තරගාවලියට ඉදිරිපත් වෙච්ච ක්‍රීඩිකාවන් 10න් 8කට පදක්කම්…

සතියක් නතර වෙලා ඉඳලා තියෙන්නෙ පන්සලක බණ මඩුවක…

ගැහැනු-පිරිමි ළමයි නිදාගෙන තියෙන්නෙ ඩෙස්-බංකුවලින් වෙන් කරගෙන…

සීලරතනෙ ළමයි බොක්සිං වළල්ලක් දැකලවත් තිබිලා නෑ…

සීලරතන විද්‍යාලයට ක්‍රීඩා පුහුණු ගුරුවරයෙක් නෑ…

සීලරතනෙ බොක්සිං ජාත්‍යන්තරයට ගෙනියන්න කැමැති අය එකතු වෙන්න…

සමස්ත ලංකා එල්. වී. ජයවීර සහ ඩොනල්ඩ් මුණසිංහ ආධුනික බොක්සිං තරගාවලිය පසුගිය දිනවල නුවර, පිළිමතලාව ධීරානන්ද මහා විද්‍යාලයේදී පැවැත්විණි. පාසල් 180ක පමණ තරගකරුවන් සහ තරගකාරිනියන් 550කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වී සිටි, 2025 පහළොවෙන් පහළ බොක්සිං තරගාවලියේ ඩොනල්ඩ් මුණසිංහ කුසලානය ජයග්‍රහණය කර ඇත්තේ, බප/හො/ දොඹගොඩ සීලරතන විද්‍යාලයේ ක්‍රීඩිකාවන් ය.

ලංකාවම උස්සලා තිබ්බ සීලරතනේ බොක්සිං...බණ මඩුවක නතර වී රටට කීර්තිය ගෙනෙන දරුවෝ

ක්‍රීඩා කාමරය

අත්මිට භාවිතයෙන් කෙරෙන ප්‍රතිවාදි තරගයේදී තරගාවලියේ වීරයා වනුයේ, ප්‍රතිවාදියා බිම හෙළීමෙනි. සීලරතන විද්‍යාලයෙන් ඉදිරිපත් වූ ක්‍රීඩිකාවන් තිදෙනෙක් ප්‍රතිවාදීන්ට දැඩිව පහර එල්ල කොට බිම හෙළා ප්‍රථම ස්ථානය දිනා ගෙන තිබේ. ක්‍රීඩිකාවන් දෙදෙනෙක් දෙවැනි ස්ථානයට පත්ව තිබේ. ක්‍රීඩිකාවන් තිදෙනෙක් තෙවැනි ස්ථාන ලබාගෙන තිබේ. තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පස්වැනි ස්ථාන ලබාගෙන තිබේ. එක් ක්‍රීඩකයෙක් දෙවැනි ස්ථානය දිනාගෙන ඇති අතර තවත් ක්‍රීඩකයෙක් තෙවැනි ස්ථානය දිනා ගත්තේ ය. ක්‍රීඩකයන් තිදෙනෙක් පස්වැනි ස්ථාන හිමි කරගෙන තිබේ. සීලරතන විද්‍යාලයෙන් එම තරගාවලියට ඉදිරිපත් වූ ක්‍රීඩිකාවන් 10න් අටදෙනකු ජයග්‍රහණ ලබාගෙන තිබේ. ක්‍රීඩකයන් 5 දෙනාගෙන් දෙදෙනෙක් දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි කරගෙන තිබේ.

ලංකාවම උස්සලා තිබ්බ සීලරතනේ බොක්සිං...බණ මඩුවක නතර වී රටට කීර්තිය ගෙනෙන දරුවෝ

සිතුමි, විරාජ්, සුපුන්

බොක්සිං යනු, මිනිසාගේ කාය ශක්තිය උරගා බලන ක්‍රීඩාවකි. විශේෂයෙන්ම මෙහිදී ප්‍රධාන වනුයේ බාහු ශක්තියයි. සීලරතන විද්‍යාලයේ ළමයින්ගේ ආහාර වේලට මස්, මාළු, බිත්තර නිතර නොලැබුණ ද කොස්, දෙල් යනාදී ගමේ කෑම කා ඔවුන්ගේ අත්දඬු පමණක් නොව, සිත ද ශක්තිමත් බව සුපුන් විජේමාන්න අප සමග පැවසුවේ ය. මේ වන විට ක්‍රීඩා ගුරුවරයෙක් නොමැති සීලරතන විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු ඔහු ය. ප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩකයෙක් වන ඔහුගේ දක්‍ෂතා උපරිම පාවිච්චි කරමින් දක්‍ෂ බොක්සිං ක්‍රීඩකයන් රාශියක් මේ වන විටත් නිර්මාණය කර ඇති බව සීලරතන විද්‍යාලයේ විදුහල්පති රවීන්ද්‍ර කුමාර මහතා අප සමග පැවසුවේ ය. විදුහල්පතිවරයාගේ මුවින් ඒ වචන ගිලිහෙන විට හොරණ කලාපයට සමස්ත ලංකා බොක්සිං ජයග්‍රහණයක් ලබාගැනීමට අඩිතාලම සැකසූ 38 හැවිරිදි සුපුන් විජේමාන්න දෙසට අපි යොමු වීමු. මේ ඔහුගේ හඬය.

ලංකාවම උස්සලා තිබ්බ සීලරතනේ බොක්සිං...බණ මඩුවක නතර වී රටට කීර්තිය ගෙනෙන දරුවෝ
විදුහල්පති රවින්ද්‍ර කුමාර

“මෙරවර තරගාවලියට හොරණ කලාපයෙන් ඉදිරිපත් වෙච්ච දුප්පත්ම ළමයි කණ්ඩායම තමයි අපි අරගෙන ගියේ. පිළිමතලාවට අපි ගියේ කොච්චියේ. ලැගුම්හලක නතර වෙන්න වත්කමක් තිබුණේ නෑ. දුම්රියෙන් බැහැලා නතර වෙන්න පන්සලක් හොයනකොට පිළිමතලාවේ දුම්රිය ස්ථානාධිපති පරණාගම රජමහ විහාරය සම්බන්ධ කර දුන්නා. තරග පැවැත්වුණු ධීරානන්ද පාසලට මීටර් 500ක් වගේ දුරින් පිහිටි පරණාගම විහාරස්ථානයේ නතර වෙන්න අපිට අවස්ථා ලැබුණා. මහ ලොකු පහසුකම් තිබුණේ නෑ. අපි හැමෝටම ඉන්න වුණේ බණ මඩුවේ. ශාලාව සුද්ද පවිත්‍ර කරගෙන ගැහැනු – පිරිමි ළමයින්ගේ නිදන ස්ථානය වෙන් කරගත්තෙ ඩෙස් – බංකුවලින්. ගැහැනු ළමයින්ට ඇඳුම් මාරු කරන ස්ථානයක් පිළියෙල කරගත්තෙ ඉටි කොළවලින් ආවරණය කරලා. ළමයි නිදාගත්තේ පැදුරු, කාඩ්බෝඩ් එළාගෙන. කෑම පිළියෙල කළෙත් අපිමයි. ක්‍රීඩා කරන ළමයින්ට තුන් වේලටම මස්, මාළු හෝ බිත්තර එක්ක පෝෂ්‍යදායි ආහාර වේලක් දීලා අපි සාමාන්‍ය විදිහට කෑවා. ප්‍රධාන කෑම්වලට අමතරව ළමයින්ට දුන්න කොමඩු ජූස් එකවත් අපි බිව්වේ නෑ. පුළුවන් තරම් වියදම අඩු කරගන්න අපි සරල වුණා. තාත්තලා දෙදෙනෙක්, අම්මලා හතරදෙනෙක් අපිත් එක්ක ගිහින් හිටියා. කෑම පිළියෙල කිරීමේදී වෙනත් කටයුතුවලදී ඒ අය උපරිමයෙන් සහයෝගය දුන්නා…”

විහාරස්ථානයේ කැඩුණු බිඳුණු වතුර ටැප්, ලයිට් හදාගෙන, වැසිකිළි – කැසිකිළි පිරිසිදු කරගෙන නිදහසේ ඉන්න පුළුවන්කම තිබුණා. පරණාගම රජමහ විහාරයේ නායක හාමුදුරුවෝ කොට්ට, පැදුරු ටිකත් අපිට දුන්නා. උන්වහන්සේට ලැබෙන දානයෙන් ඉතිරි වෙන කෑමත් අපේ ළමයින්ට දුන්නා. අපි නතර වෙලා ඉන්න නිසා පන්සලේ දහම් පාසලටත් නිවාඩු දුන්නා. නායක හාමුදුරුවෝ හරිම කරුණාවන්තයි. පොඩි දෙනමත් ඒ වගේම කරුණාවන්තයි. පන්සලේ දායකයොත් විටින් විට ඇවිත් අපිට අඩුපාඩු තියෙනවද කියලා සොයා බැලුවා. ආගන්තුක සද්කාර උපරිමයෙන් ලැබුණා. උදේ පාන්දර 4.30ට අවදිවෙච්ච ළමයිත් ව්‍යායාම කර, පන්සල් වත්ත පිරිසිදු කර, බුදුන් වැඳලා තමයි තරග බිමට ගියේ. හවසට අපි සියලුදෙනා එකතු වෙලා බෝධි පූජා පැවැත්වුවා. ඒ දවස් කිහිපයේ අපි හැමෝම දැහැමි දිවිපෙවෙතක් ගත කළා. මේ ජයග්‍රහණයට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයත් නොඅඩුව ලැබුණ කියලා මට හිතෙනවා. අපිට ලොකුම බාධාව වුණේ කූඩැල්ලො. අපේ කණ්ඩායමේ සියලුදෙනාවම කූඩැල්ලො කෑවා. පන්සල් වත්තේ විතරක් නෙමෙයි, ධීරානන්ද පාසලට යන පාරෙත් කූඩැල්ලො පොකුරු පිටින් හිටියා. උන් කෑවම හරිම විෂයි. ඒ වගේම වැස්ස දවස්වලට තරග අවසාන වෙලා පන්සලට එන්න බැරිව පැය ගණන් ඉන්න වුණා. ත්‍රීවීල්වල එන්නවත් අපිට යහමින් මුදල් තිබුණේ නෑ. ඒ සියලු කැපකිරීම්වල අවසානයේ ප්‍රතිඵලය අතිවිශිෂ්ටයි. ඒ නිසා අපි හැමෝම සතුටින් ඉන්නේ…” පුහුණුකරු සුපුන්, ක්‍රීඩා භාර ගුරුතුමිය සිතුමි සිරිමාන්න, සංවර්ධන නිලධාරි විරාජ් රණවීර සහ මවුපියන් ඇතුළුව බොක්සිං තරගාවලියට සහභාගි වී ඇති සම්පූර්ණ කණ්ඩායම තිස්දෙනෙකි. ශ්‍රීපාලි විද්‍යාලයේ ළමයි 5 දෙනෙක් ඇතුළුව දොඹගොඩ සීලරතන විද්‍යාලයේ ළමයි 17 දෙනෙක් එම කණ්ඩායමට ඇතුළත් වී සිටිති.

ලංකාවම උස්සලා තිබ්බ සීලරතනේ බොක්සිං...බණ මඩුවක නතර වී රටට කීර්තිය ගෙනෙන දරුවෝ
ඉරී හැළෙන පන්චින් බෑගය..

ඇමෙරිකානු කළු ජාතිකයකු වූ මයික් ටයිසන් නම් යකඩ මිනිසාගේ ක්‍රීඩා විලාසය අනුගමනය කළ සීලරතන විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ප්‍රතිවාදීන්ට ලේ හැලෙන්න පහර දුන්හ. ආනන්ද, නාලන්ද, විශාඛා ඇතුළු කොළඹ සියලුම ජනප්‍රිය පාසල් මෙන්ම ධර්මරාජ, කිංස්වුඩ්, පිළිමතලාව ජාතික පාසල, විද්‍යාර්ථිය ඇතුළු බොක්සිං ආදිපත්‍ය හිමි කරගෙන සිටි මහනුවර පාසල්වල ක්‍රීඩිකාවන්ට වැටුණු විට නැඟිටගන්න බැරි වන තරමට පහර දුන් සීලරතන තගකාරිනියන් බොක්සිං වළල්ලෙ ආදිපත්‍ය ඔවුහු සතු කර ගත්හ. බොක්සිං ක්‍රීඩාවට නම් දරා සිටින විද්‍යාරත්නය, ඉංගිරිය ගාමිණි, තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, දොම් පේදිරික් මහා විද්‍යාලය ඇතුළු එම තරගාවලියට සහභාගි වූ හොරණ කලාපයේ පාසල් අටක් අතරින් දොඹගොඩ සීලරතන විද්‍යාලය බොක්සිං ශ්‍රේණිගත කිරීම්වල මෙරට අංක එකේ පාසල බවට පත් වී තිබේ. බොක්සිං ක්‍රීඩාව ආරම්භ කර වසර තුනක් වැනි කෙටි කාලය තුළ තරගාවලි 09කට ඉදිරිපත් වී සිටින දොඹගොඩ සීලරතන විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන්, රීදි, ලෝකඩ පදක්කම් ජයග්‍රහණය නොකෙරූ එකදු තරගාවලියක් හෝ නොමැත. ඉදිරිපත් වූ සෑම තරගාවලියකදීම ඔවුන් ජයග්‍රහණ ලබාගෙන තිබේ.

6 වසර පන්තියේ සිට උසස් පෙළ කලා, වාණිජ්‍යය දක්වා පන්ති පැවැත්වෙන ළමයි 321ක් අධ්‍යාපනය ලබන 32කින් යුත් ගුරු මණ්ඩලයකින් සමන්විත සීලරතන විද්‍යාලයේ භෞතික සම්පත්වලින් අඩුවක් නොමැති බව පෙනේ. හොරණ කලාපයේ විශාලතම ක්‍රීඩා පිටිය පිහිටා තිබෙන්නේ ද සීලරතන විද්‍යාලයේ ය. බොක්සිංවලට පමණක් නොව ක්‍රිකට්, වොලිබෝල්, එල්ලෙ ඇතුළු කණ්ඩායම් තරගවලට ද එම පාසල නම් දරා සිටින බව වාර්තා වේ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලින් සමත්වීම ද සාමාන්‍ය මට්ටමක තිබේ. එහෙත් එම පාසලේ අධ්‍යාපන ලබන ළමයි බහුතරය ප්‍රදේශයේ දුප්පත් පවුල්වල දරුවන් ය. හොරණ ජනප්‍රිය පාසල්වලට ඇතුළත්වීමට අවස්ථාවක් නොමැති ළමයින් ය. ඇතැම් ළමයින්ගේ කුසට තුන්වේල ආහරක් නොවැටෙන බව විටින් විට වාර්තා වන බව විදුහල්පතිවරයා අප සමග පැවසුවේ දැඩි සංවේගයෙනි. එවැනි අසරණ දරුවන්ගේ දෙමව්පියන්ගෙන් පාසලට උපකාරයක් බලාපොරොත්තු විය නොහැකි බව ද හේ, පැවසී ය.

“මුලින්ම අපි තරගාවලියේ වියදම ඇස්තුමෙන්තු ගත කළා. රුපියල් 256,500ක මුදලක් අවශ්‍ය වුණා. ඒත් පාසලෙන් දෙන්න පුළුවන් වුණේ රුපියල් 30,000යි. ඉතිරි මුදල් ටික තරගාවලියට සහභාගි වෙන ළමයින්ගේ දෙමවුපියන්ගෙන් එකතු කරන්න වුණා. ඒත් එකතු වුණේ රුපියල් ලක්‍ෂ දෙකක් වගේ මුදලක්. ඒ මුදල් ටික පරිස්සමට වියදම් කරගෙන තරගාවලියත් ජයග්‍රහණය කරගෙන එන්න අපේ කණ්ඩායම සමත්වීම අපේ පාසලට විතරක් නෙමෙයි හොරණ කලාපයටම ආඩම්බරයක්. සමස්ත ලංකා ජයග්‍රහණය ගැන දොඹගොඩ ගම්වාසීන් මහ ඉහළින් අගය කරනවා. ළමයින්ව පිළිගන්න ලොකු පිළිගැනීමේ උත්සවයක් පවත්වන්න ගම්වාසීන් මට යෝජනා කළා. ජයග්‍රාහී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රථ පෙළපාළියකින් පාසලට රැගෙන එන්න අපි සැලසුම් කළා. ඒත් රථ පෙළපාළියක් පවත්වන්න කලාපයෙන් අවසර දුන්නෙ නෑ. ඒ නිසා දොඹගොඩ හන්දියේ ඉඳලා නැටුම් – ගැයුම් පෙරටු කරගෙන ළමයි රැගෙන එන්න අපී තිරණය කළා…” පිළිගැනීමේ උත්සවයේ සංවිධාන කටයුතු අධීක්‍ෂණය කරමින් සිටි රවින්ද්‍ර කුමාර විදුහල්පතිවරයා දැඩි කාර්යබහුලත්වයකින් සිටින බව පෙනේ. ඒ බව නොපෙන්වමින් පාසලේ ගැටලු, කලාපයෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි මෙන්ම ළමයින්ගේ හපන්කම් ඔහු හොඳින් පැහැදිලි කළේ ය.

ලංකාවම උස්සලා තිබ්බ සීලරතනේ බොක්සිං...බණ මඩුවක නතර වී රටට කීර්තිය ගෙනෙන දරුවෝ

අබලන් අත් ආවරණ…

සමස්ත ලංකා බොක්සිං තරගාවලියට ඉදිරිපත් වීමට පෙර බොක්සිං වළල්ලක් නොදැක සිටි ළමයින් පුහුණුවීම් කරන පුංචි කාමරය දුටු විට මගේ දෙනෙත් නළලට ඉස්සිණි. පිළිවෙළක් නැති කාමරයේ ගෑනු ළමයින්ට ඇඳුම් මාරු කරගැනීමටවත් හරි හැටි තැනක් නැත. වහලේ එල්ලා තිබුණු පන්චින් බෑග් දෙකෙන් එකක් පරිත්‍යාග කර ඇත්තේ බොක්සිං පුහුණුකරු සුපුන් ය. ක්‍රීඩක – ක්‍රීඩිකාවන් පුහුණුවීම් කරන අත් ආවරණ, ආරක්‍ෂිත හිස් පලඳනා පාවිච්චියට ගත නොහැකි තරමට අබලන් ය. එහෙත් අලුත් උපකරණ ලබාදීමට සීලරතන විද්‍යාලයට ආර්ථික ශක්තියක් නොමැත. තම දරුවන්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ කට්ටලයක් ලබාදීමට මවුපියන්ට වත්කමක් නැත. සීලරතන විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දුප්පත් දරුවන්ට ගොඩයෑමට නම් අධ්‍යාපනයෙන් හෝ ක්‍රීඩා කුසලතාවලින් ඉදිරියට යා යුතුම ය. ඒ බව අවබෝධ කරගෙන සිටින විදුහල්පතිවරයා, සාමාන්‍ය පෙළ විභාගය අසමත් වන ළමයින්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව එම පාසලේ සංවර්ධන නිලධාරි විරාජ් රණවීර අප සමග පැවසුවේ ය. බාධක මැදින් සතුට සොයා පියාඹන සීලරතන විද්‍යාලයේ ළමයින්ගේ දක්‍ෂතා ගැන කතා කරන විට ප්‍රථමවරට මෙරටින් විනිශ්යකාරිනියක් ලෙස ජාත්‍යන්තර බොක්සිං තරග පිටියට එකතු වූ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂා නෙල්කා ශිරෝමාලා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණු වචන කිහිපයක් මගේ මතකයට නැඟිණි.

“පාසල් කාලේ ඉඳල මම ක්‍රීඩාවට ලොකු දක්‍ෂතාවයක්, ආසාවක් දැක්වූවා. දැල්පන්දු, පාපන්දු, බැඩ්මින්ටන් කණ්ඩායම්වල නායිකාව විදිහටත් කටයුතු කළා. කොයිතරම් දඟලලා සෙල්ලම් කළත් අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තේ නෑ. පාසල් කිහිපයක ඉගෙන ගෙනත් උසස් පෙළ වෙනකම් පන්තියේ පළමුවැනියා මමයි…”

ලංකාවම උස්සලා තිබ්බ සීලරතනේ බොක්සිං...බණ මඩුවක නතර වී රටට කීර්තිය ගෙනෙන දරුවෝ

දොඹගොඩ සීලරතන පාසලේ ක්‍රීඩික – ක්‍රීඩිකාවන් ද පළමුව අධ්‍යාපනය, දෙවැනුව ක්‍රීඩාව කරගත යුතු බව අපගේ හැඟීම ය. නිසි අධ්‍යාපනයක් නැති කෙනෙක්ට ක්‍රීඩාව තුළ ද දුර ගමනක් නැත. එමෙන්ම දොඹගොඩ සීලරතන විද්‍යාලය භෞතික සම්පත්වලින් සපිරි ආර්ථික තත්ත්වයෙන් බින්දුවේ තිබෙන පාසලකි. එම පාසල ආර්ථික වශයෙන් දිළිඳු වී ඇත්තේ පාසලේ ඉගෙනගන්නා ළමයින්ගේ මවුපියන් ආර්ථික වශයෙන් නොදියුණු නිසා ය. ආර්ථික වශයෙන් ශක්තිමත් ආදි ශිෂ්‍යයන් නොමැති නිසා ය. අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන් දක්ෂ සීලරතනේ දරුවන්ට ශක්තියක් වීමට යම් ආයතනයක්, සංවිධානයක් හෝ පුද්ගලයෙක් ඉදිරිපත් වේ නම් එම දරුවන්ගේ වාසනාවකි. පරණ වූ බොක්සිං අත් ආවරණ, හිස් පලඳනා වෙනුවට අලුත් උපකරණ කට්ටලයක් හෝ ඒ දරුවන්ට ලැබේ නම් මහා පරිත්‍යාගයකි.

තරංග රත්නවීර

ලංකාවම උස්සලා තිබ්බ සීලරතනේ බොක්සිං...බණ මඩුවක නතර වී රටට කීර්තිය ගෙනෙන දරුවෝ

advertistmentadvertistment