ඉතිහාසයේ සංචාරක කර්මාන්තයේ වැඩිම ආදායම 2018 වර්ෂයේ…

මෙරට සංචාරක කර්මාන්තයේ ආර්ථික කාන්දුවීම වැඩියි…

බුකින් කොම්පැණි අය කරන ගාස්තු වැඩියි…

සංචාරක කර්මාන්තයට උපකරණ, ආහාරපාන බහුල වශයෙන් ආනයනය කරනවා…

විදේශියන් සංචාරක කර්මාන්තයේ බිස්නස් කරනවා වැඩියි…

සංචාරක කර්මාන්තය නැංවීමට ප්‍රවාහන සේවා දියුණු කරන්න…

1976 වර්ෂයේදී රජය විසින් සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට අඩිතාලම දැමීමත් සමඟ එම ව්‍යාපාරය අඛණ්ඩව දියුණුවට පත් විය. මෙරට විදේශ විනිමය ඉපැයුම් මාර්ග අතර සංචාරක කර්මාන්තය ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත්විය. එහෙත් කාලෙන් කාලයට මෙරට ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් සංචාරක කර්මාන්තයේ දියුණුවට දැඩි බලපෑමක් වූ බව ද සැබෑ ය. 1971 අප්‍රේල් කැරැල්ල, 1983 කළු ජූලිය, එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය, 1988 – 89 ජවිපෙ කැරැල්ල, සුනාමි ඛේදවාචකය ආදී ව්‍යසන හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම විශාල වශයෙන් පහළ වැටුණු බව සැබෑ ය.

එහෙත් 2009 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය අතුගෑමත් සමඟ මෙරට සංචාරක කර්මාන්තයට ස්වර්ණමය යුගය නිර්මාණය විය. 2012 වර්ෂයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියනය ඉක්ම ගොස් තිබිණි. 2016 වර්ෂය වන විට සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2 දක්වා වැඩි වී තිබිණි. මෙරට ඉතිහාසයේ විදේශීය සංචාරකයන්ගෙන් ඉහළම පැමිණීම වාර්තා වී තිබුණේ 2018 වර්ෂයේදී ය. එම සංඛ්‍යාව 23,33,796 කි. එම වර්ෂයේදී විදේශීය සංචාරකයන්ගෙන් ලැබුණු ආදායම ඩොලර් බිලියන 4.2 කි. දේශීය සංචාරක වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 381.8 කි. එහෙත් 2019 පාස්කු ප්‍රහාරයත් සමඟ මෙරට සංචාරක කර්මාන්තය පමණක් නොව මුළු රටම පසුපසට තල්ලු විය. සංචාරකයන්ගේ පැමිණීම අඩකට වඩා අඩු විය. සහරාන්ලාගේ බෝම්බ බිය පහව යද්දී කොවිඩ් ලොව පැතිර ගියේ ය. ලොව පුරා සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර එල්.ටී.ටී.ඊ. යුද්ධය අවසානයෙන් පසු සංචාරකයන්ගේ පැමිණීම අඩුවෙන්ම වාර්තා වූයේ 2021 වර්ෂයේදී ය. එම සංඛ්‍යාව 194,495 කි. අනතුරුව මෙරට ට පාත් වූ ‘ආර්ථික හෙණය’ ද, දේශපාලන අස්ථවාරභාවය සංචාරක කර්මාන්තයේ කඩාවැටීමට දැඩි බලපෑමක් එල්ල කෙරිණි. පැවැති අරගලකාරී තත්ත්වය සමනය වී රට ස්ථාවරවීම පටන් ගැනීමත් සමඟ 2022 වර්ෂය වන විට සංචාරකයන්ගේ පැමිණීම නැවත වර්ධනය විය. 2023 වර්ෂය වන විට සංචාරකයන්ගේ පැමිණීම 14,87,303 ක් දක්වා වැඩි වී තිබිණි. නැවතත් සංචාරක කර්මාන්තය වේගයෙන් දියුණු වෙමින් තිබුණ ද ගැටලු ගොඩක පැටලී තිබෙන බව වාර්තා වේ.

සංචාරයට හොඳම රටක් 'ටුවරිසම්' ප්‍රශ්න ගොඩක්!

