මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි කර්තෘ මහා දානපති මොරටුවේ සී. එච්. ද සොයිසා

339

(සී.එච්. ද සොයිසා මහතාගේ 133 වෙනි ගුණ සමරුව සැප්තැම්බර් 29 වෙනි දිනට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.)

කොළඹ නගරයේ ඇස් වාට්ටුව අසල මංසන්ධියේ ද සොයිසා වටරවුම මැද කාල වර්ණයෙන් යුත් මිනිස් රුවක ප්‍රතිමාවක් පිහිටා ඇත. තම අතෙහි යතුරක් ප්‍රදර්ශනය වන අයුරින් විරාජමාන වන මෙම ප්‍රතිමාවෙන් නිරූපනය වන්නේ 19 වන සියවසේ අප රටේ ජීවත් වූ මහා දානපතියෙකි. අතින් යතුරක් ගෙන ඇත්තේ ඔහුගේ දානපති භාවය පෙන්නුම් කිරීමටය. මෙම ශ්‍රේෂ්ඨ දානපතියා කවුරුද? ඔහු අන් කෙනෙකු නොව මොරටු පුත්‍ර සී.එච්. ද සොයිසා මහතා හෙවත් මහ සොයිසාය.

වර්ෂ 1836 මාර්තු 03 වෙනි දින ජන්ම ලාභය ලැබූ මෙතුමාගේ සම්පූර්ණ නම වූයේ චාල්ස් හෙන්රි ද සොයිසා ධර්ම ගුණවර්ධන විපුල ජයසූරිය කරුණාරත්න දිසානායකය. දෙමාපියන් වූයේ ජොනිස් ද සොයිසා මුදලි තුමන් හා ප්‍රැන්සිස්කා කුරේ මැතිනිය යි.

ගරුතර මහ සඟරුවන ඇසුරේ ප්‍රථම අධ්‍යාපනය ලද මෙතුමා මනාව ගුරුසිත් දිනාගෙන උගත්හ. පාසල් අධ්‍යාපනයෙන් පසු තරුණ වියේදිම විවාහ දිවියට පත් වූ ද සොයිසා මහතාගේ ප්‍රිය මනාලිය වූයේ කැතරින් ද සිල්වා මෙනවියයි. මෙම විවාහයෙන් දරුවන් පහළොස් දෙනෙකු ලද මෙතුමා තම දරුවනට මනා අධ්‍යාපනයක් ලබා දුන්නේ උගත මනා ශිල්පයමයි යන වදන සිහිපත් කර ක්‍රියාවට නංවමිනි. උපතින්ම ඉඩම් හිමි වැවිලිකරුවකුගේ පුතණුවෙකු වූ සී.එච්. ද සොයිසා මහතා ධනපති පන්තිය නියෝජනය කරන්නෙක් විය. නමුත් මෙතුමා ධනපති යන වදන ඉවත හෙළා මහා දානපතියකු ලෙස ජනතාව අතර දිදිලෙන්නට වූයේ පූර්ණ චන්ද්‍රයා මෙනි.

මොරටුවේ වේල්ස් කුමර කුමරි යන පාසල් දෙකම පිහිටුවා ප්‍රදේශයේ පමණක් නොව අවට ගම් දනව් වැසි දරුවන්ට ද උසස් අධ්‍යාපනයක් ලබා දෙන්නට කටයුතු කළේ අනාගතය දකිනා අයෙකු ලෙසිනි. මෙරට දරුවන් ලක්ෂ ගණනකට තිඹිරිගෙය වූ කොළඹ කාසල්හි දසොයිසා සූතිකාගාරයද මෙතුමාගේ සේවයේ ප්‍රතිඵලයකි.

තම පියා සිය මව් බිමෙහි සතර දික් භාගයෙන් මිලයට ගත් වතු පිටි වගාකර සශ්‍රීක කළ සී. එච්. ද සොයිසා ඒවායෙන් ලැබෙන ආදායම දුගී දුප්පතුන් අතර බෙදා දුන්නේ ඉමහත් ප්‍රීතියෙනි. අබෞද්ධයකු වශයෙන් ජීවත් වූ මෙතුමා ස්වාමින් වහන්සේලා ගේ ඇසුර ආශ්‍රය නිබඳවම අගය කළේය. වැලිගම ශ්‍රී සුමංගල මහ නා හිමියන් ලියූ හිතෝපදේශ සන්න ග්‍රන්ථය සහ රත්මලානේ ශ්‍රී ධර්මාරාම මා හිමියන් ලියන ලද ජානකීහරණ මහා කාව්‍ය ග්‍රන්ථය මුද්‍රණයෙන් එළි දැක්වීමට අවශ්‍ය ප්‍රතිපාදන තම පෞද්ගලික මුදලින් සපයා බුද්ධ ශාසනයේ පැවැත්මට අතහිත දුන්නේය. එංගලන්තය බලා ගිය අවස්ථාවක මෙතුමා හමුවීමට පැමිණි දුගී දුප්පත් සුදු ජාතිකයන්ට ද මුදලින් ආධාර කළ සොයිසා මහතා ඉංග්‍රීසි ආණ්ඩුවේ මහත් පැසසුමට ලක්විය.

මොරටුව, කොළඹ හා උඩරට ප්‍රදේශය පුරා පැතිරී ගිය ඉඩම් අක්කර සිය ගණනක් රටේත් ජනතාවගේත් ප්‍රයෝජන උදෙසා පරිත්‍යාග කළ සොයිසා මහතා ජාති ආගම් බේදයෙන් තොරව මිනිසුනට නිවාස තනා ගැනීමට ද ඉඩම් පරිත්‍යාග කළේ ඉමහත් ප්‍රීතියෙනි. පාලම්, ඒ දඬු, වැව් පොකුණු, ළිං ආදිය තනවා මහජන හිතසුව පිණිස පරිත්‍යාග කිරීමට පෙළඹුන සොයිසා මහතාට යාපනයේ ජීවත් වූ ද්‍රවිඩ නායකයන්ගේ ඉල්ලීමක් ඉදිරිපත් වූයේ යාපනයේ ජීවත්වන දරු දැරියන්ගේ අධ්‍යාපන නවෝදය වෙනුවෙන් පාසල් ඉදි කර ගැනීමට ආධාර උපකාර කරන ලෙසයි. මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක් වූ සොයිසා මහතා එම අරමුදලට විශාල ධනයක් පිරිනමා ජාතික සමගියට සුවිශාල මෙහෙවරක් සිදු කරන්නට යෙදුනි.

පොල්, තේ, රබර්, කෝපි හා කොකෝවා වගාවන් මෙතුමාට ධනය ඇද්දූ උල්පත්ය. ඒ නිසා වැවිලිකරුවන්ගේ සුභ සාධනයට ද මෙතුමා කැපවිය. පහතරට වැවිලිකරුවන්ගේ දියුණුව උදෙසා මෙතුමා විවිධ කටයුතු කරන්නට යෙදුනි. ලෝකයේ ජීවත් වූ බොහෝ ජන හිතකාමීන්ට බොහෝ දේවල් හිමිවුවත් ආයුෂ ශක්තිය හීන වීම විශේෂ සිද්ධියෙකි. සී. එච්. ද සොයිසා මහතාට ද එම ධර්මතාවය තදින් බලපෑවේය. එතුමා ජීවත් වූයේ වසර 54 ක් වැනි සුළු කාලයකි.

පිස්සු බලු රෝගයට ලක්වූ සුනඛයකුගේ සපාකෑමකට ලක්වූ මෙතුමා එයින් මාසයකට පසු රෝගී තත්ත්වයට ලක්ව සිය ජීවිතයෙන් සමු ගත්තේ නොසිතූ නොපැතූ පරිද්දෙනි. එතුමාගේ අභාවයෙන් පසුව සිය පියාගේ අඩි පාරේ ගමන් කළ දූ දරුවන් මෙරටට මහත් සුවිශේෂී මෙහෙවරක් සිදුකළේ සී.එච්. ද සොයිසා නාමය පෙරටු කර ගෙනය. අද දිනට දිවංගත වී වසර 133 ක් සපිරෙන මොරටුවේ සිටි මහා දානපති සී.එච්. ද සොයිසා මහතාගේ ශ්‍රී නාමය තවත් වසර සිය ගණනක් අප දේශය පුරා රැව් පිළි රැව් දෙනු ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති,
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී
වජිර අබේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment