වාහන මිල තීරණයත් හාල් වගේම සේල්කරුවන් අතට යන හැඩ

වාහන සිහින පෙන්වා සල්ලි ගරන ජාවාරම ජයටම

සෑම පුද්ගලයෙකුම ජීවත් කරවන්නේ සිහින සහ බලාපොරොත්තුයි. ඔවුන් මුළු ජීවිත කාලයම කැපකරන්නේ ඒ වෙනුවෙනි. තමන් දකින සිහිනය බලාපොරොත්තුව යථාර්ථයක් කර ගැනීමට දිවා රෑ වෙහෙසෙන්නේ කවදා හෝ එය යථාර්ථයක් කර ගැනීමේ තිර අදිටනනි. ඕනෑම කෙනෙකුගේ මූලිකම බලාපොරොත්තුව හොඳ අධ්‍යාපනයක් ලැබීමයි. ඊළඟ බලාපොරොත්තුව වන්නේ විවාහයක් සිදුකරගෙන ගෙයක් දොරක් හදාගෙන හොඳ සැපවත් ජීවිතයක් ගත කිරීමයි. එහි තුන්වෙනි අදියර වන්නේ සුවපහසු වාහනයක හිමිකරුවකු වීමයි. බිරිඳ සහ දරු මල්ලන් සමග තමන්ගේම අලුත් වාහනයක ගමනක් බිමනක් යෑමට ඕනෑම කෙනෙක් කැමතිය. නමුත් දැන් පවතින වාතාවරණයත් සමග එය තවදුරටත් සිහිනයක් පමණක්ම වන තත්ත්වයක් උද්ගතව ඇත.

දුරස් වූ යථාර්ථය

වාහනයක් මිලදී ගැනීමට හැම කෙනෙක් සතුවම ඒ සඳහා මිල මුදල් නැත. ඔවුන් ඒ සඳහා කරන්නේ කල්බදු සමාගමකින් ණයක් ලබා ගැනීමයි. මීට කලකට පෙර නම් වාහනයක් මිලදී ගැනීමේදී වාහනයේ තුනෙන් එකක මුදලක් එකවර ගෙවිය යුතු විය. ණයක් ලෙස ලැබුණේ සියයට හැත්තෑවක මුදලක් පමණි. නමුත් පසුව වාහනයේ සම්පූර්ණ වටිනාකමටම ණය පහසුකම් ලබාදීමට කටයුතු කිරීමත් සමඟ එක වාරිකයක් ගෙවා වාහන ලබාගත හැකි තත්ත්වයක් නිර්මාණය විය. ඒත් සමඟ මෙරටට අති විශාල වශයෙන් වාහන ආනයනය කරන්නට පටන් ගත් අතර එය මේ රටේ මාර්ග පද්ධතියට ඔරොත්තු නොදෙන තත්ත්වයටම වර්ධනය විණි. ඒ තරමටම මෙරට තුළ වාහන වැඩි විණි.

කොරෝනා වසංගතය මෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අදූරදර්ශී තීන්දු තීරණ හේතුවෙන් රටේ ඇති වූයේ දැඩි ආර්ථික අර්බුදයකි. එයට විසඳුමක් වශයෙන් එවක ආණ්ඩුව කළේ එකින් එක ආනයන සීමා කිරීමයි. එහි එක් පියවරක් වශයෙන් 2020 වර්ෂය මාර්තු මාසයේ සිට මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමිණි. එම තීරණය හේතුවෙන් අලුත් වාහනයක් මිලට ගැනීමට සිටි සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටිණි. එදා සිට අද දක්වාම මෙරටට වාහන ආනයනය අත්හිටුවා ඇති අතර ජනතාවට අලුත් වාහනයක් මිලට ගැනීම සිහිනයක්ම වී ඇත.

පරණ වාහන වලට හොඳ කලක්

වාහන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමක් සමග මෙරට තුළ ඇති පරණ වාහනවලටට ඉහළ වටිනාකමක් ලැබිණි. වෙනදා තැන තැන දිරාපත් වූ වාහනත් ගිනි ගණන්වලට විකිණෙන්නට වූයේ වෙන කරන්නට දෙයක් නැති තැනය. යාන්තම් රෝද හතර පමණක් කරකවෙනවානම් ඕනෑම වාහනයක් විකුණාගත හැකි විය. ඉස්සර අලුත් වාහන විකුණපු වාහන සේල් කරුවන් පවා තමන් ආනයනය කළ වාහන සංචිත අවසන් වූ පසු අවසානයේ පරණ වාහන විකුණන තැන් බවට ඉබේම පත්වුණි.

ඒ අල්ලපනල්ලේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බොහෝ පුද්ගලයන් කළේ අසීමිත ලෙස වාහන මිල ඉහළ දැමීමයි. එය වාහනයේ සැබෑ වටිනාකම මෙන් තුන් හතර ගුණයක් විය. ලක්ෂ 8-10 ට තිබුන මරුටි රථයක් ලක්ෂ 15-20 විය. ලක්ෂ 15-20 ට තිබුණු ඇල්ටෝ රථයක් ලක්ෂ 25-30ක් විය. හැම මෝටර් රථයකම හැම වාහනයකම මිල අසීමිතව ඉහළ ගියේය.

පැවති ආර්ථික අර්බුදය යම් මට්ටමකට ස්ථාවර වීමත් සමඟ යළි වාහන ආනයනය පිළිබඳ බලාපොරොත්තු දැල්වෙන්නට විය. දැන් කාලයක පටන්ම ඒ පිළිබඳ කතා ඇසේ. අලුත් වාහනයක් මිලදී ගැනීමට සිහින දකින කාටත් එය සුබ ආරංචියකි. අදියර කීපයක් යටතේ එම කටයුත්ත සිදුකරන බව පැවසුවත් තවමත් ඒ සඳහා නිසි අවසරය නම් හිමිවී නැත. කාලයෙන් කාලයට එන මේ ආරංචිය හේතුවෙන් විවිධ කණ්ඩායම් කල දුටු කල වළ ඉහ ගන්නා පුවත් අනන්තවත් අසන්නට ලැබෙයි. මේත් එවැනි එක් චාවාරමකි.

පරණ වාහන ආක්‍රමණය

වාහන ආනයන ප්‍රවෘත්තියත් සමග අලුත් සෙල්ලමක් පටන්ගෙන තිබේ. මේ සෙල්ලමේ මුලටම සිටින්නේ වෙන කවුරුවත් නොව වාහන සේල්කරුවන්මය. ඔවුන් කරන්නේ අලුතින් වාහන ගෙන්වන බවට වන ප්‍රවෘත්තියත් සමග වාහන මිල විශාල ලෙස පහත දමා කුණු කොල්ලයට වාහන මිලදී ගැනීමයි. හැම කෙනෙකුගේම බලාපොරොත්තුව අලුත් වාහනයක් මිලට ගෙන වසර පහ හයක් කරදරයකින් තොරව කල් ගෙවීමයි. මේ නිසා අලුත් අලුත් වාහනයක් ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින කොයි කවුරුත් කරන්නේ තමන් සතු වාහනය හැකි ඉක්මනින් විකුණා දැමීමයි. ඒ කාරණා දෙකක් හේතුවෙනි. ඉන් එකක් වන්නේ අලුත් වාහන පැමිණි පසු පැරණි වාහනවල මිල බොහෝ සෙයින් අඩුවන හෙයින් විකුණා ගැනීමට අපහසු වීමයි. මේ නිසා තමන් සතු වාහනය ඉක්මනින්ම විකිණීමට පෙළඹේ. අනෙක් කාරණය වන්නේ අලුත් වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සකසා ගැනීමයි. ජාවාරම්කරුවන් පිරිස කලඑලි බහින්නේ මේ අවස්ථාවේය. ඔවුන් කරන්නේ හැකි තරම් වාහන අඩු මිල ගණන්වලට තමන් සතු කර ගැනීමයි.

වාහන සේල් කරුවෙක්ට වාහන සිය ගණනක් දින දෙක තුනක් තුළ එක්රැස්කර ගැනීම ඉතාමත් සුළු දෙයකි. අලුත් වාහනයක සිහින දකින කොයි කාගේත් හදිස්සිය නිසා ලක්ෂ 60-70 වටින වාහන දහස් ගණනක් ඉතා කෙටි කාලයක් තුළ ඔවුන් අතට පත්වී හමාරය.

ආණ්ඩුව දැන් වාහන ගෙන්වන බව ප්‍රකාශ කොට ඇතත් එහි මිල ගණන් පිළිබඳ ගැටලු පවතී. සමහරුන් ප්‍රකාශ කරන්නේ වාහන මිල දෙගුණයකින් ඉහළ යන බවයි. එවන් වාතාවරණයක් තුළ භාවිත කළ වාහනවල මිල තීරණය කරන්නේ ඔවුන්ය. මේ දිනවල හාල්වලට සිදුවී ඇත්තේත් මේ ටිකමය. හාල් තොග පවතින්නේ මෝල්කාරයන් සතුවය. ඔවුන් කියන මිලට සහල් මිලදී ගැනීමට සිදුවී තිබේ. ඉදිරියේදී වාහනවලට සිදුවන්නේත් මේ සන්තෑසියමය.

තවත් පිරිසක් කනස්සල්ලෙන්

මේ අතර තවත් ලියාපදිංචි කළ වාහන හිමිකරුවන් පිරිසක් පවසන්නේ තමන්ගේ වාහන විකිණීමට දැන්වීම් පළ කර ඇතත් මේ වනවිට දුරකථන ඇමතුමක්වත් නොලැබෙන බවයි. ඒ ජනතාව අලුත් වාහනයක් මිලට ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බැවිනි.

සල්ලි ගරන තවත් ජාවාරමක්

වාහන හීනයට ආයෙත් පොල්ලක්?

වාහන ආනයනයට අවසර හිමිවුවත් ඒ මුලින්ම බස් සහ ලොරි රථ සඳහාය. දෙවැනි අදියරේදී අවසර හිමිවනුයේ වාණිජ වාහන සඳහාය. මෝටර් රථ ආනයනය කරන්නේ ඉන් පසුවය. එවන් වටපිටාවක් තුළ තවත් කණ්ඩායමක් වෙනත් ආකාරයක ජාවාරමක නිරත වේ. ඒ වාහන ගෙන්වීමට තවත් බොහෝ කල් තිබියදීම වාහන සඳහා මුදල් එකතු කරන ජාවාරමක් පටන් ගෙන තිබේ. මෙලෙස එකතු කරන මුදල්වලට වගකියන්නේ කවුද? මෙලෙස මුදල් එකතු කිරීම මොනතරම් සාර්ථකද යන්න ගැටලුවකි. ඒ තුළ අවදානමක් ඇති නිසා මේ පිළිබඳ වහාම මහ බැංකුව සිය අවධානය යොමුකළ යුතුය.

මෙලෙස මුදල් ලබාගත්තත් යළි වාහන ගෙන්වීම ප්‍රමාද වුවහොත් ඒ සඳහා පොලී ගෙවීමක් හෝ මුදල් ආපසු ලබාදීමක් පිළිබඳව මහ බැංකුව සිය අවධානය යොමු කළ යුතුය.

අලුත් වාහන ලබන වසරේ

මේ අතර පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අලුත් වාහනයක සිහින දකින ජනතාවට විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කළේය. ඒ කාණ්ඩ තුනක් යටතේ වාහන ආනයනය කරන බවයි. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 14 වැනිදා සිට මගී ප්‍රවාහන බස්රථ හා විශේෂ කාර්යන් සඳහා භාවිත කරන මෝටර් රථ ආනයනයට අවසර ලබාදී ඇති බවත් පෙබරවාරි මස පළමුවැනිදා සිට පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ ආනයනය කරන බවත්ය.

ඇතැම් පිරිස් යළි වාහන ආනයනයත් සමග රට තුළ ඩොලර් අර්බුදයක් හටගනීවි යැයි මත පළකර ඇත. ඒ සඳහාද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශකොට ඇත්තේ වාහන ආනයනය හරහා ඩොලර් අර්බුදයක් ඇති වනු ඇතැයි කිසිවෙකු හෝ සැකයක් තබා ගත යුතු නැති බවයි.

ඒ පිළිබඳ එහු කීවේ මෙවැනි කතාවකි.

“මහ බැංකුවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් හරහා මේ වාහන ආනයනය සඳහා පිට මංව යන ඩොලර් ප්‍රමාණය අපි කොපමණ ප්‍රමාණයක් ද කියලා යම් ඇස්තමේන්තුවක් කරලා තියෙනවා. එය කොච්චර ප්‍රමාණයක් ආර්ථිකයට ඔරොත්තු දෙනවා ද කියලා අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා”

බොරු ප්‍රචාර එපා

වාහන ආනයනය පිළිබඳ බොරු ප්‍රචාර කරමින් මහජනයා නොමග යැවීමෙන් වළකින ලෙස පසුගියදා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඉල්ලා තිබිණි.

අහස උසට යන වාහන මිල

මේ වනවිට හරියටම ගණන් හිලව් ඉදිරිපත් නොවුණත් බොහෝ පිරිස් පවසන්නේ වාහන මිල දෙතුන් ගුණයකින් ඉහළ යනු ඇති බවයි. වාහන ව්‍යාපාරිකයන් පවසන්නේ වාහන ආනයනය තහනම් කරන විට තීරුබදු පැවතියේ 300%කත් වැට් බද්ද අඩු අගයක පැවති බවයි. නමුත් මේ වනවිට වැට් බද්ද 18%ක් වී තිබේ. රුපියල් 180ට තිබුණු ඩොලරය 290 ට වැඩිවී තිබේ. ආණ්ඩුව මීට වඩා තීරුබදු ඉහළ දමනු ඇත. වාහන ගෙන්වුවත් ජනතාවටනම් අලුත් වාහනයක සිහිනය තව දුර බව නම් කිව හැකිය.

සමීර කන්නන්ගර


advertistmentadvertistment