සාහිත්‍යයේ හා සමාජ විද්‍යාවේ නොමැකෙන තාරකාව
සමස්ත ජාතිය විසින්ම පිළිගනු ලබන විද්වතුන් රටකට ජනිත වන්නේ ගන වනාන්තරයක සඳුන් ගසක් කලාතුරකින් රෝපණය වන්නාක් සේය. එවැනි වටිනා, අර්ථවත් දරුවෙක් 1935 වෙසක් මස 19 වැනි දින බණ්ඩාරවෙල, කුරුකුදේ නම් පිටිසර ගම්මානයේ ජන්මය ලැබුවේය. ඔහු නමින් නන්දසේන රත්නපාල ය. මේ දරුවාගේ පියා කුරුකුදේ රජයේ පාසලේ විදුහල්පතිවරයා ය. මව එම පාසලේම ගුරුවරියකි. රත්නපාල පවුලේ වැඩිමලා ය. මහින්දදාස, පද්මසිරි නමින් සොහොයුරෝ දෙදෙනෙක් ද සමදරා, චන්ද්‍රා, ඉන්ද්‍රා නමින් සොහොයුරියෝ තිදෙනෙක් ද ඔහුට සිටියහ.
රත්නපාල ශිෂ්‍යයා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කුරුකුදේ පාසලෙනි. ඔහුගේ වාසනාවන්ත අනාගතය සඳහා බෙහෙවින් බලපෑවේ දෙමව්පයන්ගේ නිසි මඟපෙන්වීමයි. රත්නපාල කියවීමට ඉතා ළැදියාවක් දැක්වීය. ඔහු පාසල් පුස්තකාලයේ තිබූ සියලුම පොත් පත් කියවා අවසන් කර තිබිණි. පිසුව මේ ශිෂ්‍යයා ද්විතීයික අධ්‍යාපනය හැදෑරීමට පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයට පිවිසෙයි. තවත් කලකට පසුව රත්නපාල කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. එම විද්‍යාලයේ සිටියදී ඔහු පාසලේ විවාද කණ්ඩායමේ සාමාජිකයකු වශයෙන් ද පසුව එහි නායකයා වශයෙන් ද ක්‍රියා කළේය. විමල් අමරසේකර, නෝමන් වීරසූරිය, ලලිත් ඇතුලත්මුදලි සහ සිංගාරුවේල් ඔහුගේ පාසලේ සිටි අනෙකුත් දක්ෂයෝ වූහ. 1955 වර්ෂයේ දී රත්නපාල සරසවි පිවිසුම් පෙළ විභාගයට පෙනී සිටියේ ය. පසුව ඔහු එම විභාගයෙන් ඉහළින් සමත් වන්නේ ය. මේ කුසලතා පූර්ණ තරුණයා එම වර්ෂයේදීම, ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වෙයි. සරසවි සමයේ රත්නපාලයන්ගේ සැඟවුණු කුසලතා මතුපිටට පැමිණෙයි. ප්‍රථම වර්ෂයේ දීම හොඳම කථිකයාට පිරිනැමෙන රන් පදක්කම දිනා ගැනීමට හේ සමත් වෙයි. එපමණක් නොව, ඔහු විසින් ඉදිරිපත් කරන ලද “බළල් පවුල” එම වසරේ සරසවියේ රචිත හොඳම කෙටිකතාව වශයෙන් තෝරා ගැනිණ. විශ්වවිද්‍යාලයේ සිටි අවධියේ සිංහල භාෂා පෙරමුණේ නායකයා වූයේ ද රත්නපාල තරුණයා ය. ඔහුට භාෂා වීරයා යන විරුද නාමය සරසවියේදී පටබැඳිණි. හතර වැනි වසරේදී හෙතෙම බෞද්ධ සහෝදර සංගමයේ සභාපති තනතුරට පත්වෙයි. මහාචාර්ය ඩබ්. එස්. කරුණාරත්නයන්ගේ මාර්ගෝපදේශ අනුව රත්නපාල විශ්වවිද්‍යාලයේ බෞද්ධ කටයුතු නඟාසිටුවීම සඳහා තම කාලය හා ඵලදායි ශ්‍රමය කැපකරන්නේ ය.
මේ තරුණයා සිංහල විශේෂ උපාධි පාඨමාලාවක් හැදෑරුවේ ය. ඔහු තම ප්‍රථම උපාධිය සමත් වූයේ දෙවැනි පෙළ ඉහළ ගෞරව පන්ති සාමාර්ථයක් ද සහිතව ය. ඔහු සරසවියෙන් පිටවී ඉතා කෙටි කලක් රත්නපුරේ ශ්‍රී සුමන විද්‍යාලයේ සේවය කළේ ය. එහි විදුහල්පති හේන්පිටගෙදර ඤාණවාස හිමිගේ පූර්ණ සහයෝගය මේ ගුරුවරයාට ලැබිණි. අනතුරුව 1959 දී ලංකා විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය ධුරයකට රත්නපාලයෝ බඳවා ගැනෙති. පසුව 1960 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින ඔහු විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ස්ථිර කථිකාචාර්ය තනතුරකට තෝරා ගැනෙයි. විනී විතාරණ, ඒ.වී. සුරවීර හා කාන්ගහආරච්චි ද රත්නපාල සමගම තත් විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය ධුරවලට බඳවා ගන්නා ලදහ. එවකට සිංහල අංශාධිපතිව සිටි මහාචාර්ය විමල් බලගල්ල විසින් නූතන සිංහල අංශයේ ප්‍රධානියා වශයෙන් රත්නපාල පත්කරන ලදී. ඉතා කෙටි කලක දී රත්නපාල එම අංශයේ අභිවෘද්ධිය උදෙසා විශිෂ්ට සේවාවක් කළේ ය. ඔහුගේ අනලස් බව හා කැපවීම නිසා මේ අංශය සරසවිය තුළත් පිටතත් ජනප්‍රිය විය. එකල රත්නපාල නොසිටි සාහිත්‍ය උත්සවවල අඩුපාඩුවක් තිබුණු බව කාටත් දැනිණ. ඔහු තුළ තිබුණු නිර්මාණ කෞශල්‍යයත් සාහිත්‍ය දැනුමත් කථිකත්වයත් විවාද ශක්තියත් නිසා රත්නපාල සාහිත්‍ය සම්මන්ත්‍රණවලට නැතිවම බැරි පුද්ගලයෙක් විය.
නූතන සිංහල සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා ඔහු නව පාඨමාලා ආරම්භ කළේ ය. එතුමා ජනමාධ්‍ය පාඨමාලාවක් ඇරඹීමට පුරෝගාමී විය. එම විෂය සඳහා ආර්. පල්ලෙවෙල සම්පත්දායකයකු වශයෙන් සහභාගි විය. පසු කලෙක මහාචාර්ය සුරවීර සිංහල අංශයට ජනසන්නිවේදන විෂය එක් කළ ද මෙහි පුරෝගාමියා වන්නේ රත්නපාල බව පසක් වේ. කෙසේ වෙතත් සුරවීර ද රත්නපාල මෙන්ම සැබෑ ගුරුවරයෙකි. ඔහු ද සරසවි සිසුන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජීවිත කාලයම කැප කළ පඬිවරයෙකි. රත්නපාල විවිධ උගතුන්ට ආරාධනා කොට, සරසවියට කැඳවා වටිනා දේශන පැවැත්වීමට අවස්ථාව සලසා දුන්නේ ය. රත්නපාල ඒ දේශන මගින් අපේක්ෂා කළේ සරසවි සිසුන්ගේ ප්‍රඥාව දැල්වීමටත් ආනන්දය තීව්‍ර කිරීමටත් ය.
රත්නපාල පෙරළිකාර කථිකාචාර්යවරයකු නිසා ඔහුගේ නූතන සිංහල සාහිත්‍ය වැඩපිළිවෙළට එරෙහිව පිරිසක් විශ්වවිද්‍යාලය ඇතුළතින් මෙන්ම, පිටතින් ඉස්මතු වූහ. ඔවුන්ගේ අනර්ථකාමී අරමුණ වූයේ රත්නපාලයන්ගෙන් නූතන සිංහල සාහිත්‍ය ක්‍ෂේත්‍රයට සිදුවන සේවය අතරමග කඩාකප්පල් කර දැමීම ය. විරුද්ධවාදීන්ගේ අශිෂ්ට ක්‍රියාවන්ගේ අවසාන ප්‍රතිඵලය වූයේ නූතන සිංහල අංශය වැසීයෑම ය. මේ තරුණ කථිකාචාර්යවරයා අයහපත් ප්‍රතිඵලයෙන් මහත් සේ කම්පා විය. අවසානයේ දී රත්නපාල ආචාර්ය උපාධිය සඳහා කියවීමට 1963 දී ජර්මනිය බලා පිටත් විය.
1966 වර්ෂයේ ආචාර්ය උපාධිය දිනාගෙන රත්නපාල යළි දිවයිනට සම්ප්‍රාප්ත විය. එතුමා තවත් වසර හයක පමණ කාලයක් සිංහල අංශයේ සේවය කළේ ය. ඒ අතරතුරදී එනම් 1972 දී රත්නපාල සමාජ හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානියා වශයෙන් පත් කෙරිණ. එතැන් සිට රත්නපාල සිංහල සාහිත්‍යය හා සමාජවිද්‍යාව යන විෂය ක්‍ෂේත්‍ර ද්වයම නඟාසිටුවීමට ස්වෝත්සාහි වෙයි. සිංහල සාහිත්‍ය විචාරය ප්‍රගමනයටත් ඔහු විපුල සේවාවක් කළේ ය. මේ බහුශ්‍රැත පඬිවරයා සිංහල සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් නව අදහස් හා මතවාද ඉදිරිපත් කළේ ය. රත්නපාල විසින් රචිත සාහිත්‍ය විචාර ග්‍රන්ථ රාශියකි. කව්රස විඳීම, සිංහල, කෙටිකතා විචාර මූලධර්ම, කුංකුම චන්දන එයින් කිහිපයකි. 1960 දශකයේ ආරම්භයේ සිටම රත්නපාල පෙරළිකාර සාහිත්‍ය විචාරකයකු වශයෙන් මෙරට ප්‍රචලිත විය. ඔහු අනෙකුත් සාම්ප්‍රදායික සාහිත්‍ය විචාරකයන් සමග විවාද කර ගනියි. මේ සඳහා ඩේලි නිව්ස් හා අනෙකුත් දිනපතා පුවත්පත් උපයෝගි කරගෙන රත්නපාල සාහිත්‍ය විචාරයේ යෙදුණේ ය. එපමණක් නොව ඔහු “ග්‍රන්ථ විචාර” නම් සඟරාවක් විශ්වවිද්‍යාලයේ මාසිකව පළ කළේ ය. එහි රත්නපාලයන්ගේ ලිපි මෙන්ම, සිසුන්ගේ හරවත් ලිපි පළ කෙරිණ.
රත්නපාල සමාජවිද්‍යාවේ පෝෂණය උදෙසා ද ග්‍රන්ථ රාශියක් පළ කළේ ය. ඔහු මහ පොළොවේ පය ගසා සිටි සමාජ විද්‍යාඥයෙකි. ගණිකා වෘත්තිය, විෂ මත්ද්‍රව්‍ය, හිඟන සමාජය, වීදි ළමයින්, වැදි ජනතාව සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් ඉදිරිපත් කොට නව අදහස් සමාජයට දුන්නේ ය. අනාගතයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි සමාජ ප්‍රශ්න ගණනාවක් ගැන එතුමා අනාවැකි පළ කළේ ය. ගණිකා වෘත්තිය, විෂ මත්ද්‍රව්‍ය ගැන එතුමා හැත්තෑව හා අසූව දශකයේ දී කතා කළේ ය. එදා ඇතැම් විද්වතුන් ඔහුට සිනාසුණේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බව පෙන්වා දෙමිනි. එහෙත් අද ඒවා මෙරට උග්‍ර සමාජ ප්‍රශ්න වී තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. “ලංකාවේ යාචකයා” රත්නපාල විසින් රචිත උදාර පර්යේෂණ ග්‍රන්ථයකි. මේ පොත ලිවීමටත් පර්යේෂණ කිරීමටත් වසර දෙකක් ගත විය. මෙවැනි පර්යේෂණයක් කළ වෙනත් සමාජ විද්‍යාඥයකු තවමත් මෙරටින් දැකිය නොහැකි ය. එය මුළු මහත් ජාතියේම අවාසනාවකි. එදා රත්නපාලයන්ගේ “ජනප්‍රිය සමාජ විද්‍යාව” නමින් ලිපි පෙළක් “දිවයින” පුවත්පතේ පළ විය. ඒවායින් මෙරට ජනතාවට මෙරට සමාජය පිළිබඳ නව දැනුමක් ලැබිණ.
ශ්‍රී ලංකාවේ ගණිකාවෝ…. මේ ජීවිතයේදීම පල දෙන කර්මය අපරාධ විද්‍යාවේ මූලධර්ම, ජනශ්‍රැති විද්‍යාව, සමාජ විද්‍යාවේ මූල ධර්ම, ඇවිළෙන ගිනි දැල් ඇතුළු තව ග්‍රන්ථ රාශියක් එතුමා අතින් ලියැවිණි.
සිංහල සාහිත්‍යය, ජනශ්‍රැති විද්‍යාව, මානව විද්‍යාව, සමාජ විද්‍යාව හා අපරාධ විද්‍යාව යන බහුවිධ විෂය ක්‍ෂේත්‍රයන්හි උන්නතිය උදෙසා ආකල්ප සේවාවක් කළ රත්නපාල 2007 අගෝස්තු මස 07 වැනි දින හදිසියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ අභාවයෙන් හටගත් රික්තය පිරවීමට හැකි ප්‍රාඥයකු තවමත් මෙරට විශ්වවිද්‍යාලයකින් බිහිවී නැත.
රෝහණ වංශතිලක