වකුගඩු සැත්කමේන් දරුවකු මියයෑම: මරණ පරීක්ෂණයේ නියෝගය පෙබරවාරි 11

54

වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි බාල වයස්කාර අම්දි ෆස්ලිම් නැමැති පිරිමි දරුවාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ නියෝගය ලබන පෙබරවාරි මස 11 දින ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (28දා) දැනුම් දුන්නේය.

ශල්‍යකර්මය සිදු කළ බව කියන මේ වන විට ඕස්ටේ්‍රලියාවේ රැඳී සිටින විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඊයේ අධිකරණයට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

මේ වන විට ඕස්ටේ්‍රලියාවේ රැඳී සිටින තම සේවාදායකයාට සිද්ධිය සම්බන්ධයෙන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අදාළ දිනයක් ලබා දෙන ලෙසට සැකකාර විශේෂඥ වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙර නඩු වාරයේදී කළ ඉල්ලීමක් අනුව විශේෂඥ වෛද්‍යවරයා ඊයේ එසේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සිය ප්‍රකාශය ලබා දුන්නේය.

එම දරුවාගේ ශල්‍යකර්මය සිදු කළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා මේ වන විට ඕස්ටේ්‍රලියාවේ සිටින බවත් මෙම සිද්ධියට අදාළව ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාශයද පෙර නඩු වාරයේදී අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.

වෛද්‍යවරයා ලබා දුන් සාක්ෂිය ඕස්ටේ්‍රලියානු මහා කොමසාරිස් කාර්යාලය හරහා තහවුරු කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එම දරුවාගේ වම් වකුගඩුවේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් එහිදී සිදුකළ ශල්‍යකර්මයකදී දරුවාගේ සාමාන්‍ය තත්ත්වයේ තිබූ දකුණු වකුගඩුවටද හානි සිදුවීමෙන් මෙම මිය යෑම සිදුව ඇති බව පවසමින් මියගිය දරුවාගේ කොටහේන ප්‍රදේශයේ පදිංචි මව්පියන් බොරැල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කෙරිණි.

පසුව පැමිණිල්ලේ ඉල්ලීම මත එම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය වෙත භාර කෙරුණි.

දරුවා සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂණය සිදු කරන විට වකුගඩු දෙකම තිබූ නමුත් එම පරීක්ෂණයෙන් අනතුරුව දකුණු වකුගඩුව නොතිබුණු බවටත් අනාවරණය වූ බවද ඔහු සිය සාක්ෂිය ලබාදෙමින් පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment