එක්ස් ගිණුම් 8000ක් අවහිර කරන්නත් ඉන්දියාවෙන් නියෝග
පකිස්තානයේ සිට ඉන්දියාවට අයත් ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයේ සම්බා ප්‍රදේශයට පිවිසීමට තැත් කළ ත්රස්තවාදීන් 07 දෙනකු පෙරේදා (08) රාත්‍රියේ ඉන්දීය හමුදාවන් විසින් වෙඩි තබා මරා දමා ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
එම ත්රස්තවාදීන් පිරිසට සිදු කළ වෙඩි තැබීම හේතුවෙන් ඉන්දු -පාකිස්තාන දේශ සීමාවේ පිහිටි පකිස්තාන මුරපොළකට ද හානි සිදුව ඇති බව වාර්තා වේ. පාකිස්තාන හමුදා විසින් ඉන්දු – පාකිස්තාන දේශ සීමාවේ සිට ඉන්දියාව දෙසට වෙඩි තබමින් සිටින අතරතුර අදාළ ත්රස්තවාදීන් පිරිස කාශ්මීරයේ සම්බා ප්‍රදේශයට පිවිසීමට තැත් කර ඇති බව ඉන්දීය දේශසීමා ආරක්ෂක හමුදාව පවසා තිබේ.
මේ අතර ඉන්දියාව හා පාකිස්තානය අතර ඇවිළෙමින් පවතින යුද්ධය යටතේ ඉන්දීය හමුදාවන් විසින් පාකිස්තානය වෙත යොමු කරන ලද ඩ්‍රෝන යානා 77ක් ඉකුත් 07 වැනිදා රාත්‍රියේ සිට ඊයේ (09) සවස දක්වා වූ කාලයේ දී පහර දී බිම හෙළුෑ බව පාකිස්තාන හමුදාව පවසා තිබේ. කෙසේ වුවද ඉන්දීය ඩ්‍රෝන යානා ප්රහාරයන් හේතුවෙන් එක් සිවිල් වැසියකු මියගොස් තවත් සිවිල් වැසියකු හා පාකිස්තාන හමුදා සෙබළුන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පාකිස්තාන මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
මේ අතර ඉන්දියාව විසින් පහල්ගම් ත්‍රස්තවාදී ප්‍රහාරයට එරෙහිව පකිස්තානයට පහර දීම සඳහා ක්‍රියාත්මක කර ඇති ‘ඔපරේෂන් සින්දුර් ’ හමුදා මෙහෙයුමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සජීවීව තොරතුරු විකාශනය කිරීමෙන් වළකින්නැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය විසින් සියලුම ඉන්දීය විද්‍යුත් මාධ්‍ය නාලිකා හා ඩිජිටල් මාධ්‍ය වෙත දැනුම් දී තිබේ. එසේ ඉන්දීය හමුදාවන්හි මෙහෙයුම් සම්බන්ධව සජීවී තොරතුරු විකාශනය කිරීමෙන් යුද මෙහෙයුම් අනතුරේ වැටිය හැකි බව එම අමාත්‍යංශය සඳහන් කර තිබේ.
මේ අතර ඉන්දීය රජය විසින් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවලට හා කැපී පෙනෙන පුද්ගලයන්ට අයත් ‘එක්ස්’ සමාජ මාධ්‍ය ජාල ගිණුම් 8000 කට අධික සංඛ්‍යාවක් අවහිර කරන ලෙස එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ පාලනාධිකාරය වෙත දැනුම් දී තිබේ. එම නියෝගය ක්‍රියාත්මක නොකළහොත් එක්ස් සමාජ මාධ්‍ය ජාලයෙන් දඩ මුදල් අය කිරීම හා එහි ඉන්දියාවේ සිටින සේවකයන් සිරගත කිරීම දක්වා වූ දඬුවම් ලබාදෙන බවට ද ඉන්දීය රජය දැනුම් දී ඇතැයි එක්ස් සමාජ මාධ්‍ය ජාල සමාගම පවසයි. කෙසේ වුවද අදාළ ගිණුම් අවහිර කිරීමට තරම් යුක්තිසහගත සාක්ෂි සිය සමාගමට ලැබී නොමැති බවද එක්ස් සමාජ මාධ්‍ය ජාලය විසින් නිවේදනය කර තිබේ.
ඒමන්ති මාරඹේ