මව්වරුන්ට පියවරුන්ට තම දරුවනුත්, බිරින්දෑවරුන්ට තම සැමියනුත් සැමියන්ට තම බිරින්දෑවරුනුත්, දරුවන්ට සිය මව්පියනුත් අහිමි කළ යුද්ධයේ කටුක කර්කශ බව යළි යළිත් මෙරට වැසියන්ට සිහිකළ යුතු නැත. ඒ කර්කශ කඨෝර යුද්ධය ශ්‍රී ලංකාව වෙළාගත් අඳුරු දශක තුන නිමාවූයේ 2009 මැයි 18 වැනිදා ය. ඒ ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වර්ණමය දිනයක් රන් අකුරින් සනිටුහන් කරමිනි. එදා 1975 වර්ෂයේ දී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කරමින් වේලුපිල්ලේ ප්‍රභාකරන් අපේ මව්රටට උරුම කළ අඳුරු යුගය නිමාකරමින් ලැබූ මේ ජයග්‍රහණය මල් යහනා මතින් ලැබූ ජයග්‍රහණයක් නොවේ. එය දහස් ගණනකගේ ලේ කඳුළු මතින් උරුම වූ ජයග්‍රහණයකි.

දෙමළ සටන්කාමීන් කියාගත් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සහචරයන් විසින් යුද්ධ හමුදා සොල්දාදුවන් 13 දෙනකු 1983 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධිය පාදක කරගමින් පළමු ඊළාම් යුද්ධය ආරම්භ විය. 1984 වර්ෂයේ සිට ප්‍රභාකරන්ගේ සහචරයන් විසින් උතුරු පළාතේ සිංහල ජානපදිකයන් සමූල ඝාතනය කිරීම ආරම්භ කළ අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුර ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූහ. ඉන් අනතුරුව තිම්පු සාකච්ඡා ක්‍රියාත්මක වුවද එම සාකච්ඡා සාර්ථක නොවීය.

1995 අප්‍රේල් 19 වැනි දින ත්‍රස්තවාදීන් විසින් ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා තිබූ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් විනාශ කිරීමත් සමග තුන්වැනි ඊළාම් යුද්ධය ආරම්භ විය. ඉන්පසු ත්‍රස්තවාදීන්ට එරෙහිව රිවිරැස, රණගොස, ජයසිකුරු ආදී ක්‍රියාන්විත රජයේ හමුදාවන් විසින් දියත් කළ අතර 2001 වර්ෂයේ දී යළි සටන් විරාමයක් ඇති විය. මෙය 2003 දක්වා පැවති අතර 2006 වසරේ දී සාම සාකච්ඡා ක්‍රියාත්මක වුවත් ඒවා ද අසාර්ථක විය. 2006 වසරේ දී රජයත් එල්.ටී.ටී.ඊ සංවිධානයත් අතර විටින්විට යුද ගැටුම් ඇති විය. ඉන් අනතරුව 2006 ජූලි 26 වැනි දින සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ වූ අතර මේ සඳහා යුදබිමේ නායකත්වය එවකට යුද්ධ හමුදාධිපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ලබාදුනි.

වෙල්ලමුල්ලිවයික්කාල්වලින් පසු යුද්ධ හමුදාවේ භූමිකාව

මෙය හුදෙක්ම මානුෂීය මෙහෙයුමක් වූ අතර නැඟෙනහිර මානුෂීය මෙහෙයුම නමින් එය හැඳින්වීය. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් 2006 ජූලි 21 වැනි දා මාවිල්ආරු සොරොව්ව වසා දමමින් අහිංසක සිවිල් වැසියන් 30,000ක පමණ පිරිසගේ ජල සැපයුම අත්හිටු වූ අතර මාවිල්ආරු මුදාගනිමින් ජනතාවගේ ජල අවශ්‍යතාවයන් සැපිරීම වෙනුවෙන් සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ විය. ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට ඉතා පහසුවෙන් මාවිල්ආරු මුදාගත හැකි වූ අතර ඉන් අනතුරුව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ බලකොටුවක් වූ තොප්පිගල මුදාගැනීමෙන් අනතුරුව නැඟෙනහිර පළාතේ එල්.ටී.ටී.ඊ බලය සහමුලින්ම ඉවත් කර නැඟෙනහිර පළාත මුදාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවන්ට හැකි විය.

නැඟෙනහිර ජයග්‍රහණයෙන් පසුව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් උතුරු පළාතට පමණක් සීමා වූ අතර උතුරු පළාත ත්‍රස්තවාදීන් ගෙන් මුදාගැනීම සඳහා වූ උතුරු මානුෂීය මෙහෙයුම ඇරඹුණේ ඉන්අනතුරුවය. සාම්ප්‍රදායික යුද උපක්‍රම පසෙකට දා මෙරටට ම ආවේණික වූ යුද උපක්‍රමයන් ඔස්සේ ඇරඹුණු උතුරු මානුෂීය මෙහෙයුම එල්.ටී.ටී.ඊ සංවිධානයේ අවසානය උදාකර වීය. එල්.ටී.ටී.ඊ සංවිධානය සතුව තිබූ අවසන් බිම්අගලත් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ දී අත්පත් කර ගැනීමත් සමග 2009 මැයි 19 වැනි දින අති බිහිසුණු ත්‍රස්ත්‍රවාදය පරදා ප්‍රභාකරන් නැමැති ඝාතකයාගේ මළසිරුර නන්දිකඩාල් කලපුවෙන් හමුවූයේ සාමයේ පරෙවියන්ට මුළු ශ්‍රී ලංකා අහස් තලයම යළි විවර කර දෙමිනි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් තිස්දහසකට ආසන්නව තුවාල ලැබූ අතර තවත් විසිපන්දහසකට ආසන්නව ජීවිතක්ෂයට පත්වූ සහ අතුරුදන්වූවන් අතරට එක්වූහ. ඔවුන් මේ මොහොතේ සිහිපත් කළ යුතුමය. මේ විරුවන් කළ කැප කිරීම් හේතුවෙන් පරම වීර විභූෂණ පදක්කම් 29ක්, වීරෝදාර විභූෂණ පදක්කම් 18ක්, වීර වික්‍රම විභූෂණ පදක්කම් 312ක්, රණ වික්‍රම පදක්කම් 5101ක් සහ රණශූර පදක්කම් 27671ක් සමග වීර ක්‍රියා පදක්කම් 33131ක් පිරිනමා ඇත.

යුද්ධය අවසන් වූ පසුව ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය මෙහෙවර දශමයකිනුදු අඩු කළේ නැත. ඔවුන් සිය මෙහෙවර අඛණ්ඩව රට වෙනුවෙන් ඉටු කිරීමට පෙරට ආහ. තම රට වෙනුවෙන් පෙරට ඒමට ඔවුන්ට දිවා රෑ අව්ව, වැස්ස, ගැටලුවක් වූයේ නැත. ඒ සැබෑම ජාතියේ ආරක්ෂකයාගේ භූමිකාව නිසාය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ මූලික රාජකාරියෙන් ඔබ්බට ගොස් සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම් දියුණු කිරීම, අධ්‍යාපන පහසුකම් සැපයීම්, කෘෂිකාර්මික කටයුතු, ආගමික සහ සංස්කෘතික සහජීවන වැඩසටහන් විනෝදාස්වාද කටයුතු, ආදිය සිදුකරමින් ජාතිය ගොඩනැඟීමේ කටයුතුවල දී ද පෙරමුණ ගත්හ.

එමෙන්ම ගංවතුර හදිසි නාය යෑම් ආදී ස්වභාවික විපත්වල දී අන් කවරකුටත් පෙරාතුව ජනතාව වෙනුවෙන් පෙරට එන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි. කොස්ලන්ද – මීරියබැද්ද සහ මාවනැල්ල රාමසර කන්ද නාය යෑම, මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම, ගංවතුර, ලැව්ගිනි ආදී මහජනතාවට දැවැන්ත හානියක් සිදුකළා වූ ස්වභාවික ව්‍යසන සියල්ලකම පාහේ යුද්ධ හමුදාව ඉටුකළ මෙහෙවර ජනතාව හා හමුදාව අතර සුවිශාල මානුෂීය බැඳීමක සහ අවබෝධයක ශක්තිමත් පදනමක් ගොඩනැඟීය.

එපමණක් ද නොව, හිසට සෙවණක් නොමැති ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුල්වලට යුද්ධ හමුදාව විසින් දිවයින පුරා නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඉදිකර දී අවසන්ය. ක්‍රියාත්මක මට්ටමේ පවතින නිවාස ව්‍යාපෘති ද විශාල ප්‍රමාණයකි. මෙහි සුවිශේෂී කාරණය වන්නේ ඒ ඉදිකර දී ඇති නිවාස ප්‍රමාණයෙන් නිවාස 780කට වැඩි ප්‍රමාණයක් ඉදිකර දී ඇත්තේ උතුරු පළාතේ ජනතාව වෙනුවෙනි. මෙම නිවාසලාභීන් අතර හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ද අතිවිශාල ප්‍රමාණයකි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලොව මානුෂීයම හමුදාව ලෙසින් අබිසෙස් ගැන්වෙන්නේ ඔවුන් සිය සතුරාට පවා මානුෂීයත්වය බෙදාහරින නිසාවෙනි.

වෙල්ලමුල්ලිවයික්කාල්වලින් පසු යුද්ධ හමුදාවේ භූමිකාව

එසේ ම උතුරේ මෙන්ම දකුණේ ද රෝහල්වල හදිසි අවශ්‍යතා, රුධිර අවශ්‍යතා සැපිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්සිත්ව ඉදිරිපත්ව සිටීමයි. ගතවූ වසර කිහිපය තුළ පමණක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කළ එවැනි ලේ දන් දීමේ ව්‍යාපෘති තුළින් රුධිර පයින්ට් 6000කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත.

යුද්ධය අවසන් වීමෙන් පසුව උතුරු නැඟෙනහිර පළාත් සංවර්ධනය කිරීමට රජය විසින් දියත් කළ විවිධ වූ වැඩසටහන්වල දී යුද්ධ හමුදා සාමාජිකයන් දැක් වූ දායකත්වය අප්‍රමාණය. උතුර නැඟෙනහිර සංවර්ධන කාර්යයේ දී යුද්ධ හමුදා සමාජිකයන් විසින් හෙළුෑ දහදිය ප්‍රමාණය මූල්‍යයමය වශයෙන් ගණනය කළ නොහැකි තරමේ වටිනාකමක් විය හැක.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පාසල් දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් දියත් කරන ව්‍යාපෘති ප්‍රමාණය අතිවිශාලය. යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම මෙන්ම අධ්‍යාපනික උපකරණ ලබාදීම යුද්ධ හමුදාව තුළ ක්‍රියාත්මක කරනවා සේ ම ආර්ථික අපහසුතා සහිත පවුල්වල දරුවන් වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් දිවයින පුරා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත. දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා කඳවරු ආශ්‍රිතව සිටින ආර්ථික අපහසුතා සහිත පවුල්වල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘති යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන්නේ කිසිදු ආකාරයක ලාභ අපේක්ෂාවකින් තොරවය.

එසේ ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක මෙහෙයුම්වලට සහභාගී වීමෙන් ජාත්‍යන්තරයේ සුවිශේෂී කීර්ති නාමයක් තම මව් රටට අත්පත්කර දී ඇත. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී ලබාගත් පන්නරය මුසුකරමින් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි ඉටුකිරීම මඟින් මෙරටට විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් වාර්ෂිකව උපයා දීම ද සිදුකරයි.

නීතිවිරෝධි මත්ද්‍රව්‍යය ආශ්‍රිත වැටලීම්වල දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරිවලින් රැස් කර ගන්නා බුද්ධි තොරතුරුවලට අනුව පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය විශාල වැටලීම් ප්‍රමාණයක් සිදු කර ඇත. පසුගිය 2020 වසරේ සිට මේ දක්වා කාලය තුළ නීතීවිරෝධී මත්ද්‍රව්‍යය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලබාදුන් බුද්ධි තොරතුරුවලට අදාළව පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය වැටලීම් 3445ක් සිදුකර ඇති අතර එහි දී සැකකරුවන් 4168ක් අත්අඩංගුවට ගෙන ඇත. එසේ ම යුද්ධ හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව 2020 වසරේ සිට මේ දක්වා පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 35කට අධික ප්‍රමාණයක්, අයිස් කිලෝග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 4600කට අධික ප්‍රමාණයක්, ගංජා කිලෝග්‍රෑම් 3692කට අධික ප්‍රමාණයක් සහ ගංජා පැළ 1,819,531ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. එසේ ම මේ වනවිට පොලීසිය විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුමට සමගාමීව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහෙයුම් සහ බුද්ධි ආවේක්ෂණ රාජකාරි පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට සහ අදාළ සියලුම පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී ඇත.

වෙල්ලමුල්ලිවයික්කාල්වලින් පසු යුද්ධ හමුදාවේ භූමිකාව

මේ සියලුම කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉටුකරන්නේ තම මූලික රාජකාරි ඒ ආකාරයෙන්ම ඉටුකරමිනි. 2009 වසරේ දී යුද්ධය අවසන්වුවත් මේ දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානය විදෙස්ගතව සිටින සිය සහචරයන් යොදාගනිමින් අවස්ථා 14ක දී ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ දරා තිබුණත් ඒ සෑම අවස්ථාවක දීම එම උත්සාහයන් මැඬපවත්වා ඊට අදාළ පාර්ශ්ව වෙත නීතිය ක්‍රියාත්මක කර වීමට අවශ්‍යය සියලු ම බුද්ධි තොරතුරු යුද්ධ හමුදාව විසින් ලබා දී තිබීම යුද්ධ හමුදාව සිය මූලික රාජකාරීන් කිසිදු අයුරකින් පසුබෑමකට ලක් කර නොමැති බවට වූ හොඳම උදාහරණයයි. එසේ ම නිරන්තරයෙන් වෙනස් වන ආරක්ෂක භූදර්ශනය තුළ ඊට මුහුණ දීමට අවශ්‍ය කාර්යක්ෂම, පුහුණුවලත් වෘත්තීයමය හමුදාවක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉටුකරන්නේ අනූපමේය මෙහෙවරකි.

එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ගෙන් මෙරට මුදාගනිමින් දේශය එක්සේසත් කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කළාමෙන් යුද ජයග්‍රහණයෙන් වසර පහළොවක් සපිරෙන මොහොතේ දීත් රටේ අවශ්‍යතාවය වෙනුවෙන් දිවිපරදුවට තබා ඉදිරියට පැමිණ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය අනූපමේය ජාතික මෙහෙවර ඉටුකරන්නේ රට ආර්ථික සහ සමාජීය මෙන් ම සංස්කෘතිකමය කිසිවකුටත් නොදෙවෙනිව ලෝකය ඉදිරියේ ශක්තිමත්ව නඟාසිටුවීමේ කර්තව්‍යයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම වගකීමක් සේ සලකන නිසාවෙන්ය.

දිලංක ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment