රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අධ්‍යක්ෂණය කරනු ලැබූ පනාකඩුව තඹ සන්නසේ ඓතිහාසික අනාවරණය වූ ‘ශ්‍රී සිද්ධා’ සිනමා නිර්මාණය අද (18 වැනිදා) සිට රටපුරා සිනමාහල් රැසක තිරගත කිරීමට නියමිතය. මහාචාර්ය ගුණපාල රත්නසේකර, මාලිකා ජයසූරිය වගේම තුසිත විජේසේන නිෂ්පාදනය කරනු ලබන ‘ශ්‍රී සිද්ධා’ සිනමා නිර්මාණය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සමඟ කළ සංවාදයක් මතුදැක්වේ.

ශ්‍රී සිද්ධා කියන්නේ පනාකඩුව තඹ සන්නසේ ඓතිහාසික අනාවරණයයි - රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

ඔබ අධ්‍යක්‍ෂණය කළ ශ්‍රී සිද්ධා සිනමා නිර්මාණය අද සිට තිරගත කිරීම ආරම්භ කළා ?

ඔව්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ චිත්‍රපටය නිර්මාණය කරලා දැන් වසර තුන හතරක් වෙනවා. කොරෝනා වසංගතය වගේම අනෙකුත් ආපදාවන් හින්දා ඒ චිත්‍රපටය තිරගත කරන්න ප්‍රමාද වුණා. අද සිට ස්කෝප් සහ එල්.එෆ්.ඩී. ප්‍රදර්ශන මණ්ඩලය හරහා ‘ශ්‍රී සිද්ධා’ තිරගත කිරීම ආරම්භ කරනවා.

ශ්‍රී සිද්ධා හි කතා තේමාව කුමක්ද?

ඔබට මතක ඇති පොන්නියන් සෙල්වම් චිත්‍රපටය. දකුණු ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. එයින් කියැවෙන්නේ පොන්නියම් සෙල්වම් චෝල කණ්ඩායම් ලංකාවට ඇවිත් පස්වැනි මිහිඳු රජ්ජුරුවන්ව පරාජය කරල ලංකාව යටත් කර ගැනීම. ඊට පසුව ඔවුන් රජවීමට සිටි සිංහල කුමාරවරු සියල්ල ඝාතනය කරනවා. එතකොට අපේ රටට කිව්වේ මොංගොලි චෝඩේ මක්දලම් කියලා. අපි චෝල අධිරාජ්‍යයේ ප්‍රාන්තයක් වෙලා තිබුණේ. ඊට පසුව ඒ චෝලයන්ව පරාජය කරලා නැවත රට එක්සේසත් කළේ පළමු වැනි මහා විජයබාහු රජ්ජුරුවෝ. ඉතිං ඒ කතාව තමයි මගේ මේ ශ්‍රී සිද්ධා කියන චිත්‍රපටයේ තියෙන්නේ.

හැබැයි ඒකේ තියෙන වටිනාම දේ තමයි මහාවංශයේ තියෙන්නේ, මීට අවුරුදු 1100 කට ඉස්සර වෙලා මහා විජයබාහු රජ්ජුරුවෝ චෝලයන්ව රටින් පන්නලා රට එක්සේසත් කළා. ඔහුට මුලින් කිව්ව නම තමයි කින්නි කුමරු. සිංහල කුමාරවරු සියල්ල ඝාතනය කරන කොට ඔහු කැලෑ වැදුණා. බුදල්නා කියලා කෙනෙකු ඔහුව ආරක්‍ෂා කළා කියලා තමයි කියන්නේ.

ශ්‍රී සිද්ධා කියන්නේ පනාකඩුව තඹ සන්නසේ ඓතිහාසික අනාවරණයයි - රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

නමුත් 1948 දී පනාකඩුව කියන ග්‍රාමයේ හේන් ගොවියෙකු කුඹුරක් හානකොට හමුවුණා තඹ පත්‍ර තුනක්. ඔහු ඒවා රත්‍රං නොවන නිසා පැත්තකට දැම්මා. ඒක දැනගත් සෙනරත් පරණවිතාන සූරීන් ඇවිත් බලන කොට ඒකේ තියෙන්නේ මහා විජය බාහු රජ්ජුරුවෝ විසින් බුදල්නාට දීපු සන්නස. ඒකේ තමයි තියෙන්නේ සම්පූර්ණ විස්තරය. මේ තඹ පත්‍ර තුන අද කෞතුකාගාරයේ තියෙනවා. ඉතිං මගේ චිත්‍රපටයෙන් කතාබහ වෙන්නේ ඔය කතාවයි.

ගාමණී සිනමා නිර්මාණයේ රඟපෑ රිටිගල සුමේධ ශ්‍රී සිද්ධා චිත්‍රපටයට යොදාගත්තේ ඇයි ?

මහා වංශයේ සඳහන් වෙන්නේ සහ තඹ පත්‍ර තුනේ සඳහන් වෙන්නෙත් බුදල්නා කියන කෙනෙක් තමයි මෙයාව බේරා ගත්තේ කියලා. ඔහු හොඳ අංගම්පොර ශූරයෙක්. ඉතිං ඒක හින්දයි මම රිටිගල සුමේධව යොදා ගත්තේ. ඇත්තටම ඔහු අංගම්පොර කලාවේ නිපුණත්වයක් දක්වන චරිතයක්. ඒ සටන් කෘතිම නෑ. සියල්ල ස්වාභාවික සටන් ක්‍රම.

ශ්‍රී සිද්ධා කියන්නේ පනාකඩුව තඹ සන්නසේ ඓතිහාසික අනාවරණයයි - රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

ඉතිහාස කතාවක් සිනමාවට නඟද්දී මුහුණදුන් අභියෝග මොනවාද?

ඒක ඉතාම අමාරු කාර්යයක්. සෑහෙන ලොකු අධ්‍යයනයක් කරලයි අපිට අවශ්‍ය දර්ශන තල පවා සොයාගත්තේ. අනෙක් කාරණාව රජ ඇඳුම්, පළිහ, කඩු සියල්ලට ලොකු වියදමක් දරන්න සිද්ධ වුණා. අනික් එක තමයි ඉතිහාස කතාවක් සිනමාවට ගොඩනඟන කොට ඉතිහාසය විකෘති කරන්න බෑ. ඉතිහාසය යම් කිසි විදිහකට කොහේ හරි ලිඛිතව සඳහන් වෙලා තියෙනවා. ඒකට අභියෝග කරන්න අපිට බෑ. අපි දන්නා ඉතිහාසය විකෘති නොකර ඒකට අගෞරවයක් නොවන සේ මෙය නිර්මාණය කරන්න ඕනෑ.

ශ්‍රී සිද්ධා කියන්නේ පනාකඩුව තඹ සන්නසේ ඓතිහාසික අනාවරණයයි - රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

චිත්‍රපටය තිරගත කිරීමේදී මුහුණදුන් අභියෝග මොනවාද?

චිත්‍රපටය හොඳ නම් සිනමාශාලා හිමියන්, ප්‍රදර්ශන මණ්ඩල එය මුදා හරින්න කැමති වෙනවා. ඒ සඳහාත් අපි හොඳ කණ්ඩායමක් යොදාගන්න ඕනෑ. එතැනදී අපි පරිණත කෙනෙක් වුණු උපුල් නිශාන්තව යොදාගත්තා. මාධ්‍යයට සහ ප්‍රදර්ශන මණ්ඩලවලට පෙන්නපු වේලාවේ ඔවුන් එකවර මෙය ප්‍රදර්ශනය කරන්න අනුමත කළා. දැන් එල්. එෆ්. ඩී. මණ්ඩලයේ අද සිට ප්‍රදර්ශනය වෙනවා.

ශ්‍රී සිද්ධා නිෂ්පාදන සඳහා ආචාර්ය මාලිකා ජයසූරිය, ගුණපාල රතනසේකර සහ තුසිත විජේසේන එකතුවුණා. සංස්කරණය සිදු කළේ ප්‍රවීන් ජයරත්න. කැමරා අධ්‍යක්‍ෂණයෙන් චන්දන ජයසිංහත් එකතු වුණා.

දිනේෂ් විතාන

ශ්‍රී සිද්ධා කියන්නේ පනාකඩුව තඹ සන්නසේ ඓතිහාසික අනාවරණයයි - රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර


advertistmentadvertistment