ඇමරිකානුවෙක් පාප් පදවියට පත් පළමු අවස්ථාව

ෆ්‍රැන්සිස් පාප්තුමාගේ ස්වර්ගස්ථ වීමේ වේදනාකාරී මතකය කුතුහලයක් බවට පෙරළුණේ නව පාප්වරයකු තෝරා ගැනීම පිණිස පැවැත්වූ ඡන්ද විමසීම හේතුවෙනි.

දෙදිනක් පැවති පාප්වරණයකින් අනතුරුව අභිනව පාප් වහන්සේ පත් කෙරිණි. වැඩි දෙනකු පැවසූ පරිදි ඔහු අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට්ය. මේ පුවතින් බිලියන 1.4 ක් වූ ලොව පුරා විසිරී සිටින කතෝලික ප්‍රජාව ප්‍රීති ප්‍රමෝදයට පත් වූහ.

වතිකානයේ වේලාවෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේ උන්වහන්සේ තේරී පත්කර ගැනිණි. 14 වැනි ලියෝ පාප් වහන්සේ ලෙසින් නම් කළ උන්වහන්සේ 69 වන වියේ පසුවන්නේය. මෙය අමෙරිකානුවන්ට සුවිශේෂී වන්නේ උන්වහන්සේ අමෙරිකාවේ උපත ලබා තේරීපත් වූ පළමු පාප්වරයා වන බැවිනි.

නව පාප්තුමා පත් කිරීමට පෙර සිටම සාන්ත පීතර බැසිලිකා සඳලුතලය ඉදිරියට රැස්වූ ජනතාව එක හඬින් “පාප්තුමා දිගු කල් වැජඹේවා” ( “Vivail Papa”) කියා මතුරන ලදී.

1955 අමෙරිකාවේ චිකාගෝවේ ප්‍රෙවොස්ට් නමින් නව පාප්තුමා උපත ලබන්නේ ප්‍රංශ – ඉතාලි සම්භවයක් ඇති මවුපියන්ගේ පුතකු ලෙසිනි. ප්‍රෙවොස්ට්ට මාපියන් සමඟ වසර තුනකට පසු පේරු රාජ්‍යයේ පදිංචියට යෑමට වුවත් නිතර අමෙරිකාවට පැමිණියේය. පාස්තර්වරයකු ලෙස සේවය කළේය. පේරු වැසියන්ට ද ඔහු ආදරණීය චරිතයක් වූයේ ඒරට පාලම් ඉදිකිරීමට, ප්‍රජා සද්කාරවලට දැක්වූ සහාය හේතුවෙනි. මහජන සද්කාර්යයන්ට අමතරව ඔහු ඉගැන්වීමේ ද නියැළිණි. 2014 වසරේදී ප්‍රෙවොස්ට් බිෂොප් තනතුර දක්වා උසස් කළ අතර 2023දී නායක බිෂොප් ධුරයට ද ඊට මාස කිහිපයකට පසු කාදිනල් පදවියට ද පත් කෙරිණි. අභිනව පාප් වහන්සේ ලෙස පැවැත්වූ කතාවේදී එතුමා ස්වර්ගස්ථවූ ෆ්‍රැන්සිස් පාප්තුමා පිළිබඳ සෙනෙහෙබර මතකයන් අවදි කළේය. “ අපට ආශිර්වාද කළ ෆ්‍රැන්සිස් පාප්තුමාගේ දුර්වල නමුත් ශක්තිමත් හඬ තවමත් ඇසෙනවා.” උන්වහන්සේ පැවසීය.

14 වැනි ලියෝ පාප් වහන්සේ ද ගමන් කරන්නේ ෆ්‍රැන්සිස් පාප්තුමා ගිය අඩිපාරේමය. උන්වහන්සේ ද පොළොවේ පය තබා සිටින පූජකයෙකි. සංක්‍රමණිකයන්, දිළින්දන් සහ පරිසරය ගැන දෙදෙනාටම ඇත්තේ එකම දැක්මකි.

ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේ

ලියෝ නාමය ලද අවසන් පාප්වහන්සේ 1878 සිට 1903 දක්වා ධුරයේ සිට ඇති අතර ඔහු සේවක අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූවෙකි.

නව පාප්වරයා කාන්තාවන්ට බිෂොප්වරය දීමට ෆ්‍රැන්සිස් පාප්තුමා ගත් පියවරට එකඟ වූයේය.

අමෙරිකාවේ මෙන්ම පේරු රාජ්‍යයේ ජනතාව ද නව පාප්තුමා වෙනුවෙන් ජයපැන් බොති.

කතෝලික පල්ලියේ නව ආරම්භයක් සනිටුහන් කරමින් සාමය පිරිලොවක් ගොඩනැංවීමට නව පාප්තුමා ගන්නා පියවර සැබෑවන තුරු ලොවම බලා සිටී.

කෙසේ වුවත් මේ සමඟ කළු සමක් ඇති පාප්තුමකුගේ පත්වීම පිළිබඳ නොස්ට්‍රඩම් විසින් පැවසූ අනාවැකිය බොරුවී තිබේ.

පාප්තුමකු ලෙස තේරෙන්නේ කාදිනල්වරුන් 133 දෙනාගෙන් 89 කගේවත් මනාපය ලැබූ පූජකයාය. එසේ තෝරාගත් පසු “අපට නව පාප්වරයකු සිටිනවා.” යන අදහස ඇති “Habemus papam!”යන වදන් පෙළ වහල දෙසට හඬ නැගෙන ලෙස මුමුණා ජයග්‍රාහකයාගේ නම ලතින් බසින් පවසයි. වැඩි දෙනකු සිතුවේ නව පාප්වහන්සේ තෝරා ගැනීමට මීට වැඩි කාලයක් ගත විය හැකි බවය.

ප්‍රෙවොස්ට්ගේ පියා පාඨශාලීය විදුහල්පතිවරයකු වූ අතර මව, පුස්තකාල විද්‍යාව පිළිබඳ උපාධිධාරණියක විය. මේ නිසා අධ්‍යාපනයට ප්‍රෙවොස්ට් ද කුඩා වියේ සිටම මහත් ලැදියාවක් දැක්වීය.

1977 දී පෙනිසිල්වේනියාවේ විලනෝවා සරසවියෙන් ගණිතය පිළිබඳ උපාධිය ලැබූ ඔහු වැඩිදුරටත් කතෝලික දහම ද හැදෑරීය.

නායක බිෂොප් වීමට පෙර රොබට් ප්‍රෙවොස්ට් පේරු රාජ්‍යයේ දිළිඳුම ප්‍රදේශයක් වන චික්ලායෝ හි විරැකියාවෙන් පෙළෙන, යටිතල පහසුකම් ඉතා අවම ජනතාව වෙනුවෙන් කැපවී සේවය කළේය.

පාප්වරුන් දේශපාලනඥයන් නොවු ද මහජන කටයුතුවලට ආගමානුකූලව මැදිහත්වේ. පසුගිය වසර ගණනාවේදීම සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රෙවොස්ට් හඬ නැඟීය.

පසුගිය පෙබරවාරි මාසයේදී ද ඔහු ට්‍රම්ප්ගේ පරිපාලනය සංචාරකයන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය විවේචනය කළේය. නව පාප්තුමාගේ මවුපියන් ද සංක්‍රමණිකයන් වීම නිසා සංක්‍රමණිකයන්ගේ ගැටලු හොඳින්ම අවබෝධ කරගත් අයෙකි.

විවේක කාලයේදී නව පාප්වරයා මිතුරන් සමඟ කාලය ගත කිරීමට, ටෙනිස් ගැසීමට සහ විවිධ තරාතිරමේ පුද්ගලයන් මුණ ගැසීමට කැමැතිය. ලියෝ පාප්වහන්සේ ඊට කලින් සිටි පාප්වහන්සේලා දෙදෙනාටම වඩා වයසින් බාලය. ෆ්‍රැන්සිස් පාප්තුමා පාප් ධුරයට පත්වූයේ වයස 76දී වන අතර 16 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ ධුරයට පත්වන විට වයස අවුරුදු 78කි. නූතන ඉතිහාසයේ ලාබාලතම පාප් වහන්සේ ලෙස සැලකෙන්නේ නි ජෝන් පාවුළු පාප්වහන්සේය. උන්වහන්සේ ධුරයට පත්වෙන විට වයස අවුරුදු 58කි.

සී.ඩී. කුලසිංහ


advertistmentadvertistment