යුරෝපා චිත්‍ර කලාවෙන් පිළිබිඹු වන්නේ කාය ශක්තිය

ආසියානු චිත්‍ර කලාවෙන් පිළිබිඹු වන්නේ අධ්‍යාත්මික චින්තනය

ජීවත්වීම, මනසේ මැවීම සමග මුසු වුණ ආධ්‍යාත්මික සුවයක් නමුත් මිනිසුන් එය තේරුම් අරගෙන නැහැ..

මාර්ටින් වික්‍රමසිංහයෝ වගේම මැක්සිම් ගොර්කි මනසේ මැවීමේ කලාවක් නිර්මාණය කළා…

“මිනිස්සු මිය යති. නමුත් පොත් මිය යන්නේ නැත. විශ්ව කලා ඉතිහාසය තුළ සිදුවූ දෑ පිළිබඳව අතනින් මෙතනින් එක්කාසු වී තිබුණු දැනුම එක පෙළකට පෙළ ගැස්වීම හරහා එය අපූරු කතන්දරයක් ලෙස දැකිය හැකිය. එහි වර්ධනය හා පරිණාමය සිදුවූ ආකාරය ඊට බලපෑ සමාජමය හා චින්තනමය හේතු අතීතයේ සිට වර්තමානය දක්වා පෙළ ගැස්වීමකට මා පෙළඹවූයේ කොරෝනා කාලයය. එකල මා ලද විවේකී කාලය, විශ්ව කලාව පිළිබඳ නිම් වළලු පුළුල් කිරීමට ඉඩ සැලැස්සවිය….,”

මේ වචන පෙළහර චාල්ස් දයානන්දයන්ගේය. ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලයේ ආචාර්යවරයෙකු ව සිටි දයානන්දයන් වරින් වර තමන් ලබන අත්දැකීම ජීවිතාවබෝධයෙන් පාඨකයන් වෙත පිරිනමන ලේඛකයෙකි. ඉබේ ලියවුන කවි, පිටස්තරයෝ, සිපිරිගේක වසර හයක් විශ්ව කලා නිර්මාණ, සෝලියස් මැන්දිස්, කැලණි විහාර බිතු සිතුවම්, මනෝ සායනික චිත්‍ර කලාව, ළමා චිත්‍රයේ හාස්කම්, යුරෝපා කලාවේ ගමන් මග, නූතන චිත්‍ර කලා ප්‍රවේශය යන කෘති පාඨක සිත් ඇද බැඳ ගන්නා අන්දමින් නිර්මාණය කළ ඔහුගේ නවමු කෘතිය ” සමාජ පරිණාමය හා චිත්‍ර කලාවේ ගමන් මග”ය.

එය මාර්තු 23 වෙනි දින මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී එළි දකින්නේය.

කලාවේ සහ සමාජය අතර අවියෝජනීය සම්බන්ධයක් තිබෙන බවත් කලා නිර්මාණ තේරුම් ගැනීමේ දී සහ ඇගයීමේදී එම සමාජ පසුබිම් අත්‍යවශ්‍ය පසුබිම් සපයන්නේය යන්නත් කලාව දන්නා අයට අමුතුවෙන් කිව යුත්තක් නොවේ. කලාව සහ සෞන්දර්ය භාවිතය යනු මනුෂ්‍යයාගේ සහජ භාවිතයේම එක් ප්‍රබල පැතිකඩක් බවට සමාජයට ඒත්තු ගන්වන්නේ දයානන්දයන්ය.

සමාජ පරිණාමය හා කලා ඉතිහාසය පිළිබඳව ඔහු ගොඩනගා ඇත්තේ පුළුල් චිත්‍රණයකි. යුරෝපීය හා ආසියානු වශයෙන් නම් කළ හැකි එකිනෙකින් වෙනස් හර පද්ධති සහිත ධාරා දෙකක් ඔස්සේ අතීතයේ සිට සංවර්ධනය වී ඇති ආකාරය පාඨකයාගේ සිත් ඇද බැඳ ගන්නේ අතපත ගෑ හැකි නිදසුන් ඇති නිසාය.

සමාජ පරිණාමය හා චිත්‍ර කලාව

ක්‍රිස්තු පූර්ව හය වන සියවසේ යුරෝපා කලාවේ දක්නට ලැබෙන්නේ හෙල්ල විසි කරන පුද්ගලයෙක් කවපෙත්ත විසි කරන පුද්ගලයෙක් ආදීන්ගේ මූර්ති සහිත කාය ශක්තිය පිළිබිඹු කරන නිර්මාණයන්ය.

ආසියානු කලාවේ දක්නට ලැබෙන්නේ අධ්‍යාත්මයේ ශක්තිය පිළිබිඹු කරන නිර්මාණයන් ය. නිදසුන් ලෙස බුද්ධ ප්‍රතිමා අජන්තා චිත්‍ර සාංචි චිත්‍ර හා කැටයම් දැක්විය හැකිය.

මේ සම්බන්ධයෙන් චාල්ස් මහතා අපූරු කතාවක් කියයි.

“යුරෝපයේත් ආසියාවේත් චිත්‍ර කලාව පිළිබඳ විග්‍රහ කරන්න ඇති හොඳම උදාහරණයක් තමයි පිකාසෝගේ ගුවර්නිකා චිත්‍රය සහ ආසියාවේ මාර පරාජය. ගුවර්නිකා චිත්‍ර මගින් පෙන්වන්නේ යුද්දයේදී පීඩාව එහි ඇති ඛේදවාචකය දරුණු බව සහ පිළිතුරු වශයෙන් සටනට සටන් කිරීම…, නමුත් මාර පරාජයේදී බුදුන් වහන්සේ නිහඬ බවෙන් සංයමයෙන් මාරයා පරාජය කරන බවට ඇඟවෙන නිර්මාණයක් බිහිවෙලා තියෙනවා. මොනතරම් සටන් කළත් මොනතරම් පීඩා ඇති කළත් නිහඬ මනසින් ඉවසීම දරා ගැනීම මාර පරාජයෙන් ගැඹුරින් විග්‍රහ කරනවා…. යුරෝපයේත් ආසියාවේත් කලා නිර්මාණ වෙන්කර දැකිය හැකි හොඳම අවස්ථාව එය බවට මම විශ්වාස කරනවා….,”

කලා කෘතියක් තුළින් කිසියම් ගැඹුරු දර්ශනයක් විදහා දැක්වීම ඉතා අසීරු කටයුත්තකි. ස්වභාවික චිත්‍රයකින් හෝ මූර්තියකින් කිරීමට ද අපහසුය. එවන් අවස්ථාවක දාර්ශනික කරුණු හකුලා දැක්වීමට සංකේත වෙත ගමන් කිරීමට කලාකරුවාට සිදුවේ. ඉතා වැදගත්ම කාර්යභාරයක් ඉටු කරන්නේ සංකේතය. කලාකරුවෝ තම නිර්මාණ දාර්ශනික අදහස් ප්‍රකාශ කරන්නෙක් බවට පත් කරන්නේද සංකේත භාවිතයෙනි. මේ පිළිබඳව දයානන්ද මහතා මෙසේ කියයි.

“ඇත්ත…. කලාව දේශපාලනයෙන් වෙන් කරන්න බැහැ. මේ අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන් system change හරහා කතා කරන්නෙත් දේශපාලනයේ අධිකරණය නිලධාරී අධ්‍යාපනය කියන මේ system එක පිළිබඳවයි. එතැනදී සංකේත භාවිතය කලාවට බද්ධ වෙනවා. යුරෝපයේ මුලින් සිද්ධ වුණේ ඒක තමයි. අපි යමක් දිහා පුළුල් ලෙස බලන්න පුරුදු වෙන්න ඕනේ මේවා අපේ අධ්‍යාත්මයට බද්ධ කරගන්න ඕන. ඒ විතරක් නෙවෙයි රටේ අනාගතය න් හසුරුවන්න නම් කාය ශක්තිය මානසික ශක්තිය කියන දෙකෙහි සංයෝගයක් ඇති කරන්න ක්‍රමවේදයක් හදන්න ඕන. බලන්න ඉන්දියාවෙ ගාන්ධිගේ අධ්‍යාපන ක්‍රමය ඔහු උපනිෂද් වල මූලය අධ්‍යාපනයට බද්ධ කරල තියෙනව.

සමාජ පරිණාමය හා චිත්‍ර කලාව

කලා කෘතියක් තුළින් කිසියම් ගැඹුරු දර්ශනයක් විදහා දැක්වීම බොහොම අසීරු කටයුත්තක් ස්වභාවික චිත්‍රයකින් හරි මූර්තියකින් හරි කරන්න බැහැ. ඒ වගේ අවස්ථාවක දාර්ශනික කරුණු හකුලා දැක්වීමට සංකේත විතර ගමන් කරන්නට කලාකරුවට සිද්ධ වෙනවා. එහිදී කලා කෘතියේ ස්වභාවිකත්වය බිඳ දමලා වියුක්ත හැඩතල ඔස්සේ සිතීමටත් සිද්ධ වෙනවා. ඒ අතිශය භාරදූර කාර්ය ජයගැනීමට කලාකරුවා අභියෝගවලට මුහුණ දෙනවා. ඒ අභියෝග සංකේත මාර්ගයෙන් හකුලලා දක්වන්න කලාකරුවා උත්සාහ ගනිද්දී ඔහු දාර්ශනිකය බවට පත්වෙනවා. මේ තත්ත්වේ පැරණි කලා නිර්මාණ වලින් හොඳ හැටි පෙන්නුම් කරනවා. මුරගල අවසන් නිර්මාණය දක්වා සංවර්ධනය වීමට සංකේත භාවිත කර තියෙන විදිහ අපි දන්නවා.

සංකේත භාවිතය ගැන ආනන්ද කුමාරස්වාමි මහතා මේ විදිහට සඳහනක් කරලා තියෙනවා..” ඉන්දීය ප්‍රතිමාවන්හි අභිනය ට විශාල වැදගත්කමක් දෙන්න ඕනෙ බුදුරදුන්ගේ නිශ්චලත්වය නටරාජාගේ චංචලත්වය හා සංසන්දනය කළහොත් ඉතා මැනවින් පැහැදිලි වෙනවා. අභිනය සංකේතනයේ ජීවිතයෙන් සෘජුව උපදින දෙයක් උදාහරණයක් ලෙස වැඩ සිටින බුදු ඉරියව්ව අතිමහත් සන්සුන් බව හා ස්ථීරත්වය පිළිබිඹු කරනවා මුද්‍රා යනු අතිශය ගැඹුරු සංකල්පනාවක් පිඬුකරන සංකේතයක්. විතර්ක මුද්‍රාව (දකුණු අතින් තර්කනය) ත්‍ව අභය මුද්‍රාව බිය නොවන්න ධර්ම චක්‍ර මුද්‍රාව ධර්මය නම් චක්‍රය පෙරලීම එවැනි සංකේතයන්. …”

මේ හැම දෙයක්ම අපේ ජීවිතත් එක්ක බද්ධ වෙනවා. ඒක තමයි තියෙන ලොකුම වැදගත්කම. කලා නිර්මාණයක් තුළ ජීවිතාවබෝධය රැඳෙනවා නම් ඕනෑම පුද්ගලයකුට සන්සුන්ව ඉදිරියට යන්න පුළුවන්. සන්සුන්ව ගැටලුවකට මුහුණ දෙන්න පුළුවන්. සන්සුන්ව යමක් දරාගන්න පුළුවන්. විය යුත්තේ එයයි. සමාජය ගැටුම්කාරී පරිසරයකට ප්‍රවිෂ්ට වෙන්නේ එකිනෙකා තුළ අවබෝධය නැතිකම පමණක් ම නොව තම තමන් ගැන හරි අවබෝධයක් නැතිකම නිසයි. ආසියාව තුළ ඇති කලාවේ අධ්‍යාත්මවාදී ශෛලිය අපට වැදගත් වන්නේ මේ නිසයි. කලාව කියන්නේ සමාජ ප්‍රතිබිම්බයක්. සමාජයේ චින්තනය අපේක්ෂාව සිතිවිලි කාලය යන සියල්ල මේ කලා නිර්මාණ මගින් නිරූපණය වෙනවා.

මට සමාජයට කියන්න ඕනේ මේ කාරණය. මොකද අපි අවබෝධයෙන් ජීවත් වෙන ටික කාලෙ ජීවත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපි අපේ ජීවිත සොබාදහමත් එක්ක රසවිඳින්න ඕනේ. ලෝකය සමඟ ගනුදෙනු කරන්න ඕන. ඒ සියල්ලක්ම නූතන කලාවත් එක්ක බද්ධ වී ඇති බව අවබෝධ කරගන්න ඕනේ. සමාජ පරිණාමය හා චිත්‍ර කලාව අවබෝධ කරගත යුත්තේ ඒ නිසයි.

දයානන්ද මහතා කියා සිටියේය. ඔහුගේ කෘතිය එළි දක්වන මාර්තු 23 වැනි දින උදේ දහයට මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් පළමු මහලේදී හමුවෙමු. ඔහුගේ කෘතිය පිළිබඳ ප්‍රධාන දේශන පවත්වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහත්වරුන්ගේ කතාබහට සවන් දෙමු.

● සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment