සදාකාලික ණයගැතිභාවය ස්ට්ථිරයි!

380

ලෝක බලවතුන්ගෙන් පාසල් ප්‍රජාවට පෙළපොත්, නිල ඇඳුම් සහ උදෑසන ආහාරය:

ශ්‍රී ලංකාව සදාකාලික ජාත්‍යන්තර ණයගැති භාවයට පත් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ශ්‍රී ලංකාවට කෙටිකාලීනව යම් සහනයක් ලබා දෙනු ඇත. නමුත් දශක ගණනාවක් ක්‍රියාත්මක වගකීම් විරහිත සහ අතිශය දූෂිත පාර්ලිමේන්තු ක්‍රමය තුළ ශ්‍රී ලංකාව පත් වී ඇති ණයගැතිභාවයෙන් අපට කිසි දිනෙක ගැළවීමට හැකිවන්නේ නැත.

ඊට හේතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 50 කට අධික ණය කන්දකට යටවී ඇති රට, තවදුරටත් ජාත්‍යන්තරයට යට වෙමින් ඇති නිසාය. ලබා ගත් ණය ගෙවීම ඒකපාර්ශිකව නවත්වා ඇති ශ්‍රී ලංකාව නොනවත්වා හතර අතේ ණය වෙමින් ඇත. ළමා පරපුර ද සදාකාලික ණයකාරයන් කර ඇත.

ඉන්දියාව සහ චීනය මෑතකදී ශ්‍රී ලංකාවේ ළමා පරපුර වෙනුවෙන් කළ මැදිහත්වීම අතිශය වැදගත්ය. එලෙසම තීරණාත්මකය. කළමනාකරණය කර ගත නොහැකි දේශීය සහ විදේශීය ණය අර්බුදයක හිරවී ඇති ශ්‍රී ලංකාව පාසල් දූ දරුවන්ගේ අවම අවශ්‍යතා සපුරාලීමට ඉන්දියාවේ සහ චීනයේ මැදිහත් වීම පතා ඇත. ළමා පරපුර ණයගැතිභාවයට පත් කිරීම වෙනමම විමසා බැලිය යුතු තත්ත්වයකි.

ඉන්දියානු, චීන සහ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෑතකදී නිකුත් කළ මාධ්‍ය නිවේදන සම්බන්ධයෙන් ගැඹුරින් විමසා බැලිය යුතුය. එම නිවේදන අවධාරණය කරන්නේ දේශපාලනයේ නිරුවතයි. ශ්‍රී ලංකාවේ දේශපාලනයට ලැජ්ජාවක් නැත. සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යවරයා යුරෝපීය ඇඳුමින් සැරසී ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ සමඟ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීම ශ්‍රී ලංකාව පත්වී ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබිඹු කළ තවත් එක අවස්ථාවක් නොවන්නේද?

මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් මුද්‍රණය කිරීමේ වගකීමද ඉන්දියානු රජය භාර ගෙන ඇති තත්ත්වයක් තුළය. ඉන්දියානු ණය ආධාර යටතේ පෙළපොත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය සොයා බැලීම ඉන්දියානු මහකොමසාරිස්වරයාගේ වගකීමයි. ශ්‍රී ලංකාවේ පෙළපොත් මුද්‍රණය මෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවද ඉන්දියාවේ අධීක්ෂණයට යටත් වී ඇති බව පැවසුවත් වරදක් නැත.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඉදිරියේ දී එම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන බවට ප්‍රකාශ කිරීම තවත් කිසිදා ඉටු නොකරන පොරොන්දුවක් බව අවධාරණය කළ යුතුය. නමුත් ශ්‍රී ලංකාවේ පෙළපොත් මුද්‍රණය කිරීම ඉන්දියාවේ සදාකාලික වගකීමක් විය හැකිය. යථාර්ථය එයයි. පාර්ලිමේන්තුව තම මූලික වගකීම ඉටු කළානම් පෙළපොත් මුද්‍රණය කිරීමේ වගකීම ඉන්දියාවට භාර දීමට සිදු වන්නේ නැත.

මෙම ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ පෙළපොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි හා අනිකුත් උපකරණ ලබා දීම සිදුවන අතර, සමස්ත අවශ්‍යතාවයෙන් 45% පමණ සපුරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පෙළපොත් අවශ්‍යතාවයෙන් 45% පමණ ඉන්දියාව සපුරන අතර මෙවර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් චීනයෙන් ලබා ගැනීමට සිදුවීම ඇත්තවශයෙන්ම දෛවයේ සරදමකි. පොරොන්දු වූ පරිදි සමස්ත නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70% චීනය දැනටමත් ලබා දී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයට ඇත්තේ රජයේ පාසල්වල සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු සිසුවියන්ට මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සඳහා මෙම නිල ඇඳුම් බෙදා දීමය.

චීනය පසුගියදා පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක්ද ශ්‍රී ලංකාවට භාර දුන්නේය. මෙවැනි තත්ත්වයක් තුළ ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව පාච්චල් වීම වැළකිය නොහැක. ආරක්ෂක හමුදාවන්ටද නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කිරීමට විදේශීය ආණ්ඩු ඉදිරිපත් විය හැක. පොලිස් නිල ඇඳුම් ‘මල්ටි බැරල්’ නොවේ. එයත් පිනට නම් ජාතික අභිමානය ගැන කතා කර වැඩක් නැත. නමුත් වලත්ත රැල තවමත් ජනතාව රැවටීමේ ක්‍රියාවලියේ අපූරුවට යෙදී සිටිති.

ඇමෙරිකානු තානාපතිවරිය ජුලී චංග් අධ්‍යාපන අමාත්‍ය ප්‍රේමජයන්ත සමඟ කොළඹ 05 පිහිටි ශාන්ත ජෝන් විද්‍යාලයට පැමිණියේ එම පාසලේ දරුවන්ට උදෑසන ආහාරය ලබාදෙන ආකාරය බැලීමටයි. ඒ මේ වසර අවසානය වන විට පාසල් දරුවන් මිලියනයකට අවශ්‍ය උදෑසන ආහාර වේල ඇමෙරිකානු සහ අනෙකුත් ජාත්‍යන්තර ආධාර යටතේ ලෝක ආහාර සංවිධානය විසින් ලබා දෙන බව ප්‍රකාශ කර ඇති අවස්ථාවකදීය. පාසල් පෙළපොත්, පාසල් නිල ඇඳුම් සහ අධ්‍යාපනය ලබන ළමා ප්‍රජාවට උදෑසන ආහාරය ලබා දීමට පිළිවෙළින් ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව දායක වන ශ්‍රී ලංකාවේ ජනතාවට ජාතික අභිමානයක් තිබිය නොහැක. වචන දහසකින් කිව නොහැකි දෙයක්, එක පින්තූරයකින් අවධාරණය කළ හැකිය. ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වමතින් අල්ලාගෙන සිටින පිඟානකට ජුලී චංග් සුදු බත් බෙදන ශාන්ත ජෝන් විද්‍යාලයේ දී ගත් පින්තූරය ශ්‍රී ලංකාව ජාතික ව්‍යසනයකට මුහුණු දී ඇති බව අවධාරණය කරයි. අමාත්‍යවරයා ඇතුළු තුන් දෙනකු යුරෝපීය ඇඳුමින් සිටින එම අවස්ථාව සමස්ත ප්‍රජාවම සදාකාලික හිඟමනට වැටී ඇති බව මතක් කරනා තවත් අවස්ථාවකි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ලබා දීමට ද ඇමෙරිකාව ප්‍රබල දායකත්වයක් දැක්වීය. ඊට අවශ්‍ය තත්ත්වය ගෝඨාභය රාජපක්ෂ රජය නිර්මාණය කළේය. ගොවියාට පොහොර සහ පලිබෝධනාශක නැති කළේය. ඉන් පසුව චීන කාබනික පොහොර සහ ඉන්දියන් දියර පොහොර නාට්‍ය රඟ දැක්වූ ආණ්ඩුව 2020 බදු කපා හැරීම තුළින් රුපියල් බිලියන 600 අහිමිකර ගත්තේය. සමස්ත ක්‍රියාදාමයම කුමන්ත්‍රණයක් දැයි යමෙකුට සැකයක් ඇතිවීම ද සාධාරණය.

තවදුරටත් වර්ධනය වෙමින් පවතින දේශපාලන -ආර්ථික – සමාජීය අර්බුදය අතරේ විදේශ ආධාර මත යැපෙන පාසල් ප්‍රජාවට යහපත් මානසිකත්වයක් කිසිසේත් තිබිය නොහැක. දශක හතකට පෙර බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගත් ශ්‍රී ලංකාවේ තත්ත්වය සැබැවින්ම ඛේදවාචකයක් නොවන්නේද? මෙම තත්ත්වයට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය වගකිය යුතු නොවේද? ඇත්ත වශයෙන්ම ලෝක බලවතුන් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර සහ ණය එම රටවල සමස්ත දේශපාලනික – ආර්ථික – ආරක්ෂක උපාය මාර්ගවලට අනුකූලව ක්‍රියාත්මක බව අමුතුවෙන් කිව යුතු නැත.

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පාසල් පෙළපොත් ලබා දීම සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය එක වැකියකින් සමස්ත කථාව කියා ඇත. එනම් ඉන්දියාව පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට දුන් සහයෝගය ශ්‍රී ලංකාවේ අනාගතයට කළ ආයෝජනයකි. එම අදහස සමඟ චීනය සහ ඇමෙරිකාවද අනිවාර්යෙන්ම එකඟ වෙනු ඇත. විදේශීය ණය සහ ආධාරද ශ්‍රී ලංකාවේ කරනු ලබන ආයෝජන බව පැහැදිළිය. ශ්‍රී ලංකාව එම උපාය මාර්ග සමග අපූරුවට ස්ථානගතවී ඇත.

පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට දායක වීම සමස්ත ඉන්දීය ආයෝජනයේ කොටසකි. එය දැවැන්ත ක්‍රියාදාමයකි. උපාය මාර්ගයකි. මැදිහත්වීමකි. පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමට පෙර ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියකි.

අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, බෙහෙත්, අමුද්‍රව්‍ය ලබා ගැනීමට නිදහස් කළ මෙම ඇමෙරිකානු ඩොලර් බිලියනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 10කට වඩා වැඩි ප්‍රමාණයක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට සහ පෞද්ගලික ව්‍යාපාරිකයන්ට පෙළපොත් මුද්‍රණයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ඉන්දියාවෙන් ආනයනය කිරීමට ලබාදී ඇත. ඉන්දියාව එම වගකීම නොගන්නට, චීනය එම අවශ්‍යතාවයද සපුරනු ඇත. සමස්ත අවශ්‍යතාවයෙන් 45% එනම් ශ්‍රී ලංකා පාසල් දරුවන් මිලියන හතරකට වුවමනා කරන පාසල් පෙළපොත් ලබාදීම ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් ගේ වගකීමක් වී ඇත. බංකොළොත් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට වැඩි ණය පහසුකම් සහනදායක තත්ත්වයක් යටතේ ඉන්දියාවෙන් ලබා ගැනීම තවත් අර්බුදයකි.

පිස්සු බලු රෝගයට (ජල භීතිකාවට) ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය එන්නත් පවා විදේශ පරිත්‍යාග ලෙස ලැබෙන තුරු ශ්‍රී ලංකාව බලා සිටියි. පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ජල භීතිකාවට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රුපියල් මිලියන 81ක් වටිනා එන්නත් 13,211 ජර්මනිය පරිත්‍යාග කළේය. ඊට පෙර ඉන්දියාවෙන්ද ජල භීතිකා එන්නත් තොගයක් ලැබුන බව මාධ්‍ය වාර්තා කළේය. සමස්ත රෝහල් පද්ධතිය අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 150ස් ගණනක හිඟයකට මුහුණ දී සිටින බව කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේදී සහ එයින් පිටත පවසා ඇත. ඉන්දියානු ණය ක්‍රමය, චීන පරිත්‍යාග සහ ඇමෙරිකාව ඇතුළුව නොයෙකුත් ආණ්ඩු සහ රාජ්‍ය නොවන සංවිධාන නොවන්නට සමස්ත රෝහල් පද්ධතියම කඩා වැටීමට තිබිණි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බත්තරමුල්ලේ වෝටර්ස් එජ් තරු පහේ හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්ත දිනයේදී නිර්මලා සීතාරාමන් අමාත්‍යවරිය ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමට දායක වූ කාන්තාවන් තිදෙනාගෙන් එක් අයකු බව අවධාරණය කළේය. සීතාරාමන් අමාත්‍යවරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් මණ්ඩලයට කළ මැදිහත් වීම නොවන්නට ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් නරක වනු ඇති බව එජාප නායකයා පැවසීය. ඉන්දියානු අමත්‍යවරියට අමතරව ඇමෙරිකානු මුදල් ලේකම් ජැනට් යෙලන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා ශ්‍රී ලංකාව ගලවා ගැනීමට දායකවූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. නමුත් එම කාන්තාවන් තිදෙනාම ක්‍රියාත්මක කළේ පිළිවෙළින් ඉන්දියානු, ඇමෙරිකානු සහ බටහිර උපාය මාර්ගයේ අවියක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය බව අමුතුවෙන් කිව යුතු නැත. ජාත්‍යන්තර කාන්ත දිනය සමරන උත්සවයකට සහභාගි වූ ජනාධිපතිවරයා එලෙස කීම පිළිබඳව පුදුම විය යුතු නැත.

තත්ත්වය ඉතාමත් භයානකය. ශ්‍රී ලංකාව හිරවී ඇති ණය උගුලෙන් ගැළවීමට අද වනතුරු නිසියාකාර ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. ඊට අවශ්‍ය දේශපාලන වාතාවරණය නැත. වික්‍රමසිංහ – රාජපක්ෂ රජයේ ප්‍රධාන අවශ්‍යතාවය කෙසේ හෝ ඉදිරි ජනාධිපතිවරණය වනතුරු බලයේ සිටීමයි. ඊට ඇති ප්‍රධානතම බාධාව ලෙස පළාත් පාලන මැතිවරණය ලෙස දකින බලයේ සිටින කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ණය තම දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් කර ගෙන ඇත. පළාත් පාලන ඡන්දය වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔහුගේ දේශපාලන ශක්තිය වන පොහොට්ටු පක්ෂය පලවා හැරීමට අවශ්‍ය අඩිතාලම දමනු ඇතැයි විපක්ෂය බලාපොරොත්තු වෙයි. දෙපාර්ශ්වයටම (ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන මාලිමාවට මෙම චෝදනාව අදාළ නොවේ) තමන් ආණ්ඩු කළ කාලයේදී ගත් වැරදි මූල්‍ය ප්‍රතිපත්ති, දූෂණය, වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රට බංකොළොත් වූ බව අමතක වී ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව එළිපිටම කරගෙන යන බදු වංචා සමස්ත ආර්ථිකයට කරන බරපතළ හානිය වැළැක්වීමට / අවම කිරීමට ගත යුතු අවම ක්‍රියාමාර්ග ගැනීමට පවා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර එකඟතාවයක් නැත.

සෑම ක්ෂේත්‍රයක්ම අර්බුදයට ලක්වී ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රය එයින් ප්‍රධානය. වේගයෙන් වර්ධනය වෙමින් පවතින අර්බුදය තුළ ශ්‍රී ලංකාව තවදුරටත් විදේශ බලපෑමට ලක්වීම වැළැක්වීමට හැකියාවක් නැත. තේ වවන ප්‍රදේශවල නිවාස 10,000 ඉදිකිරීමට ඉන්දියාව සූදානම්ය. මෝඩි අග්‍රාමාත්‍යවරයා දුන් පොරොන්දුවක් අනුව නිවාස 10,000 ඉදිකිරීම ද ඉන්දියාව ශ්‍රී ලංකාවේ කරන ප්‍රබල ආයෝජනයකි. මෙය සුළුපටු ව්‍යාපෘතියක් නොවේ. මීට වසර කීපයකට පෙර ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ දැනටමත් නිවාස 46,000 දිස්ත්‍රික්ක කීපයක ජනතාවට ලබා දී ඇත. ඒ ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ පළමුවන සහ දෙවන අදියර යටතේය. දැනට ක්‍රියාත්මක තුන්වන අදියර යටතේ නිවාස 4,000 ඉදිකරන අතර, නිවාස 10,000 ගොඩනැඟීම ඊළඟ පියවරයි. මධ්‍යම, ඌව සහ දකුණු පළාතේ (දිස්ත්‍රික්ක හතක) ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය අනිවාර්යෙන්ම නැවත හැරවිය නොහැකි තත්ත්වයක් ඇති කරනු ඇත.

ජනතා මුදලින් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමේ අවශ්‍යතාවය හෑල්ලුවට ලක්වීම වැළක්විය නොහැක. විධායක බලතල පාර්ලිමේන්තුවේ නියෝජනය කරන අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කීමට ඇත්තේද එයමය. විධායකයට ද මෙය අදාළය.

නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉන්දියානු මහා කොමසාරිස් බැග්ලේ සහ අදාළ අමාත්‍ය ජීවන් තොන්ඩමන් රාජ්‍ය තාන්ත්‍රක ලිපි හුවමාරු කරගත් බව ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත. නිවාසයක් නැති පවුලක අවශ්‍යතාවය සපුරාලීම ඇත්ත වශයෙන්ම මහත් පිනකි. සමස්ත ක්‍රියාදාමය මීට වසර 200 කට පෙර ශ්‍රී ලංකාවේ වතුවල වැඩට ඉන්දියාවෙන් වසර 200කට පෙර පැමිණි ජනතාවගේ අවශ්‍යතාවය සපුරාලීමට ක්‍රියාත්මක කර ඇත. එම ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ප්‍රවාහයේ අවශ්‍යතාවයද ඉටුවේ.

විදේශීය මැදිහත් වීම්, බලපෑම්, බලහත්කාරයෙන් කරන අතපෙවීම් සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ පාර්ලිමේන්තුවේ අසමත්භාවය අවධානය යොමු කරමිනි. පාර්ලිමේන්තුවේ මූලික වගකීම් වන්නේ නීති සම්පාදනය සහ මූල්‍ය පාලනයයි. එම අවශ්‍යතා දෙකම ඉටු කිරීමට පාර්ලිමේන්තුව අසමත් වී ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රටේ ඉහළම ආයතනයේ අසමත්භාවය සම්බන්ධයෙන් දිගින් දිගටම එකිනෙකාට චෝදනා කරයි. දාහත් වැනි වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ වැඳ වැටී ඇති
ශ්‍රී ලංකාව විදේශීය බලපෑම්වලට තෝතැන්නකි. මීට පෙර ණය ගැනීමේදී මෙවැනි මාධ්‍ය සංදර්ශන පවත්වා නැත. එසේ කිරීමට අවශ්‍යතාවයක් තිබීද නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment