ශක්තිමත් රාජ්‍ය සේවයක් රටේ ස්ථාපිත කිරීම දැන් ක්‍රියාත්මකයි – ජනාධිපති අනුර කුමාර දිසානායක රත්නපුරයේ දී කියයි

45

ජය නියතයි ගම අපිටයි’ රත්නපුරේ ජන රැලිය

වැඩිම අපනයන ආදායම මේ වසරේ දී උපයනවා

මැණික් පිරටින් ගේනවිට සාධාරණ ක්‍රමයක් හඳුන්වා දෙනවා

කෙටි කාලයකදී අපි සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ආර්ථිකය ස්ථාවර කළා

යාපහුව- අනුරාධපුර- යාපනය- ත්‍රිකුණාමලය නව සංචාරක ගමනාන්ත බවට පත් කරනවා

රට ගොඩනැඟීමේ පළමු පියවර ලෙස ශක්තිමත් රාජ්‍ය සේවයක් රටේ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘ජය නියතයි ගම අපිටයි’ ජන රැලි මාලාවේ තවත් ජන රැලියකට 23 වැනිදා රත්නපුරයේ දී එක් වෙමිනි.

2025 වසර වැඩිම අපනයන ආදායමක් උපයා ගන්නා වසර බවට පත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් එහිදී මැණික් කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. මැණික් පිටරටින් ගෙන්වීමේදී මැණික්වල වටිනාකම මත බදු අය කරන ක්‍රමවේදය වෙනුවට සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳ මේ වනවිට මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් තිබෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් ඒ සඳහා විසඳුමක් ලබා ගතහැකි වනු ඇතැයි ද පැවසීය.

ජන රැලිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

මැයි 06 වැනි දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී කිසිදු සැකයකින් තොරව මෙම රත්නපුර දිස්ත්‍රික්කයේ තිබෙන පළාත් පාලන ආයතන සියල්ල අපි ජයග්‍රහණය කරනවා. පසුගිය සැප්තැම්බර් 21 වැනි දා මේ රටේ ජනතාව පැරණි, විනාශකාරී දේශපාලන ගමන පරාජයට පත් කර අලුත් දේශපාලන ගමනකට අපේ රට අවතීර්ණ කරනු ලැබුවා. ඉන්පසුව, නොවැම්බර් 14 වැනි දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඔබ අපට ලබාදුන්නා. මෙය ලංකා දේශපාලන ඉතිහාසයේ විශාලතම පෙරළිය බව සඳහන් කළ යුතුයි. 2019 මැතිවරණයේ දී 3%ක තිබූ දේශපාලන ව්‍යාපාරයක් ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව සහිත පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩුවක් හදන තැනට මේ රටේ ජනතාව විශ්වාස කළා. ඒ වගේම 2019 දී ලක්ෂ 69ක් ලබාගත් දේශපාලන ව්‍යාපාරය 2.5%ට පහතට ඇද දැමුවා.

මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. දීර්ඝ කාලයක් පුරා ආණ්ඩු හදපු සහ ආණ්ඩු කරපු එක්සත් ජාතික පක්ෂයට ඡන්ද පත්‍රිකාවේ ලකුණක් නැති තරමට පහතට වැටුණා. අපේ රටේ ජනතාව විශාලතම දේශපාලන තීන්දුවක් සහ හැරවුමක් ගනු ලැබුවා.

අපේක්ෂා පොදි බැඳගෙන අප වෙත ඡන්දය ලබාදුන් ජනතාවගේ අරමුණු සහ අපේක්ෂා නියත වශයෙන්ම ඉටු කරන බවට අපි ඔබට සහතික වෙනවා.

අපිට මේ රටේ වැටී තිබූ ආර්ථිකය ගොඩනැඟීමට අවශ්‍ය වුණා. මීට වසර දෙකකට, තුනකට පෙර ආර්ථිකයේ විශාල අස්ථාවරත්වයක් නිර්මාණය වී තිබුණා. සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ඉතා කෙටි කාලයක් තුළ අපි සමත් වී තිබෙනවා. රටක ආර්ථිකයක් නිරන්තරයෙන් අවදානම් නම්, අස්ථාවර නම්, බැංකු ක්ෂේත්‍රය, මූල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසයක් බිඳ වැටිලා නම්, ව්‍යාපාර, කර්මාන්තකරුවන්, ආයෝජකයන් තුළ ආර්ථිකය කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇත්නම් රටක ආර්ථිකයක් ඉදිරියට ගෙන යන්න බැහැ. ඒ නිසා අපේ පළමු අභියෝගය වූයේ රටේ ආර්ථිකය ස්ථාවරභාවයක් ඇති කර ගැනීමයි. අපි අද ඒ සඳහා සමත් වී තිබෙනවා. එහි සලකුණු අද මේ රටේ ජනතාවට පේන්න තිබෙනවා. රට ගොඩනැඟීමේ පළමු පියවර ලෙස ශක්තිමත් රාජ්‍ය සේවයක් රට තුළ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ අප මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ආරුගම්බේ, යාල, ඇල්ල වැනි අපේ සංචාරක ස්ථාන අද විශාල පිරිසකගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා. යාල වනෝද්‍යානයට ඇතුළු වීමට පැය දෙකකට වැඩිය යනවා නම් සංචාරකයෝ නැවත පැමිණෙන්නේ නැහැ. ඒ නිසා අපි නව සංචාරක ගමනාන්ත ඇති කළ යුතුයි. යාපහුව, අනුරාධපුර, යාපනය, ත්‍රීකුණාමලය නව සංචාරක ගමනාන්ත බවට පත් කිරීම සඳහා ඉතා ඉහළ විභවතාවක් තිබෙනවා. අනුරාධපුරය අපේ පැරණිතම නගරයයි. අපේ පළමු ජනපද, අපේ පළමු වැව් එහෙත් සංචාරක කර්මාන්තය ආකර්ෂණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා පැරණි රාජධානිය ඉස්මතු වන ආකාරයෙන් අනුරාධපුර නගරය අපි නැවත ගොඩනඟනවා. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආධාරයක් ලෙස ලබාදීමට එකඟතාව පළ කළා.

ඒ වගේම, අපේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් අපි සැලසුම් සකස් කර තිබෙනවා. අපි පිටරටට භාණ්ඩ හා සේවා සැපයීම මගින් උපයා ගන්නා ඩොලර් ප්‍රමාණය ඉහළ නංවා ගතයුතුයි. අපේ අපේක්ෂාව ලංකාවේ වැඩිම අපනයන ආදායම උපයා ගත් වසර බවට 2025 වසර පත් කිරීමයි.

ශක්තිමත් රාජ්‍ය සේවයක් රටේ ස්ථාපිත කිරීම දැන් ක්‍රියාත්මකයි - ජනාධිපති අනුර කුමාර දිසානායක රත්නපුරයේ දී කියයි

එක්සත් ජනපද බදු ගැටලුව විසඳා ගැනීම සඳහා අප මේ වනවිට උත්සාහ කරමින් සිටිනවා. අපේ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත කණ්ඩායම එක්සත් ජනපදයට ගොස් ඊයේ දිනයේදී සාකච්ඡා පැවැත්වූවා. එම සාකච්ඡා ඉතා ප්‍රතිඵලදායක බව මට දැනුම් දී තිබෙනවා. ඒ නිසා දෙපාර්ශ්වය එක්ව යම් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා. ලොකයේ කුමන තත්ත්වයක් ඇති වුණත් නොසැලෙන ආර්ථිකයක් රටේ ගොඩනැඟීම ඉලක්ක කරගෙන අපි මේ ආර්ථිකය ගොඩනඟමින් සිටිනවා.

මම පසුගියදා මැණික් ප්‍රදර්ශනයට සහභාගී වූ අවස්ථාවේ මැණික් කර්මාන්තයට අදාළ බදු පිළිබඳ යෝජනා ඉදිරිපත් වුණා. විශේෂයෙන් මැණික් පිටරටින් ගෙන එනවිට එම මැණික්වල වටිනාකම බලා බදු අය කරන ක්‍රමවේදයක් තිබෙනවා. එයින්, කර්මාන්ත අධෛර්ය වන බවට කරුණු වාර්තා වෙනවා.

ඒ නිසා යම් සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමග අපි පසුගිය දා සාකච්ඡා කළා. අපට එය ඉතා ඉක්මනින් කළ හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපේ අපනයන ආදායම වර්ධනය කර ගැනීම වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි.

ඒ වගේම කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ අපට විශාල විභවතාවක් තිබෙනවා. අපි රුපියල් 15,000ක්ව තිබූ පොහොර සහානාධාරය 25,000ක් දක්වා ඉහළ දැමුවා. කුඹුරුවල වගා කරන අතුරු භෝගවලටත් අපි යල කන්නයේ සිට පොහොර සහනාධාරය ලබාදෙනවා.

ඒ වගේම බීජ පර්යේෂණ ආයතන ගොඩනඟමින් බීජ සාධාරණ මිලට ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. වල්නාශක සහ කෘමිනාශක අධික මිලට විකිණීමේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. අපි සිපෙට්කෝ ආයතනය සමග සාකච්ඡා කර දැනටමත් කෘමිනාශක සහ වල්නාශක ආනයනය කර තිබෙනවා. තවත් ප්‍රමාණයක් ආනයනය කර අවම වශයෙන් මෙම වෙළෙඳපොළ තත්ත්වය අඩකින්වත් අඩු කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා.

අපේ රටේ ජනතාව නීතියක් සහිත රටක් සහ නීතියට යටත් වන රටක් අපේක්ෂා කළා නම් එම රට ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් මේ වනවිට ගොඩනඟමින් තිබෙනවා. අපි ජනතාවට ලබාදුන් කිසිදු එකඟතාවක් බිඳ දමා නැහැ. අපි ඒවා ඒ අයුරින්ම ඉටු කරනවා.

මෙම පළාත් පාලන ආයතන මගින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යසනයට මුහුණ දී තිබෙනවා. රත්නපුර රෝහලේ මේ වනවිටත් ඩෙංගු රෝගීන් විශාල පිරිසක් සිටිනවා. මෙම පරිසර පද්ධතිය පිරිසිදු කර පවත්වාගෙන යෑම පළාත් සභාවේ සහ නගර සභාවේ වගකීමක්. ගමේ පාරවල් ටික හදන එක ප්‍රාදේශීය සභාවේ වගකීමක්. ගමේ සංවර්ධනය නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ වගකීමක්. මේ අනුව ජනතාවගේ ජන ජීවිතය හා ගැටගැහුණු මෙම වගකීම් ඉටු කිරීමට අපට ශක්තිමත් සහ හොරකමින්, වංචාවෙන් හා දූෂණයෙන් තොර නගර සභාවක් සහ ප්‍රාදේශීය සභාවක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් මෙම මැයි 06 වැනි දා ජනතාව තම යුතුකම ඉටු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.


advertistmentadvertistment