ලංකාවේ සුපිරිම කොමඩි සෙට් එකට සෙට් වෙන එක

167

සභාවේ සිනා මාර්තු 23 වැනිදා

පසුගිය කාලය පුරාවටම නවතම සන්ධාන හැදෙන්න පටන් ගත්තා. මේ හැදුන සන්ධානවලින් තාම රටට අත්වුණ සෙතක් නැහැ කියලයි රටේ මහජනතාව කිව්වේ. ඔන්න ආපහු අලුත්ම සන්ධානයක් හැදෙනවා කියලා අපිට පුංචි ආරාධනා පත්‍රයක් එවලා තිබුණා. සාමාන්‍යයෙන් අලුත් සන්ධානයක් හැදෙනවා නම් ඒකට මුලින්ම ආරාධනාව ලැබෙන්නේ මාධ්‍යයට. මොකද ඒ සන්ධානයේ විස්තරේ රටට කියන්න මාධ්‍ය එපායැ. මේ අලුත්ම සන්ධානය මොකක්ද කියලා දැන ගත්න අපිත් ඒ මාධ්‍ය හමුවට සහභාගි වුණා.

ශ්‍රී ලංකාවේ වෘත්තීයමය විහිළුකාරයින් තම අයිතිවාසිකම් වෙනුවෙන් ගොඩනඟන නවතම සන්ධානය කියලයි මේ මාධ්‍ය හමුව නම් කරල තියෙන්නේ. ඇත්තටම විහිළුකාරයෝ වෙනුවෙන් සන්ධානයක් මොකටද කියලත් ඔයාලට හැඟෙන්න පුළුවන්. අපිටත් එතැනට ගියහාම තමයි මෙතැන වෙන්නේ මොකක්ද කියලා තේරුනේ.

තව කෙනකුගේ සිනහවට භාජනය නොවී තම වෘත්තීයමය ප්‍රමිතීන් ආරක්ෂා කරගනිමින් යමෙකුගේ මුවගට සිනහවක් ගෙන ඒමට යමෙකුට හැකියාව තිබෙනවා නම් එය සහජ දක්ෂතාවකි. එවන් සහජ දක්ෂතාවෙන් පිරිපුන් මෙරට ජනප්‍රියම හාස්‍යෝත්පාදක ශිල්පීන් වන පොඩි මල්ලි, චූටි මල්ලි, ජනයි- ප්‍රියයි, ලකයි සිකයි සහ සිරිල් අයියා එකතුවෙන් තමයි මේ අලුත් සන්ධානය හදලා තියෙන්නේ.

මෙරට ජනප්‍රියම ශිල්පීන් පිරිසක් වන මේ පිරිස එකතුවෙලා පළමු වැනි වතාවට “සභාවේ සිනා” කියලා ප්‍රසංගයක් පවත්වන්න සූදානම් වෙනවා. ඔන්න ඔය වැඩේට තමයි මෙයාලා එකතුවෙලා මේ අලුත්ම සන්ධානය පිහිටුවලා තියෙන්නේ. “සභාවේ සිනා” ප්‍රසංගය එළැඹෙන මාර්තු මාසයේ 23 වැනිදා පස්වරු 7.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.

මේක ඇවිල්ලා චූටි මල්ලියි, පොඩි මල්ලියි, ලකයි සිකයි, ජනයි ප්‍රියයි, සිරිල් අයියයි එකතු වෙලා හදන සමගි කොමඩි සන්ධානය. ඒ ගැන තමයි පසුගිය දවස්වල අපි අපේ ප්‍රචාරණ වැඩසටහන් වලිනුත් කිව්වේ. අපේ මේ වැඩේට පක්ෂ විපක්ෂ තැනිව කට්ටිය බැහැලා තිබ්බා කාටවත් හිතාගන්න බැරිවුණා මොකක්ද මේ කියලා. අපේ සමාජය එහෙම තමයි. හරි ලෙහෙසියෙන් අවුස්සන්න පුළුවන්. එහෙම වෙන්න හොඳ නැහැ. සමහරු කිව්වා අපි හිතුවේ නැහැ ඔයගොල්ලෝ කවදාවත් දේශපාලනයට ඒවි කියලත්. ඊළඟට කිව්වා අපි දැනගත්තෙ උඹලා ඔච්චර කල් ඕකට තමා ආවේ කියලත්. තවත් අය කිව්වා ඕක කලින් කරන්න තිබ්බේ නැතිද කියලත්. සාමාන්‍යයෙන් දේශපාලනය සම්බන්ධයෙන් අදහසක් කිව්වොත් කවුරු කිව්වත් කට්ටියක් ඒකට බණිනවා, කට්ටියක් ඒකට හොඳ කියනවා. දැන් මේකට බැන්නා විතරයි හොඳ කිව්වේම නැහැ.

ඇත්තටම මේ සංවිධානය කරන්න සූදානම් වුණේ අපේ සුදේව සහ සාරංගගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණු Adam of Eve කියන ආයතනය. මේක අපි කිහිපවරක්ම කතාවුණ මාතෘකාවක්. කොහොම හරි ඒ වැඩේ වුණේ නැහැ තව පාර්ශ්වයක් මේ වැඩේට ඉන්න එකෙන් අපේ බරත් ටිකක් අඩු වෙනවා. ඒක නිසා අපි හිතුවා මේ වැඩේ මෙහෙම කරන්න. අපි තනියම ප්‍රසංග කරලා එහි තියෙන බැරෑරුම්කම දන්නවා. මේක අලුත්ම කන්සෙප්ට් එකක්. පැය දෙකහාමාරක වැඩක්. සමගි කොමඩි සන්ධානය පවත්වන “සභාවේ සිනා” ප්‍රසංගය ගැන චූටි මල්ලියි පොඩි මල්ලියි කිව්වේ ඔය වගේ කතාවක්.

පළමු ප්‍රසංගය මාර්තු 23දා BMICH එකේ සවස 7.00ටත්, අප්‍රේල් 19 වැනිදා නුවරඑළිය නගර ශාලාවේ දෙවැනි ප්‍රසංගයත්, මීට අමතරව විදෙස් ප්‍රසංග කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒකට දින පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මොකද සංගීත ප්‍රසංගයක නම් එයා නැතිනම් මෙයා දාලා සින්දු කියන්න පුළුවන්. මේක එහෙම කරන්න බැහැ කියලත් වැඩිදුරටත් මේ දෙන්නා සඳහන් කළා.

දිනේෂ් විතාන


advertistmentadvertistment