පිරිපහදුව යළි වැසෙයි

74

ඉන්ධන තොග තියෙනවා බය වෙන්න එපා – ඇමැති කංචන මැතිසබයේදී කියයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වතාවක් ඊයේ සිට වසා දැමීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) පැවසීය.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

අද දවසේ අපට තීන්දුවක් ගන්න වෙනවා, සපුගස්කන්ද පිරිපහදුව නැවත වතාවක් අද සිට වසා දමන්න. බොරතෙල් නෞකා දෙකක්ම භාවිතා කරලා සපුගස්කන්ද පිරිපහදුව පසුගිය මාස දෙක තුළ ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ වගේම තුන්වෙනි නෞකාව පසුගිය දින දහයේ අපේ මුහුදු සීමාවට පැමිණ තිබෙනවා ‘එස්.ටූ’ කියන බොරතෙල් විශේෂය රැගෙන. නමුත් අපි භාවිතා කරපු බොරතෙල් විශේෂ දෙකට අවශ්‍ය විදේශ විනිමය නොමැතිකම නිසා මේ තුන්වෙනි නෞකාව ගොඩබෑමේ කටයුත්ත කරගන්න බැරි වෙලා තිබෙනවා.

ඒ නිසා අපි ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා පිරිපහදුව වහන්න. ඉදිරියේදී අපට විදේශ විනිමය ලැබුණු පසුව ඒ බොරතෙල් නෞකාව අරගෙන අපි ඒ කටයුතු කරනවා. පිරිපහදුව වහලා තිබුණත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා. ඒ වගේම මහ බැංකුව විසින් අපට ලබා දුන් විගසම මුදල් ලබා දීම මේ කාලය තුළදීත් සිදු වෙනවා. අපට ඉන්ධන නිකුත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අනිසි බියක් ඇති කර ගන්න එපා ඉන්ධන හිඟයක් ඇතිවෙයි කියලා. අපි අවශ්‍ය අනෙකුත් සියල්ල ආනයනය කරන්න පියවර අරගෙන තිබෙනවා. තොග අප සතුව තිබෙනවා. නමුත් පිරිපහදුව වසන්න වෙනවා කියා මතක් කරන්න ඕනෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment