සල්ලි අදින හැකර්ලා ගැන අපි අවදියෙන් – මහ බැංකු අධිපති

24

බැංකු ගිණුම් හරහා සැක සහිත ගනුදෙනු සිදු වන්නේ නම් ඒ බව මහ බැංකුවට වාර්තා කිරීම එම බැංකුවල වගකීමක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

වට්ස්ඇප් දුරකථන අංක හැක්කරන වංචනිකයන් මුදල් ලබා ගැනීම සඳහා බලපත්‍රලාභී බැංකුවල ගිණුම් අංක යොදා ගැනීම සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

එසේ බැංකු විසින් සැක සහිත ගනුදෙනු සිදුවන ගිණුමක් බවට මහ බැංකුවට දැනුම් දීමෙන් පසු එතන සිට මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට එයට තිබෙන බලතල අනුව ඒ සම්බන්ධයෙන් කටයුතු කරනගෙන යා හැකි බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

යම්කිසි කෙනෙක් ඊමේල් එකකින් හෝ වට්ස්ඇප් පණිවිඩයකින් හෝ මුදල් ඉල්ලලා එවනවා නම්, ඒ පුද්ගලයාට කතා කරලා එය ඇත්තක් ද යන්න තහවුරු කරගත යුතු බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

එසේම යම්කිසි බැංකුවක බැංකු ගිණුමක් වංචනික කටයුත්තකට යොදා ගන්නවා නම්, ඒ ගැන එම බැංකුවට දැනුම් දිය යුතු බවත් බැංකු විසින් ඒ ගැන අවධානයෙන් සිට ඒ බව එම බැංකු විසින් මහ බැංකුවට වාර්තා කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටියේය.

ඉකුත් මැයි 22 දින මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේදී ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment