විනය පරීක්ෂණයෙන් කොන්දොස්තර බේරන්න ලක්ෂයක් අල්ලස් අරන්

6

මගියකුට ප්‍රවේශපත්‍රයක් ලබා නොදීම සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුට විනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවයේ පිහිටුවීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගත් බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියකු සහ ආරක්ෂක නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීහු කණ්ඩායමක් විසින් පෙරේදා (22දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ විනය නිලධාරියකු සහ ආරක්ෂක නිලධාරියෙකි. ඔවුන් මෙම අල්ලස් මුදල ලංකා ගමනා ගමන මණ්ඩලයේ, නැගෙනහිර පළාත් ප්‍රාදේශීය කාර්යාලයේදී ලබා ගන්නා අවස්ථාවේදී කොටුකරගත් බව අල්ලස් කොමිසම කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්මුණේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. කන්තලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ත්‍රිකුණාමලය – වවුනියාව මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලය ඩිපෝවට අයත් ලංගම බස් රථයේ මගීන්ගේ ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන් විසින් පරික්ෂා කර මගියකුට ප්‍රවේශපත්‍රයක් ලබා නොදීම සම්බන්ධයෙන් එම බස් රථයේ කොන්දොස්තර වශයෙන් සේවය කළ පැමිණිලිකරුට අගතියක් නොවන පරිදි පරීක්ෂණ කටයුතු අවසන් කර නැවත සේවයේ පිහිටුවීමට අදාළ අල්ලස් ඉල්ලා එය ලබාගනිද්දී කොටු කරගෙන ඇතැයි අල්ලස් කොමිසම කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment