට ලැබෙන ශක්තිමත් දණ්ඩියම් හතරක් මගින් ඔසවාගෙන යෑමට හැකි ලෙස ලීයෙන් සකසා පිත්තල තහඩුවලින් අලංකාර කර ඇති පාත්‍රය වඩම්ම වීමට සකසා ඇති “දේවාගෙය” මත පාත්‍රය තබා උදෑසනින් ම මංගල භේරීනාද පවත්වා හේවිසි නද මැද සකසාගත් දානය පාත්‍රයට පුරවා පෙරවරු 10.00ට පමණ කොඩි, සේසත්, නර්තන කණ්ඩායම්, අලි ඇතුන් සහ පෙරහැර කරඬුව ප්‍රමුඛව මහ පෙරහරින් සාධු නද මධ්‍යයේ සැදැහැති ජනයාගේ කරමතින් සගම රජ මහා විහාරස්ථානය වෙත කිරිබඩ පාත්‍රය වඩම්මවාගෙන එනු ලබයි. සගම විහාරස්ථානය ආසන්නයට දෙගම්වැසි පෙරහැර පැමිණි පසු බුදුරදුන්ගේ පාත්‍රය පළමුවත් දෙවියන්ගේ පාත්‍රය අනතුරුවත් මළුවට වඩම්මවා පැරණි විහාර මන්දිරයට සහ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත් පූජා කොට තේවාවන් පවත්වා නායක හිමිපාණන් වහන්සේ විසින් පූජාවන් පවත්වා සියලු දෙවියන්ට හා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කර දෙගම්වැසියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමෙන් හා පෙරහැර කරවා නිම කළ බව සන්නස් පත්‍රයක් මගින් නාහිමියන් වෙත භාර දීමෙන් පසු දෙගම්වැසියන් ආචාර සමාචාර කර ගැනීමෙන් මෙම උතුම් පින්කම නිමාවට පත් වෙයි.

2024 වර්ෂයේ දී පුරාණ සිරිත් ප්‍රකාරව අප්‍රේල් මස 15 වැනි දින ඇරඹි කිරිබඩ පාත්‍ර පූජා පෙරහැර අප්‍රේල් මස 28 වැනි දින දක්වා පුරා දින දාහතරක් අනන්‍ය සංස්කෘතිකාංග සිරිත් විරිත් නො නැසී පවත්වා ගනිමින් අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් ගණනාවක් සහභාගී කරගෙන සිද්ධ කළා සේ ම ඉදිරි වර්ෂවල දී මෙම පින්කම සාර්ථකව කර ගැනීමට කටයුතු කරන බව සගම රාජ මහා විහාරස්ථානය ප්‍රධාන විහාර ගණයේ විහාරාධීශ්වර, සගම ශ්‍රී ගුණරතන පිරිවෙන් කෘත්‍යධිකාරී සහ ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ ප්‍රධානාචාර්ය, සගම සමාධි අරණෙහි නිර්මාතෘ පාතහේවාහැට ප්‍රධාන අධිකරණ සංඝනායක දර්ශනපති අධ්‍යාපන විශාරද පූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර නාපානේ විජිතාභිධාන නාහිමිපාණෝ ප්‍රකාශ කරති. එමෙන්ම මේ ගම්මානයන්හි සශ්‍රීක බව වර්ධනය කර ගැනීමටත් වසෙන් විසෙන් තොර ආහාරයන් තමන් ම සකසා ගැනීමේ අරමුණ පෙරදැරිව පුරන්ව ඇති සෑම බිම් අඟලක්ම වගා කිරීමට උනන්දු වන ලෙසත්, වසර දහස් ගණනක් අඛණ්ඩව පවත්වාගෙන ආ අව්වට, වැස්සට, සුළඟට ආදි ස්වභාව ධර්මයට හා අප සුරකින දෙවියන්ට පින් දෙන මෙම උතුම් කෘතගුණ සැලකීමේ පින්කම ඉදිරියට නො නැසී පවත්වාගෙන යෑමට බාල, තරුණ, මහලු සියලුදෙනාට තුණුරුවනේ පිහිට සහ සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබී තව චිරාත් කාලයක් මෙවැනි වටිනා පින්කම් නොනැසී පවත්වාගෙන යෑමට ආසිරි පතන බව උන්වහන්සේ පවසති.

සමන්ති වීරසේකර


advertistmentadvertistment