ලාංකීය කලාව ලෝකයට ගෙනගිය “ලංකාරලංකා”

145

අතීත ලෙන් සිතුවමේ බයිසන් ගවයාගේ සිරුර පසාරු කළ හෙල්ලයක සලකුණ අනාගත පරම්පරාවට දඩයම සම්බන්ධයෙන් විශ්වාසය ජනිතකරලීය. දඩයම් බිමේ වැයුණු නලා නාදය ගෝත්‍රයට ධෛර්යය කැටි කළේය. අතීත යුද පිටියේ වැයෙන රණ බෙර වාදනය සෙබළ හැඟුමට එඩිබල ගෙනාවේය. ශිෂ්ටාචාර ගමනේදී පැවැත්ම වෙනුවෙන් පමණක් නොව, නිදහස, අරගල, විප්ලව ආදී ලෙස සිදුවූ මිනිස් මැදිහත්වීම් ඇතුළේ කලාව සුවිශේෂ වන්නේ ඒ නිසාය. ඒ කියන්නේ සොබාදහම හමුවේ පැවැත්ම උදෙසා පමණක් නොව වැටුණු සෑම මොහොතකම මිනිසුන් නැගීසිටියා නම් ඒ නැගිටීමේ පෙරමුණේම කලාව ද සිටි බවය. මිනිසා බිහිවීමට මොහොතකට පෙර කලාව බිහිවුණා කියන්නේද ඒ නිසාය. මෙහිදී නර්තනය සහ සංගීතය, රංගනය සුවිශේෂී ය. ඒ දැන උගත් මට්ටමේ සිට කිසිදු භේදයක් නොමැතිව එකී මාධ්‍යයන් වින්දනය කිරීමට ඇති හැකියාව නිසාය. දීර්ඝ වුවත් අප මේ පූර්විකාව ගත්තේ හේතුවක් ඇතුවය.

ඉතිහාසයේ රට මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදය පැමිණි අවස්ථාවේ ඉන් රට මුදා ගැනීමේ අභියෝගය සම්ප්‍රදායික දේශපාලන නායකයන් කිසිවෙකු භාරගත්තේ නැත. කිසිවෙකු භාර නොගත් එම අභියෝගය භාර ගනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහය. ඔහුට ඒ සඳහා ධෛර්යක් පමණක් නොව දැක්මක් සහ උපායමාර්ගික වැඩපිළිවෙළක් ද තිබිණි. මීට මාස කිහිපයකට පෙර පැවති ප්‍රචණ්ඩ අරාජිකත්වය, පෝළිම් යුගය අවසන් කර රට සැනසිලිදායක තැනකට මේ වන විට පත්ව ඇත්තේ ඒ නිසාය. නමුත් අර්බුදය තවමත් අවසන් නොමැති අතර මේ පවතින්නේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට මිලියන 22ක ජනතාවගේ සහාය අවශ්‍යම මොහොතය.

ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ආර්ථික අර්බුදයක් හමුවේ බිඳ දැමුණු ශ්‍රී ලාංකීය, ධෛර්යය මෙන්ම අභිමානය යළි අත්පත් කර ගැනීමට කලාවට සිදුකළ හැකි වැඩ කොටස අති විශාලය. එසේම මේ වන විට කලාව “හුදු හැඟීම් සහ බුද්ධිමය” තැනින් ඉදිරියට ගිය විනෝදාස්වාද කර්මාන්තයක්ද වී ඇත.

ඒ නිසා ආර්ථික අර්බුදයක් හමුවේ බිඳ දැමුණු ශ්‍රී ලාංකීය, ධෛර්යය මෙන්ම අභිමානය යළි අත්පත් කර ගැනීමට යන ගමනේදී ඒ ගැනත් සිතිය යුතු කාලය එළඹ ඇති බව කියන්නය. ඒ ගැන කදිම පාඩමක් පසුගියදා අප නෙත් ගැටින. ඒ 75 වන නිදහස් සැමරුමට සමගාමීව සංවිධානය කොට තිබූ “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනියය.

එළැඹෙන (2023-2048) නව සියවසක හැරවුම් ගමන් මඟ කටු කොහොල් පාදා ගන්නට නම් අප වෙනස් විය යුත්තේ කෙසේද? එකී පරිවර්තනයක් උදෙසා ඇරඹෙන ගමන් මගෙහි ආරම්භක සංඥාව පසුගියදා කොළඹ නිදහස් මන්දිරය අභියස “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය ලෙස රැව් පිළිරැව් දුන්නේය.

ඇමරිකානු ලේඛක විලියම් ෆෝක්නර් කියා තිබුණේ නිදහස ළඟා කර ගත හැක්කේ නිදහස කෑ ගසා ඉල්ලා සිටීමෙන් ම පමණක් නොව නිදහස උදෙසා ඇති පුහුණුවෙනි කියාය. යටත් විජිත වාදයෙන් නිදහස ලබා වසර 75ක් ගෙවුණු පසුබිමකත් නිදහස නම් වූ ඒ අපූර්ව සංකල්පය දරා සිටින්නට අප පුහුණුවක් තිබේද?

අධිරාජ්‍යවාදී බළමුළුවලට නතුව ගෙවී ගිය යුගය නිමාවට පත් වුව ද අප සැබෑ නිදහස භුක්ති විඳීමේ පුරුද්ද ඇති කර ගත්තේ ද? යන්න ප්‍රශ්නයකි. නිදහසින් පසු හැත්තෑපස් වසරක් ගෙවා හමාර කරන අප, සැබෑ නිදහසක් ලබන්නට කෙසේ වෙනස් විය යුතුද? ඒ සඳහා ලැබිය යුතු පුහුණුව කෙසේද යන්න, “ලංකාරලංකා” ඔස්සේ මැනවින් ගෙනහැර දැක්වීය.

ශ්‍රී ලංකාවේ සියලුම නර්තන, ගායන සහ වාදන අංගවල එකතුවක් පිළිබිඹු කරමින් විශේෂ සංස්කෘතිකාංග 18කින් සමන්විතව ඉදිරිපත් කෙරුණු “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය ඉතිහාසයට එක්වූ නිදහසේ නිවහල් මහා සංස්කෘතික කලා මංගල්‍යයක් ලෙස හැඳින්විය හැකිය.

රාජ්‍ය නර්තන කණ්ඩායම් 10ක් සහ පෞද්ගලික අංශයේ නර්තන කණ්ඩායම් 08ක් ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබිණ. මෙහි පිටපත සහ පද රචනය ගයා රම්‍ය අල්විස් මහතාගෙන් වන අතර සංගීතය ජානක ෆොන්සේකාගෙනි. නර්තන වින්‍යාසය සහ අධ්‍යක්ෂණය මහාචාර්ය කරුණාරත්න බණ්ඩාරයන් සහ ආචාර්ය රවිබන්දු විද්‍යාපති විසින් සිදු කර තිබිණ.

“ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය ආරම්භක සංඥාව විවිධ සම්ප්‍රදායන්ට අයත් භේරි වාදන ශිල්පීන් හැත්තෑ පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පවත්වන ලද විපුල භේරි නාද මාධුර්යයකිනි. මෙ මගින් නිදහස් දින පෙරහුරුවක අවස්ථාවක් නිරූපණය කෙරිණි.

දෙවනුව වේදිකාගත කෙරුණේ මහජන සංථනයය. නිදහස වර්තමාන ජීවිතය ආදී කාරුණ පිළිබඳ මහමඟ සැදි පැහැදී නිදහසේ පෙරහුරුව නරඹන පිරිසක් අතර සිදුවන කතාබහකි. සියලු සංවාද කාව්‍යමය ආකෘතියකින් ඉදිරිපත් කෙරිණි. ජනතාවගේ ආකල්පයමය පරිවර්තනයක් සිදු විය යුතු බව අවධාරණය කෙරෙන ගායනයක් සහ රංග අභිනයක් අනතුරුව වේදිකාගත විය.

සිව්වන ජවනිකාව ගිනි පද්දම්, දුම්මල ආදිය යොදා ගනිමින් කෙරෙන පහතරට සම්ප්‍රදායේ උද්වේගකර රංග අවස්ථාවකි. පහත රට බලි – තොවිල් ආදියෙහි යොදාගැනෙන, යකුන් පලවා හැරීමට සිදු කරන ආකාරයේ රංගනයකි. එය වර්තමාන සමාජයෙහි මුල්බැසගත් වැරදි ආකල්ප පලවා හැරිය යුතු බව සංකේතාත්මකව ඉදිරිපත් කරන රංග පෙළහරකි.

සමාජයෙහි මුල්බැසගෙන ඇති නිශ්ඵල ආකල්ප සහ ක්‍රියා හාස්‍යමය ලෙස සරදමට ලක් කෙරෙන අංගයක් පස්වන ජවනිකාව ලෙස වේදිකාගත විය. මෙය ජනතාව කිසියම් ආකල්පමය පරිවර්තනයකට දක්වන නම්‍යශීලීත්වය හාස්‍යමය ආකෘතියක පිහිටා ඉදිරිපත් කෙරුණු විශේෂාංගයකි.

අට වන ජවනිකාව එතෙක් වේදිකාගත කෙරුණු සියලු රංගනයන්ගෙන් මහජනතාවට පසක් වන යථාර්ථය ලාංකීය සම්ප්‍රදායික ගායන ශෛලියක් වන විරිදු සම්ප්‍රදාය අසුරෙන් ප්‍රහසනාත්මක ආකෘතියක පිහිටා ඉදිරිපත් කෙරෙන විශේෂාංයකි.

මෙතුවක් අප විසින් ම අපට සිදුකර ගත් හානිය පිළිබඳ මෙම විරුඳු කවි ගායනයෙන් පිළිබිඹු කෙරිණ. මෙම ගායනයන් සිදුවන අතර තුර, පහතරට සම්ප්‍රදායේ සළුපාළිය නර්තන ශිල්පීන් ද වේදිකාවට පිවිසි අතර ඔවුන් ප්‍රේක්ෂකාගාරය ට උසුළු- විසුළු පායි. වේදිකාවෙන් පිටත බිම බොරු කකුල්කාරයෝද තාලයට ගමනේ යෙදිණ.

බටහිර ආක්‍රමණ හමුවේ රටේ සිතුම් පැතුම් වෙනස් වී ගිය අයුරු පැහැදිලි කෙරෙන රංගනයක් නව වන ජවනිකාව ලෙස වේදිකාගත විය. එකී යුගයට අයත් සංගීතමය ප්‍රකාශනයක් ලෙස දිගහැරුණු මෙම අංගයෙන් යටත්විජිත පාලන සමයෙහි රටේ ජනතාවට විඳින්නට සිදු වූ පීඩාව චිත්‍රණය කෙරිණි.

ජවනිකා අංක දහය සබරගමු සම්ප්‍රදායේ දවුල් සහ තම්මැට්ටම් භාවිතයෙන් සිදු කළ රංගනයකි. සමන් දේවාලයේ සිදු කෙරෙන පෙරහැර චාරිත්‍රයේ අංග ප්‍රත්‍යංගවලින් සමන්විත සංකේතාත්මක පෙරහැරක් වේදිකාව හරහා ගමන් කෙරිනි. එහි එන සුප්‍රකට මහබඹා පිළිරුව නියෝජනය වන අංගයකින් ද මෙම අංගය සමන්විත විය.

ජවනිකා අංක එකොළහ ජනතා සංකථනයකි. ජනතාව සහ ගායක කණ්ඩායම වේදිකාවට ප්‍රවිශ්ට වෙති. විකල්ප සිතුවිල දහරාවක අවශ්‍යතාව ඔවුන් අතර කතාබහට ලක් වෙයි. ඔවුහු එවන් පරිවර්තනයකට පවා වීම පිළිබඳ පසු තැවෙති. සිහින දකිති.

අනතුරුව ප්‍රධාන ගායකයා පැමිණ නව ගැයුම් පවත්වයි. සාමුහික සමාජ විඥානය තුළ ගිලීගිය අයහපත් ආකල්ප දුරු කළ යුතු බව අවධානයට ලක් කෙරුණු එම ගායනය දොළොස් වන ජවනිකාවයි.

එම ගායනය සමඟ අත්වැල් බැඳ ගනිමින් උචිත ආකෘතියක පිහිටා නාග ගුරුළු, නාග කන්‍යා ආදී සංස්කෘතික නර්තනාංග වේදිකාව මත වේග රිද්මයක පිහිටා දිග හැරිනි. දුර්භාගය සමයක නිමාව සටහන් කරමින් වේදිකාව ආලෝකවත් වන අතර උඩරට වෙස් නර්තන කණ්ඩායමක් වේදිකාවට පිවිසිනි.

සෞභාග්‍යයේ සංකේතාත්මක නිරූපණයක් ලෙස වේගවත් වෙස් නර්තනයකින් වේදිකාව ඒකාලෝක විය.

තාරුණ්‍යයේ නව සමාජ පරිවර්තනය නියෝජනය වන රංග පෙළහරක ප්‍රවිශ්ටය ජවනිකා අංක දාහතර ලෙස වේදිකාගත විය. තාරුණ්‍ය විසින් අලුත් දැනුම් දොර කවුළු විවර කරමින් දියුණු සමාජයක් බිහිකරලීමේ අධිෂ්ඨානය පෙරදැරිව ගායනයක් සහ නර්තනයක් ඉදිරිපත් කෙරිණි. ජවනිකා අංක පහළොව පූර්ව සංස්කෘතික වටිනාකම් හඳුනා ගනිමින් අනාගතය නිර්මාණය කරගත යුතු බව අවධාරණය කෙරෙන නර්තනාංගයකි.

වේදිකා, ආලෝකකරණය වඩා උත්කර්ෂවත් වෙයි. අනාගතවාදී දෘෂ්ටියකින් යුතු අලුත් පරම්පරාවක දිශානතිය පෙන්නුම කෙරෙන නර්තනාංගයකි. සම්ප්‍රදාය සහ නූතනත්වය සම්මිශ්‍ර වූ අභිමානවත් සාර්ථක අනාගතයක් සංකේතවත් කෙරෙන රංග පෙළහර් 16 වන ජවනිකාව ලෙස වේදිකාගත විය.

සැබවින්ම මේ “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය පැවතියේ පෙබරවාරි 03 වනදා සැන්දෑ සමයේය. ඉර බැස යන නිමේෂයේ හාත්පස අඳුර පළවා හළ නිහෝන් ආලෝක ධාරා සමඟ මුසුවූ අප ලාංකේය සංස්කෘතියේ විචිත්‍රත්වය නොඅඩුව ඒ තුළ ගැබ්ව තිබිණ.

යක්බෙර, ගැටබෙර, දවුල්, තම්මැට්ටම් පද වල රිද්මය ප්‍රේක්ෂකාගාර වෙලාගත්තේය. එහි වූ විචිත්‍රවත් දසුන නම් “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය නැරඹීමට පැමිණි විදේශිකයන් පවා ඒ රිද්මය වැළඳගෙන ඒ හා මුසුවූ ආකාරය ය. ඒ බව මේ අවස්ථාවට එක්වූ විදෙස් අමාත්‍යවරු, තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයන් රැසක් දැක්වූ අදහස් වලදීද තහවුරු විය. ඔවුන් කාගේත් පොදු අදහසව තිබුණේ, මොනවා නැතත් ලෝකයට ගෙනයන්න තරම් විශිෂ්ට සංස්කෘතියක් ලංකාව සතුව ඇති බව යළිත් සිහිපත් වූ බවය. මෙවන් සංස්කෘතික සංදර්ශන හරහා වැඩි සංචාරක ආකර්ෂණයක් ලංකාවට ඇතිකර ගත හැකි බවය. ඒ වින්දනීය සංස්කෘතිය ලෝකයට ගෙනයන කලාව “ලංකාරලංකා” සංස්කෘතික සංධ්වනිය හරහා හෝ තේරුම් ගත යුතු බවය.

සුසන්ති ප්‍රදීපිකා

advertistmentadvertistment
advertistmentadvertistment