දකුණුලක වන ජීවී නිලධාරීන්ට ඇගයුමක්….

මේ සියලු දේ බලන්නට දකුණට සංචාරයක්

උඩවලවට අලි-ඇතුන් ගැන නැණ මංසලක්…

මෙවර අපගේ “සංචාරේ” අප සිදුකරන්නේ දකුණුලක වන ජීවී කලාපයේ හම්බන්තොට හා උඩවලව ප්‍රදේශ වෙතය. ඒ එම ප්‍රදේශ දෙකේ පිහිටි උඩවලව ජාතික උද්‍යානයේ විශේෂ අවස්ථාවකට සහභාගි වන්නට ලැබුණු අවස්ථාව සහ යාල, ලුණුගම්වෙහෙර, බුන්දල ඇතුළු ජාතික උද්‍යාන හා වන ජීවී රක්ෂිත ප්‍රදේශවල සේවය කරන හා සේවය කර විශ්‍රාම ලැබූ වන ජීවී නිලධාරීන් ඇගයුමට ලක්කරන්නට යෙදුණු උත්සව අවස්ථාවක් සඳහා සහභාගි වීමටය. ලෝක වන ජීවී දිනය යෙදුණු මාර්තු මස 03 වැනිදා පවත්වන්නට යෙදුනු වන ජීවී නිලධාරීන් ඇගයුමට ලක්කරන ලද චාම් උත්සව අවස්ථාවකට සහභාගි වන්නට අපටද ලද ආරාධනාවකට මෙසේ අප සංචාරේ කණ්ඩායම දකුණට පැමිණි අතර, උඩවලව ජාතික උද්‍යානයේ සුප්‍රකට ඇත් අතුරු සෙවණ (එනම් නම් ලද වනයේ අතරමංව හමුවන අලි පැටවුන් රැකබලාගෙන යළිත් වනයට මුදාහරිනු ලබන මධ්‍යස්ථානය) වෙත පැමිණියේ එහි අභිනවයෙන් ඉදිකර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද “අලි නැණ මංසල” (Elephant Knowledge Walk) – අලි ඇතුන් පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහාය.

ඉදින් මෙවර අපගේ සංචාරය තරමක් වෙනස් ස්වරූපයක් ගනු ලැබූවත් එම අවස්ථාවන් දෙකේදීම උඩවලව ජාතික උද්‍යානය ඇතුළු යාල කලාපයේ වන ජීවී අභයභූමිවල ගතකරන්නට ලැබුණු කාලය නිසා මෙම අවස්ථා ඉතා හොඳ වන ජීවී සංචාරයක් කරගන්නට අපට අවස්ථාවක් උදාවූ බවද සිහිපත් කළ යුතුය.

උඩවලවට අලි-ඇතුන් ගැන නැණ මංසලක්…

පළමුව අප සලකා බලන්නේ මෙසේ අප දකුණු වන ජීවී කලාපයේ උඩවලව ජාතික උද්‍යානය හා “ඇත් අතුරු සෙවණේ” ගතකරමින් “අලි නැණ මංසල” ජනතා අයිතියට පත්කිරීමට අදාළ තොරතුරුය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඩිල්මා තේ සහ ඩිල්මා සංරක්ෂණ එකමුතුවෙන් නවීකරණය කෙරුණු අලි ඇතුන් පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීම පසුගිය මාර්තු 09 වැනිදා උඩවලවේ ඇත් අතුරු සෙවනේ දී සිදු විය. එම මධ්‍යස්ථානය විවෘත කරන ලද්දේ ඩිල්මා ටී සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී දිල්හාන් සී. ප්‍රනාන්දු මහතා විසින් වන අතර එම අවස්ථාවට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) රංජන් මාරසිංහ මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් රැසක් සහ ඩිල්මා ටී. සමාගමේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ප්‍රදේශවාසීහු රැසක් ද එක්ව සිටියහ.

උඩවලවට අලි-ඇතුන් ගැන නැණ මංසලක්…

උඩවලව ඇත් අතුරු සෙවණ මගින් 1995 වසරේ සිට මේ දක්වා අලි පැටවුන් 172ක් සාර්ථකව පුනරුත්ථාපනය කර ඇත. එය අලි පැටවුන් සඳහා ලොව සාර්ථකම පුනරුත්ථාපන මධ්‍යස්ථානය යන විරුදාවලිය ද හිමිකරගෙන ඇත. එහි සංරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපනයේ වැදගත්කම හඳුනා ගනිමින් සහ ඇත් අතුරු සෙවණේ ප්‍රයත්නයන්ට සහය දැක්වීම සඳහා ඩිල්මා 2016 වසරේදී අලි ඇතුන්, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳව ජනතාව තුළ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ඉන්පසු නරඹන්නන්ගේ සහභාගීත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස, මෙම මධ්‍යස්ථානය මේ වන විට ‘අලි නැණ මංසල’ බවට පරිවර්තනය කර ඇති අතර, නරඹන්නන්ට වඩාත් දෘශ්‍යමය වශයෙන් ආකර්ෂණීය සහ පුළුල් අත්දැකීමක් ලබා දෙන තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස එය නවීකරණය කිරීමට කටයුතු කර තිබේ.

මෙහිදී, සංචාරකයන්ට අලි ඇතුන්ගේ පරිණාමය, ව්‍යුහ විද්‍යාව, පරිසර විද්‍යාව සහ සංස්කෘතික වැදගත්කම පිළිබඳ නවතම දත්ත සහ තොරතුරු සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් නිර්මාණය කෙරුණු ග්‍රැෆික් සිතුවම් අනුසාරයෙන් ඉදිරිපත් කෙරෙන අතර එම දැනුම ගවේෂණය කරමින් පිය නැගීමට හැකි මංපෙතක් ආකාරයෙන් සකස්කර ඇත. මහජන ආකල්පය ධනාත්මක වෙනසකට ලක්කර සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් අලි මිනිස් ගැටුමට ද අංශයක් වෙන්කර ඇත. එමෙන්ම සමීප නිදර්ශක නැරඹීම සඳහා ව්‍යුහ විද්‍යාගාරයක් සහ කුඩා දරුවන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා දැනුම සහ අත්දැකීම් ලබාගැනීමට හැකි ළමා ක්‍රියාකාරකම් ප්‍රදේශයක්ද අභිනවයෙන් නවීකරණය කෙරුණු මධ්‍යස්ථානයට ඇතුළත් වේ.

උඩවලවට අලි-ඇතුන් ගැන නැණ මංසලක්…

1995 වසරේ දී ආරම්භ කරන ලද ඇත් අතුරු සෙවණ මගින් අලි මිනිස් ගැටුමෙන් බොහෝ පීඩාවට පත් වූ අනාථ අලි පැටවුන් සඳහා සාර්ථක මුදාගැනීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. අවම මානව සම්බන්ධතා සඳහා ඉඩ ලබා දෙමින් ඇත් අතුරු සෙවණ මගින් මෙම පැටවුන් නැවත වනයට යෑමට සුදුසු තත්ත්වයට පත්වන තෙක් පෝෂණය කිරීම සහ රැකබලා ගැනීම සිදුකරයි. රටේ පවතින ආර්ථිකය අර්බුදය හමුවේ සීමිත සම්පත් ප්‍රමාණයක් යටතේ පවා, පශු වෛද්‍යවරුන්, සහායකයින් සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මෙම අලි ඇතුන් මුදාගැනීමට, ප්‍රතිකාර කිරීමට සහ පුනරුත්ථාපනය කිරීමට වෙහෙස නොබලා වෙහෙස මහන්සි වී කටයුතු කරමින් සිටී.

මේ වන විට වනයට මුදාහැර ඇති අලි පැටවුන් සංඛ්‍යාව 172 ක් වන අතර ඒ අතරින් කොපමණ සංඛ්‍යාවක් සාර්ථකව වනගත ජීවිතයට හුරුවී ඇතිදැයි යන්න ගැන දත්ත නොමැත. වනයට මුදාහරිනු ලැබූ ගැහැනු සතුන් මගින් වනයේදී උපත ලැබූ අලි පැටවුන් සංඛ්‍යාව 16 ක් බවට දැනගන්නට ඇති අතර ඒ අතරින් කොපමණ සංඛ්‍යාවක් සාර්ථකව වැඩිවියට පත්වී ඇතිදැයි යන්න ගැන ද දත්ත නොමැත.

උඩවලවට අලි-ඇතුන් ගැන නැණ මංසලක්…

වෙනත් ජීවී විශේෂ සංරක්ෂණ වෙනුවෙන් ඩිල්මා තේ සමාගම මගින් පියවර ගෙන ඇත. ඩිල්මා මගින් මෑත වසරවලදී අමායා, ටෙඩ් සහ බේබි ඩිල්මා යන අලි පැටවුන් තිදෙනාගේ රැකවරණය සඳහා අනුග්‍රහය දක්වා ඇති අතර ඔවුන් මේ වන විට වනයට මුදා හැර ඇත. අඛණ්ඩ සහයෝගයක් ලෙස, ඩිල්මා මේ වසරේදී සිව්වන වරටත් අලි පැටවකු රැකවරණය සඳහා අනුග්‍රහය ලබාදී ඇත. අතීතයේ දී ඩිල්මා, ඩියුගෝන් නොඑසේනම් මුහුදු ඌරන් සංරක්ෂණයට සහ මූලික අධ්‍යයනයන් ආරම්භ කරමින් කායන්කර්නි කොරල්පර සමුද්‍ර අභයභූමිය ප්‍රකාශයට පත් කිරීමට සහාය ලබා දී ඇත. ඛණ්ඩනය වූ වන රක්ෂිත දෙකක් වනාන්තර මාර්ගයක් හරහා සම්බන්ධ කරන ඇන්දාන ජෛව විවිධත්ව කොරිඩෝව වැනි ඩිල්මා සංරක්ෂණ අංශයේ අඛණ්ඩ හරිත ප්‍රතිෂ්ඨාපන ව්‍යාපෘති මගින් දිවයිනේ ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීමට ලබාදී ඇති දායකත්වය ඉමහත්ය. තවද ඩිල්මා තේ තිරසාර අංශය මගින් සමනලුන්, වවුලන්, මකුළුවන්, සර්පයන්, බත්කූරන් සහ ගිනිකූරන් පිළිබඳ උසස් තත්ත්වයේ ක්ෂේත්‍ර මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම අඩු ආකර්ෂණයක් සහිත ජීවී විශේෂ සංරක්ෂණය ශක්තිමත් කිරීම එහි ප්‍රමුඛ අරමුණයි.

Baby Dilmah Elephant Diaries ගිණුමද සමාජ මාධ්‍ය හරහා අලි ඇතුන් සහ සංරක්ෂණ ගැටලු පිළිබඳව දැනුවත් කිරීමේ එක්තරා සාර්ථක උත්සාහයක් වේ. අලියෙකුගේ දෘෂ්ටිකෝණයෙන් කරුණු ඉදිරිපත් කෙරෙන එම පිටුව මේ වන විට විශාල ජන ප්‍රසාදයක් හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම මෙහිදී යමක් සටහන් කළ යුතුය.

උඩවලවට අලි-ඇතුන් ගැන නැණ මංසලක්…

2019 වසරේදී සිදු කෙරුණු විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් මිනිසුන් සමග එකම භූමියක් හුවමාරු කරගනිමින් ජීවත් වන බවය. දිවයිනේ රක්ෂිත ප්‍රදේශවලින් පිටත පිහිටි භූමි ප්‍රමාණයෙන් සියයට 40 ක පමණ මෙසේ මිනිසුන් සහ අලි ඇතුන් ජීවත් වේ. වැඩිවන මිනිස් ජනගහනය සහ අලි ඇතුන්ගේ වාසස්ථාන හීනවීම සමඟ අලිමිනිස් ගැටුම වසර ගණනාවක් පුරා අඛණ්ඩව ඔඩුදුවමින් පවතින බව සංරක්ෂණ පර්යේෂණ ආයතනය පවසයි. එසේම ශ්‍රී ලංකා සංචාරක සන්ධානය මේ ගැන මෙසේ පවසයි.

“පසුගිය වසර කිහිපය තුළ වන අලි මරණ භයානක ලෙස වැඩි වෙමින් පවතින අතර, 2023 වසරේදී ඉතිහාසයේ වැඩිම වන අලි මරණ සංඛ්‍යාව ලෙස මරණ 473 ක් වාර්තා විය. ඒ අනුව මෙරට දිනකට එක් අලියෙකුට වඩා මරා දමනු ලැබේ. අලිමිනිස් ගැටුම හේතුවෙන් වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් මිය යන රට බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇතිදැයි සැක සහිතය.”

මේ අනුව අලිඇතුන් විශාල තර්ජනයකට පත්ව සිටින සත්වයෙකු වන අතර අප විසින් රැකගත යුතු සත්ත්වයෙකු ද වේ. සංචාරක ව්‍යාපාරය පැත්තෙන් බලන විට මේ අලිඇතුන් අපට මහඟු ආර්ථික සම්පතක් ද වේ. නවීකරණය කළ උඩවලවේ ‘අලි නැණ මංසල’ ජනතා අයිතියට පත් කිරීමෙන් පසු අපි උඩවලවේ ජාතික සත්වෝද්‍යානයේ අලි බැලීමට ද ගියෙමු. සෆාරි ජීප් මගින් විශාල වශයෙන් විදේශ සංචාරකයින් ද අලි බැලීමට දිනපතාම පැමිණේ. එමගින් අපට වාර්ෂිකව විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට ද අවකාශ සැලසේ. මේ වන විට අප රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින්නේ ද විදේශ විනිමය අර්බුදය නිසාය.

මේ නිසා රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සමනය කර ගැනීමේ දී සංචාරක ව්‍යාපාරය පැත්තෙන් අපට ලබගත හැකිව තිබෙන දායකත්වය සුළුපටු නොවේ. එහිදී අපගේ අලි ඇතුන් ඇතුළු වන ජීවී සම්පත් රැකගෙන ඒවා තවදුරටත් දියුණු කරගත යුතු වේ. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීමට නවීකරණය කළ උඩවලවේ ‘අලි නැණ මංසල’ ද ඉතා වැදගත් පියවරක් ලෙස සටහන් කළ හැකිය. මේ සදහා වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය ද සිය දායකත්වය සපයා තිබේ.

උඩවලවට අලි-ඇතුන් ගැන නැණ මංසලක්…

ලෝක වන ජීවී දිනය පසුගිය (මාර්තු) 03 වැනිදාට යෙදී තිබිණි. මේ නිමිත්තෙන් වූ සුවිශේෂී වැඩසටහනක් වීරවිල (හම්බන්තොට) ඩබල් ටී්‍ර හිල්ටන් හෝටලයේදී එදිනම පැවැත්විණි. විශ්‍රාමික වන ජීවී නිලධාරීන් සහ නුදුරේදී විශ්‍රාම ලැබීමට නියමිත වන ජීවී නිලධාරීන් ඇගයීමට ලක්කිරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් පරිදි සමගි ජන බලවේගයේ ‘හරිත’ පාරිසරික වැඩසටහන වන “ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම – National Green Initiative” මගිනි.

රටේ වන හා වන ජීවී සම්පත සංරක්ෂණය සඳහා දිවි හිමියෙන් කැපවී ක්‍රියාකළ, එනමුත් හරි හැටි ඇගයීමකට මෙතෙක් ලක් නොවූ දකුණු ලක වන ජීවී නිලධාරීන්ට සේවා ඇගයීමක් ලබාදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණු අතර, උත්සවය සමාරම්භ කරමින් “ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම” ජාතික සංවිධායක ප්‍රකට පරිසරවේදී දිලුම් අලගියවන්න මහතා පැවසුවේ මෙසේ පවත්වනු ලබන ඇගයීම් උළෙල හුදෙක් දේශපාලනික ප්‍රචාරක ව්‍යාපාරයක් නොව, සැබැවින්ම රටේ වන හා වනජීවී සම්පත රකින්නට තම දිවියම කැප කරන ලද නිලධාරීන් අගය කිරීම සඳහාම ජාතික වගකීමක් ලෙස කලක පටන් සැලසුම් කරන ලද වැඩසටහනක් මෙසේ ක්‍රියාවට නගනු ලබන බවයි.

උඩවලවට අලි-ඇතුන් ගැන නැණ මංසලක්…

හුදෙක් රාජකාරියක් පමණක් නොව, දවසේ පැය 24 ම පුරා රටේ වන සම්පත හා රටේ වන ජීවී සම්පත සුරකින්නට කටයුතු කරන නිලධාරීන් කොටසක් අප රටේ රාජ්‍ය තන්ත්‍රය තුළ සිටින්නේ නම් ඒ වන ජීවී නිලධාරීන්ම පමණක් බව මෙහිදී පෙන්වා දුන් මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ “ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම – National Green Initiative” සභාපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, වර්තමානයේ රට මුහුණ දී ඇති පාරිසරික අර්බුද පිළිබඳවද අදහස් දැක්වීය. එසේම, තිරසාර වන ජීවී සංවර්ධනයක් සඳහා ”ප්‍රජා කේන්ද්‍රීය සංරක්ෂණයක්” රටට අවශ්‍ය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

සම්මන්ත්‍රණයක් ස්වරූපයෙන් පැවති මෙම උළෙලේදී වර්තමානයේ රට මුහුණදී ඇති ප්‍රමුඛ පාරිසරික අර්බුද පිළිබඳවද විද්වතුන් විසින් විපක්ෂ නායකවරයාගේ සහ උත්සව සභාවේ අවධානය යොමුකරවන ලදී. ඒ අනුව, “මධ්‍යම ආසියාතික කුරුලු පර්යටනික මාර්ගය” ඔස්සේ මන්නාරම දූපත මැදින් ශ්‍රී ලංකාවට වසරක් පාසා පැමිණෙන මිලියනයකට වැඩි කුරුල්ලන්ගේ සංක්‍රමණික මාර්ගය අවහිර කරමින් එක්තරා සමාගමක් මගින් කුරුලු බාධකයක් සේ ඉදිකරනු ලබන සුළං විදුලි බලාගාර පද්ධතිය පිළිබඳව හා එමගින් සිදුවන්නට නියමිත හානිය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා විසින් දේශනයක් සිදුකරනු ලැබීය. එසේම, “අලි මිනිස් ගැටුම අවම කිරීමේ වැදගත්කම රටේ සංවර්ධන න්‍යාය පත්‍රයේ තිරසාර බව” මැයෙන් තවත් දේශනයක් හිටපු වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රකට අලි පර්යේෂකයකු වන ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් සිදුකරන්නට යෙදිණි.

මෙහිදී වන ජීවී නිලධාරීන් 200 කට ආසන්න පිරිසක් සඳහා ඇගයීම් සම්මාන පිරිනමන ලදී. එසේම තෝරාගන්නා ලද නිලධාරීන් කිහිප දෙනකුගේ දරුවන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානයක්ද මෙහිදී සිදුකෙරිණි. විශේෂය වන්නේ විශ්‍රාම ගිය නිලධාරීන් රාශියක් එකවර එක තැනකදී මෙසේ මුණගැසීම සහ ඇගයීමට ලක්වීමද මේ මගින් සිදුවීමය. ඒ පිළිබඳව අදහස් දැක්වූ නිලධාරීන් රැසක්ම කියා සිටියේ මෙම උත්සවය තම දිවි ගමනට මහත් ශක්තියක් හා වින්දනීය අත්දැකීමක් වූ බවයි.

මෙම චාම් එහෙත් අභිමානවත් උත්සව අවස්ථාව සඳහා විවිධ අනුග්‍රාහකයන් විසින් තම අනුග්‍රාහක දායකත්වය ලබාදී තිබිණි. උත්සව ශාලාව සහ ආහාර පානාදිය සඳහා පූර්ණ අනුග්‍රහය වීරවිල ඩබල් ටී්‍ර හිල්ටන් හෝටලය මගින්ද, වන ජීවී නිලධාරීන් සඳහා ලබා දුන් ත්‍යාග සඳහා රේන්කෝ ආයතනය, ජෝර්ජ් ගුණරත්න දෘෂ්ටි විශේෂඥයෝ විසින්ද, වෙනත් අනුග්‍රාහක දායකත්වයන් සඳහා සිනමන් වයිල්ඩ් හෝටලය, දුෂ්‍යන්ත සිල්වා, රොහාන් පල්ලෙවත්ත, සූරිය ජයලත් පෙරේරා යන මහත්වරුන්ද තම සහාය ලබාදී තිබුණු අතර ආචාර්ය සුමිත් පිලපිටිය, මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න, ආචාර්ය රොහාන් පෙතියාගොඩ ආරාධිත දේශන මගින් උත්සව සභාව වර්ණවත් කළහ.

උඩවලවට අලි-ඇතුන් ගැන නැණ මංසලක්…

ජගත් කණහැරආරච්චි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
යාල සහ උඩවලවේ සංචාරයකින් පසු

advertistmentadvertistment
advertistmentadvertistment