ලක්මව්ට සැමදා පිහිට සදමින් සෙංකඩගල පුරවරයේ වැඩහිඳිනා ශ්‍රී දළදා සමිදුන් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ වසර 16කට පසුවය. ඒ රටට නිසි කලට වැසි ප්‍රාර්ථනා කරමින්, සියලුම දෙනාට සෞභාග්‍ය, සමෘද්ධිය සහ ආශීර්වාදය ප්‍රාර්ථනා කරමිනි.

දළදා වහන්සේ තරම් සිංහල බෞද්ධයන්ගේ භක්ති ප්‍රණාමයට ලක්වන අන් කිසි වස්තුවක් සිංහලේ නොමැත. දුරාතීතයේ පටන් ම දළදා වහන්සේ ද සිංහලයන්ගේ සිතුම් පැතුම් කෙරෙහි මෙන් ම රාජ්‍ය කටයුතු කෙරෙහි ද බලපෑ අයුරු සිංහලේ ඉතිහාසය හැදෑරීමේ දී කැපී පෙනේ.

දළදා වහන්සේ ළඟ තබා ගන්නා පුද්ගලයා “රටේ රජු” යන්නත් දළදා වහන්සේ තමන් සතුව තිබෙන තාක් රට සතුරු ජාතීන්ට හිමි නොවන බවටත් අතීතයේ තිබී ඇත්තේ දැඩි විශ්වාසයකි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශරීරය ආදාහනය කළ ද උන්වහන්සේගේ අධිෂ්ඨානයකට අනුව සතර දළදාව, ලලාට ධාතුව, අකුධාතු හා ග්‍රීවා ධාතු යන ධාතූන් වහන්සේලා හැර අනික් සියලු ශාරීරික කොටස් කුඩා කැබලිවලට බිඳී ගිය බව ඉතිහාසයේ සඳහන් ය.

මෙම ප්‍රධාන ධාතූන් වහන්සේලාගෙන් සතර දළදා වහන්සේලා වැඩ සිටින ස්ථාන ලෙස තව්තිසා භවන, ගන්ධාර දේශය, කාලිංග දේශය හා නා ලොව දැක්වෙයි.

දළදා සිරිත, දාඨාවංශය, දළදා පූජාවලිය ආදී ධාතු වංශකථාවන්හි සඳහන් පරිදි මෙම සතර දළදාවන්ගෙන් දෙනමක් ම වර්තමානය වන විට පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති වැලිවිට සෝරත නා හිමි ලියූ ලිපියක දැක්වෙයි. පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දළදා දැක්මක් අප්‍රේල් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇත. මෙම දළදා ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉල්ලීම මතය.

වසර 16කට පසුව රටේ බෞද්ධ ජනතාවට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ මහනායක හිමිවරුන්ට ස්තුතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ තම ජීවිත කාලයේ කවදා හෝ දිනක දළදා වහන්සේ වැඳපුදාගත යුතුය යන්න මෙරට බෞද්ධ ජනතාවගේ අපේක්ෂාව වන බවයි.

එමෙන්ම රට තුළ ගිලිහෙමින් තිබෙන ශිෂ්ටත්වය යළි ස්ථාපිත කරමින් ආගමික සහ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙම අවස්ථාව ඉවහල් කරගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජනාධිපතිතුමන් පැවසීය.

සිරි දළදා දැක්මට පෙර ගමන් ගිය යුද්ධ හමුදාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ පූර්ණ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ යුද්ධ හමුදා භට පිරිස්වල තාක්ෂණික සහාය සහ ශ්‍රම දායකත්වයෙන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්හට අවශ්‍ය විවිධ වූ පහසුකම් සැපයීමට යුද්ධ හමුදාව පෙරට පැමිණියේය.

ඒ අතර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු, බැතිමතුන් හට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සහ ක්‍රමානුකූලව බැතිමතුන් මාලිගා පරිශ්‍රය වෙත යොමු කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශ මාර්ග පිළියෙල කිරීම ප්‍රධානතම පියවරයන් විය.

ඒ අනුව සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ජංගම සහ ක්ෂේත්‍ර වැසිකිළි සිරි දළදා වන්දනාවට බැතිමතුන් පැමිණෙන ප්‍රවේශ මාර්ග ආශ්‍රිතව ස්ථාපිත කිරීම යුද්ධ හමුදාවෙන් සිදුවිය. එසේම ප්‍රවේශ මාර්ගවල ඉදිකර ඇති ගමන් මලු පර්යන්ත, වැසි ආවරණ, ආබාධිත බැතිමතුන් සඳහා අවශ්‍ය පියගැට පෙළ සහිත ප්‍රවේශ මාර්ගයන් යුද්ධ හමුදා තාක්ෂණික දායකත්වය මත ඉදිකරන ලදී.

බැතිමතුන්ගේ ආරක්ෂාව

සිරි දළදා වන්දනාව සඳහා බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛතම වගකීමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දෙවුර දරාගෙන සිටී.

ඒ වෙනුවෙන් මහනුවරට පිවිසෙන ප්‍රවේශ මාර්ගයන්හි නිරීක්ෂණ රාජකාරි රැසක් යුද්ධ හමුදාවේ දායකත්වයෙන් ක්‍රියාත්මකය.

එසේම දෛනික මුර සංචාර, ඩ්‍රෝන ආවේක්ෂණ රාජකාරි, වන්දනාවට පැමිණෙන බැතිමතුන් හැසිරවීම වෙනුවෙන් යුද්ධ හමුදාව දක්වන්නේ අපරිමිත වූ දායකත්වයකි.

ඇතැම් අවස්ථාවල පෝලිම්වල සිදුවන යම් යම් තදබදයන් අවම කිරීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පෙරට එයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මේ වගකීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පවරන්නේ සුවිශාල විශ්වාසයක් මතය. ඒ වගකීම යුද්ධ හමුදාව අකුරටම ඉටු කිරීම සම්බන්ධයෙන් පසුගියදා දළදා මාලිගාව ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවකට පැමිණි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා යුද්ධ හමුදාවට සිය ප්‍රශංසාව ද පළ කළේය.

“ජාතික ආරක්ෂාව තහවුරු කරනවා සේම සියලුම ආගමික සහ සංස්කෘතික කටයුතුවලදී ජනතාවට අවශ්‍ය සියලුම සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සූදානම්. සිරි දළදා වන්දනාව වෙනුවෙන් වන අපගේ කැපවීම ඒ සඳහා හොදම උදාහරණයක්.

එහි පැමිණෙන සියලුම බැතිමතුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය, ආහාර පාන සනීපාරක්ෂාව ඇතුළු සියලුම පහසුකම් ලබාදීම වෙනුවෙන් අපි පැය විසිහතර පුරාම වැඩ කරනවා යැයි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ අප සමග පැවසීය.

ආහාර ගැටලුවට විසඳුමත් යුද්ධ හමුදාවෙන්

සිරි දළදා වන්දනාවේදී යුද්ධ හමුදාව දෙවුරට ගත් මහ මෙරක් වන් මහා වගකීම

බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමේදී ශ්‍රි ලංකා යුද්ධ හමුදාව සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනු ලබයි.

“යුද්ධ හමුදාව කියන්නේ අපේ රටේ සෑම අවස්ථාවකම රටට විශාල මෙහෙවරක් කරපු පිරිසක්. මේ දළදා වන්දනාවට පැමිණෙන ජනතාව කළමනාකරණය කරගැනීමට පරිපාලන වශයෙන් විශාලම සහයෝගය යුද්ධ හමුදාවෙන් ලබාදෙනවා.

මහනුවර නගරයට අතිවිශාල ජනතාවක් ඇදී එනවා. ඒ පැමිණෙන ජනතාව බඩගින්නේ තියන්න රජය කිසිවිටෙකත් කටයුතු කරන්නේ නෑ. අපිට ඒ වෙනුවෙන් විශාලම සහයෝගය ලැබෙන්නේ යුද්ධ හමුදාවෙන්. ඒ ආහාර සැකසීමේ කටයුත්ත සිදුකරන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. ඇත්තටම යුද්ධ හමුදාව කරන මේ වැඩපිළිවෙළ අපිට විශාල සහයෝගයක්.” යැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.

ඒ අනුව මේ ලිපිය සකස් කරන සිකුරාදා (25) දිනය වන විට ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසකට උදෑසන අහාරය සහ රාත්‍රී ආහාරය සැපයීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කටයුතු කර ඇත.

මේ අතර යුද්ධ හමුදා සේවාවනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලබන කිරි තේ දන්සල දිනපතා බැතිමතුන් 5000ක පිරිසක් සඳහා ක්‍රියාත්මක වේ.

එසේම යුද්ධ හමුදා ශ්‍රමදායකත්වය සහිතව දළදා මාලිගාව වෙතින් බැතිමතුන් සඳහා බත් දන්සලක් සංවිධානය කර ඇත. එහිදී එක් දිනකට තිස්පන්දහසකට අධික බැතිමතුන් පිරිසකට ආහාර සකස් කිරීම සිදුකරන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි.

“යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් අනුව ආරක්ෂක සේනා ආඥාපති – මධ්‍යම මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්.එන්.එස්. බණ්ඩාරනායකගේ මඟපෙන්වීමෙන් සියලුම බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපිට සුවිශේෂී වගකීමක් පැවරී තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් අපිට සුවිශේෂී වගකීමක් ඉටුකරනවා.

අපි දෛනිකව ආහාර පාර්සල් දසදහසකට වැඩි ප්‍රමාණයක් ප්‍රවේශමාර්ගවල ඈත කෙළවරේ සිටින ජනතාව වෙනුවෙන් සකස් කරනවා. ඒවා ඔවුන් අසලටම ගිහින් බෙදාදීමත් අපි සිදුකරනවා. ඒවගේ අපේ සෞඛ්‍ය කණ්ඩායම් නිරන්තර සූදානමින් පසුවෙනවා හදිසි රෝගී තත්ත්වයන්ට ලක්වන රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන්න.

ඒ වගේම තමයි ආබාධිත බැතිමතුන් වෙනුවෙන් අපි සුවිශාල මෙහෙවරක් ඉටුකරනවා. යුද්ධ හමුදා සෙබළුන් පනහක් සෑම අවස්ථාවකම රෝද පුටු සමග යොදවලා තියෙනවා ආබාධිත බැතිමතුන්ට අපහසුවකින් තොරව වන්දනාමාන කරගැනීමට” යැයි 11 වැනි පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් උපුල් කොඩිතුවක්කු අප සමග පැවසීය.

”දළදා මාලිගාවෙන් අපි සංවිධානය කරන දන්සල දිනකට තිස්පන්දහසක් වෙනුවෙන් ආහාර ලබාදෙනවා. එය රාත්‍රී හතේ ඉඳලා ක්‍රියාත්මකයි. ඕනෑම කෙනෙකුට මෙතනට ඇවිත් ආහාර ලබාගැනීමේ හැකියාව තියෙනවා. මේ ආහාර හැමදේම සකස් කෙරෙන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන්. ඔවුන් මේ වෙනුවෙන් ලබාදෙන්නේ සුවිශේෂී දායකත්වයක්” යැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පැවසීය.

මීට අමතරව යුද්ධ හමුදාවෙන් දෛනිකව පානීය ජල බෝතල් පන්දහසක් පමණ ද බැතුමතුන් අතරේ බෙදා දෙයි.

පැය 24න් හදපු පිටවීමේ මාර්ගය

දළදා වන්දනාව ආරම්භ වී පළමු දින දෙක තුළ විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණීම නිසා මාලිගා පරිශ්‍රයෙන් පිටවීමේ මාර්ගවල දැඩි තදබදයක් ඇති විය. ඒ තදබදය අවම කිරීමේ පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පැය 24කට අඩු කාලයකදී විශේෂ පිටවීමේ මාර්ගයක් ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ උල්පැන් ගේ අසල ස්ථාපනය කිරීමට කටයුතු කරන ලදී.

මේ නිසා ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ ඇතිවූ තදබදය මින් අවම කෙරුණු අතර විශාල බැතිමතුන් ප්‍රමාණයකට දළදා වහන්සේ වන්දනා කර පහසුවෙන් පිටව යෑමේ අවස්ථාව හිමි විය.

නිරතුරු අවධානයෙන් සිටින යුද්ධ හමුදා සෞඛ්‍යය සේවා කණ්ඩායම

දළදා වහන්සේ වන්දනාමාන කිරීමට පෝලිම්වල සිටින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඉලක්ක කරගනිමින් ජංගම සෞඛ්‍ය සේවා කණ්ඩායම් පත් කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය කටයුතු කරන ලදී.

දිගුවේලාවක් පෝලිම්වල රැඳී සිටීමත් අධික අව්රශ්මිය නිසාවෙන් සහ වෙනත් රෝගාබාධ නිසාවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීම සඳහා එම ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ඔවුන් සිටින ස්ථානයටම කඩිනමින් ලබාදීම මෙහි අරමුණයි.

සියලු පෝලිම් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ පිහිටුවා ඇති විශේෂ සෞඛ්‍ය මධ්‍යස්ථාන සමග සම්බන්ධීකරණය වෙමින් අවශ්‍ය අවස්ථාවන්වලදී ගිලන් රථවල සහාය ලබා ගැනීමට ද කටයුතු සිදු කරනු ලබයි.

එසේම කටුගස්තොට, පේරාදෙණිය, තැන්නෙකුඹුර යන ස්ථානවල පිහිටුවා ඇති රථගාල්වල සිට ලංකා ගමනාගමන මණ්ඩලයෙන් සිදුකරන බැතිමතුන් ප්‍රවාහන කටයුතුවලදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය දායකත්වය ලබාදී ඇත.

යුද්ධ හමුදාව එදා මෙන් අදත් හෙටත් මේ වගකීම ඔවුන්ගේ දෙවුර මත හොවා ගන්නේ මව්බිම වෙනුවෙන් වූ ඔවුන් සතු අතිමහත් වූ ළැදියාව නිසාවෙන්මය. අව්ව වැස්ස හෝ වෙනත් කිසිදු සාධකයක් ඔවුන්ට බාධාවක් නොවේ. ඒ කුමන බාධාවක් ඔවුන්ට වෙහෙසකර නොවේ. ඒ ඔවුන්ගේ හැටිය. ඔවුන් ඒ මෙහෙවර සිරි දළදා වන්දනාවේදී ඉදිරියට නොඑන්නට මේ හෙළයේ මහා සංස්කෘතික වැඩසටහන මෙතරම් පහසුවෙන් ඉදිරියට නොයන්නට ඉඩ තිබුණි. ඔවුන්ට අපි ජාතියේ ආරක්ෂකයන් කියා සැමදා කියන්නේ මේ නිසාමය.

දිලංක ගුණතිලක මහනුවර සිට


advertistmentadvertistment