සංචාරක කර්මාන්තයෙන් මෙරටට ලැබිය යුතු විශාල විදේශ විනිමයක් විවිධ මාර්ග ඔස්සේ විදේශයන්ට ඇදී යන්නේ ය. මෙරට සංචාරක කර්මාන්තයේ ඩොලර් බිලියන 4.2 ක ඉතිහාසගත ආදායමක් ඉපැයූ 2018 වර්ෂයේදී ඩොලර් මිලියන 800 ක් විදේශීය රටවලට ගලා ගොස් ඇති බව වාර්තා වේ. උදාහරණයක් ලෙස සංචාරක කර්මාන්තයෙන් මෙරටට ඩොලර් 100ක ආදායමක් ලැබෙන බව පෙනුන ද සත්‍ය වශයෙන් මෙරට ආර්ථිකයට එකතු වනුයේ ඩොලර් 77 ක් වැනි මුදලකි. ඉතිරි ඩොලර් 23 හෝටල් කාමර කලින් වෙන්කරවා දීමේ ගාස්තු (Booking Pre) වශයෙන් වෙනත් රටවල ආයතනවලට බැරවනු ඇත. හෝටල් කාමර කලින් වෙන්කරවා දෙන ආයතන ඩොලර් 100ක බුකින් එකකින් ඩොලර් 23 ක් පමණ අය කරන බව ද වාර්තා වේ. බොහෝවිට ඩොලර් 100 ක බුකින් එකකින් හෝටලේ ලාභයට ඉතිරි වනුයේ ඩොලර් 30ක් 35ක් වැනි මුදලකි. එවැනි පසුබිමක හෝටල් කාමර වෙන්කරවාදීම සඳහා ඩොලර් 100 න් 23 ක් ලබාගැනීම සාධාරණ නැත. එමෙන්ම එවැනි මුදලක් අය කරන පිටරට ආයතන මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට කරන ඉටිගෙඩියක් ද නැත. මෙරට කරුමෙට දේශීය සංචාරකයන් ද හෝටල් කාමර වෙන්කරවා ගන්නේ ඩොලර් ගානක් ගෙවා විදේශීය බුකින් කොම්පැණි මාර්ගයෙනි. හෝටල් කාමර කලින් වෙන්කරවා ගැනීමේ ඔන්ලයින් බිස්නස් එක ගැන මෙරට හෝටල් ව්‍යාපාරිකයෙක් ද අපට කරුණු පැහැදිලි කළේ ය.

“මගේ කාමර 11ක හෝටලයක් තියෙනවා. 2019 වර්ෂයේදී මාසකට බුකින් කොම්පැණිවලට රුපියල් ලක්‍ෂ තුනහමාරට වැඩි බිල් ගෙව්වා. දැන් ඊටත් වැඩිය ගෙවනවා. කිසිම තේරුමක් නැති වියදමක්. ඒත් අපිට වෙන විකල්පයක් නෑ. දේශීය බුකින් කොම්පැණි කිහිපයක් ආරම්භ වෙනවා නම් ඉතා හොඳයි. පිටරටවලට ඇදී යන ඩොලර්වලින් යම් ප්‍රමාණයක් හෝ ඉතිරි වෙනවා. ඒ වගේම රජය මැදිහත් වෙලා කාමර විකිණෙන්නෙ නැති දවස්වලට අඩු මුදලකට කාමර විකුණන සිස්ටම් එකක් හදලා දෙන්න ඕනෑ. එහෙම නොවෙන්න සාමාන්‍ය හෝටල් පවත්වාගෙන යන්න බැරිව යනවා. වියදම අතිවිශාලයි. ඇඳ ඇතිරිල්ලෙ ඉඳල සියලුම උපකරණ ආනයනය කරන්න වෙලා තියෙනවා. පිටරටින් ආනයනය කරන්න වෙලා තියෙන්නෙ ලංකාවේ කොලිටි බඩු නැති නිසයි. විදේශිකයො කොලිටිය උපරිමයෙන් බලනවා…” ඔහු නිහඬ නොවුණි. ඔහුගේ කතාව පෙළගැසෙන සටහනට අන්තර්ගත කරගැනීමට අපි අදහස් කළෙමු.

සංචාරයට හොඳම රටක් 'ටුවරිසම්' ප්‍රශ්න ගොඩක්!

දියුණු හස්ත කර්මාන්තයක් පැවැති මෙරට සංචාරක හෝටල්වලට අවශ්‍ය ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා ආදීය සියලුම රෙදි ආශ්‍රිත උපකරණ පිටරටින් ආනයනය කරන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. සංචාරක හෝටල්වලට ඇවැසි වීදුරු, පිඟන්, බන්දේසි ඇතුළු කෑම පිළියෙල කිරීමේදී සහ පිළිගැන්වීමේදී භාවිතා කරන බොහෝමයක් උපකරණ ආනයනය කරනු ඇත. විසිතුරු භාණ්ඩ ඇතුළු තවත් නොයෙක් භාණ්ඩ ආනයනය කරනු ඇත. එම උපකරණ ආනයන සඳහා වසරකට විශාල මුදලක් විදේශීය රටවලට ඇදී යන්නේ ය. මෙරටදී පහසුවෙන් නිර්මාණය කරගැනීමට හැකියාව තිබියදී එවැනි උපකරණ ආනයනය කිරීම දැවැන්ත මුදල් නාස්තියකි. හෝටල්වලට ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් වියදම් කිරීමට සිදු වන විට නඩත්තු කටයුතු, සේවක දීමනා අවම වන බව ද සැබෑය. එහෙයින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියාමනයක් සහිතව හෝටල්වලට අවශ්‍ය උපකරණ මෙරට නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළකට කඩිනමින් යා යුතුව තිබේ. ලංකාවේ නිෂ්පාදකයන් ලවා අවශ්‍ය උපකරණ තොග පිටින් නිෂ්පාදනය කරගැනීමේදී අවම මුදලකට ලබාගැනීමට ද හැකියාව තිබේ. අඩු පිරිවැයකින් අවශ්‍ය උපකරණ ලැබෙන පසුබිමක හෝටල් ව්‍යාපාරිකයන් ද දිරිමත් වෙමින් සංචාරක කර්මාන්තයට තව, තවත් මුදල් ආයෝජනය කරනු ලැබේ. පැමිණෙන සංචාරකයන්ට හොඳ සේවාවක් ලබාදීමට කටයුතු කරනු ඇත. සේවක දීමනා වැඩි කරනු ඇත.

එමෙන්ම විදේශිකයන් මෙරට සංචාරය කරනුයේ කෑමට, බීමට නොවේ. රට නැරඹීමට ය. එවැනි පසුබිමක සංචාරකයන්ට බහුල වශයෙන් කෑම, බීම ආනයනය කිරීමට අවශ්‍ය නැත. දේශීය කිරි ආශ්‍රිත නිෂ්පාදන, ආහාරවලට සංචාරකයන් දැඩි ප්‍රියතාවයක් දැක්වුවද මෙරට සංචාරක කර්මාන්තයේ නිරතව සිටින ව්‍යාපාරිකයින් පානීය ජලයත් පිටරටින් ආනයනය කරන තත්ත්වයට පත්ව සිටිති. චීන බඩු විදේශිකයින්ට අලෙවි කරන මෙරට ‘චීන කොලනියක්’ බවට පත්ව තිබේ. එමෙන්ම සංචාරක වීසාවලින් මෙරටට පැමිණ විදේශිකයන් බොහෝමයක් සංචාරක කර්මාන්තයේ ව්‍යාපාර කටයුතුවල සම්බන්ධ වී සිටින බව ද වාර්තා වේ. රුසියන්, යුක්රේන, ඉන්දියන්, චීන ජාතිකයන් සංචාරක කර්මාන්තයේ විවිධාකාර ව්‍යාපාර කටයුතුවල නිරත වී සිටිති. කල්ලතෝනි ව්‍යාපාරිකයින් කරගෙන යන ව්‍යාපාර මෙරට ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට කවර බලපෑමක් කරනුයේ ද යන්න සොයාබැලීම සංචාරක මණ්ඩලයේ ප්‍රමුඛ වගකීමකි. එමෙන්ම වීසා නොමැති විදේශිකයන් අනවසරයෙන් රට තුළ රැඳී සිටීම වළක්වාගැනීම අදාළ ආයතනවල ප්‍රධාන වගකීමකි.

සංචාරයට හොඳම රටක් 'ටුවරිසම්' ප්‍රශ්න ගොඩක්!

බුකින් කොම්පැණි, විදේශීය ව්‍යාපාරිකයන් සහ සංචාරක කර්මාන්තයට ඇවැසි උපකරණ, ආහාර ආනයනය කිරීම සඳහා වියදම් කරනුයේ මෙරට රුපියල් ය. විදේශ විනිමයි. එම ‘ආර්ථික කාන්දුව’ අවම කරගැනීමට පැවති කිසිදු රජයකින් ක්‍රියාත්මක නොවූ බව ද සැබෑ ය. වියදම වැඩි වී සංචාරක හෝටල්වලට ලැබෙන ආදායම අඩු වූ විට සේවාවේ ගුණාත්මක තත්ත්වය අඩු වේ. සංචාරක හෝටල්වලදී ලැබෙන සත්කාරයන්හි ගැටලුකාරී තත්ත්වයන් තිබෙන බව පසුගිය කාලය පුරා විටින්, විට සංචාරකයන්ගෙන් මුවින් ඇසුණු බව ද සැබෑ ය. එවැනි ප්‍රතිචාර මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට අසුබය. එහෙයින් සංචාරක ව්‍යාපාරයේදී විදේශ රටවලට කාන්දු වන ඩොලර් ප්‍රමාණය අවම කිරීමට වර්තමාන රජය කඩිනමින් පියවර ගත යුතු ය. විදේශීය බුකින් කොම්පැණි අතරට දේශීය බුකින් කොම්පැණි ඇතුළත් කර තරඟකාරිත්වයක් නිර්මාණය කළ යුතු ය. ඒ තුළින් හෝටල් කාමර වෙන්කරදීමේ දී අය කරන ගාස්තු අඩු කර ගත හැකි ය. දේශීය සංචාරකයන් පිටරට බුකින් කොම්පැණිවලට රුපියල් පූජා කිරීම ද අවම වනු ඇත.

එමෙන්ම මෙරට සංචාරක කර්මාන්තය සිංගප්පූරුව, තායිලන්තය, චීනයේ කොපි නොකළ යුතු ය. ශ්‍රී ලාංකික අනන්‍යතාවය එලෙසින්ම පවත්වාගෙන යෑම සංචාරක කර්මාන්තයේ පැවැත්මට යහපත් ය. විදේශීය සංචාරකයන් මෙරට සංචාරය කරනුයේ රට වට කර නිල්වන් මුහුදු තීරයට ඇති කැමැත්තට සහ සුන්දර පරිසරය, හෙළ ලංකාදීපයේ උරුමයන් දැක බලාගැනීමට ය. සිදු විය යුත්තේ මෙරටට පැමිණෙන සංචාරකයන්ට පහසුවෙන් සහ ආරක්‍ෂිතව ගමන් බිමන් යෑමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමය. විදේශීය සංචාරකයන්ගෙන් බහුතර දුර ගමන් බිමන් යෑමට භාවිතා කරනුයේ පොදු ප්‍රවාහනය සේවයයි. විශේෂයෙන්ම දුම්රිය සේවයයි. විදේශීය සංචාරකයන් දුම්රිය ගමනට දැඩි ප්‍රියතාවයක් දක්වති. එහෙත් පවතින දුම්රිය සේවා පහසුකම් ප්‍රමාණවත් නැත. මෙරට දුම්රිය සේවාව දියුණු කිරීමට නම් පෞද්ගලික අංශයට විවෘත කළ යුතු ය. කාලය කළමනාකරණය කරගෙන රජයේ සහ පෞද්ගලික දුම්රිය ධාවනය කිරීම තුළ වැඩි දුම්රිය වාර ගණනක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබේ. එවැනි දුම්රිය සේවාවක් තුළ මගීන්ට සුඛෝපභෝගී දුම්රිය සේවා පහසුකම් හිමි වන බව සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස ය. රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ දුම්රිය සේවා මෙරටට අලුත් වුවද ලෝකයට පරණ බව ද ඔවුහු පැවසූහ. දුම්රිය ප්‍රවාහනයේ සංවර්ධනය රටේ ආර්ථිකයට විශාල ශක්තියක් වන බවත් මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට අතිශය වැදගත් බව ද ඔවුහු පෙන්වා දුන්හ.

මෙරට සෑම ප්‍රදේශයකටම රාත්‍රී 9.00 වන තෙක් ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතු ය. එය ලාභ පරමාර්ථයෙන් කරන ව්‍යාපාරයක් නොව, පොදු සේවා පහසුකම් සම්පූර්ණ කිරීමකි. පෞද්ගලික අංශයෙන් පොදු සේවා සම්පූර්ණ නොකරන අතර රජය විසින් එම සේවා ස්ථාපිත කළ යුතු ය. විදේශීය සංචාරකයන් බහුතරය ගමන් බිමන් යෑමට කැමැත්තක් දක්වනුයේ සවස මෙන්ම රාත්‍රී කාලයේදී ය. එහෙයින් එම කාලය තුළ ඔවුන්ට ඇවැසි ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතු ය. ලෝකයේ සුන්දරම වෙරළ තීරය පාසිකුඩා වෙරළ තීරයයි. එම වෙරළ ආශ්‍රිත කාමර හයසියක පමණ හෝටල් පහසුකම් ස්ථාපිතව ඇත. එහෙත් විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අවම ය. පහසුවෙන් ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් තිබෙන්න පාසිකුඩා විදේශිකයන්ගෙන් මෙන්ම දේශීය සංචාරකයන්ගෙන් පිරෙන බව සැබෑ ය. එමෙන් සංචාරකයන් නිතර ගැවසෙන ප්‍රදේශවල ‘නයිට් ලයිෆ්’ ඇති කළ යුතු ය. නයිට් ලයිෆ් යනු නිදහසේ කාලා බීලා, සතුටුවීමය. මේ වන විට ඇල්ලට විදේශිකයන් බහුලව සංචාරය කරනුයේ හිතේ හැටියට විනෝදවීමට ඇවැසි නයිට් ලයිෆ් එකක් තිබෙන නිසා ය. එහෙයින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් සංචාරකයන් සතුටු කිරීමට ඇවැසි පසුබිම සකස් කළ යුතු ය. අඩිතාලම සැකසූ සැණින් සංචාරක පාරාදීයක් ලෙස දියුණු නොවන බව ද අවබෝධ කරගත යුතුය. සංචාරකයන්ට හුරු, පුරුදුවීමට කාලයක් ගත වේ. එය ඕනෑම ව්‍යාපාරයක ස්වභාවයයි.

ලෝකයේ සංචාරය කිරීමට හොඳම රටවල් හත ඇතුළත තිබෙන මෙරට සංචාරක කර්මාන්තයේ අනාගතය සුබය. අරගලකාරි තත්ත්වයන්, ත්‍රස්ත තර්ජන සහ ව්‍යසන ඇති නොවෙන්න 2028 වර්ෂය වන විට ඉතිහාසගත සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණෙන බව ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස ය. පැමිණෙන සංචාරකයන්ට හිරිහැරයක් නොවන ආකාරයට කටයුතු කරමින් උපරිම ආගන්තු සත්කාර ලබාදීම ප්‍රමාණවත් ය. අමුතුවෙන් සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇවැසි නැත. පැමිණෙන විදේශිකයන් මෙරට සංචාරක කර්මාන්තය ලෝකයේ ඉහළම තැනට ඔසවා තබන බව විශ්වාසය. බොහෝ විදේශීය සංචාරකයන් එතරම් ම මෙරට ට ලෙන්ගතු ය. එහෙත් සංචාරක කර්මාන්තයේ දැවෙන ගැටලු සම්බන්ධයෙන් සංචාරක මණ්ඩලයේ අවධානය යොමු නොවීම පුදුමයට කරුණක් බව ක්‍ෂේත්‍රයේ විවිධ පුද්ගලයන්ගේ පොදු මතය විය.

සංචාරයට හොඳම රටක් 'ටුවරිසම්' ප්‍රශ්න ගොඩක්!

තරංග රත්නවීර


advertistmentadvertistment