අනුර බණ්ඩාරනායකත් මෙතැනින් පොත් අරගෙන ගියා

මුලින්ම පොත් ගත්තේ අපි රාත්තල් ගාණට

පරම්පරා තුනක් කියවන මරදානේ පරණ පොත් කඩ

ටී.වී, ෆෝන් ආවට පස්සෙ මිනිස්සු පොත් කියවන එකෙන් ඈත් වුණා

මරදාන ඩීන්ස් පාර ඔස්සේ ඇවිද යන්නට අප කතිකා කර ගත්තේ කාරණා කිහිපයක් පෙරදැරි කොටගෙනය. ගාමිණී හෝල් පසුකොට ඩී. ආර්. විජේවර්ධන මාවතට පිවිසෙත් ම දකුණුපසට වන්නට පිහිටි පොත් කඩ කිහිපයක් අපගේ නෙත් ගැටෙන්නට වූයෙන් අපි එහි පොත් කඩ වෙත ගොඩවන්නට වූයෙමු.

බැලූ බැල්මට මෙම වෙළෙඳ සැල් පරණ පොත්වලින් පිරී ඉතිරී යන්නට වූයේ එහි ඇති කිසිදු පොත් රාක්කයක ද හිස් තැනක්වත් නොතිබෙන පරිද්දෙනි. පෙළට තබා ඇති පරණ පොත්වලින් හමනා පුසුඹෙන් එහි ඇතුළු වූ අපට හැඟීගියේ අප පැමිණියේ පොත් කඩයකට නොව, පුස්තකාලයකට දැයි යන්නය. පෙනුමෙන් මැදිවියත් පසුකළ තලත්තෑනි පෙනුමක් ඇති පුද්ගලයකු පොත් කඩයේ ඉදිරියේ තවත් වයෝවෘද්ධ පුද්ගලයකු සමග බොහෝ බරසාර කතා බහකය. මෙම කතාබහ අතරතුර දීම එහි ගිය අපට ඔවුන්ගේ බරකතාවට මඳ විරාමයක් තබමින් අප එහි ආ කාරණාව ඇසීමට තරම් ඔවුහු ද නිර්ලෝභී වන්නට වූහ.

“එන්න….. ඔයාලාට මොනවද ඕනා..” බොහෝ ලෙන්ගතු සිනහවකින් මුව සරසා ගත් ඔහු එම පරණ පොත් කඩයේ අයිතිකරු වන බව අපිට හැඟී ගියෙමු. ඔහු සරත් තෙවරාහැන්නැදිගේ ය. දැන් මේ පරණ පොත් වෙළෙඳාමට මේ වනවිට දශක පහකටත් වඩා වැඩිය. ඩී. ආර්. විජේවර්ධන මාවතේ පරණ ම පොත් කඩ දෙකින් එක් කඩයක අයිතිකරුවා ඔහු ය.

ඕනෑම සාර්ථක ව්‍යාපාරයක ආරම්භය ඉතා කටුකය. අධිෂ්ඨානය, නොපසුබස්නා උත්සාහය ඔස්සේ දියුණුව කරා ළඟා වීමට එදා සිට පටන් ගත් මේ පරණ පොත් ව්‍යාපාරයට ද අතීත කතාවක් ඇත. මේ පොත් කඩ ගැන හොඳට ම දන්නේ ද සරත් මහතා ය. ඔහු පරණ පොත් කඩවල අතීත කතාව අප සමග බොහෝ උනන්දුවෙන් කියන්නේ ද ඒ නිසා ය.

පරණ පොත් කඩ ආරම්භය

විසි කරන පොත් අලුත් කළ මරදානේ පොත් කඩේ පරණ කතාව…
ප්‍රේමදාස වීරරත්න

“මේ පොත් කඩ ආරම්භ වන්නේ 1952 වර්ෂයේ. මරදාන දුම්රියපොළ ඉස්සරහ. පොඩි ලෑලි තට්ටුවකින් තමයි ව්‍යාපාරය පටන් ගන්නෙ. මගේ මාමා තමයි මුලින්ම මෙතැන පරණ පොත් කඩ පටන් ගන්නේ. එයාගේ නම තමයි ප්‍රේමදාස වීරරත්න. උපන් ගම කොග්ගල. ඔහු වැඩ කළේ නාවික හමුදාවේ. මේ පොත් කඩ පටන් ගන්න ඔහුට අදහස ආවේ එයා නාවික හමුදාවේ වැඩ කරන කාලේ ගෑස් ටැංකියක් පුපුරලා එයත් එතැන හිටපු ගොඩක් අයත් තුවාල වෙලා තිබෙනවා. සමහර අයගේ ජීවිතය පවා නැතිවෙලා. මගේ මාමගේ එක් අතකුත් එක් පාදයකුත් එම අනතුරින් නැති වෙනවා. පස්සේ ඒ වෙනුවට එයාට කෘත්‍රිම පාදයක් එංගලන්තයෙන් හිමිවෙනවා. පස්සේ හමුදාවෙන් අයින් වෙලා ඔහු කාලයක් ජීවත් වෙනකොට ඔහු කොළඹට එන්න අදහස් කරනවා. එයා ඒ කාලේ ජීවත් වුණේ ගණේමුල්ල ප්‍රදේශයේ. ඒ කාලේ මාමා එක්ක වැඩ කළ හමුදාවේ සුදුමහත්වරු නිතර ම පොත් කියවන එක දැකලා එයාට හිතෙනව පොත් වෙළෙඳාමක් පටන් ගන්න. එතැන් පටන් ඔහු මරදානේ ස්ටේසම ළඟ මේ පරණ පොත් ව්‍යාපාරය පටන්
ගන්නවා. මුලින්ම පොතක් විකුණන්නෙ ශත 10කට වගේ. ඒ කාලේ ඔහු ගෙන් පොත් ගත්තේ රේල්වේ ගාර්ඩ් මහත්වරු, ඩ්‍රැයිවර් මහත්වරු. ඒ අය ඒ අයට අවශ්‍ය පොත් ඔහුට කිව්වා ම කොහොම හරි ඒ පොත් හොයල දෙනවා. ඒ කාලේ දමිළ අය හිටියා බංගලාවලට ගිහින් පොත් එකතු කරපු. ඒ අය ගොඩක් මාමාට පොත් ගෙනැත් දෙනවා. එහෙම පටන් ගත්තු පොත් ව්‍යාපාරය තමයි මේ වනකොට ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දැන් පොත් කඩ හතක් තිබෙනවා.

මරදානෙන් ඩී. ආර්. විජේවර්ධන මාවතට

“මරදාන ස්ටේසම ඉදිරියේ හදාගත්ත පොත් කඩේ 1975 නොබැඳි සමුළුව කාලයේ (මැතිනිගෙ කාලය) මරදාන නගරය අලංකාර කිරීමට ගත් තීරණයක් නිසා ඉන් පෙර ඩී. ආර්. විජේවර්ධන මාවතෙන් මාමට කඩයක් ලැබෙනවා. එදා පළමුවෙන්ම මෙතැනට එන්නෙ පොත් කඩ දෙකයි. එකක් මගේ මාමගේ. අනිත් කඩේ ධර්මසූරිය කියන මාතර පැත්තේ කෙනෙක්ගේ. මේ වෙනකොට පොත් කඩ හතක් තියෙනවා. එදා පොත් කඩ දෙක ඇරෙන්න ඉතිරි පහ වුණේ සපත්තු, හෑන්ඩ් බෑග්, ඉමිටේෂන් ජුවලරි, සෙල්ලම් බඩු කඩ, සෙරමික්, රෙදි, ෆැන්සි බඩු කඩ වගේ ඒවා. පස්සෙ කාලයක් යනකොට ඒ කඩවලට වෙළෙඳාම් නැතිවුණා. පොත්වලට තමයි මෙතැන වැඩිපුරම මිනිස්සුන්ගේ හිත් දිනාගත්තු තැන වුණේ. ඉතින් එදා වැඩිදෙනෙක් මෙතැනට ආවේ ගියේ පොත් ගන්න. පස්සේ මෙතැන තිබුණ හැම කඩයකට ම වුණේ පොත් වෙළෙඳාමට මාරු වෙන්න.”

පාවිච්චි කරන ලද පොත්වලින් පිරී යන මෙම පොත්කඩ කිහිපයට ම සෑම දිනකම බොහෝ පාඨක පිරිස ඇදී එන බවක් අපට එහි පෙනී යන්නට විය. නවකතා, පරිවර්තන ආදී නොයෙකුත් පොත් හා බොහෝ දෙනාගේ රුචිකත්වය අනුව පෙළට තබා ඇති පොත්වලින් ඔහුගේ වෙළෙඳ සැල ද පිරී ඇත. හේ නැවතත් එහි ඇති පොත් ගැන විස්තරයක් කරන්නට විය.

“මෙතැන නැති පොතක් නැහැ. හැම පොතක්ම වාගේම තිබෙනවා. බැරිවෙලාවත් නැති එකක් තිබුණොත් හොයල හරි ගෙනැත් ඒ අදාළ කෙනාට කෝල් කරල කියනවා. ලංකාවේ ගොඩක් පරණ පොත් එකතු කරන අය ඉන්නවා. ගොඩක් අය කියවන්න කැමති පළමු මුද්‍රණ. ඒ වගේ පොත් එකතු කරන අයත් ඉන්නවා. වැඩිමනක් ගෙවල් මාරු කරන අයගෙන් තමයි පොත් අපට එන්නේ. ගොඩක් අය තමන්ට අනවශ්‍ය යැයි කියල හිතන පොත් අපට ගෙනැත් දීල අප ළඟ තියෙන පොත් ඒ අය රැගෙන යනවා. පිටරට ඉගෙන ගන්න අය පාවිච්චි කරපු පොත් ඒ අය මේ රටට එනකොට ගේනවා. ඒවත් අපට ලැබෙනවා. මමත් ඔස්ටේ්‍රලියාවෙන් පොත් ගෙන්න ගන්නවා. මෙතැන සීයයට අනූනවයයි දශම නවයක් ම වගේ තියෙන්නේ ඉංග්‍රීසි පොත්. ගොඩක් පොත් කඩවල නැතිපොත් මෙතැන තියෙනවා. වෛiවරු, නීතිඥයන්, වැවිලිකරුවන් පවා මෙතැනට තමයි එන්නෙ පොත් තෝරල අරගෙන යන්න. ඉස්සර නම් දේශපාලනඥයන් පවා මෙහාට ආවා. තාමත් පුරුදු අය එනවා.”

පොත් රැකියාවට එහා ගියපු මනුස්සකම

විසි කරන පොත් අලුත් කළ මරදානේ පොත් කඩේ පරණ කතාව…

පොත් රැකියාවේ වසර පනහකටත් අධිකව නිරතවන ඔහු මේ රැකියාවෙන් නැති බැරි අයට උදව් කරපු අන්දම ද අපට කියන්නට විය.

“එක දවසක් ප්‍රධාන රේඩියෝ නාලිකාවක වැඩසටහනකට මම සවන් දෙනකොට එක දවසක් ඒ වැඩසටහනට ළමයෙක් කතා කරල කිව්වා වෛi විද්‍යාලයට තේරිල ඉන්නවා. ඒත් මගේ තාත්තට අමාරුයි ඕනෑ කරන පොත් ගන්න. කවුරු හරි උදව් කරන්න කියලා. මට ඒක ඇහුණ වෙලාවෙම මම ඒ දරුවට කතා කළා. මම කිව්වා මම කරන්නේ පොත් විකුණන එක. මට පුළුවන් ඔය ළමයට පොත් දෙන්න කියලා. මම කිව්ව ඔයාට ඕන පොත් ලිස්ට් එක එවන්න කියලා. ඒ දරුවා එවල තිබුණා. පස්සේ මගේ පොත් කඩේ තියෙන පොත් ටික තෝරල තිබ්බා. ඒ අය ඇවිත් ඒ පොත් අරගෙන යන ගමන් මටත් එන්න කිව්වා දවසක ඒ රේඩියෝ වැඩසටහනට. එතැනට ඒ දරුවයි එයාගේ තාත්තයි ඇවිත් හිටියා. මට එදා ජීවිතේ හරියට සතුට හිතුණ දවසක්. ඒ සේවාව අගයලා මට ඒ කාලේ සහතිකයක් පවා ලැබුණා. ඒක මම මේ පොත් වෙළෙඳාමේ අත්විඳපු සුන්දර අත්දැකීමක්.”

පොත් කියවීම විනෝදාංශයක් කර ගත් මිනිසුන් මේ ලොව අනන්තවත් ඇත්තේය. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන ද අදක ඊයෙක නොඇසෙන්නකි. මිනිසකු පරිපූර්ණ වියයුතු නම් පොත පතේ ඇති දැනුම ද අත්‍යවශ්‍ය ය. මේ කියන ඩී. ආර්. විජේවර්ධන මාවතේ පරණ පොත් කඩහි දිනපතා පොත් අතර ඇඟිලි තුඩු යවමින් පොත් තෝරන පාඨකයන් ද ඕනෑ තරම්ය. මේ වනවිට ලොව කොතරම් ඩිජිටල්කරණයකට ගිය ද පොතක පතක දැනුම ගන්නට පාඨකයන් අමතක කර නැත. සරත් මහතා ගෙන් අප අසන්නට වූයේ අද වනවිට පොත් කියවීමේ අඩුවක් පවතිනවා ද යන්නය.

“මෙතැන එන ගොඩක් අය කියන්නේ බඩගින්නෙ හිටියත් පොත් කියවන්න ඕන කියලා. තාක්‍ෂණය දියුණු වුණා කියල පොත් කියවන එක අඩුවෙලා නෑ. පොත් කියවන පිරිස එදාට වඩා දැන් වැඩියි. සමහර ළමයි ඉන්ටර් නෙට් එකේ තියෙන පොත් දාගෙන ඇවිත් මෙහේ හොයනවා. ඒ වගේම ඊ-බුක් කියවන්නට ගොඩක් අය කැමති නෑ. බොහොම සීමිත පිරිසක් තමයි එයට කැමති. ඒ අය කියන්නෙ මෙතැන තියෙන පොතක රසය අන්තර් ජාලයෙන් ලබන්න බෑ කියලා. අපි ළඟ රුපියල් සියයේ ඉඳන් රුපියල් පන්දහස වගේ වෙනකන් නවකතා පොත් තියෙනවා. පරිවර්තන කෘති තිබෙනවා. අධ්‍යාපනයට අවශ්‍ය කරන පොත් පවා මෙතැන තියෙනවා. පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනයට, විවිධ උපාධිවලට අවශ්‍ය දැනුම දෙන පොත් පවා මෙතැන තියෙනවා. ලංකාවේ අවුරුදු 150-200-300ක් විතර පරණ පොත් මෙහි තිබෙනවා. අපට මෙතැනට එන මිනිසුන්ට මීටත් වඩා සේවාවක් දෙන්න පුළුවන් මීට වඩා ඉඩකඩ තිබෙන තැනක් ලැබෙනවානම්. මෙතැන මිනිස්සුන්ට හුරුපුරුදු තැන. ඒත් වාහන නැවැත්වීමට පහසුකම් නෑ. මෙතැන පැරණිම පොත් වෙළෙන්දා තමයි පීටර් අප්පුහාමි කියන්නේ. එයා දැන් මෙහෙට එන්නේ සතියට දවස් දෙකක් විතරයි. එයා තමයි අපේ මාමගේ පළමු වැනි ගෝලයා. දෙවනියා මගේ මල්ලී. 1963 වර්ෂයේ තමයි මම මෙතැනට එන්නේ.”

පාඨකයා ඉල්ලන පොත තෝරාදෙන්න සරත් මහතාට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. පොතේ නම, කර්තෘගේ නම කියූ සැණින් සිය වෙළෙඳ සැලේ පොත් රාක්කය වෙත දෑත් යවා ඇඟිලි තුඩු පොත් අතර යවමින් විනාඩි කිහිපයකින් අදාළ පොත පාඨකයා අතට පත්කිරීමට ඔහු සමතෙකි.

ඔහු කියූ පරිදි පරණ පොත් කඩවල මුල් පරම්පරාවේ අනික් තැනැත්තා වන්නේ පීටර් අප්පුහාමිය. 1952 වර්ෂයේ මරදාන දුම්රියපොළ ඉස්සරහ පොඩි ලෑලි තට්ටුවකින් පොත් ව්‍යාපාරය පටන් ගන්නා ප්‍රේමදාස වීරරත්න ඔහුගේ ද මාමා ය. සරත් තෙවරාහැන්නැදිගේ හා පීටර් අප්පුහාමි එකම පවුලේ ඥාතීන්ය. මරදාන ඩී. ආර්. විජේවර්ධන මාවතේ දැනට සිටින පැරණිතම පොත් වෙළෙන්දන් දෙදෙනා ද මොවුන්ය. අප එහි යනවිට පීටර් අප්පුහාමි මහතා එම වෙළෙඳ සැලෙහි නොසිටි අතර ඔහු සමග අපි දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු.

විසි කරන පොත් අලුත් කළ මරදානේ පොත් කඩේ පරණ කතාව…

“මුලින්ම මේ ව්‍යාපාරය පටන්ගත්තේ මගේ මාමා. මගේ මාමට කොළඹට ඇවිත් පොත් බිස්නස් එකක් පටන් ගන්න හිතුණේ ඒ දවස්වල දෙමළ ව්‍යාපාරිකයන් බයිසිකල්වල පොත් අරගෙන ඇවිත් ගෙවල්වලට බෙදනවා. එහෙම දීල ඒ අය මාසයට ගාණක් ගන්න බිස්නස් එකක් ඒ කාලේ තිබුණා. ඒ වගේම ඒ ගෙවල්වල පොත් අරගෙන ගිහිල්ල වෙනත් තැනකට මාරු කරල දෙන ක්‍රමයක් තිබුණා. ඒ කාලේ ශත විසිපහකට පනහකට වගේ මුදලකට තමයි පොත් දෙන්නේ. මේක අපේ මාමා දැකල එයාට හිතිල තියෙනවා මේ බිස්නස් එක එක තැනක ඉඳන් කරන්න පටන් ගන්න. ඊට පස්සේ තමයි 1952 වර්ෂයේ දී මරදාන ස්ටේසම ළඟ මුලින්ම පේව්මන්ට් එකක මේ වැඩේ පටන් ගන්නේ. ඊට පස්සේ දෙමළ ව්‍යාපාරිකයන්ගේ පොත් වැඩිපුර ම ගත්තෙ මාමා තමයි. පරණ කඩවල පවා තිබුණු පොත් ඔහු ඒ කාලේ විකුණලා තිබුණා. ඉස්සර කොළඹ පොත් කඩවල හිටපු මහත්තයෙක්ගේ පුතෙක් ඇමෙරිකාවේ ඉඳන් අපිට පොත් එව්වා. ඒ කාලේ අපි පොත් ගත්තෙ රාත්තල් ගාණට. රාත්තලක් වෙන්නේ ශත පහළොවයි විස්සයි. ඊට පස්සේ අපි පේව්මන්ට් එකේ දාලා ශත පනහට රුපියලට විකුණනවා. මුලින්ම හොඳ පොත් ටික විකිණෙනවා. හොඳ පොත්වලට අපි වැඩි ගාණක් නියම කරල තමයි විකුණන්නේ. ඒ කාලේ ඒ වගේ පොතක් රුපියලක් දෙකක් වගේ. මේ 1960 විතර. මට එතකොට අවුරුදු 16ක් 18ක් විතර ඇති. නවල්ස්, ඉකොනොමික්, මැනේජ්මන්ට්, මෙඩිකල් පොත් පවා අපි ළඟ තිබුණා. ඒවා විකිණෙන හැටි බලලා තමයි අපි නැවත පොත් ගේන්නෙ. 1975 දී නොබැඳි සමුළුව කාලේ තමයි අපට ඩී. ආර්. විජේවර්ධන මාවතේ කඩ හිමිවෙන්නේ. එතැනට ගියා ම අපට කලින් තැනට වඩා හොඳ බිස්නස් එකක් තිබුණා. නගර සභාවෙන් අපිට එම කඩ නීත්‍යානුකූලව තමයි දුන්නේ. අපි එදා ඉඳන් කුලියක් ගෙවාගෙන මේ කඩ කරගෙන යනවා. 1952 පටන් ගත්තු මේ පොත් ව්‍යාපාරයට දැන් අවුරුදු 50කටත් වැඩියි. අපි ළඟ රුපියල් ලක්‍ෂයක් විතර වටින පොත් පවා තිබෙනවා. ඒ පොත් ගේන්නේ පරණ ගෙවල්වල තියෙන පොත් ගොඩවල්වලින්.

ගොඩක් ගෙවල්වල මහත්වරු නැතිවුණාම නෝනල මේවා අපට විකුණනවා. අපි පොත් ඔක්කෝටම ගාණක් කියල ගන්නවා. මේක හරිම රසවත් බිස්නස් එකක්. ඒ දවස්වල ඉඳන් අපි ළඟට ආපු අය දැන් ගොඩක් මියගිහින්. ඒ කාලේ ඉංග්‍රීසි නවකතා හොඳට විකිණුවා. දැන් ඉන්න අය ඒව කියවනව අඩුයි. ටී.වී, ෆෝන් ආවට පස්සෙ මිනිස්සුන් ගෙන් කියවන එක ඈත් වුණා. තාම 20%ක් විතර කියවන අය ඉන්නවා. කොහොම හරි අපි තාමත් මේ රස්සාව කරගෙන යනවා. ඒ කාලේ ගුරුවරු ගොඩක් මෙතැනට එනවා. දේශපාලනඥයොත් එහෙමයි. අනුර බණ්ඩාරනායක මහත්තයත් මෙතැනට ඇවිත් පොත් අරගෙන ගිහින් කියවනවා. නළු නිළියන් පවා මෙතැනට ඇවිත් පොත් අරගෙන ගියා. මෙතැන තියෙන නාට්‍ය සම්බන්ධ පොත් අරගෙන ගිහින් තමයි එයාල ඒ කලාව ප්‍රගුණ කළෙත්. අපි ළඟට දැන් එන්නේ තුන්වන පරම්පරාව” කියමින් ඔහු කතාව අවසන් කළේය.

1992 සිට ඩී. ආර්. විජේවර්ධන මාවතේ පරණ පොත් රස්සාවේ නියුතු තාරක වර්ණසූරිය මහතාට ද පොත්පත් ගැන ඇත්තේ පුළුල් දැනුමකි. ඔහු ද කියන්නේ මෙතැනට දිවයිනේ නන්දෙසින් පොත් ගැනීමට පාඨකයන් පැමිණෙන බවක්ය.

“අප ළඟ නවකතා, ඉතිහාසය, පරිවර්තන කෘති, පාසල්වලට අවශ්‍ය කරන පොත්, දේශපාලන කෘති ආදී පොත් ගොඩක් තියෙනවා. මම මේ කරගෙන යන්නේ මගේ පියා පටන් ගත්තු පොත් ව්‍යාපාරය. මේ වනවිට මගේ පියා ජීවතුන් අතර නැහැ. මෙතැන පොත්පත් ගොඩක් අපි ගෙවල්වලට ගිහිල්ල ගන්නවා. ගොඩක් අපට පොත් සපයන අයත් ඉන්නවා. ගොඩක් අය හොයාගෙන එන පොත් අපි ළඟ නැතිවුණොත් සතියක් හරි ඇතුළත අපි ඒ අයට පොත ලැබෙන්න සලස්වනවා. අපි අලුත් පරම්පරාවට කියන්නෙ ස්මාර්ට් දුරකථන පාවිච්චි කර කර ඉන්නවට වඩා මේ වගේ වටිනා පොත්පත් පාවිච්චි කරලා දැනුමෙන් පෝෂණය වෙන්න කියලා. ළමයින්ව යහමඟට ගන්න තියෙන එකම ක්‍රමය තමයි පොතට පතට හුරු කරවන එක. අද උදෙත් මෙතැනට ආපු කෙනකු පොත් ගොඩක් අරන් ගියා ළමයා ගෙදර ඉඳන් ෆෝන් ගේම්වලට හුරුවෙලා ඒක නවත්වන ඕන කියලා. ෆෝන් වගේ නෙවෙයි පොත් කියෙව්වොත් ඒ ළමයට දැනුම හරි ඉතිරි වෙනවා”

පරණ පොත් හා මේ පොත් කඩ වටා ගෙතුණු බොහෝ කතාන්දරයන් ද තවත් ඇත. මේ පොත් කඩ පේළියේ වෙළෙඳුන් එදා සිට මේ දක්වා ම පරණ පොත් රස්සාව සිදුකරනුයේ ද බොහෝ එකමුතුවය. එදා සිට තවමත් මේ පොත් ද මිනිසුන්ට සමීපව ඔවුන්ව ද කියවන්නේය. වේලාවක් ලැබුණොත් ඔබ ද මේ පොත් සැලට ගොඩවිය යුතුමය. එසේ ගොඩවී පොතක් මිලට ගෙන කියවීමෙන් ඔබ ලද දැනුම ඇත්තෙන්ම කාසිවලට හෝ නෝට්ටුවකට වඩා අගනේය.

රමින්ද මාවතගේ
ඡායාරූප – බුද්ධික ඩී. රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment