ජන්මයෙන් ලබා තිබූ නායකත්ව ගුණාංග හේතුවෙන් 1973දී ආර්ජන්ටිනා ජේසු නිකා ප්‍රාදේශියාධිපති තනතුරට පත්ව 1979 දක්වා කටයුතු කර තමා ඉගෙනුම ලැබූ සා. මිගෙල් දෙව්සත්හලේ අධ්‍යක්‍ෂ ලෙස 1980දී පත්ව 1986 දක්වා කටයුතු කළේය
2005 නොවැම්බර් 5 වැනිදා ආර්ජන්ටිනාවේ අපෝස්තලික කොමිසමේ සභාපති ධුරයට රදගුරු හිමිපාණන් අති බහුතරයක ඡන්දයෙන් පත් වූ අතර 2008 නොවැම්බර් 11දා යළි තෙවසරකට පත් විය
ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, ප්‍රංශ, පෘතුගීසි, ඉංග්‍රීසි හා ලතින් භාෂා ප්‍රගුණ කර තිබිණ
පදවි ප්‍රාප්ත වී මාසයක් ගතවීමටත් පෙර වතිකාන බැංකුව වඩාත් විනිවිද ලෙස මූල්‍ය කටයුතු කරන බවට ප්‍රකාශ කළේ ය
“ෆාදර් හොර්හේ” යන දයාබර ඇමතුමෙන් කාදිනල් හිමිපාණන් නමකු වූ පසුව ද එතුමන් අමතනු ලබන අතර මුඩුක්කුවල ජනතාව අතර ද එතුමා ඉතා ජනප්‍රිය චරිතයකි
ආර්ජන්ටිනාවේ අගනුවර වන බුවනෝර්ස් අයර්ස්හිදී ඉතාලි සංක්‍රමිකයන් වන මාරියෝ ජෝස් බර්ගෝග්ලියෝ හා රෙජිනා මාරියා සිවොරි යුවළට දාව 1936 දෙසැ. 17වැනිදා උපන් දරුවා හොර්හේ මාරියෝ බර්ගෝග්ලියෝ විය. දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලක කුළුඳුලා වූ එතුමාගේ ගැටවර වියේදී ඇති වූ නියුමෝනියා රෝගී තත්ත්වයකින් පෙනහැල්ලේ කොටසක් ඉවත් කරන්නට සිදු විය.
පාසල් අධ්‍යාපනයෙන් පසු බුවනෝස් අයර්ස් විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යා පශ්චාත් උපාධිය දිනුවේය. 1958 මාර්තු 11වැනිදා ජේසු නිකායට බැඳී දර්ශනය හා දේව ධර්මය හදාරා 1969 දෙසැම්බර් 13 වැනිදා අගරදගුරු අති උතුම් රාමොන් ජෝස් කැස්ටෙල් ලානෝ හිමිපාණන් වෙතින් පූජකවරම් ලැබීය.
බුවනෝස් අයර්ස්හි දර්ශනවාදය හා දේවධර්මය පිළිබඳ සා. මිගෙල් පීඨයේ පීඨාධිපති ලෙස පත්වන උන්වහන්සේ එහි දේව ධර්මය කථිකාචාර්යවරයා බවට ද පත්වෙති.
ජන්මයෙන් ලබා තිබූ නායකත්ව ගුණාංග හේතුවෙන් 1973දී ආර්ජන්ටිනා ජේසු නිකා ප්‍රාදේශියාධිපති තනතුරට පත්ව 1979 දක්වා කටයුතු කර තමා ඉගෙනුම ලැබූ සා. මිගෙල් දෙව්සත්හලේ අධ්‍යක්‍ෂ ලෙස 1980දී පත්ව 1986 දක්වා කටයුතු කළේය.
1992දී බුවනෝස් අයර්ස් සහයක රදගුරු ලෙස නම් කරන එතුමා රදගුරුවරයට අබිසෙස් ගන්වන්නේ 1992 ජුනි 27දා අවුකා හි නාමධාරි රදගුරු ලෙසිනි. 1998 පෙබරවාරි 28වැනිදා බුවනෝස් අයර්ස් අගරදගුරු ලෙස පත්වන එතුමා ආර්ජන්ටිනාවේ පෙරදිග කතෝලිකයන් වෙනුවෙන් ද පත් විය.
2001 පෙබරවාරි 21වැනිදා අති උත්තම දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමන් විසින් කාදිනල්වරයට ඔසවන ලද අතර දේව වන්දනාව සහ සක්‍රමේන්තු විනය පිළිබඳ සසුන් කොමිසමේ, පූජකවරුන් පිළිබඳ සසුන් කොමිසමේ, අපෝස්තලික ජීවිත සංගම්වල සහ ආලේපලත් ආයතන පිළිබඳ සසුන් කොමිසමේ, පවුල පිළිබඳ සසුන් කොමිසමේ සහ ලතින් ඇමරිකානු කොමිසමේ සාමාජිකත්වය දැරීය.
සමාජ සාධාරණය උදෙසා ඇප කැප වූ එතුමා සිය සරල හා චාම් ජීවිත පැවැත්මෙන් ඊට ආදර්ශයක් ලබා දුනි. කුඩා ගොඩනැඟිල්ලක ජීවත් වෙමින් සුව පහසු රථ වාහන අත්හැර පොදු ප්‍රවාහන සේවා උපයෝගී කරගෙන තම ආහාර තමාම පිළියෙල කරගත්තේ ය.
අති උත්තම දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා සඟසුව දිනීමත් සමග ඊළඟට පත්වන සසුන් පිය ලැයිස්තුවේ අති උතුම් බර්ගෝලියෝ හිමිපාණන්ගේ නම ද නිතර කියැවිණ.
2005 සසුන් පිය වරණ දැහැනට සහභාගි වූ කාදිනල් සංසදයට උන්වහන්සේ ද අයත් වූහ.
එහිදී තේරී පත් වූ අති උතුම් ජෝශප් කාදිනල් රැට්සිංගර් හිමිපාණන්ට පසු වැඩිම ඡන්ද ලබා ගත්තේ අති උතුම් හොර්ගේ මාරියෝ කාදිනල් බර්ගෝග්ලියෝ හිමිපාණන් යැයි 2005 නිකුත් වූ නිර්නාමික දින පොතක සටහන්ව තිබිණි. 2005 නොවැම්බර් 5 වැනිදා ආර්ජන්ටිනාවේ අපෝස්තලික කොමිසමේ සභාපති ධුරයට රදගුරු හිමිපාණන් අති බහුතරයක ඡන්දයෙන් පත් වූ අතර 2008 නොවැම්බර් 11දා යළි තෙවසරකට පත් විය. වර්ෂ 1976 සිට 1983 දක්වා ආර්ජන්ටිනාවේ හමුදා ඒකාධිපති පාලන සමයේදී ජේසු නිකායේ ප්‍රාදේශියාධිපති ලෙස කටයුතු කළේය.
එහිදී ඊට එරෙහි නොවූ බවට ඇතැම්හු චෝදනා නැගූහ. එහෙත් මේ සමය පිළිබඳ ග්‍රන්ථයක් පළ කළ හොරාසියෝ වර්බිට්ස්කි නම් ලේඛකයා කියනුයේ ඒ චෝදනා සනාථ නොවන බවකි. මේ අතර 2010දී අති උතුම් බර්ගෝග්ලියෝ කාදිනල් හිමිපාණන්ගේ චරිතාපදානය ග්‍රන්ථාරූඪ කළ සර්ජියෝ රූබන් පවසනුයේ ඒකාධිපති පාලන සමයේ පීඩාවට පත් ජනතාවට සෙවන සදන්නට එතුමා අනන්තවත් යොමු වී ඇති බවයි.
වරක් ජුන්ටා හමුදාවේ ඉලක්කයක් වූ පුද්ගලයකු කාදිනල් බර්ගෝලියෝ හිමි හැඩරුවට සමාන වූ නිසා පියතුමා සිය අනන්‍යතා තොරතුරු ඔහුට ලබාදී රැකවරණය සහිතව පළායන්නට ඉඩ සලසා දී ඇත.
ගබ්සාව, අනායාස මරණය, මරණ දඬුවම ඇතුළු නූතන සමාජයේ බරපතළ ප්‍රශ්නවලට එරෙහිව හඬ නගන්නටත් නිතර ඇප කැප වූ උන්වහන්සේ ලතින් ඇමරිකානු රටවල් අතරින් ආර්ජන්ටිනාව 2010දී සමලිංගික විවාහ නීතිගත කිරීමේ වෑයමට එරෙහිව ජනතාව පෙළ ගස්වන්නට පෙරමුණ ගත්තේය.
1982 සිට ග්‍රන්ථ ගණනාවක් රචනා කර ඇති එතුමා, ආගමික කරුණු විෂයයේ පමණක් නොව සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රශ්න හා ගැටලු සම්බන්ධයෙන් ද අභීතව සිය මතය ප්‍රකාශ කරන්නේ ය.
ලතින් ඇමෙරිකාවේ ප්‍රකට විමුක්ති දේව ධර්මය පිළිබඳව ස්වාධීන පිළිවෙතක පිහිටා කටයුතු කරන උන්වහන්සේ කවර හෝ ගුරු කුලයන්ට ආවඩන්නේ නැතිව කටයුතු කරන අයකු ලෙස ප්‍රකටය.
“ෆාදර් හොර්හේ” යන දයාබර ඇමතුමෙන් කාදිනල් හිමිපාණන් නමකු වූ පසුව ද එතුමන් අමතනු ලබන අතර මුඩුක්කුවල ජනතාව අතර ද එතුමා ඉතා ජනප්‍රිය චරිතයකි.
266 වැනි සසුනිසුරාණන් ලෙස ශුද්ධවූ සභා සුක්කානම අතට ගත් ලතින් ඇමරිකාවෙන් පත්වූ මුල්ම ලෝක සසුන් නායකයා ලෙසත්, ජේසු නිකායේ පළමු ශුද්ධෝත්තම පියතුමා ලෙසත් සිය අපිස් ජීවිත දැක්මට සාක්ෂි දරන්නට ගත්තේ ඒ මොහොතේ පටන් ය. සසුන් පියා පත්වූ පසු ඉදිරියට පැමිණෙන්නේ රතු ඇඳුමින් සැරසී වුවද මෙතුමා සුදු ලෝගුව තෝරා ගත්තේය.
සසුන් පිය කුරුසිය රනින් නිම කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද මෙතුමා යකඩ කුරුසියම භාවිත කළේ ය.
සසුන් පියවරුණ රාත්‍රියේ හෝටලයට යෑමට සසුන් පිය මෝටර් රථය එවා තිබුණත් සෙසු කාදිනල් හිමිපාණන් සමග සිය බෑගය ද අතින් ගෙන බසයට ගොඩ වී හෝටලය කරා ගියේ ය.
ස්පාඤ්ඤ, ඉතාලි, ජර්මන්, ප්‍රංශ, පෘතුගීසි, ඉංග්‍රීසි හා ලතින් භාෂා ප්‍රගුණ කර තිබිණ. අගරදගුරු ලෙස කටයුතු කරද්දීත් මහ මන්දිරයෙහි විසීම වෙනුවට කුඩා කාමරයක නවාතැන් ගෙන තම ආහාර පාන තමා සැකසූ යුගයක් ද විය.
මේ නිසාම සසුන් පිය පදවි ලැබූවද සසුන් පිය අපෝස්තලික නිවහනේ සැප පහසුව විසීමට කැමැති නොවීය. අති උතුම් දසවන පියුස් සසුන් පියාගෙන් පසුව සුදොතුම් පිය නිවහන් වෙනුවට පිටස්තර විසුවේ එතුමා ය.
ඉරු දින තිරින්දාදිය සඳහා අපෝස්තලික මාළිගයට එතුමා ආවේය.
2013 සසුන් පිය නිලවරණයේ දෙවැනි දින පස්වැනි වටයේදී එතුමා සසුන් පිය ධුරයට පත් ්විය.
නව සුදොතුම් පියතුමකු පත්ව ඇතැයි ප්‍රකාශ කළේ අති උතුම් ජින් ලුයිස් කාදිනල් ටවුරන් හිමිපාණන් ය.
එදා සසුන් පියවරණයේදී මීළඟ සසුන් පියා ලෙස පත්වනු ඇති බවට ඔට්ටු අල්ලන්නන් හා බුකීකරුවන් කැටතියා සපථ කළේ ඔස්ටි්‍රයාවේ අති උතුම් ක්‍රිස්ටොෆ් කාදිනල් ෂෝන්බෝන් හිමිපාණන් ය.
කෙසේ වෙතත් අවසන් ප්‍රතිඵලය ඉඳුරාම වෙනස් වූ අතර පසු කලෙක අති උතුම් ක්‍රිස්ටොෆ් කාදිනල් ෂෝන්බෝන් හිමිපාණන් නව සසුන් පියාගේ පත්වීම හා සබැඳි ලෝකෝත්තර සංඥා දෙකක් පිළිබඳව සඳහන් කර තිබේ. එකක් නම් සසුන් පිය නිලවරණයයි. එය මුළුමනින් ආධ්‍යාත්මික රහස්‍ය, ශුද්ධාත්මානුභාවය මැද සිදුවන්නක් බව පැහැදිලිය.
දෙවැන්න කාදිනල් හිමිපාණන් දන්නා කියන ලතින් ඇමරිකානු යුවළක් හා බැඳේ. වතිකාන නගරයේ වෙසෙන ඔවුන් බර්ගෝග්ලියෝ නාමය නිරතුරු කොඳුරමින් හෙළිකරන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ හඬයි.
අති උතුම් ප්‍රැන්සිස් සසුන් පියා, මාවතේ වෙසෙන දුප්පතුන්ට ඇඟ පත සෝදා ස්නානය කිරීමට පහසුකම් සලසා දුන්නේ ය.
යුක්රේනය යුද්ධයෙන් විඳින පීඩා නිසා ගිලන් රථ හතරක් පරිත්‍යාග කළේ මේ මෑතක දී ය.
නව සසුන් පියකු පත්වූ වහාම වතිකාන සේවකයන්ට පාරිතෝෂිත දීමනාවක් ලබාදීමේ සිරිතක් පැවතින.
යුරෝ මිලියන ගණනක් වැයවූ මේ පිළිවෙත නතර කළ අති උතුම් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා එම මුදල් දයා සේවාවන්ට යොමු කළේ ය. වතිකාන බැංකුවේ සුපරික්‍ෂක මණ්ඩලයේ සේවය කළ කාදිනල් හිමිපාණන්ට වාර්ෂිකව ලබාදුන් යුරෝ 25,000ක පාරිතෝෂිත මුදල ද මෙතුමා නතර කළේ ය.
පදවි ප්‍රාප්ත වී මාසයක් ගතවීමටත් පෙර වතිකාන බැංකුව වඩාත් විනිවිද ලෙස මූල්‍ය කටයුතු කරන බවට ප්‍රකාශ කළේ ය.
දිගු කලක සිට දූෂණයන් සහ මුදල් විශුද්ධිකරණ සිද්ධීන් බැංකුව හා බද්ධව ඇති බවට තොරතුරු පැතිරිණ.
බැංකු ප්‍රතිසංස්කරණයට ශුද්ධෝත්තම පියතුමා විශේෂ කොමිසමක් පත්කර උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන අතරේම විශේෂ මූල්‍ය ආයතනයක් මගින් පාරිභෝගික සබඳතා පරික්ෂා කිරීමට කටයුතු කළේ ය.
ප්‍රතිසංස්කරණ හිතූතරම් පහසු නොවූවත් යම් යම් වෙනස්කම් මැද කටයුතු සිදුවෙමින් පවතී.
අති උතුම් ප්‍රැන්සිස් සසුනිසුරාණන් රටවල් 76 කින් කාදිනල් හිමිපාණන් 163 නමක සිය ධුර කාලයෙ දී පත්කර ඇත.
2014 පෙබරවාරියේ පැවති මුල්ම කාදිනල්වර ප්‍රදාන මෙහෙයට විශ්‍රාමික සසුන් පිය අති උතුම් සොළොස්වන බෙනඩික් හිමිපාණන් ද එක් විය. 2024දී පැවති කාදිනල්වර ප්‍රදානයෙන් පසු මෙවර සසුන් පිය නිලවරණය සඳහා වයස අවුරුදු 80ට අඩු කාදිනල් හිමිපාණන් 135 දෙනා අතරින් 110 නමක එතුමා පත් කළ අය වෙති.
සඟ සැපත් සොළොස්වන බෙනඩික් සසුන් පියා පත් කළ කාදිනල් හිමිපාණන් 24 නමක හා සාන්ත දෙවන ජුවාම් පාවුලු මුනිඳුන් පත් කළ කාදිනල් හිමිපාණන් 6 නමක් ද සිටිති.
කතෝලික සභාවට නව ආචාර්යවරුන් දෙනමක් නම් කිරීමට ද එතුමා කටයුතු කළේ ය.
2015දී නාරෙක් හි සාන්ත ග්‍රෙගරි තුමා හා 2022දී ලියොන්හි සා. ඉරෙනේයුස් තුමා වෙති.
සිය සසුන් ධූරාවලිය තුළ එතුමා 2015දී දයා කරුණාවේ ජුබිලි වසරක් ප්‍රකාශයට පත් කළ අතර 2015 දෙසැම්බර් 08 වෙනිදා සිට 2016 නොවැම්බර් 20 වැනිදාට මේ ජුබිලි වසර ක්‍රියාත්මක විය.
ලෝක දිළිඳුන්ගේ දිනයක් උන්වහන්සේ ස්ථාපිත කළ සේක. මුළු ලෝකයම තැති ගැන්වූ කොවිඩ් 19 වසංගතය හමුවේ මුළු ලෝකයටම සුවය පතමින් සා. පීතර බැසිලිකාවේ විශේෂ යැදුම් මෙහෙයක් පැවැත්වීමට පුරෝගාමී විය.
මේ ආදී වශයෙන් විසිරුණු පැතිරුණු බොහෝ අංශ සිසාරා සිය පීතෘක එඬේරිකත්වය පළ කර සිය බැටළු රැළේ ගඳ සුවඳ හඳුනන මේ යහපත් එඬේරා ඉකුත් දා සදා සාමය දිනීය.
ශිරාන් මෛත්‍රි
(‘ඥානාර්ථ ප්‍රදීපය, විශේෂ කලාපයේ අනුග්‍රහයෙනි.)