ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම විද්වත් අභිනන්දන සම්මානයෙන් පිදුම් ලබති…

සමාජීය විද්‍යාපති උපාධිය ලබාගත් ප්‍රථම භික්‍ෂුන් වහන්සේ…

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රථම සාමාජිකයෙක්…

මනෝ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන තියෙන්නේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන්…

සතිමත් බව වැඩීමෙන් ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරගන්නා ක්‍රමය ලොවට හඳුන්වා දීලා…

ලෝක තරුණ ආගමික නායකයන්ගේ සම්මේලනයේ හිටපු උප සභාපති…

ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ සාමාජිකයෙක්…

හික්කඩුවේ ශ්‍රී සුමංගල මහානායක හිමියන්ගේ පූර්ව පුණ්‍ය කාර්යයක් ලෙස ‘විද්‍යෝදය පිරිවෙන ආරම්භ කර ඇත්තේ 1873 වර්ෂයේදී ය. එවකට ඉහළ පිළිගැනීමක් පැවති විද්‍යෝදය පිරිවෙන 1959 වර්ෂයේ දී ‘විද්‍යෝදය විශ්වවිද්‍යාලය’ බවට පත්කෙරිණි. වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් විසින් සිදු කරනු ලැබූ එම පරිවර්තනයත් සමග වේගයෙන් සංවර්ධනය වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලය 1979 වර්ෂයේ දී පැවති රජය ‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය’ ලෙස නම වෙනස් කළේ ය. එම නාමය මේ වනවිට ලොව පතළ කීර්තිමත් නාමයක් බවට පත් වී හමාර ය.

වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ පරමාදර්ශය අනුව යමින් විදුදය විද්වතුන් විවේචනශීලී, ගවේශණශීලී, සත්‍ය ගරුක, යුක්ති ගරුක, ගුණ ගරුක, බුද්ධිමත් සහ ශිෂ්ට සම්පන්න උස් මිනිසුන් ලෙස ලොව පුරා රටවල ජීවත් වන බව ද සැබෑය. ඒ ශ්‍රේෂ්ඨ විද්වතුන් අතුරින් මත්ද්‍රව්‍ය සහ මද්‍යසාරවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම, මනෝ උපදේශන, ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානාධිකාරී ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හිමි සහ කිතලගම හේමසාර හිමි ඇතුළු 66 දෙනකු පසුගිය මාර්තු මස 27 වැනිදා වෝටර්ස් එජ් හි දී පවත්වනු ලැබූ ශ්‍රී ජයවර්ධනපුර ‘ප්‍රදීප ප්‍රණාම විද්වත් අභිනන්දන 2025 උලෙළේ දී ජීවිතයේ එක් වරක් හිමි වන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය හොබ වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ උපදෙස් පරිදි 2016 වර්ෂයේ දී ආරම්භ කළ විශිෂ්ටතාව අභිනන්දන උලෙළ 2017 සහ 2018 වර්ෂවල දී ද අඛණ්ඩව පැවැත් විණි. 2020 වර්ෂයේ දී මෙරට පැවති අස්ථාවරත්වයත් සමග එම උත්සව නොපැවැත් විණි. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ උපදෙස් මත විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් මෙවර සංවිධානය කරනු ලැබූ ‘ප්‍රදීප ප්‍රණාම විද්වත් අභිනන්දන 2025 සම්මානයට විද්‍යෝදය ජපුර එකමුතුවෙන් බිහි වූ රාජ්‍ය තනතුරු දරන විද්වතුන්, ප්‍රවීණ ව්‍යවසායකයන්, විධායකයන්, කලා හා සාහිත්‍ය විද්වතුන්, ක්‍රීඩා නායකයන්, විදේශ සේවකයන්, පර්යේෂකයන්, මාධ්‍යවේදීන්, දේශපාලන නායකයන් සහ ආගමික මෙන්ම සාමාජීය මෙහෙවරක නියුතු විද්වතුන් හාරසීය හැත්තෑ ගාණක් සම්මානයට යෝජනා වී තිබිණි. ඒ අතුරින් 66 දෙනකු එම උත්සවයේ දී සම්මානයට පාත්‍ර විය. එම සම්මානලාභීන් අතර ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානාධිකාරී ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ අතිශය විශේෂය.

ලෝකයට අලුත්ම පුනරුත්ථාපන ක්‍රමයක්!…එහි නියමුවා සද්ධාජිව හාමුදුරුවෝ

අග්‍ර මහා පණ්ඩිත හේනේපොළ ගුණරතන හාමුදුරැවෝ සමග සද්ධාජීව හාමුදුරැවෝ…

වැලිමඩ, ඇත්කඳවක සුන්දර ගමේ පුංචි පවුලකින් ශාසනයට ඇතුළත් වී නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙනේදී දහම් අධ්‍යාපනය ආරම්භ කළ උන්වහන්සේ උසස් පෙළ විභාගය, ප්‍රාචීන විභාගයත් ඉහළින්ම සමත් වූහ. අනතුරුව නිට්ටඹුව සාරිපුත්‍ර අධ්‍යාපන විද්‍යා පීඨයට ඇතුළත් වී වසර තුනකට වැඩි කාලයක් අධ්‍යයන කටයුතු කරගෙන ගොස් අවසානයේ රජයේ ගුරුවරුයෙක් ලෙස පුත්තලම, ඉහළ පුලියන්කුලම විද්‍යා චක්‍රවර්ති මහා විද්‍යාලයේ පත්වීම් ලැබූහ. සීමාවාසික පුහුණු ගුරුවරයෙක් ලෙස කටයුතු කරගෙන යන අතරතුර 1996 වර්ෂයේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට උන්වහන්සේට වරම් හිමි වූහ. ගුරුවරුන් ලබාදුන් උපදෙස් මත විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී බෞද්ධ දර්ශනය, බුදුදහම, පාලි වැනි විෂයන් හැදෑරීමෙන් වැළකී නූතන විෂයධාරාවන් හැදෑරීමට උන්වහන්සේ කටයුතු කළහ. ඒ අනුව පළමු වසරේ දී සිංහල භාෂාව, පුරාවිද්‍යා සහ සමාජ විද්‍යා විෂයන් හැදෑරූහ. දෙවැනි වර්ෂයේ දී සමාජ විද්‍යාව සහ මානව විද්‍යා විශේෂවේදී උපාධිය හැදෑරූහ. එම විෂයන් යටතේ මනෝවිද්‍යාව, අපරාධ විද්‍යාව, සංඛ්‍යානය, පර්යේෂණ ක්‍රමවේද පුළුල් ලෙස හැදෑරීමට උන්වහන්සේට අවස්ථාව ලැබී ඇත. 2000 වර්ෂයේ දී විශේෂවේදී උපාධිය ලබාගන්නා උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සමුගත්හ. පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා 2002 වර්ෂයේ දී කැලණි විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ දී ද සාර්ථකව අධ්‍යයන කටයුතු කරගෙන ගිය උන්වහන්සේ සමාජීය විද්‍යාපති උපාධිය ලබාගත්හ. එම උපාධිය ලබාගත් මෙරට ප්‍රථම භික්‍ෂුන් වහන්සේ ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ ය. අනතුරුව විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ කාලයක් එහි අධ්‍යයන කටයුතු කරගෙන ගියහ. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරූහ. නැවත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේදී මනෝවිද්‍යා ඩිප්ලෝමාව හාදාරමින් විශිෂ්ට සාමාර්ථයක් සහිතව මනෝවිද්‍යා උපදේශන පාඨමාලාව නිමාවට පත් කළහ. එම විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් වීමේ භාග්‍යය ද උන්වහන්සේට හිමි වූහ. අධ්‍යාපනපති උපාධියත් ලබාගත් උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඇමරිකාවේ වාහයෝ ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. මනෝවිද්‍යාව විෂයධාරාවක් කරගෙන වැඩිදුර අධ්‍යයන කටයුතු කරගෙන ගිය උන්වහන්සේ නිව්යෝර්ක් නගරයේ විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු කරගෙන ගියහ. නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත් උන්වහන්සේ ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු ද එම විශ්වවිද්‍යාලයෙන්ම ආරම්භ කළහ. තවත් විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු කරගෙන ගිය උන්වහන්සේ කැලිෆෝනියාවේ බටහිර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් හ. උන්වහන්සේ විසින් ආචාර්ය උපාධියේ නිබන්ධනය ලෙස ඉදිරිපත් කර ඇති සතිමත් බව වැඩීමෙන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරගන්නා ක්‍රමවේදය මේ වනවිට ලොව පිළිගත් පුනරුත්ථාපන වැඩසටහනකි. එම ක්‍රමවේදය ලොවට හඳුන්වාදීමේ ගෞවරය හිමි වනුයේ ද උන්වහන්සේට ය.

ලෝකයට අලුත්ම පුනරුත්ථාපන ක්‍රමයක්!…එහි නියමුවා සද්ධාජිව හාමුදුරුවෝ

මේ වනවිට ඇමරිකාවේ විශ්වවිද්‍යාල කිහිපයක දේශන පවත්වනු ලබන ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ වැඩ සිටිනුයේ ලොව විශාලතම ථෙරවාදී භාවනා මධ්‍යස්ථානය ලෙස හැඳින්වෙන එක්සත් ජනපදයේ වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයේ ය. එම මධ්‍යස්ථානය නිර්මාණය කරමින් භාවනා මධ්‍යස්ථානාධිපති ලෙස වැඩසිටින මහාචාර්ය අග්‍ර මහා පණ්ඩිත හේනේපොළ ගුණරතන හාමුදුරුවන්ගේ ප්‍රධාන ගෝල හිමියන් ද සද්ධාජීව හාමුදුරුවෝ ය. තුම්පනෙන් ඇමරිකාවට වැඩම කළ හේනේපොළ ගුණරතන හාමුදුරුවන්ගේ දහම් මඟ යන සද්ධාජීව හාමුදුරුවෝ ද ලොව පුරා ථෙරවාදී බුදු දහම ප්‍රචාරණය කිරීමට සිදු කරගෙන යන මෙහෙවර සුවිශේෂී ය. හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ විසින් ලියන ලද පොත් විශේෂයෙන්ම විස්ටම් පබ්ලිකේශන් යටතේ ප්‍රකාශයට පත් කරන ලද ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ ග්‍රන්ථය සංස්කරණ කාර්යයේ සිට ප්‍රකාශයට පත් කිරීමේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරනුයේ ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ ය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කරන ලද සමීක්‍ෂණයකට අනුව ලොව පුරා තිබෙන බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස නම් කර ඇත්තේ ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ ග්‍රන්ථයයි. ලොව වැඩිම පාඨක පිරිසක් කියවන ලොව පුරා භාෂා තිහකට පරිවර්තනය කර ඇති, ඇමරිකාව තුළ මිලියන දහයකට අධික පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති, එරට වසර දහයක් පුරා ඉහළ ම ආදායම් ලබන කෘති අතර ඉදිරියෙන්ම තිබෙන ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉංග්ලිෂ්’ වැනි ග්‍රන්ථයක් සංස්කරණ කටයුතුවලට සම්බන්ධවීම ද මහා ශාසනික සේවාවකි.

මේ වනවිට වෙස්ට් වර්ජිනියා මධ්‍යස්ථානාධිකාරී ලෙස වැඩසිටින උන්වහන්සේ ජාත්‍යන්තර ශාසනික සේවාවේ කැපී පෙනෙන චරිතයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2011 වර්ෂයේ දී පවත්වනු ලැබූ 2600 සම්බුද්ධත්ත්ව ජයන්ති උත්සවය සම්පූර්ණයෙන්ම සංවිධානය, සැලසුම් කිරීමේ සියලු කටයුතු සිදු කරනු ලැබුයේ ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ ය. රටවල් දහඅටක තානාපතිවරු සමග සම්බන්ධ වෙමින් ඒ සිදු කළ කර්තව්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානීන්ගේ අතිමහත් ප්‍රසාදයට පාත්‍ර වී ඇති බව ද සැබෑය. එමෙන්ම ලෝක තරුණ ආගමික නායකයන්ගේ සම්මේලනයේ හිටපු උපසභාපති ලෙස ද උන්වහන්සේ කටයුතු කර ඇත. ලෝක ආගමික නායකයන්ගේ සම්මේලනයේ විධායක සභා සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති උන්වහන්සේ ලෝක පුනරුත්ථාපන චිකිත්සකවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ද දරනු ලැබේ. මේ වනවිට ද ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ සාමාජිකයකු ලෙස කටයුතු කරනු ලබන උන්වහන්සේ මෙරට දුප්පත් පාසල් සංවර්ධනය කිරීමට කරගෙන යන මෙහෙවර අතිඋතුම් ය.

ලෝකයට අලුත්ම පුනරුත්ථාපන ක්‍රමයක්!…එහි නියමුවා සද්ධාජිව හාමුදුරුවෝ

‘රටක් සංවර්ධනය කරන්න පුළුවන් එරට අධ්‍යාපනය දියුණු වුණොත් විතරයි. යහපත් සමාජයක් නිර්මාණය වෙන්නේ අධ්‍යාපනය තුළින්. අපේ රටේ තියෙන්නේ වල්වැදුණු අධ්‍යාපන ක්‍රමයක්. පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන තෙක් යහපත්, බුද්ධිමත් සමාජයක් නිර්මාණය කරන්න බෑ…” ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝ නිතර දේශනා කරන වචන කිහිපයක් මගේ මතකයට නැඟිණි.

රටට, ජාතියට සහ සම්බුද්ධ ශාසනයට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දෙන භික්‍ෂුන් වහන්සේ නමකට ලැබිය යුතු ඇගයීම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් ලබාදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයට මල් මිටක් පුද කළ යුතුය. රටේ නම ලොවෙහි බබළවන ගිහි, පැවිදි දෙපාර්ශ්වයට ම උපහාර පිදීම ජාතියේ යුතුකමකි. ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම විද්වත් අභිනන්දන සම්මාන ප්‍රදානෝත්සවය වසර පහකට වරක් නොව, වසරක් පාසා පැවැත්විය යුතු බව අපගේ හැඟීම ය.

තරංග රත්නවීර


advertistmentadvertistment