හැඳින්වීම
මෙම පුවත්පත් ලිපිය, “Water Engineering Cultural Heritage of the Kandyans in the Knuckles (Dumbara) Mountain Range in Sri Lanka: An Exploratory Case Study” යන පර්යේෂණ පත්‍රිකාව මඟින් ඉදිරිපත් කරන ලද, අප විසින් සිදුකරන ලද මූලික අධ්‍යයනයක් පාදක කරගනිමින් සකසන ලද්දකි. එම පර්යේෂණයේදී පරිශීලනය කරන ලද දුර්ලභ මූලාශ්‍ර මෙම ලිපියෙහිද සඳහන් කර ඇත. එයින් මේ සම්බන්ධව වැදුර උනන්දුවක් දක්වන්නන් හට, තවදුරටත් ඉදිරියට පුළුල්ව විමර්ශන කටයුතුවල නියැළීමට අප විසින් දරන මෙම ප්‍රයත්නය රුකුලක් වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. කෙසේ වෙතත් අපගේ මූලික අභිප්‍රාය නම්, දුම්බර මිටියාවතේ කුඩා වාරි කර්මාන්ත හා බැඳුනු පාරම්පරික උරුමය පිළිබඳව පොදුවේ මහජනතාව වෙත සැකෙවින් සන්නිවේදනය කිරීමයි. අප විසින් තර්කනයට බඳුන් කරන කරුණු පිළිබඳව ඔබේ විචාරාත්මක ඇසින් දකින ලෙසට ඇරයුම්කර සිටින්නෙමු.
නන් අයුරින් ලොව පතල ශ්‍රී ලංකාව, බහු වාර්ගික, බහු ආගමික හා බහු සංස්කෘතික හර පද්ධතීන්ගෙන් සුපෝෂිතය. එබැවින්, විද්‍යාත්මක විග්‍රහයකට එළැඹීමට ප්‍රථමව, විවිධ දාර්ශනික ආගමික ශාස්තෲන් විසින් ජලය පදනම් කරගෙන දෙසන ලද දේශනාවලින් උපුටාගැනීම් කිහිපයක් ඔබේ අවධානයට යොමුකරමින් මෙම ලිපියට මාතෘකා වන ජල ශිෂ්ටාචාරයට ප්‍රවේශයක් ලබාගැනීම උචිත යැයි අපි කල්පනා කරන්නෙමු.
පූජනීය ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ ‘ගොඩබිමට වඩා ජලයෙහි බොහෝ ජීවීන් උපත ලබයි’ යනුවෙන් දක්වා ඇත.
ශුද්ධ අල් කුරාණයේ සුරාහ් අල් අන්බියාහි ‘සජීවී සියල්ල ජලය පාදක කර ගනිමින් නිර්මාණය කර ඇත’ ලෙසට පෙන්වාදී ඇත.
ශුද්ධ බයිබලයේ උත්පත්තියෙහි, ‘ජලයේ පැතිර යන පිණිස මම නානාවිධ ජලජ ජීවීන්ව සාදමි’ යනුවෙන් සඳහන් කර ඇත.
පූජනීය වේද ග්‍රන්තවල රිග් වේදයහි, ‘ජලය අපගේ මව හා සමානය’ යනුවෙන් අවධාරණය කර ඇත.
මෙයින් මනාව පැහැදිලි වන්නේ, සෑම දාර්ශනික – ආගමික ඉගැන්වීමකම ජලයට සුවීශේෂී ස්ථානයක් ලබාදී ඇති බවයි. එසේ නම්, ජලය පිළිබඳ සවිඥානික මනසකින් හා සක්‍රීය මසැසකින්, ශ්‍රී ලාංකීය ජල ශිෂ්ඨාචාරයේ ඉතිහාසය වෙත මෙසේ පිවිසෙමු.
ජල ශිෂ්ඨාචාරයේ ඉතිහාසය
බොහොමයක් දෙනෙක් දන්නා පරිදි, ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ ජල ශිෂ්ටාචාරයකට හිමිකම් දරයි. ජලය කළමනාකරණයට ලංකාවාසීන්ට ඇති හැකියාව පිළිබඳව මුල්ම ඉඟි පලවන්නේ විජය-කුවේණී පුරාවෘතයෙහිය. විජේසේකර (1984) සඳහන් කරන පරිදි, කුවේණී රැජිණිය විසින්, විජය කුමරුහට ආගන්තුක සත්කාර දක්වා ඇත්තේ, වගා කරන ලද වී සහල් කොට සකසාගත් බතක් පිළිගැන්වීමෙනි. තවද, එකල ස්වදේශික ජනයා විසින්, විජය කුමරු සමග පැමිණි ආර්යය කණ්ඩායම වෙත, වී ගොවිතැන පිළිබඳ දැනුම ලබාදුන් බව, විජේසේකර තවදුරටත් සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා සාධක මත විවාද පැවතිය හැකිවුවත්, වාරි කර්මාන්ත තාක්‍ෂණය හිනිපෙත්තටම නැගි අනුරාධපුර-පොළොන්නරු යුගවල විස්කම් පුරාවිද්‍යාත්මකවත් සමාජ විද්‍යාත්මකවත් අවිවාදිතය. මෙන්ඩිස් (2002) දරන මතය අනුව, පුරාණ වාරි පද්ධති, දාර්ශනිකව දෙආකාරයකින් යුක්තවේ. එනම්, පරිසර විද්‍යාත්මක (ecological) හා ජලශක්ති ඉංජිනේරු විද්‍යාත්මක (hydraulics engineering) ප්‍රවේශයන්ය. මෙන්ඩිස්ට අනුව, පරිසර විද්‍යාත්මක කෝණයකින් ජලය දෙස බලන්නේ සජීවී එහෙත් අක්‍රීය තත්ත්වයේ පවතින්නක් ලෙසය. ජලශක්ති ඉංජිනේරු විද්‍යාත්මක නම්, ජලය යනු අජීවී නමුත් සක්‍රීය පදාර්තයකි. මෙන්ඩිස්ට අනුව, පරිසර විද්‍යාත්මක ප්‍රවේශයකින් වාරි පද්ධති ඉදිකොට ඇත්තේ, ස්වභාවික පරිසරයේ සැකැස්ම හා ගතික ස්වරූපයට අනුකූල වන පරිද්දෙනි.
මෙම ලිපියට පසුබිම්වන දුම්බර රට නමින් එකල හැඳින්වූ දුම්බර මිටියාවත අයත්වූ මලය දේශයෙහි පිහිටුවූ මහනුවර රාජධානි සමය හා බැඳුනු වාරි ඉතිහාසය විමසා බලමු. මෙහිදී, මීමුරේ ගම ප්‍රධානකොට ගෙන, රාජකීයයන් සමග දුම්බර මිටියාවත පවත්වන ලද සබඳතාවයන් පළමුවෙන් සොයා බලමු. කරල්ලියැද්ද (2009) සඳහන් කරන පරිද, නම් වශයෙන් ගත්කල, දෙවන ගජභාහු රජු, පළමු මහා පරාක්‍රමභාහු රජු, පළමු විමලධර්මසූරිය රජු, ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු, කීර්ති ශ්‍රී රාජසිංහ රජු, රාජාධි රාජසිංහ රජු සහ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙයි. එපමණක් නොව, ආනන්ද සහ නහල්ලගේ (2016) වාර්තා කරන පරිදි, මෙම ප්‍රදේශ රාවණා මහ රජුගේ පාලන කාලයේදී විශේෂ සිදුවීම් අලලා ඉතිහාසගතවී ඇත. නිදසුනක් වශයෙන් දඬු මොණරය ක්‍රියාත්මක කිරීමට ලකේගල භාවිතාවූ බව ජනප්‍රවාදයේ ඇත. තවද, යක්ඛ ගෝත්‍රයට නෑකම් කියන මෙම ජනකොටස, රාවණා මහ රජුගේ පරම්පරාවෙන් පැවත එන බවටද විශ්වාස කෙරේ.
ජයවර්ධන (2007) සඳහන් කරන පරිදි, මහනුවර යුගයේ පතැස් නම් කුඩා ජලාශ විශේෂයක් රාජ්‍ය අනුග්‍රහය ලබමින් ව්‍යාප්තව පැවත ඇත. දළදා පුවත නම් කාව්‍යමය ග්‍රන්තයේ, විජේරත්න (1992) දක්වා ඇති පරිදි, විමලධර්මසූරිය රජු විසින් වාරි කටයුතු කළ අයුරු පහත උපුටාගත් කවියෙන් දැක්වේ.
පසන් එ පුර වට නොමින් බලැති සොඳ නඳින් පවුර බඳවා වෙසෙ සේ
ගණන් නොමැති නෙක ලෙසින් බලැති කොටු තැනින් තැනම බඳවා සතො සේ
උයන් පොකුණු වැව් පතැස් පෙළින් සැදි දනන් ඒ දුටු තොස වන විල සේ
යෙහෙන් ඒ හිමි නැණ බෙලෙන් කරපු දෙය මෙ දැන් කෙලෙස පවසම් සක සේ
තවදුරටත් පතැස් පිළිබඳව මූලාශ්‍ර ගෙනහැර දක්වන්නේ නම්: ඔබේසේකරට (2003) අනුව, වන්නි රාජාවලිය ග්‍රන්ථයේ විල් පතස් පිළිබඳ අවස්ථා කිහිපයකදීම සඳහන් වෙයි. විජිත වෙල්ලි වංශය (උඩුගම, 2003) ග්‍රන්ථයේ අලිපොතගත පොහොළ යනුවෙන් පතසක් පිළිබඳව සඳහන් වෙයි. මෑත ඉතිහාසයට අදාළව, බි්‍රතාන්‍ය පාලන සමයේ මහනුවර ගොවිජනතාව මුහුණපෑ ගැටලු සම්බන්ධයෙන් පත්කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව (Kandyan Peasantry Commission, 1951), ග්‍රාමීය ආර්ථිකයට අත්‍යවශ්‍ය කුඩා පරිමාණ වාරි කර්මාන්ත ගනයේ ලා පතැස් (පතහ) ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම මැනවින් පෙන්වාදී ඇත. මෙකී සියල්ලට විරුද්ධ මත දරමින්, රාජපක්‍ෂ (2007) දක්වන අදහස නම්, මීමුරේ වාරි කර්මාන්ත නැති බවයි. නමුත්, අපගේ මූලික අධ්‍යයනයෙන් මනාව පිළිඹිබු වන්නේ, රාජපක්‍ෂ විසින් වාරි කර්මාන්ත යන්න වෙනත් ආකාරයකින් අර්ථනිරූපනය කර, ඒ මත පිහිටා මීමුරේ වාරි කර්මාන්ත නැතැයි යන අදහස පළකර ඇති බවයි. වාරි කටයුතු සැලසුම්කරණයේදී හා ඉදිකිරීමේදී භූගෝලීය සැකැස්ම අනිවාර්ය අංගයක් වන බැවින්, දුම්බර මිටියාවතෙහි භූගෝලීය සැකැස්ම පිළිබඳ මඳක් විමසා බලමු.
දුම්බර මිටියාවතෙහි භූගෝලීය සැකැස්ම
වික්‍රමගමගේ (දි. නැ.) උපුටා දක්වන පරිදි, ඇඩම්ස්ගේ පැහැදිලි කිරීමට අනුව, භූගෝලීය වශයෙන් දුම්බර මිටියාවත තෙවැනි අඩතැනි ගනයට නොහොත් මුහුදු මට්ටමේ සිට උස මීටර් 835 ත් 2770 අතර පිහිටි උස්බිම් කලාපයට අයත්වෙයි. මෙම කඳු පන්ති බොහෝවිට චානොකයිට් නම් මව් පාෂණයෙන් නිර්මිතය (මූර්මාන් සහ පානබොක්කෙ, 1961). දුම්බර කඳු පන්ති මහවැලි ගඟේ ජලාධාරය නියෝජනය කරයි. මෙහි දක්නට ලැබෙන දියලු (alluvial) පස බොරලු සහිතය. පොදුවේ ගත්කල, සදාහරිත කඳුකර වනාන්තර සහ පතන බිම් වලින් ගහන මෙම දුම්බර මිටියාවත ජෛව විවිධත්වය අතින් ආඩ්‍ය වන අතර, වසර 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට්පත්‍රයෙන් සංරක්‍ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත (ද සිල්වා, 2005). අපගේ අධ්‍යයනයට පාත්‍රවූ මීමුරේ, නාරංගමුව, රණමුරේ සහ රත්නින්ද ආදී ගම්මානවල ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. කිතුල් කර්මාන්තයද සුළු පරිමාණ වශයෙන් මෙම ප්‍රදේශවල ව්‍යාප්තව ඇත. එහෙත්, මීමුරේ මේ අතුරින් සුවිශේෂී වන්නේ සංචාරක ආකර්ෂණය අතින් ඉතා ඉහළ සාම්ප්‍රධායික ගම්මානයක් ලෙස දෙස් විදෙස් ජනතාව තුළ ප්‍රචලිතව පැවතීමයි. මීමුරේ ගමට අනන්‍යවූ භූදර්ශනයේ වඩාත්ම කැපීපෙනෙන අංග අතර ලකේගල කන්ද, මීමුරේ ඔය, ලකේ ඇළ සහ හෙල්මලු ක්‍රමයට සැකසූ මනස්කාන්ත කුඹුරු යාය දැක්විය හැකිය. ජනගහනය සලකා බැලීමේදී, උදාහරණ වශයෙන් මීමුරේ ගමෙහි, 2022 වසරෙහි සංඛ්‍යාලේඛන අනුව සිටින්නේ පුද්ගලයන් 321 පමණ අඩු සංඛ්‍යාවකි. මෙහි පාරම්පරික පවුල්වල සෑම පුද්ගලයෙක්ම පාහේ සිංහල බෞද්ධ ජනවර්ගයට අයත්වේ.
දුම්බර මිටියාවතෙහි ඉපැරණි ජල තාක්‍ෂණය
මීමුරේ ග්‍රාමය කේන්ද්‍ර කරගත් දුම්බර මිටියාවතෙහි ඉපැරණි ජල තාක්‍ෂණය, පරහිතකාමීත්වය (altruism), අවමයට නැඹුරුවූ බව (minimalism) සහ පරිසරයට අවම බලපෑමක් සහිත සංවර්ධනය (low-impact development) යන දාර්ශනික හරයන් මත පදනම්වූ, පරිමාණයෙන් කුඩා නමුදු ඉංජිනේරුමය සැලසුම හා ඉදිකිරීම් තාක්‍ෂණය සරල නොවන (ඉදිකරන ලද කාලවකවානුව නිශ්චිය නොවූවද), අද දවස දක්වාම කෘෂිකර්මාන්තයට සක්‍රීය දායකත්වයක් දක්වන සුවිශිෂ්ඨ තිරසර නිමැයුමක් බව පළමුකොටම නොපැකිලව සඳහන් කළයුතුය.
යතෝක්ත වාරි පද්ධතිය, මූලික වශයෙන් කොටස් දෙකකින් යුක්තවේ. එනම්, ගංගා ජලය හැරවීමේ හා බෙදාහැරීමේ උප පද්ධතීන්ය. මීමුරේ ඔය (දිඹිගොල්ලෙ ඔය) සහ ලකේ ඇළ (ලකේ ඔය) ප්‍රධාන කරගනිමින් ජලය හැරවීම සිදුකරනු ලබන්නේ, අවට වටපිටාවෙන් සොයාගත් දෑ උපයෝගි කරගනිමින් ගලෙන් සකසන ලද අමුණු මඟිනි. එකී අමුණු, ගල් තට්ටු අතරට පස් හා පිදුරු එකට තබා සිරකිරීම මඟින් ඉදිකරනු ලැබේ. මෙම අමුණු, සාමාන්‍යයෙන් උසින් අඩි දෙකක් නොයික්මවූ හා පළලෙන් අඩි එකක් පමණ වන හරස් බැම්මකින් යුක්තය. අප විසින් කරනලද ක්ෂේත්‍ර අධ්‍යයනයන්ට අනුව, සාමාන්‍යකරණය කළ නොහැකි වුවත්, බොහෝ අවස්ථාවල, එම හරස් බැමි ඉංග්‍රීසි හෝඩියේ ‘සී’ අක්‍ෂරයට සමාන තරමක අර්ධ කවාකාර හැඩැතිය (උදාහරණ වශයෙන් වික්ටෝරියා වේල්ලට අනුරූප හැඩැය) (රූපය-01 බලන්න). එම හැඩය, ඉංජිනේරුමය පරාමිතීන්ට අනුව, හරස් බැම්මේ සවිශක්තියට හා බල සම්ප්‍රේෂණයට වාසි සහගත ලෙස බලපාන නමුත්, ප්‍රයෝගිකව සෑම වගා කන්නයකදීම එම අමුණු නැවත අලුතින්ම සැකසීමට හෝ පිරියම් කිරීමට සිදුවනුයේ ඔයෙහි සැඩපහරට නතුවීම හේතුවෙනි. අපි එම තත්ත්වය ප්‍රාථමික තත්ත්වයක් ලෙස නොව, පරිසරයේ ගතික ස්වභාවයට වඩාත් අනුගතවූ පද්ධතියක් ලෙස දකින්නෙමු. ඒ මක්නිසාදයත්, නිසි අධ්‍යයනයකින් තොරව වසර පුරාවට ස්ථිර ලෙස ජලය හැරවීමෙන් ජලාධාරක ප්‍රදේශයේ පාරිසරික තුලිතතාවයට අනිසි බලපෑමක් සිදුවනු නොවැළැක්විය හැකි නිසාය. ඇතැම්විට, අතීත මුතුන්මිත්තන්, පාරිසරික සමතුලිතතාවය පිළිබඳ පාරම්පරික දැනුම, ස්වකීය ජීවන අත්දැකීම් හා විචාරශීලීත්වය මෙම වාරි කර්මාන්ත සැලසුම් හා ඉදිකිරීම් සඳහා පදනම් කරගත්තා විය හැකිය.
අපගේ නිරීක්‍ෂණවලට අනුව, අමුණක් සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීමේදී, ඔයෙහි ස්වභාවිකව හටගත් ජලතටාක හා යාබැම්ම (abutment) සඳහා උචිත ගල්පරයක් පැවතීම සැලකිල්ලට ගෙන ඇති බවයි (රූපය-01 බලන්න). එනමුත්, මේ සම්බන්ධව ලිඛිත හෝ ජනශ්‍රැතිය ඇසුරින් සපයා ගතහැකි තහවුරු කරන ලද තොරතුරු නොමැති තරම්ය. එනමුත්, රත්නින්ද ප්‍රදේශයේ ගොවිකම ජීවනෝපාය කරගත් වැසියන්ට අනුව නම්, යාබැම්ම සඳහා උචිත ගල්පරයක් පැවතීම ප්‍රධානකොට ගනුයේ ඔවුන් අමුණු තනන්නේ මී හෝ කුඹුක් වැනි දැව කඳන් සහ කොළඅතු උපයෝගී කරගන්නා නිසාවෙනි. භාවිතා කරනු ලබන අමුද්‍රව්‍යය වෙනස් වුවද, රත්නින්ද ප්‍රදේශයේ වැසියන් අමුණක් සඳහා සුදුසු ස්ථානයක් තෝරාගැනීමේදී සලකන පරාමිතිය තාක්‍ෂණිකව පිළිගත හැක්කක් බැවින්, මීමුරේද ඇතුළුව දුම්බර මිටියාවතට එම සිද්ධාන්තය පොදු වූවක් විය හැකිය.
මෙම අමුණුවල ජලකාන්දුව, සාමාන්‍යය අමුණක පාලිත තත්ත්වයන්ට වඩා වැඩිබව පහසුවෙන් දක්නට ලැබුණද, අප දරන අදහසනම්, එසේ යම් පමණකට ජලය කාන්දුවීමට ඉඩහැරීමෙන් රොන්මඩ දීර්ඝකාලීනව තැන්පත්වීම අවමවී, ඔයෙහි ජලවිද්‍යාත්මක තත්ත්වයන්ට වන බලපෑම අවමවන බවයි. ඊට අමතරව, ඔයෙහි අවශ්‍යය පමණටත් වඩා ජල සම්පත සුලභව පැවතීමත්, වාරි ජලය අවැසි වගා ක්ෂේත්‍ර සාපේක්‍ෂව කුඩා වපසරියකින් යුක්තවීමත් හා ඉහතකී දාර්ශනික හරයන් නිසා, ජලකාන්දුව මැඬලීමට වෙසෙසි පරිශ්‍රමයක් නොදැරීම සිදුවූවා විය හැකිය.
මෙම ඉපැරණි ජල තාක්‍ෂණයන් නූතන විද්‍යා ඇසෙන් පූර්ණ වශයෙන් විග්‍රහ කිරීම අනුචිත වුවත්, න්‍යායාත්මක හා ආනුභවික (empirical) තොරතුරු මත, කුමාර් ඇතුළු පිරිස (2023) විසින් පැහැදිලි කරන ආකාරයට මෙවැනි අමුණු සවිවර අමුණු (gabion weirs or porous weirs) ලෙස වර්ගීකරණය කළ හැකි අතර, මෙම වර්ගයේ අමුණු මඟින් රොන්මඩ පරිවහනයට පහසුකම් සැලසීමෙන් පරිසර පද්ධති වෙත සිදුවිය හැකි බලපෑම අවම කරයි.
එසේ හරවන ලද ජලය, කුඹුරුයාය දක්වා රැගෙන යන්නේ කුඩා ඇළ මාර්ග තුළින්ය. මෙම ඇළ මාර්ග, ඉතා සූක්‍ෂමව නියමිත බැස්ම පවත්වා ගනිමින්, මහත් පරිශ්‍රමයක් යොදා පොළව මතුපිටට වන්නට ඇති ගල්තට්ටුවට කාවද්දන ලද ඇළ මාර්ගයන්ය. ගැමියන් පවසන පරිදි මෙම ඇළ මාර්ග ඉදිකර ඇත්තේ දැවමය (උදාහරණ ලෙස කිතුල්) ආම්පන්න භාවිතයෙනි. පළලින් අඩි එකත් දෙකත් අතර වන මෙම නොගැඹුරු (අඟල් 6-10 අතර) ඇළ මාර්ගවල, පස සහිත ස්ථානවල ගල් ආස්තරනය කිරීමෙන් ඇළ ඉවුරු ඛාදනයවීම පාලනය කර ඇත (රූපය – 02 බලන්න). සෑම වගා කන්නයකදීම ඇළ මාර්ග එළිපෙහෙලි කිරීම අදාළ කුඹුරු යායේ ගොවීන් විසින් සාමූහික ක්‍රියාකාරකමක් ලෙස සිදුකරන අතර, එම ක්‍රියාවලිය ව්‍යවහාර භාෂාවේ ‘ඇළ පායනවා’ යනුවෙන් යෙදෙයි. මෙම ඇළ මාර්ගවල පවතින තවත් සුවිශේෂිතා අතර, ඇතැම් ස්ථානවල පස් සහ ගල් එක්කොට බඳිනලද බැමි මගින්, ඇළ මාර්ගය නියමිත උන්නතාංශයෙහි පවත්වා ගැනීමට කටයුතු යොදා ඇත. වර්තමානය වනවිට, සුළු වශයෙන් සිමෙන්ති භාවිතයෙන් ඇතැම් ස්ථාන නවීකරණය කර ඇති බව නිරීක්‍ෂණය වෙයි.
ඇළ මාර්ගය සමග අමුණ සම්බන්ධවන ස්ථානයට මඳක් ආසන්නව, ශෛලමය ඉස් සොරොව්ව (head sluice) දැකගත හැකිය. එය සරල නිමැයුමක් ලෙස ගල් කිහිපයක් උපයෝගි කරගනිමින් සකසා තිබුණද, එහි ක්‍රියාකාරීත්වය සමස්ත උප පද්ධතියටම බලපාන කරුණක් බව නොකිව මනාය. සොරොව්වෙහි ද්වාරය ලෙස භාවිතා වනුයේ තවත් ගල් කැට කිහිපයකි.
තවදුරටත් ඇළ මාර්ගයේ පහළට වන්නට, පිටවානක ක්‍රියාකාරීත්වය සහිත ඒකකයක් ඇත. එහි ඉතා කුඩා බැමි කොටස සකසා ඇත්තේ විශාල ජලධාරාවක් ඇළ මාර්ගය ඔස්සේ ඉහළින් පැමිණි විට ස්වයංක්‍රීයව එම බැමි කොටස බිඳීගොස් ජලය නැවතත් ප්‍රධාන ඔය වෙත යොමුවන අයුරිනි. මීට අමතරව, එම ඒකකයේ ප්‍රමුඛ කාර්යයක් වන්නේ, කුඹුරෙහි තාවකාලිකව ජල සැපයුම අත්හිටුවීමට සිදුවන අවස්ථාවන්හිදී ජලය ඊට පහළින් ඇති වෙනත් ඇළ මාර්ගයකට හෝ නැවතත් ප්‍රධාන ඔය වෙතටම යොමුකරවීමයි.
භූමියේ බැස්මට හා පෘෂ්ඨයෙහි ස්වභාවයට (උදාහරණ ලෙස ගල් සහිත බව) අනුකූල වනසේ, පාරම්පරිකව හෙල්මලු ක්‍රමයට කුඹුරුයාය සකසා ඇත්තේ, මනාව පස සංරක්‍ෂණය වන පරිදි ජල සම්පාදනය ක්‍රමානුකූලව හා කාර්යක්‍ෂමව ඉටු කළහැකි අයුරින්ය (රූපය – 03 බලන්න). මෙහිදී, කුඹුර යනුවෙන් හැඳින්වෙන එක් ඒකකයක්, ලියැදි නම් උපකොටස්වලින් සමන්විතය. ලියැද්දක් යනු නියරයකින් වටකොට නිශ්චය කරගත් සකසන ලද බිම්කඩකි. මීමුරේ ග්‍රාමයේ පවතින හෙල්මලු ක්‍රමයෙහි (උදාහරණ ලෙස ගමවෙල නම් කොටසෙහි කුඹුරුවල) අපට නිරීක්‍ෂණයවූ සුවිශේෂීත්වයක් වන්නේ, කනිටි නමින් හඳුන්වනු ලබන කුඩා ලියැදි බහුලව පැවතීමයි (රූපය-04 බලන්න). කනිටි, භූමි පරිහරණය සකසුරුවම් ලෙසට සිදුකර ඇති බවට විද්‍යාමාන කරවන නිදසුනකි.
කුඹුරට ජල සැපයුම සම්බන්ධ වන ස්ථානය නාවත (නවත ලෙස රත්නින්ද ප්‍රදේශයේ ව්‍යවහාරවේ) වන අතර එම ලියැද්ද නාවතෙ ලියැද්ද වෙයි (දරාක්‍ෂ ලියැද්ද ලෙස රණමුරේගම ප්‍රදේශයේ ව්‍යවහාරවේ). කුඹුරට හරවන ජලය තාවකාලිකව නතරකිරීම නාවත පිට තියනවා යනුවෙන් ව්‍යවහාර වෙයි. එහිදී සිදුවන්නේ, නාවත පිදුරු තබා වසාදැමීමයි. එනයින්, නාවත යනු එක්තරා කුඩා පරිමාණ සොරොව්වකි.
ඉහළින් පිහිටි කුඹුරක් මඟහරවමින් කුඹුරු යායේ පහළින් හෝ මැදට වන්නට පිහිටි කුඹුරක් වෙත ස්වාධීනව ක්‍රියාත්මක වන පරිදි ජල සැපයුමක් ලබාදෙන්නේ හීදෙක්‍ෂුව නොහොත් පිටලය හෝ දියමාරුව ලෙස හඳුන්වනු ලබන අමුණෙන් පැමිණි ඇළෙන් බෙදීගිය කුඩා ජල මාර්ගවලිනි. (රූපය-05 බලන්න). හීදෙක්‍ෂුවෙහි ගමන්ගන්නේ ඔයෙන් සෘජුවම පැමිණෙන භාවිතයට නොගත් ජලය නිසාත්, ඇතැම් අවස්ථාවල හීදෙක්‍ෂුව සෘජුවම ඔයට නැවතත් සම්බන්ධ වන නිසාද, හීදෙක්‍ෂුව තුළට පරිහරණය කර අපවහනය කරන ජලය නැවත බැහැර කිරීමට සම්මුතීන් ප්‍රකාරව අවසර නොලැබේ.
එසේ නම් ලියැදි අතර ජල කළමනාකරණය සිදුවන්නේ කෙසේදැයි ඔබට ගැටලුවක් පැනනැඟිය හැක. එය සිදුකරනු ලබන්නේ තුන් ආකාරයකට ක්‍රියාත්මක වන වක්කඩ නම් පිටමුව වැසීම (අහුරනවා ලෙස ව්‍යවහාරවේ) හෝ විවෘත කිරීම (කඩනවා ලෙස ව්‍යවහාර වේ) මඟිනි. වක්කඩ වර්ග තුනකි. එනම්, ඇළ වක්කඩ, ඉස්නන් වක්කඩ හා පාවක්කඩයි. මෙම වක්කඩ ත්‍රිත්වය අනුපිළිවෙළට ක්‍රියාත්මක වන අතර, ඒ ගැන දීර්ඝ විස්තරයක් අපගේ ඉංග්‍රීසි බසින් පළකරන ලද ඉහතකී පර්යේෂණ පත්‍රිකාවේ අඩංගු කර ඇත. සංක්‍ෂිප්තයක් වශයෙන්, එම ක්‍රියාවලියේදී සිදුවන්නේ භූමියේ බෑවුමට අනුව එක් ලියැද්දකින් අනෙක් ලියැද්දට ක්‍රමාණුකූලව බහුවිධ අවස්ථාවන්හිදී එකම ජලය නැවත නැවත සාමූහිකව හා සාධාරණ ලෙස ප්‍රයෝජනයට ගැනීමයි. එය පරිසරාත්මකවත්, සාමාජීය වශයෙනුත් මෙන්ම ආර්ථිකමය වශයෙන්ද වාසි සහගත තිරසර ක්‍රමයකි.
මීට අමතරව, පතහ (පතැස්) යනුවෙන් ව්‍යවහාර වන කුඩා ජලාශ විශේෂයක් මෙම ප්‍රදේශවල, විශේෂයෙන් මීමුරේ ගමෙහි වත්මනෙහිද දක්නට ලැබේ. අද වන විටත්, මීමුරේ වෑකඩේ නමින් හඳුන්වනු ලබන කුඹුරට යාබදව, පාරට ආසන්නව පතැස් දෙකක් දක්නට ලැබේ. පොදුවේ, මේවා පත්‍රාකාර හෝ ඕවලාකාර හැඩයකින් යුත්ත වන අතර ප්‍රමාණයෙන් අඩි 6-10 පමණ දිගැති හා පළලින් අඩි 5-6 පමණ වෙයි. ඉන් එක් පතහක්, වෑකඩේ ගෙදර නම් දරන නිවස අසල කුඩා දියපහරට සම්බන්ධිතව පස්වලින් සකසන ලද අර්ධ කවාකාර බැම්මක් (අඩි 1 පමණ උසැතිව, අඩි 1 පමණ පළලැතිව) සහිතව නිර්මාණය කර ඇත. එහෙත්, එම බැම්මේ ඉහළ කෙළවර පාර මට්ටමට සාපේක්‍ෂව මඳක් පහතින් පිහිටා ඇති බැවින්, වළක ස්වරූපයෙන් පතහ අපට දිස්වේ. එහි ජලය ඇතුල්වීමට සහ පිටවීමට කුඩා විවර දෙකක් පැවතියද, ඒවා සොරොව් ලෙසට හඳුනාගත නොහැක. ඒ මක්නිසාදයත්, ගැමියන් පවසන පරිදි, මෙයින් ජලය නිකුත් කරන්නේ (වතුර මුරය) පස් බැම්මෙහි කුඩා කොටසක් ඉවත් කිරීම මඟිනි. දෙවැනි පතහ පිහිටා ඇත්තේ, පාරේ තවදුරටත් අඩි 250ක් පමණ ගමන්ගත්විටදී හමුවන සලමන් මහතාගේ නිවස පෙනෙන මානයේ පාර අසබඩ ඇති දැවැන්ත මී ගස පාමුලට වන්නටය (රූපය-06 බලන්න). මෙම පතහ තරමක් දුරට වෙනස්ය. එය පිහිටි පොළවේ ඇති වළක් ලෙසට බැලූ බැල්මටම පෙනීගියත්, එහිද ජලය නිකුත් කරන තැනට නවීකරණය කරන ලද කෙටි බැම්මක් යොදා ඇත.
අප වාග්විද්‍යා විශාරදයන් නොවූවත්, අපගේ ක්ෂේත්‍ර පරීක්‍ෂණ, ප්‍රදේශවාසීන් සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡා හා පරිශීලනය කරන ලද ලිඛිත මූලාශ්‍ර එක්ව සංසන්දනය කර බැලීමේදී, පතහ යන පදය සෘජුවම වළ හෝ නිම්නය යන අරුත්වලින් භාවියට පැමිණීමට ඉඩකඩ ඇතත්, ඊට වඩා පුළුල් අර්ථනිරූපනයක් අපි එහි දකින්නෙමු. ඒ මක්නිසාද යත්, පත් යන්න පත්‍රාකාර හැඩය හඟවන අතර පත යනු එක් අමුණකින් (එනම් වී බුසල් හතරක වපසරිය) වැපිරෙන ප්‍රමාණයෙන් 1/160 කි. එනයින්, පතහ යනු නිම්න භූමියක පිහිටි, පත්‍රාකාර හෝ එවැනි හැඩැති, පොළවේ ගිල්වනලදසේ විද්‍යාමාන වන, බහුවිධ අවශ්‍යතාවයන් අතුරින් කුඹුරක දන්නා වපසරියකට සරිලන පමණට වාරි ජලය ගබඩාකොට තැබිය හැකි, ස්වභාවිකව හෝ මිනිසා විසින් ගොඩනඟන ලද කුඩා පරිමාණයේ ජලාශ විශේෂයක් වේ.
ඉහතකී පතැස් දෙකට අමතරව, මීමුරේ ගමෙහි අනෙකුත් වාරි ජල ප්‍රභවයන් පැවත ඇත. ඒවා නම් වශයෙන්: යපානිස් වෙද මහතාගේ නිවස ආසන්නව පිහිටා තිබූ වැවේතැන්න වැව, අඩුපුල්ලේ වැව, කුකුරුමහන කඹුරේ පිහිටි පතහ, වක්කඩ මඩිත්තේ පිහිටි පතහ, ගමවෙල වැලිමුල්ලේ කඹුරේ පිහිටි පතහ සහ දැනට වැවේ ගෙදර යනුවෙන් හැඳින්වෙන ස්ථානයට ආසන්නව පිහිටි වැව හෝ පතහ වේ. මෙහිදී අප සැලකිල්ලට ගතයුතු, අප නිරීක්‍ෂණය කළ කරුණක් නම්, පතහ යන පදය ක්‍රමිකව භාවිතයෙන් ඉවත්ව යමින් ඇති බවත්, ඒ වෙනුවට පොඩි හෝ කුඩා වැව යන අනුවර්ත නාම භාවිතයට පැමිණ ඇති බවත්ය. මහාචාර්ය ජේ. බී. දිසානායකට (2005) අනුව, භාෂාව කාලානුරූපව වෙනස් වන නමුත්, අප දරන මතය වන්නේ, අනුචිත නවීකරණයන්ගෙන් බස නොනැසී පැවතීමට නම්, නාමකරණය හෝ ශබ්දමාලාව නිවැරදි ලෙස පරපුරෙන් පරපුරට සාමාජ ඉගෙනුම් ක්‍රියාවලිය හරහා සම්ප්‍රේෂණය වීමට පහසුකම් සැලැස්විය යුතු බවයි.
අපගේ ගවේශණාත්මක අධ්‍යයනයේ සුවිශේෂී එෛතිහාසික පසුබිමක් සහිත, එහෙත් එතරම් අවධානයකට ලක්නොවූ ජලවිද්‍යාත්මක වශයෙන්ද ඉතා වැදගත් ස්ථානයක් ලෙස, ලකේගල පාමුල උයන්ගොමුව නම් තැනිතලා ප්‍රදේශයේ පිහිටා ඇති රාවණා වැව සඳහන් කළයුතුව ඇත (රූපය – 07 සහ රූපය – 08 බලන්න). ජනප්‍රවාදයට අනුව, රාම-රාවණා යුද්ධයේදී රාවණා රජු එල්ලකර ගනිමින් ප්‍රතිපාර්ශ්වය විසින් විදින ලද ඊතලයක් ලකේගල කඳුමුදුනෙහි ගැටීමෙන් බිඳීගිය පාෂාණ කොටස් ඇදවැටීමෙන් රාවණා වැවෙන් කොටසක් වැසී ගොස් ඇත. අපගේ අධ්‍යනය මෙම ජනශ්‍රැති පිළිබඳ කේන්ද්‍රගත නොවූවත්, අප සිදුකළ ක්ෂේත්‍ර චාරිකා ප්‍රකාරව රාවණා වැව යනුවෙන් හඳුන්වනු ලබන ස්ථානයේ නාය යෑමකට ලක්වූ ස්වභාවයේ ගල්කුළු (rockslide) දක්නට ලැබේ. එහි භූවිද්‍යාත්මක පදනම තවදුරටත් අධ්‍යයනය කළයුතු කරුණකි.
එනමුත්, අර්බ් (1963) සඳහන් කරන ආකාරයට, මෙම ප්‍රදේශ නාය යෑම් හා ඛාදන ක්‍රියාවලීන්ට නතුව පවතී. ඒ කෙසේ වෙතත්, රාවණා වැව ඊට පහළින් පිහිටි සෙසු ජලමූලාශ්‍ර වෙත ජලාධාරක ප්‍රදේශයක් වශයෙන් ක්‍රියාත්මක වේ. නිදසුනක් වශයෙන්, ගැමියන් විසින් අත්දැක ඇති පරිදි, රාවණා වැව ප්‍රදේශයට වැසි ලැබීමෙන් නාරංගමුව ග්‍රාමයේ පිහිටි ගවර විලෙහිත් රණමුරේගම ඇති ගල්පිහිල්ලෙහිත් ජල තත්ත්වය ඉහළ යයි. තවද, ගැමියන් විශ්වාස කරන පරිදි, රාවණා වැව, පෙර පැවති ලග්ගල නගරය නොහොත් වර්තමානයේ කළු ගඟ ජලාශයට යටව පවතින ප්‍රදේශය දක්වාම උමං මාර්ගිකව සම්බන්ධිතය.
දුම්බර මිටියාවතේ ජල කළමනාකරණය, යහපාලන දෘෂ්ටිකෝණයකින් බැලීමේදී, පොදු බුක්තිය හා සාමූහික සහභාගිත්ව පරිපාලනයකට යටත්ව පවතින්නේ ආගමික-සංස්කෘතික බැඳීම්වලට තදින් ගැටගැසීමෙනි. එනයින්, නූතන කළමනාකරණ ක්‍රම හඳුන්වාදීමේදී, සම්ප්‍රධාය සුරැකෙන ක්‍රමෝපායන් පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇත.
දුම්බර මිටියාවතෙහි උරුමය සුරැකීම
පිළිබඳ ප්‍රතිපත්ති රාමුව
මීමුරේගම ප්‍රමුඛව, දුම්බර මිටියාවතෙහි උරුමය
සුරැකීම පිළිබඳ ප්‍රතිපත්ති රාමුව සැකසීමේදී, පහත කරුණු ඔබේ අවධානයට යොමුවෙතැයි අපි විශ්වාස කරන්නෙමු.
(අ). පාරම්පරික උරුමය හඳුනාගැනීම සහ අර්ථනිරූපණය කිරීමේ අවශ්‍යතාවය : සරලව කිවහොත්, දුම්බර මිටියාවතෙහි පාරම්පරික උරුමය යැයි සැබැවින්ම හඳුන්වන්නේ කුමක්ද යන්න පිළිබඳව නිවැරදි තක්සේරුවකට, එනම් උරුමයෙහි සීමා මායිම් කවරේද යන්න පුළුල්ව විග්‍රහ කරගැනීම පළමු කොටම සිදුවිය යුක්තකි. එය භෞතිකමය, මානව, සාමාජීය, සංස්කෘතික, ආගමික, භාෂාමය, ආර්ථිකමය, තාක්‍ෂණිකමය, කර්මාන්තමය, පරිසරාත්මක, ආදීවූ මානයන් ගෙන් විශ්ලේෂණය කළහැකිය. එහිදී, ඒ ඒ උප ප්‍රධාන අංශවලට බලපාන පරිදි අතීතයේ පැවති, දැනට පවතින හා මතුවට පැමිණිය හැකි යැයි අනුමාන කරන තර්ජන විමර්ෂණාත්මකව අධ්‍යයනය කළ හැකිය. තවද, මේ සඳහා ගම්වැසියන්ගේද, වෘතීයවේදීන් සහ පිළිගත් රාජ්‍ය නොවන සංවිධානවලද දායක්වය කථිකාවතක් හරහා ලබාගැනීම ඉතා වැදගත් වනු ඇත. මෙම ක්‍රියාවලිය ප්‍රතිපත්ති සම්පාදනයේදී ගැටලු හඳුනාගැනීමේ පියවරෙහි කොටසක් ලෙස පෙන්වාදිය හැකිය.
(ආ). පාරම්පරික උරුමය සංරක්‍ෂණය කරන විධික්‍රම : එනම්, උරුමය සංරක්‍ෂණය කළයුත්තේ කෞතුකාගාරයක් මඟින් පමණක්ද, නොඑසේනම්, පාසල් විෂය නිර්දේශයට අදාළ පෙළපොත් හා වෙනත් පතපොත හරහාද, ඩිජිටල් තාක්‍ෂණික ක්‍රම මඟින්ද (උදාහරණ ලෙස අන්තර්ජාල වෙබ්අඩවි, ගුවන්විදුලි-රූපවාහිනි වැඩසටහන්, ව්ලොග් (vlogs) වැඩසටහන්, ආදීවූ) යන්න පිළිබඳව තීරණයකට එළැඹි යුතුය. එහිදී, සක්‍යතාවයන් හා විභවතාවයන්, එනම්, අවශ්‍යය මූල්‍ය ප්‍රතිපාදන හා උපදේශණ පහසුකම් තිබේද සහ ජ්‍යාත්‍යන්තරනය කිරීමට ඇති හැකියාවත් එහි ප්‍රතිපලදායී බව කවර මට්ටමක වේද යන්නත් සැලකිල්ලට ගතයුතුව ඇත.
(ඇ). පාරම්පරික උරුමය, ලංකාවාසීන්ට හා ලෝවැසියන්ට සන්නිවේදනය කරන ක්‍රමෝපායික සැලසුම: මේ සඳහා, ඉහත (ආ) හි සඳහන් කරන ලද හුදු සංරක්‍ෂණ විධික්‍රම පමණක් පැවතීම ප්‍රමාණවත් නොවන බව අපි විශ්වාස කරන්නෙමු. උරුමයක් සුරැකෙන්නේ එය ජනගත වුවහොත් පමණි. එසේ නොවන්නට, ඒවා පුරාවිද්‍යාත්මක නිදර්ශක පමණක් බවට පත්ව, ක්‍රමයෙන් සමාජ භාවිතයෙන් ඉවත්ව යෑමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩිය. මේ සඳහා, නවීන සමාජය ආකර්ෂණය කරගත හැකි නිර්මාණශීලී ප්‍රවේශයක් ලබාගැනීම ඉතා වැදගත් වනු ඇත.
(ඈ). පාරම්පරික උරුමය පිළිබඳ නීති හා ප්‍රතිපත්ති : ප්‍රතිපත්ති සම්පාදනයේදී වැඩි ප්‍රමුඛතාවයක් දෙන්නේ නීති හා රෙගුලාසි වලටද, නොඑසේනම් ස්වේච්ඡා ගිවිසුම් (volunteer agreements) ප්‍රවර්ධනය කිරීමටද යන කරුණ පිළිබඳ දාර්ශනිකව තීරණයකට එළැඹිය යුතුය. කෙසේ වෙතත්, දුම්බර මිටියාවතෙහි උරුමය නියෝජනය වන පාරම්පරික ඉඩම්වල හිමිකාරීත්වය පැවරීම (වාණිජ්‍යමය හෝ වෙනත් කටයුතු සඳහා) කිසියම් නියාමනයකට යටත්වීම කාලෝචිතය.
සංචාරක ඔබට යම් සිහිකැඳවීමක්
දුම්බර මිටියාවතෙහි වෙසෙන ජනයා, ඔවුන්ගේ ගමට පිවිසෙන ඕනෑම සංචාරකයකු තරාතිරම නොබලා සිනහමුසු මුහුණින් හෘදයාංගමව පිළිගනුයේ, එදවස රොබට් නොක්ස් (1681) විසින්ද කන්ද උඩරටදී අත්විඳි, මටසිලිටි බසින් ආමන්ත්‍රණය කරමිනි. එම ගැමිකම, හෘදයාංගම බව, සහෘදත්වය හා අව්‍යාජත්වය, හුදු නොදියුණු ජන කොටසක් වශයෙන් ඔවුන්ව ලඝුකොට තැකීම සිදුවිය යුත්තක් නොවේ. ඔවුන් සරලය. අල්පේච්ඡතාවයෙන් යුක්තය. ඕනෑවට වඩා නිතර උස් හඬින් කතාබස් නොකරන්නෝය. එම නිහැඬියාව හා ගුප්ත ස්වභාවය, පිටස්තරයන් වන අපට පුදුමය දනවන්නක් විය හැකිය. එනමුත්, ඔවුන් පරිසරය සමග අන්‍යොන්‍ය වශයෙන් බද්ධව, පරිසරයට අවම බරක්වී ජීවත්වීමට හුදෙක්ම කැමැත්ත දක්වන්නෝය. එම ජීවන රටාවෙන් අපට උගතහැක්කේ මෙපමණක යැයි මැන බලා සංක්‍ෂිප්තව මෙහිදී සටහන් කිරීමට තරම් අපි අමනෝඥ නොවෙමු. වත්මනෙහි අප අත්දකින තාක්‍ෂණික විජ්ජා ඔවුනට අරුමයක් යැයි ඔබට හැඟී යාහැකි නමුත්, ඔවුන් අප බොහෝ දෙනකු නොදන්නා අභිමානවත් ඉතිහාසයක උරුමය අනාගත පරපුරට දායාද කිරීමට ඇපකැපවී සිටින්නන් බැව් අප පසක්කර ගතයුතුය. එබැවින්, හුදු විනෝදාශ්වාදයම සඳහා පමණක් අරබයා දුම්බර මිටියාවට පිවිසීමට වඩා, එම ජනයා සමග ගවේෂණාත්මක කථිකාවතක යෙදීම මඟින්, ඔවුන් විසින් ඓතිහාසික උරුමය ජනගත කිරීමට දරන ප්‍රයත්නයට රුකුලක් වීමෙන්, ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව, සමස්ත ලෝකවාසීන්ටද වැඩදායී වන දායකත්වයක් ලබාදීමට අප නිතැතින්ම උත්සුක වන්නේ නම් මැනවි යැයි අපි ඔබට මහත් ඕනෑකමින් ඇරයුම් කර සිටිමු.
රුවන් ධනුක එදිරිසිංහ සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම්.එම්.එම්. නජිම් විසිනි