ශ්‍රී ලාංකීය මාර්ගස්ථ ජාලයේ සමාරම්භකයා -(ජෙනරාල් සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාර – ක්‍රි.ව 1824-1831)

329

දේශයේ ඓතිහාසික ගමන් මග පිළිබඳව විමසා බැලීමේදී (ක්‍රි.ව 1796-1948) කාලය තුළ වසර 152 ක් පුරාවට ආණ්ඩුකාරවරුන් 29 ක මූලිකත්වයෙන් දියත් වූ බි්‍රතාන්‍ය යටත් විජිත අවධියට හිමි වනුයේ අග්‍රගණ්‍ය අවකාශයකි. එක් අතකින් බලන කල පැරණි ලාංකිකයාගේ සාම්ප්‍රදායික ජීවන විලාසය මුළුමනින්ම වෙනස් කොට බොහෝ දෑ අප සංස්කෘතියට හදුන්වා දෙන ලදී. රටේ ආර්ථික, සමාජීය සහ දේශපාලන යන බොහෝ ක්ෂේත්‍ර වල කළ එකී සමහර වෙනස්කම් අද්‍යතනයට සාපේක්ෂව ඉතා සාධනීය ක්‍රමෝපායන් සේ පෙනී යයි. එකී සුවහසක් ප්‍රතිසංස්කරණයන් අතුරින් විශිෂ්ටතම සේවාව බවට පත් වන්නේ අන් කවරක් නොව ක්‍රි.ව. 1815 වන විටත් කිසිදු අයුරකින් ඉදිකිරීමකට ලක්ව නොතිබූ සමස්ත මාර්ග ජාලය ක්‍රමවත් සැලැස්මකට ගොඩනැංවීමයි. මුහුදුබඩ පළාත් තම තම අණසකට ගත් අන් සෑම ජාතියකටම මලය කඳුකරය දිසාවට අතක් හෝ තැබීමට නොහැකි වූයේද මේ හේතුවම නිසාවෙනි. වර්ෂ 1818 පළමු නිදහස් අරගලය නිමාවීමෙන් පසුව බි්‍රතාන්‍යන් විසින් මෙම කර්තව්‍ය සඳහා අත් පොත් තැබූ අතර ඒ සඳහා මුලින්ම අවධානය යොමු කරන ලද්දේ මාගේ මෙම සටහනේ කථානායකයා බවට පත් වන එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා විසිනි.

ඉතා තීක්ෂණ ඇසකින් යුත් ධනාත්මක පුද්ගලයෙකු වූ මෙතුමාගේ වසර 7 ක පාලන අවධිය අදටත් ඓතිහාසික විචාරකයන් අතර කතා බහට ලක්වනුයේ කෙටි කාලයක් තුළදී ලාංකික වැසියාගේ කීර්තිනාමයද පවත්වා ගනිමින් කළ සුවිශාල මෙහෙවර නිසාය. කෙසේ වෙතත් ඔහු හා සබැඳි සිද්ධි දාමය නම් ඉතා රසවත්ය. ඒ අනුව වර්ෂ 1820 දී සර් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ලංකාවෙන් පිටත්ව ගියායින් පසුව මුල් වරට සර් එඩ්වඩ් බාන්ස් උන්නාන්සේ උප ආණ්ඩුකාර වශයෙන් තුන් අවුරුද්දක් ලංකාවේ ආණ්ඩු කරන ලද බවට සැලකේ. වර්ෂ 1823 දී බාන්ස් ආණ්ඩුකාරතුමා සිය රටට යන්නට යෙදී සර් එඩ්වඩ් ජේපට් ආණ්ඩුකාරතුමා දස මසක් ලංකාවේ ආණ්ඩු කරන ලදී. කෙසේ හෝ අවසානයේ වර්ෂ 1824 දී ස්ථීර වශයෙන්ම ආණ්ඩුකාරයා ලෙස තම සේවයට මෙරටට වාර්තා කළ බවට සැලකේ. විශේෂයෙන්ම ඉතා ප්‍රාචීන ආණ්ඩුකාරයකු වූ එතුමා තම වැසියන්ගේ සුබ සිද්ධිය සඳහාම කටයුතු කිරීමෙහි බොහෝ සෙයින් දක්ෂ වී ඇත. මනුෂ්‍ය වර්ගයක දියුණුව සඳහා පළමුවත් දෙවනුවත් තුන්වනුවත් කටයුතු වන්නේ මංමාවත් සෑදීම ය යනුවෙන් ඉංග්‍රීසි ව්‍යවහාරයේ ප්‍රචලිත කියමනක් තිබේ. ජෙනරාල් බාන්ස් උතුමා මේ කීම අනුවම යන්නාක් මෙන් ලංකාවේ සෑම දෙසින්ම පාරවල් දැමීම පටන් ගන්නා ලදී.

වර්ෂ 1796 දී ඉංග්‍රීසීන් ලංකාවට පැමිණෙන විටත් මුළු ලංකාවේම එකම නිසි පාරක් හෝ නොතිබී ඇත. නමුත් බාන්ස් ආණ්ඩුකාරතුමා ලංකාවෙන් පිටත්ව යන කාලය වන විටදී එනම් වර්ෂ 1831 දී රටේ සියලුම ප්‍රධාන නගරවලට ප්‍රවේශ විය හැකි අන්දමේ කරත්ත පාරවල් ඉදි විය. මේ උතුමා විසින් කොළඹ සමීපයේ කැලණි ගඟේ පාරු පාලමක් තනවා කොළඹ පටන් මහනුවරට කරත්ත පාරක් සාදවන ලදී. මහනුවර සමීපයේ පේරාදෙණිය මහවැලි ගඟ හරහා මාහැඟි බුරුත ලී පාලමක්ද තනවන ලද්දේය. මේ මංමාවත් ආදිය සෑදවීම බොහෝ කොටම මිනිසුන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගැනීමෙන් කරවූ බවටද සැලකේ. මේ වැඩ නිසා එවකට වැසියන් මඳක් වෙහෙසුණද නමුත් පසුවට ලැබුණු ප්‍රයෝජන කියා මිල කළ නොහැකිය. මහනුවර ”pavillion˜නම් රාජ මන්දිරය ද ”Mount Lavinia” නම් වූ ගල්කිස්සේ බංගලාව ද උෂ්ණ කාලයට ආණ්ඩුකාරයාගේ වාසය පිණිස මෙතුමා විසින් කරවූ බවට හෙළිවේ. ඉංග්‍රීසීන්ට මහනුවර රාජ්‍ය යටත් කොට තබා ගත හැකි වූයේ ද බාන්ස් උතුමා විසින් කරවන ලද මංමාවත් නිසා යැයි පසුකාලීනව විචාරකයෙකු වු ජෝන් පර්ගසන් නම් මහතා විසින් මතයක් ද ඉදිරිපත් කරන ලදී.

පරංගිකාරයන්ට හා ඕලන්දකාරයන්ට වසර අවුරුදු 300 ක් මුළුල්ලේ මලය කඳුකරයද අන්තර්ගත පූර්ණ දේශය අත්කරගන්නට කළ උත්සාහය නිෂ්ඵල වූයේද සැප සේ ගමනාගමනය කිරීමට රටේ මංමාවත් නොපැවතුනු හෙයිනි.

මෙසේ බාන්ස් ආණ්ඩුකාරතුමා විසින් උඩරට මංමාවත් සෑදීම කරණ කොට ගෙන රටේ දියුණුව ද වැසියන් කැරලි ගැසීම වැළකීම ද ඉබේම සිදු විය.

කෙසේ වෙතත් අදින් වසර 200 කට පමණ පෙර ආදී නොදියුණු කාල සමයකදී ලාංකීය මාර්ග ජාලය ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම උදෙසා වසර 7 ක් වැනි කෙටි කාලයකදී ආණ්ඩුකාරවරයෙක් ලෙස ජෙනරාල් සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා කළ සුවිශාල මෙහෙවර මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියවී අවසන් බව නොඅනුමානය.

සහන් ඇලෙක්සැන්ඩර්
ජනමාධ්‍ය අධ්‍යනාංශය
කොළඹ විශ්ව විද්‍යාලය
ශ්‍රීපාලි මණ්ඩපය

advertistmentadvertistment
advertistmentadvertistment