රැකියා අහිමි පිරිස ලක්‍ෂ විස්සකට ආසන්නයි…
කුඩා, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 263,000ක් වැසේ…
කර්මාන්ත වැඩියෙන්ම වැහිලා තියෙන්නෙ 2020 වර්ෂයේ…
අගුළු වැටුණු ව්‍යාපාරවලින් 39300ක් කාන්තාවන්ගේ…
කඩා වැටුණු කර්මාන්ත විවෘත වන බවක් පේන්න නෑ…
වික්‍රමසිංහ පාලන ක්‍රමය මාලිමා රජය වෙනස් කරල නෑ…
පාස්කු ප්‍රහාරය, කොවිඩ්, ජන අරගලය පෝලිමට පැමිණි ආර්ථික සුනාමිවල කම්පනයෙන් මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රය දෙදරා කඩා වැටුණු බව සැබෑය. සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් පැවැති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්‍ෂ හැටතුන් දහසක් වැසී ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබිණි. ඒ අනුව 2018 වර්ෂය වනවිට සක්‍රීයව පැවැති ක්ෂුද්‍ර ව්‍යාපාර 254,000ක්, කුඩා පරිමාණ ව්‍යාපාර 6,900ක් සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර 1,800ක් වැසී ගොස් ඇත. එම ව්‍යාපාරවලින් 197,000ක් ස්ථිරවය අගුළු වැටී ඇති බවත් තවත් ව්‍යාපාර 56,000 ක් තාවකාලිකව වසා දමා තිබෙන බව ද වාර්තා වේ. ස්ථිරව වසා දමා ඇති ව්‍යාපාරවලින් 27,600ක් පවත්වාගෙන ගොස් ඇත්තේ කාන්තාවන්ය. තාවකාලිකව වසා දමන ලද ව්‍යාපාරවලින් 11,700ක් පවත්වාගෙන ගොස් ඇත්තේ ද කාන්තාවන්ය.
එම තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි ආර්ථික අර්බුදයේ බලපෑම තක්සේරු කිරීම සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේ මාර්තු මස සිට ජූනි මාසය දක්වා සිදු කරන ලද සමීක්‍ෂණයේ ප්‍රථිඵලයක් ලෙසය. මෙරට කෘෂිකාර්මික නොවන කටයුතුවල සම්බන්ධ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 7,813 ක් නියැදි ලෙස යොදාගනිමින් සිදු කරන ලද සමීක්‍ෂණයේ දී අවධානය යොමු කර ඇත්තේ 2018 වර්ෂයේ දී ක්‍රියාත්මක වූ, 2022 වර්ෂය වනවිට සක්‍රීයව ක්‍රියාත්මක නොවන ව්‍යාපාරික ස්ථානය. 2018 වර්ෂයෙන් පසුව ආරම්භ කරන ලද නව ව්‍යාපාර එම සමීක්‍ෂණයට ඇතුළත් කරගෙන නොතිබිණි. ඒ අනුව 2018 වර්ෂය අවසාන වනවිට දී මෙරට සක්‍රීයව පැවැති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව ලක්‍ෂ 13කි. එම ව්‍යාපාරික ස්ථානවලින් වැඩිම සංඛ්‍යාවක් වසා දමා ඇත්තේ 2020 වර්ෂයේ දී ය. ප්‍රතිශතයක් ලෙස සියයට 33.4කි. එමෙන්ම 2019 වර්ෂයේ දී ව්‍යාපාරික ස්ථාන 9.9%ක්, 2021 වර්ෂයේ දී ආයතන 27.4% සහ 2022 වර්ෂයේ දී ආයතන 29.3%ක් ද වසා දමා තිබේ.
සමීක්‍ෂණ වාර්තාව කියවාගෙන යනවිට පාස්කු ප්‍රහාරයේ මරලතෝනිය මගේ දෙසවනේ දෝංකාර දෙන්නට ගත්තේය. සිත සලිත විය. ගත හිරිවැටිණි. තිස් වසරක ත්‍රස්තවාදී අරගලයෙන් පසු මෙරට ශක්තිමත් වී තිබුණු ආර්ථිකය විනාශ මුඛයට ඇඳ වැටීමේ ප්‍රථම බෝම්බය 2019 වර්ෂයේ සහාරන්ගේ පාස්කු ප්‍රහාරය බවට විවාදයක් නැත. ඒ මූසල අන්ධකාර දිනයෙන් පසු මෙරට සිටි විදේශීය සංචාරකයෝ මරණ බියෙන් සලිත වී යන්න ගියහ. මෙරට සංචාරක කර්මාන්තය චණ්ඩ මාරුතකයට හසු වූ මහා රුක්ෂයක් සේ කඩා වැටිණි. සුද්දන්ට තැඹිලි කැපූ, වෙස් මුහුණු විකිණූ අහිංසක වෙළෙන්දාගේ සිට සංචාරක කර්මාන්තයට සේවා සැපයූ සුළු, මධ්‍ය පරිමාණ සියලු ව්‍යාපාර කඩා වැටිණි. 2018 වර්ෂය තුළ මෙරට ට පැමිණි මිලියන තුනකට ආසන්න විදේශීය සංචාරකයන් සංඛ්‍යාව, එම වර්ෂය තුළ මෙරට ආර්ථිකයට එකතු වූ ඩොලර් බිලියන පහකට ආසන්න ආදයම දරාගත නොහැකි ලෙසට පහළ වැටිණි. සංචාරක කර්මාන්තයේ කඩා වැටීමත් සමග සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අඟුළු වැටීම ආරම්භ විය. මෙරට සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ කඩා වැටීමට සහාරන්ගේ පාස්කු ප්‍රහාරය 8%ක පමණ ඍජු බලපෑමක් සිදු වී ඇති බව සැබෑය. අනතුරුව ලොව පුරා පැතිර ගිය කොවිඩ් වෛරසය 2020, -21 වර්ෂවල දී මෙරට ව්‍යාප්ත වීමත් සමග ආනයන, අපනයන වෙළෙඳාම නතර විය. එහි ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණ කර්මාන්තවලට සාපේක්‍ෂව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට දැඩි බලපෑමක් එල්ල විය. විදේශීය අමුද්‍රව්‍ය මත යැපුණු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇනහිටිණි. ආනයන නතර වී නැව් ගමනාගමනය සීමා වීම තුළ විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කොටගෙන භාණ්ඩ නිෂ්පාදනය කළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ අපනයන වෙළෙඳාම නතර විය. විසිතුරු භාණ්ඩ, විසිතුරු මසුන්, මත්ස්‍ය එකී නොකී සියලුම සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ට හතේ, හත වැදිණි. සියලු ක්‍ෂේත්‍ර අකර්මණ්‍ය කර කොවිඩ් වසංගතය සාමාන්‍ය බෝ වන රෝගයක් තත්ත්වයට පත්වන පසුබිමක ලෝක ආර්ථික අර්බුදය මෙරට ට දැඩිව දැනෙමින් තිබිණි.
ක්‍රමයෙන් උත්සන්න වූ ආර්ථික අර්බුදය තුළ ඩොලරයේ අගය ඉහළ ගොස්, භාණ්ඩ ආනයනය සීමා කිරීමත් සමග අමුද්‍රව්‍ය ලබාගැනීමට ඇති නොහැකියාව නිසා අමාරුවෙන් කරගෙන ගිය ඉතිරි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ද අගුළු වැටිණි. ආනයන සීමා කිරීම, අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ ණයවර ලිපි නිකුත් කිරීම අවම වීම තුළ මහා පරිමාණ කර්මාන්ත ද අපහසුවෙන් පවත්වාගෙන යන තත්ත්වයට පත් විය. කලට වෙලාවට ගල්අඟුරු ආනයනය කරගැනීමට නොහැකිවීම, ගල්අඟුරු මිල අධික ලෙස ඉහළ යෑම තුළ මෙරට යකඩ උණු කර භාණ්ඩ නිෂ්පාදනය කරන බොහෝ ආයතන වසා දැමිණි. පොලිතීන්, ප්ලාස්ටික් කර්මාන්තයට ද ඒ නස්පැත්තියම සිදු විය. ඒ තුළ දේශීය ඇසුරුම් කර්මාන්තය කඩා වැටීම මෙරට සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයට මරු පහරක් වැදිණි. කඩදාසි ආනයනය සීමාවීම තුළ මුද්‍රණ කර්මාන්තයේ මහා පරිමාණ කර්මාන්ත ඉතිරි වෙන්න සුළු කර්මාන්ත නැවත ගොඩනැඟිය නොහැකි තත්ත්වයට අගුළු වැටිණි. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අවශ්‍ය යකඩ ඇණයේ සිට ආනයන සීමා කිරීම, මෙරට යකඩ නිෂ්පාදන මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම, සිමෙන්ති වෙළෙඳාම ඒකාධිකාරියක් වීම තුළ සමස්ත ඉදිකිරීම් ක්‍ෂේත්‍රය ද කඩා වැටිණි. 2015 වර්ෂය වනවිට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයෙන් මෙරට ආර්ථිකයට ලබාදුන් 17%ක දායකත්වය 2018 වර්ෂය වනවිට 6%ක් දක්වා පහතට වැටිණි. ඉදිකිරීම් කර්මාන්තය අකර්මණ්‍ය වීම තුළ දේශීය උළු කර්මාන්තය, ගඩොල් කර්මාන්තය, සිමෙන්ති ගල් නිෂ්පාදන කර්මාන්තය, විසිතුරු කොන්ක්‍රීට් ගල් නිෂ්පාදනය, වෙනත් කොන්ක්‍රීට් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත කඩා වැටිණි.
රසායනික පොහොර, කෘමි නාශක තහනමත් සමග සමස්ත වැවිලි කර්මාන්ත ක්‍ෂේත්‍රයට මරු පහරක් වැදිණි. වී ගොවිතැනක්, එළවළු කොරටුවක් කරගෙන ජීවත් වූ මිනිසුන් නන්නත්තාර විය. හාල්, එළවළු මිල පමණක් නොව, කුණු කාණුවෙන් කඩාගෙන මිටි බැඳ විකුණන කංකුං මිටියේ මිලත් තෙගුණයකින් පමණ වැඩි විය. රසායනික පොහොර, තෙල් බෙහෙත් අර්බුදය සමනය වන පසුබිමක ඉන්ධන, ගෑස් අධික මිලකින් ඉහළ ගොස් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය විය. ඉන්ධන මිල ඉහළ යෑම නිසා මුහුදට යෑමට වත්කමක් නැති බහුදින යාත්‍රා ගස් බැඳිණි. සමස්ත ධීවර කර්මාන්ත අකර්මණ්‍ය විය. ඉන්ධන, ගෑස් මිලේ අධික මිල වැඩි වීම මෙරට සමස්ත ක්‍ෂේත්‍රයන්ට මෙන්ම ජන ජීවිතවලට ද දැඩි බලපෑමක් එල්ල කෙරිණි. සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියහ. පාන් පිටි, සීනි, බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම තුළ පිටි කෑම නිෂ්පාදනවල මිල තෙගුණයකින් පමණ වැඩි විය. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යෑමට සාපේක්‍ෂව ජනතාවගේ ආදයම් තත්ත්වය වැඩි නොවෙන පසුබිමක මිල දී ගැනීමේ හැකියාව අවම වී මෙරට සමස්ත බේකරි කර්මාන්තයේ 60%කට වැඩි ප්‍රමාණයක් ඈවර කිරීමට සිදු විය. රටේ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව හිනවීම නිසා දේශීය සෙරමික් කර්මාන්තයේ මහා පරිමාණ කර්මාන්ත පහක් අසීරුවෙන් කරගෙන යන පසුබිමක සුළු හා මධ්‍ය පරිමාණ සියලු සෙරමික් කර්මාන්ත වැසී ගියහ. සත්ව ආහාර ආනයනය නතර කිරීම, මෙරට බඩඉරුඟු අස්වැන්න අඩුවීම, හාල් මිල වැඩිවීමත් සමග දහයියා ගෝනියේ සිට සියලු සත්ව ආහාර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා සුළු හා මධ්‍ය පරිමාණ සත්ව ගොවිපළවල් 80%කට ආසන්න ප්‍රමාණයක් වැසී ගියහ. මස්, බිත්තර පිටරටින් ආනයනය කරන තත්ත්වයක් රට තුළ නිර්මාණය විය.
මෙරට සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ 50%කට ආසන්න සංඛ්‍යාවක් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබූ පසුබිමක 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ දී කර්මාන්තශාලාවල විදුලි ගාස්තුව 75%කින් වැඩි කෙරිණි. එම විදුලි ගාස්තු වැඩිවීමත් සමග ගහෙන් වැටී හතර හන්දි කැඩුණු මිනිහට ගෝනා ඇන්නා වැනි දෙයක් මෙරට කර්මාන්ත ක්‍ෂේත්‍රයට සිදු විය. එම බර කර්මාන්තකරුවන් විසින් පාරිභෝගික ජනතාව මත පටවා සැහැල්ලු විය. එහෙත් භාණ්ඩ මිල වැඩි වී, මිලදී ගැනීමේ හැකියාව තවත් දුර්වල වීම තුළ ජනතාව මත පැට වූ විදුලි ගාස්තුව නැවත කර්මාන්තකරුවන් දෙසට විතැන් විය. ඒ අල්ලපනල්ලේ රජය විසින් සියලු බදු අනුපාත වැඩි කර, බැංකු පොලී අනුපාත ද වැඩි කෙරිණි. 6%ට 7%ට ලබාගත් බැංකු ණයවල පොලිය 30% ට 32% වැඩි කෙරිණී. 12% ට 13% ට තිබුණු තාවකාලික ආනයනික ණය පොලී අනුපාතය 32% – 33%කින් ඉහළ දැමිණි. තාවකාලික බැංකු අයිරා පහසුකම් ලබාදීම බැංකුවලින් නතර කෙරිණි. 7%ට 8%ට පොලී අනුපාතයන් යටතේ ලබාගත් බැංකු ණයවල පොලිය 20%ක් දක්වා වැඩි කෙරිණි. ගලා ගෙන ආ ආර්බුද ගංගාවකින් යට වී දිවි ගලවා ගැනීමට අත්තටු ගහමින් සිටින මිනිසුන් සහිත රටක නැවත 63%කින් විදුලි ගාස්තු ඉහළ දැමිණි. ආසියානු කලාපයේ විදුලි ගාස්තු වැඩියෙන්ම අය කරන රටවල් අතර ලංකාව දෙවැනි තැනට උසස් විය. පළමු තැන සිංගප්පූරුවය. එහෙත් සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 54000 කි. ඒ වනවිට මෙරට ඒකපුද්ගල ආදායම ඩොලර් 2500කි.
මේ ආකාරයෙන් විදුලි ගාස්තු වැඩි කිරීම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට පමණක් නොව මහා පරිමාණ කර්මාන්තවලට ද දරාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය විය. සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ කඩා වැටීම තුළ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවයේ නියුක්තව සිටි ලක්‍ෂ විස්සකට ආසන්න පිරිසකට රැකියා අහිමි විය. එම කර්මාන්තවලින් වක්‍රකාරයෙන් යැපුණු පිරිස ඊට වැඩි විනා අඩු නොවන බව ද සැබෑය. විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවා කාලය අඩු කරන තත්ත්වයට විදුලි ගාස්තු වැඩිවීම ඛේදවාචකයක් බවට පත් විය. රට පුරා පවත්වාගෙන ගිය සුළු, මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලා විශාල සංඛ්‍යාවක් වැසී ගොස් එම ආයතන තුළ සේවය කළ කාන්තාවන් ස්පා තුළ අසහනාකාරීන්ගේ ශරීරි කූඩු මිරිකන තත්ත්වයට වැටී සිටිති. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ සමීක්‍ෂණයට අනුව ක්ෂුද්‍ර අංශයට යටත් කුලී ත්‍රිරෝද රථකරුවන්, කුඩා සිල්ලර වෙළෙන්දන්, කොන්ත්‍රාත් පදනම මත ඉදිකිරීම් කටයුතුවල නිරත පුද්ගලයන් විශාල පිරිසකගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන් ඇනහිට තිබේ. කාන්තාවන් පවත්වාගෙන ගිය කර්මාන්ත බිඳ වැටීම පවුල් සංස්ථාවේ කඩා වැටීමට ඍජු බලපෑමක් වී තිබෙන බව ද සැබෑය. එම කඩා වැටීමත් දරාගැනීමට නොහැකි ආර්ථික පීඩනය තුළ බොහෝ කාන්තාවන් පිටරට රැකියාවලට යෑමේ ප්‍රවණතාවය ද වැඩි වී තිබෙන බව වාර්තා වේ. කර්මාන්ත කඩා වැටීමත්, රැකියා අහිමි පිරිස වැඩිවීම තුළ රටේ මුදල් සංසරණය විශාල වශයෙන් ඇනහිටිණි. මොනයම් ක්‍රමයකින් හෝ රුපියලක ආදායමක් නොලබන පිරිස විශාල වශයෙන් වැඩි විය.
කාලය වේගයෙන් දිව ගියේය. ආණ්ඩු පෙරළීම් ද ඇති විය. එහෙත් ගැටලුවට තවම විසඳුමක් නැත. කඩා වැටුණු දේශීය කර්මාන්ත නඟාසිටුවීමට, සමස්ත කර්මාන්ත ක්‍ෂේත්‍රයට සිදුව ඇති අගතිය පිටුදකින සාර්ව ආර්ථික මූලධර්ම ක්‍රියාත්මක කිරීමක් පවතින රජයෙන් ද පෙන්න නැත. මාලිමා රජයේ අයවැය ප්‍රතිපත්තියත්, මුදල් ප්‍රතිපත්තියත් කෙන්ද්‍රගතව ඇත්තේ බදු අය කිරීම් තුළින් ජනතාවගේ මුදල් කොල්ලකෑමටය. ඒ තුළ ජනතාවගේ මිලදිගැනීමේ හැකියාව, ආයෝජන හැකියාව තව, තවත් හීන වෙමින් තිබේ. මිලදීගැනීමේ හැකියාවට සාපේක්‍ෂව රටේ ජනතාවගේ සියලු අවශ්‍යතා සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ. ජනතාවගේ විදුලි පරිභෝජනය විශාල වශයෙන් අඩු වී තිබේ. ජල පරිභෝජනය, ආහාර පරිභෝජනය ද සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ. සමස්ත ආර්ථිකය ශීඝ්‍රයෙන් හැකිළෙමින් පවතී. භාණ්ඩ හා සේවා සඳහා පැවැති සමස්ත ඉල්ලුම විශාල වශයෙන් අඩු වී තිබේ. ඉල්ලුම අඩුවීම තුළ වෙළෙඳාම අඩු වේ. හිතා මතා රටේ ආර්ථිකය සංකෝචනය කරන විදේශීය ණය මත යැපීම හැර ඩොලර් උපයන සැලසුම් ඉදිරිපත් නොකෙරූ රනිල් වික්‍රමසිංහ ‘සිස්ටම්’ එක මාලිමා රජය ද අනුගමනය කිරීම ගැටලුවකි.
තරංග රත්නවීර