ආපහු බදු වංචාවක්ද?සීනි ගැන ඇහෙන තිත්ත කතා

194

සීනි බද්ද වැඩිකිරීමේ ගැසැට්ටුව ගැසීමට පෙර එක්තරා පුද්ගලික සමාගමක් සීනි මෙට්‍රික් ටොන් දසදහසක් ආනයනය කරලා

මෙකී සමාගම ඔක්තෝබර් මාසයේ සීනි ආනයනය පස් ගුණයකින් වැඩි කරලා

සීනි බද්ද ඉහළ නැංවීමේ ගැසට්ටුව නිකුත් කරන විට මෙරට සීනි මෙට්‍රික් ටොන් 40000ක් තිබිලා

රජය විසින් සීනි කිලෝවක් සඳහා ශත 25ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා වැඩි කිරීමත් සමග සීනි බදු වංචාව පිළිබද මාතෘකාව යලිත් වතාවක් කරලියට පැමිණ තිබේ. ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ දි එනම් 2020 වර්ෂයේ දි සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩුකිරීමෙන් පසු මාස 04ක් හා දින 14ක කාලයක් තුළදී රජයට රුපියල් මිලියන 16.763ක බදු ආදායමක් අහිමි විය. මින් පාරිභෝගික ජනතාවට අත්වූ සෙතක් නොවීය.

මෙකී බදු සහනයෙන් අයුතු ලාභයක් උපයාගනු ලැබුවේ සීනි ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයන් කිහිප දෙනකු විසිනි. මුදල් අමාත්‍යාංශය විසින් සීනි කිලෝවක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ රුපියල් 50 දක්වා වැඩිකිරීමත් සමග මේ වතාවේ ද මහා පරිමාණයෙන් සීනි බදු වංචාවක් සිදුවී ඇති බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වී තිබේ. සීනි බදු වංචාව සම්බන්ධයෙන් මීට පෙර චෝදනා එල්ලවූ ප්‍රකට සමාගමකට සීනි බදු මුදල වැඩිකිරීමේදී අයුතු ලාභයක් උපයාගෙන ඇති බවට මෙවරද චෝදනා එල්ල වී තිබේ.

මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ පමණක් නොව රට්ටුන් අතරද දැඩි කතාබහක් මේ වනවිට නිර්මාණය වෙමින් පවතී. ප්‍රශ්නගත මෙකී සමාගම විසින් සීනි බදු මුදල වැඩිකිරීමට පෙර සීනි මෙට්‍රික්ටොන් 10000ක් ආනයනය කොට ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වී තිබුණි. මෙකී ප්‍රශ්නගත සමාගම විසින් මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ සීනි මෙට්‍රික්ටොන් 2700ක්, සැප්තැම්බර් මාසයේ සීනි මොට්‍රික්ටොන් 2000ක් ආනයනය කොට තිබුණි. එහෙත් ඔක්තෝබර් මාසය තුළ පමණක් මෙකී සමාගම විසින් සීනි මෙට්‍රික්ටොන් 10,200ක් ආනයනය කොට තිබුණි. ප්‍රශ්නගත මෙකී සමාගම විසින් ඉන්දියාවේ සිට කුඩා නෞකා තුනකින් මෙකී සීනි තොගය මෙරටට ආනයනය කොට ඇති බවද පැවසේ.

සාමාන්‍යයෙන් මෙම සමාගම විසින් මාසිකව සීනි මෙට්‍රික්ටොන් 2000ක් පමණ ආනයනය කරනු ලබයි. එහෙත් සීනි බද්ද පැනවීමට දින කිහිපයකට පමණ ඉහතදී ඉකුත් මාසයට වඩා පස් ගුණයක් සීනි ආනයනය කොට තිබුණි. එකවරම ආනයනය කරනු ලබන සීනි ප්‍රමාණය පස් ගුණයකින් වැඩිකිරීම ගැටලුසහගතය. රට තුළ සීනි හිඟයක් ද නොතිබූ අතර ලෝක වෙළෙඳපොළේ සීනි මිලෙහි අඩුවීමක්ද දක්නට නොලැබුණි. එවන් පසුබිමක් තුළ හිටිහැටියේම ආනයනය කරනු ලබන සීනි ප්‍රමාණය වැඩිකිරීමෙන් පැහැදිලි වන්නේ සීනි සඳහා බද්දක් පැනවීම පිළිබඳ තොරතුර සීනි ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයන් වෙත ලැබී ඇති බවය. ඉතා සැලසුම් සහගත ලෙසද මෙවරද සීනි බදු වංචාවක් සිදුකොට ඇති බව පැහැදිලිය. මෙකී සමාගම පමණක් නොව තවත් එක්තරා සමාගමක් විසින් සීනි මෙට්‍රික්ටොන් 3696ක් ඔක්තෝබර් මාසයේ දී ආනයනය කොට තිබුණි. එම සමාගම විසින් මීට පෙර මාසිකව ආනයනය කරනු ලබන්නේ සීනි මෙට්‍රික්ටොන් 135කි. එසේනම සීනි බද්ද වැඩිකිරීම පිළිබඳ තොරතුරු මෙකී ව්‍යාපාරිකයන් වෙත ලබා දුන්නේ කවුද? එම තොරතුරු ලබා දුන් අය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකළ යුතුය.

ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට සුදු හා රතු සීනිවල මාසික පරිභෝජනය මෙට්‍රික්ටොන් 50000කි. එහෙත් මෙරට මාසික සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 4359කි. ඒ අනුව මාසික පාරිභෝජනය සඳහා සීනි මෙට්‍රික්ටොන් 45000ක් පමණ ආනයනය කරයි. රේගුවේ දත්තවලට අනුව පසුගිය මාස කිහිපය තුළ ආනයනය කොට ඇත්තේ මාසිකව සීනි මොට්‍රික්ටොන් 20000කි. එහෙත් ඔක්තෝබර් මාසය තුළ පමණක් සීනි ව්‍යාපාරිකයන් 14 දෙනකු විසින් සීනි මෙට්‍රික්ටොන් 39000ක් ආනයනය කොට තිබුණි. මින් වැඩිම සීනි ප්‍රමාණයක් ආනයනය කොට තිබුණේ ප්‍රශ්නගත සීනි සමාගම විසිනි. සීනි බද්ද වැඩිකිරීමේ ගැසැට්ටුව නිකුත් කරන අවස්ථාවේ දී මෙරට සීනි මෙට්‍රික්ටොන් 50000ක් තොගයක් තිබී ඇත. ඉන් සීනි මෙට්‍රික්ටොන් 35000ක් ආනයනය කොට තිබූ සීනි තොගවන අතර ඉතිරි සීනි මෙට්‍රික්ටොන් 15000 දේශීයව නිෂ්පාදනය කොට තිබුණි.

අනික් කාරණය වන්නේ සීනි බද්ද වැඩිකිරීමට පෙර රටේ පවතින සීනි තොග පිළිබඳව හා සීනි සඳහා පාලන මිල පැනවීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය මගින් කිසිදු අධ්‍යයනයක් සිදුකොට නොතිබුණි. මේ පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී පාඨලී චම්පික රණවක මහතා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. එහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් නිරුත්තර වූහ.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා කීවා ගැසට් එක නිකුත් කිරීමට පෙර ආනයනික සීනි මෙට්‍රික්ටොන් 35000ක් තියෙනවා කියලා. එහෙනම් ඒ සීනි තොග කාගෙද? එම සීනි තොග වෙළෙඳපොළට නිකුත් කළේ පෙර පැවති මිලටද? සීනි කිලෝවක් සඳහා රුපියල් 50ක් මිල වැඩිකරලා තමයි නිකුත්කරලා තිබුණේ. මේ නිසා ව්‍යාපාරිකයන් බිලයන 04ක පමණ අයුතු ලාභයක් ලබාගෙන තිබෙන බව ඉතා පැහැදිලි බව පාඨලී චමිපික රණවක මහතා කීවේය.

මුදල් අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට හිටිහැටියේම සීනි කිලෝවක් සඳහා බදු මුදල රුපියල් 50කින් වැඩිකොට ඇත්තේ ජාත්‍යන්තර් මූල්‍ය අරමුදලේ උපදෙස් අනුවය. ජාත්‍යන්තර් මූල්‍ය අරමුදල විසින් රජයේ ආදායම වැඩිකර ගැනීමට ලබා දුන් උපදෙස් අනුව මෙකී බද්ධ පැනවීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේය. ජාත්‍යන්තර් මූල්‍ය අරමුදල විසින් උපදෙස් ලබාදී ඇත්තේ මධ්‍යම රාත්‍රි 12.00ට මෙවැනි ගැසට් නිකුත් නොකරන ලෙසය. යක්කුගස් නගින වේලාව තුළදී මෙවැනි ගැසට් නිකුත්කිරීම නිසා විශාල දූෂණ අක්‍රමිකතා මෙන්ම ගැසට් අවභාවිතාවීම සිදුවන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සඳහන් කොට ඇත. පාරිභෝගික අධිකාරියේ දත්තවලට අනුව සීනි බද්ද ඉහළ නැංවීමේ ගැසට්ටුව නිකුත් කරන විට මෙරට සීනි මෙට්‍රික්ටොන් 40000ක් තිබී ඇත. සීනි ආනයනය කරනු ලබන අදාළ සමාගම විසින් මෙකී සීනි තොග වෙළෙඳපොළ වෙත නිකුත්කොට තිබුණේ වැඩි මිලකටය. සීනි කිලෝවක මිල රුපියල් 50කින් වැඩිකොට තිබුණි. මහාපරිමාණ සීනි ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් අයුතු ලාභයක් ලබා ඇති බව ඉතා පැහැදිලිය.

සීනි බද්ද වැඩිකරන අවස්ථාවේ සීනි ව්‍යාපාරිකයන් සතුව පැවති සීනි තොග පිළිබඳ ගණනය කොට ලාභාංශ මුදලික් බදු මුදලක් අයකර ගැනීමට කටයුතු කරන ලෙස රාජ්‍ය මුදල්කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් උපදෙස් ලබා දී ඇත. කෙසේ වුවද මීට පෙර සීනි කිලෝවක් මත අයකරන බද්ධ ශත විසිපහ දක්වා අඩුකළ විටදී එම වාසිය පාරිභෝගිකයා වෙත නොලැබුණි. එම බදු වාසිය ලබාගත් පාර්ශ්වයන් නිවැරදි ලෙස හඳුනාගෙන ඉදිරියේ දී හෝ එම ආර්ථික වාසිය පාරිභෝගිකයන්ට ලබාදීම සඳහා සලකා බැලිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට තිබුණි. එසේ නොමැතිනම් රජය විසින් කැපකළ බදු ආදායම රඳවාගත් පාර්ශ්වයන්ගෙන් රජයට ලබාගැනීමේ හැකියාව පිළිබඳ සලකා බැලිය යුතු බවටද විගණනය මගින් නිර්දේශකොට ඇත. දේශීය ආදායම් බදු කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදු මුදලින් සියයට තිහක මුදලක් අයකර ගැනීමට කටයුතු කරන බවට මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා විසින් මීට පෙර සඳහන් කොට තිබුණි. එහෙත් සීනි බදු මගඩියට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගෙන් මේ වනතෙක් ශත පහක් හෝ අයකරගෙන නැත. රාජ්‍ය මුදල් කාරක සභාවේ දී එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් මේ ගැන මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. එහිදී මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් නිරුත්තරවූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ සීනි බදු මුදල වැඩි කිරීමට පෙර සීනි මෙට්‍රික්ටොන් 22000ක් ශත 25 බද්දට වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා රජයට කෝටි 100ක බදු පාඩුවී ඇති බවය. මෙම සීනි මෙට්‍රික් ටොන් 22000 හොර රහසේ නිකුත්කිරීම නිසා මෙම පාඩුව සිදුවූ බවත් මෙම පාඩු මඟහරවා ගැනීමට වැට් බදු සහ වෘත්තීයවේදීන් මත අධික බදු පටවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේය. මේ බදු වංචාවට සෘජුවම රජය සම්බන්ධ බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකෙට නැවත බදු පැනවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පවසන්නේය.

සීනි බදු වෙනස්වීම ගැන තොරතුරු ව්‍යාපාරිකයන් අතට පත් කළ අය පිළිබඳව පරීක්ෂණයක් අවශ්‍ය බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා සඳහන් කරන්නේය. සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයන් අතට පත්වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති අතර බදු සංශෝධනය පිළිබඳ දැන සිටියේ රේගු නිලධාරීන් බවද මනුෂ නානායක්කාර ඇමැතිවරයා කියන්නේය. එමෙන්ම, සීනි බදු වැඩි කිරීම ගැන දැන සිටියේ කවුරුන්ද, කිසිවෙක් හෝ මේ පිළිබඳ තොරතුරු එළියට ලබා දුන්නේද යන්න පිළිබඳ අනිවාර්යෙන්ම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද මනූෂ නානයක්කාර අමාත්‍යවරයාගේ අදහසයි.

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ සීනි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීම හේතුවෙන් සීනි ආනයනකරුවන් අනිසි ලාභ ලබා ඇත්දැයි සොයා බැලීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විගණනයක් ආරම්භ කර ඇති බවය. සීනි කිලෝවක් සඳහා බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා වැඩි කළ කාලය තුළ සීනි ආනයනයේ අසාමාන්‍ය වැඩිවීමක් දක්නට නොලැබුණු බව ඔහු සඳහන් කරන්නේය. රේගු සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ මුල් මාස පහට සාපේක්ෂව ඉතිරි මාසවලදී සීනි ආනයනයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි. 2023 වසරේ මේ දක්වා සීනි ටොන් 546,488ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය. සීනි කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල පනවා ඇත්තේ පවතින තොගවල මිල ඉහළ යෑම වැළැක්වීම සඳහා බවත් එය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය. විගණනය අවසන් වූ පසු සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ කොයිහැටි වුවද 2020 වර්ෂයේ දී සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමෙන් පසු මෙරටට ආනයනය කොට තිබූ සීනි මෙට්‍රික්ටොන් 277,715 ක් ඇතුළත් සීනි තොගයෙන් සියයට 45ක් පමණ ආනයනය කොට ඇත්තේ ද ප්‍රශ්නගත පුද්ගලික සමාගම විසිනි. එම සමාගම විසින් සීනි මෙට්‍රික්ටොන් 125207ක් ආනයනය කොට තිබුණි. බදු අඩුකළ කාලය තුළ මෙකී පුද්ගලික සමාගමේ සීනි ආනයනය සියයට 1222 කින් වැඩිවී තිබුණි. එම සමාගමේ මාසික සීනි ආනයනය කිලෝග්‍රෑම් 27,823,989කි. එම පදනම මත මෙකී සමාගමට රුපියල් හැටදෙකෝටි විසිනමලක්ෂ විසිපන්දහස් අටසිය විස්සක (6,229,025,820) ක බදු වාසියක් බදු ගෙවන අවස්ථාවේ දී හිමිව තිබුණි. කෙසේ වුවද සීනි ආනයනය කරනු ලැබූ වෙනත් කිසිදු සමාගමක් එම කාලය තුළ පෙර පැවති ආනයන ප්‍රමාණය සියයට 10 ඉක්මවා ආනයනය කර නොතිබුණි. ඒ විතරක් නොව මෙම පුද්ගලික සමාගම විසින් බන්දිත ගුදම් පහසුකම් යටතේ බදු නොගෙවා ආනයනය කරනු ලැබූ සීනි මෙට්‍රික්ටොන් 7608ක් 2020 ඔක්තෝබර් මස 13 දින වනවිට එම බන්දිත ගුදමේ රඳවා තිබුණි. එම තොගයෙන් සීනි මෙට්‍රික්ටොන් 7468ක් බදු අඩුකළ දිනයේම සීනි කිලෝග්‍රෑම් 01ක් සඳහා ශත 25ක බද්දක් ගෙවා ගුදමෙන් ඉවත්කර ගැනීමට එම සමාගම කටයුතු කර තිබුණි. එමගින් එම පුද්ගලික සමාගමට එක් දිනක් තුළ රුපියල් මිලියන 378ක පමණ බදු වාසියක් හිමිවී තිබූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙරටට පළමු වරට සීනි ආනයනය සිදුකොට ඇත්තේ 1974 වර්ෂයේදීය. එම වර්ෂයේදී සීනි මෙට්‍රික්ටොන් 46ක් ආනයනය කරමින් මෙරටට සීනි ආනයනය ආරම්භ කරනු ලැබීය. සීනි සඳහා බදු සහනය ලබාදුන් 2020 වර්ෂයේදී මෙරටට සීනි මෙට්‍රික්ටොන් 6,83000ක් ආනයනය කොට තිබුණි. මේ සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 51 146කි. 2021 වර්ෂයේදී සීනි මෙට්‍රික්ටොන් 582000ක් ආනයනය කොට තිබුණි. 2022 වර්ෂයේදී මෙරටට සීනි මෙට්‍රික්ටොන් 460000ක් ආනයනය කොට තිබූ අතර ඒ සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 82,644කි. සීනි හා රසකැවිලි ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ මුල් මාස නමය තුළ (ජන-සැප්) ඇමෙරිකානු ඩොලර් මිලියන 315.9ක මුදලක් වැයකොට තිබුණි. ඉකුත් වර්ෂයේදී සෙවනගල, පැල්වත්ත, ගල්ඔය, ඇතිමලේ යන සීනි කර්මාන්තශාල මගින් සීනි මෙට්‍රික්ටොන් 78857ක් නිෂ්පාදනය කොට තිබුණි. සීනි කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා පිළිවෙළින් සෙවනගල, පැල්වත්ත, ගල්ඔය, ඇතිමලේ යන කර්මාන්තශාලා රුපියල් 222,07ක්, 224,225.96ක් සහ රුපියල් 258ක වියදමක් දරා තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවලට අනුව මෙරට සීනි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2022) සියයට 2.1කින් පහළ ගොස් තිබුණි. 2021 වර්ෂයේ දී මෙරට සමස්ත සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 80.555කි. එහෙත් ඉකුත් වර්ෂයේ දී මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 78,857ක් දක්වා පහත වැටී ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මෙරට සීනි නිෂ්පාදනය 2019 වසරේ සිට අඛණ්ඩව ඉහළ යෑමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළද උක් වගාව සඳහා දේශීය වශයෙන් පැවති පොහොර හිඟය නිසා සීනි කර්මාන්තය මුහුණදුන් අවහිරතා හේතුවෙන් 2022 වර්ෂයේ දී සීනි නිෂ්පාදනය පහළ ගොස් ඇත.

ඉකුත් වර්ෂය තුළදී සෙවනගල හා පැලවත්ත සීනි කර්මාන්තශාලාවල නිෂ්පාදනය පිළිවෙළින් සියයට 29.0කින් හා සියයට 20.6කින් පහළ ගොස් ඇත. කෙසේ වුවද ගල්ඔය හා ඇතිමලේ කර්මාන්තශාලාවල සීනි නිෂ්පාදනය පිළිවෙළින් සියයට 27.4කින් හා සියයට 36.2කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මෙරට සමස්ත සීනි අවශ්‍යතාවයෙන් සියයට 15ක් පමණ දේශීයව සපුරාගන්නා අතර ඉතිරි අවශ්‍යතාවය ආනයනය කිරීම මගින් සපුරාගන්නා බවද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. එමෙන්ම මෙරට ඒක පුද්ගල සීනි පරිභෝජනය ඉකුත් වර්ෂයේදී (2022) සීනි කිලෝග්‍රෑම් 24.30ක් දක්වා අඩුවී ඇත. ඉකුත් වසර දහය තුළ අඩුම ඒක පුද්ගල සීනි පරිභෝජනය වාර්තා වන්නේ 2022 වර්ෂයේදී බවද මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. මෙම කාලය තුළ වැඩිම ඒකපුද්ගල සීනි පාරිභෝජනය වාර්තා වන්නේ 2020 වර්ෂයේදී වන අතර එම වර්ෂයේ ඒකපුද්ගල සීනි පාරිභෝජනය කිලෝග්‍රෑම් 33.87කි.

සීනි බද්ද වැඩිකිරීම තුළින් ව්‍යාපාරිකයන් කිහිප දෙනකු අයුතු ලාභයක් ලබා ඇති බව ඉතා පැහැදිලිය. රටේ ජනතාව මත හැම බදු බරක්ම රජය විසින් පටවා තිබේ. ව්‍යාපාරිකයන් කිහිපදෙනකු බිලියන ගණනින් අයුතු ලාභ උපයති. විදුලි ගාස්තු, ජල ගාස්තු, දුරකථන ගාස්තු, ඉන්ධන ගාස්තු මෙන්ම සෑම භාණ්ඩ හා සේවාවකම මිල අහස උසට නැග තිබේ. රට්ටුන්ට ජීවන අරගලය සමග සටන්කිරීමට සිදුවී ඇත. සීනි මිල වැඩිවුවහොත් පාරිභෝගිකයන් සීනි මිලදී නොගන්නා බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරියකු රාජ්‍ය මුදල් කාරක සභාවේ දී හරි අපූරු කථාවක් කීවේය. දුප්පතාගේ සිට මහා මන්දිරවල දිවිගෙවන පුද්ගලයාටද සීනි අතවශ්‍ය භාණ්ඩයකි. සීනි සමග තේ කහට උගුරක් පානය කරනු ලබන අතිබහුතරයක් දුප්පතුන්ය. සීනි මිල වැඩිවීම නිසා පහරවැදී ඇත්තේ අහිසංක ජනතාවටය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment