වැලිවේරියේ මනමාල ටියුෂන් ගුරා රිමාන්ඩ්

5535

සිසු සිසුවියන් රවටා දෙමාපියන්ගේ තිස්ලක්‍ෂයක රන් භාණ්ඩත් සොරාගෙන

සිය පන්තියට එන සිසුවියන් රවටා මුදල් හා රන් භාණ්ඩ සොරා ගත් අනංග ටියුෂන් ගුරුවරයා වැලිවේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින දහහතරක් දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

වැලිවේරිය පොලිස් වසමේ පෞද්ගලික පන්තියක් පවත්වාගෙන ගිය ජනප්‍රිය ගුරුවරයකු වන මොහු සිය පන්තියට පැමිණෙන උසස් පෙළ හදාරණ සිසුවියන් රවටා ගෙන සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේ. ඒ අතර දී මෙම සිසුවියගේ හිතවත්ම මිතුරු යෙහෙළියට ද වෙනත් පෙම් සම්බන්ධතාවක් ඇතිකර දීමට ද තම හිතවත් සිසුවිය හරහා මෙම ගුරුවරයා උත්සාහ දරා ඇත.

ඒ අනුව මුහුණු පොත හරහා තම යෙහෙළියට අදාළ ගුරුවරයා හඳුන්වාදුන් බව කියන කඩවසම් තරුණයා කෙරෙහි සිත් බැඳුණු අනෙක් මිතුරු සිසුවිය අන්තර්ජාලය හරහා ඔහු සමග පෙම් සබඳතාවක් ගොඩනඟා ගෙන ඇත. කලක් ගෙවී යෑමෙන් පසු මෙම තරුණයාට දරුණු රෝග තත්ත්වයක් ඇති හෙයින් ඒ සඳහා මුදල් අවශ්‍ය බව තම හිතවත් සිසුවියට දන්වා ඇත. මෙතැන් සිට ක්‍රියාත්මක වූ යහළු සිසුවියන් දෙදෙනාම මේ තරුණයා කෙරෙහි වූ අනුකම්පාව නිසා ඔහු බේරා

ගැනීම සඳහා තම දෙමව්පියන් සතු මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීම ආරම්භ කර ඇත.

මුහුණු පොතෙන් සම්බන්ධතාව ගෙන යන සිසුවිය තම නිවසින් සොරා ගන්නා රන් හා මුදල් ගුරුවරයා හා සම්බන්ධ සිසුවියට දෙන අතර එම සිසුවිය ඒවා තම හිතවත් ගුරුවරයාට ලබාදෙයි. ගුරුවරයා එම මුදල් හා රන් භාණ්ඩ අදාළ රෝගී තරුණයාට ලබා දෙයි. මෙලෙස ටික කලක් ගෙවී යද්දී රෝගී තරුණයා සමග සම්බන්ධතාවය පවත්වාගෙන යන සිසුවියගේ නිවසේ රන් භාණ්ඩ අතුරුදහන් වී ඇති බව දැනගත් නිවැසියන් වහා වැලිවේරිය පොලිසියට ඒ පිළිබඳ පැමිණිලි කර ඇත. මෙතැන් සිට වැලිවේරිය පොලිසිය සිදුකළ පරීක්‍ෂණවලදී හෙළි වුණේ රෝගී තරුණයා ලෙස මුහුණු පොත හරහා වෙනත් ඡායාරූපයක් මගින් පෙනී සිට ඇත්තේ ද අදාළ ගුරුවරයා ම බවය.

තව දුරටත් සිදුකළ පරීක්‍ෂණවලදී අදාළ ගුරුවරයා සිය සිසුවියන් රවටා සොරා ගත් රුපියල් තිස් ලක්‍ෂයක පමණ රන් භාණ්ඩ දොම්පෙ ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවි සැලකට රුපියල් ලක්‍ෂ දහඅටකට විකුණා ඇති බවයි. වැලිවේරිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
වැලිවේරිය – ලක්‍ෂ්මන් පයාගල සහ චන්න විජයනාම


advertistmentadvertistment