ප්‍රජාතන්ත්‍රවාදය තුවාල කිරීම!

37

පසුගිය තුන්වැනිදා ලෝක මාධ්‍ය නිදහස් දිනය නිදහස් දිනය සැමරුවා. ඒ වෙනකොටත් අපේ රටේ යෝජිත ත්‍රස්ත විරෝධී පනත සහ විකාශන අධිකාරි පනත පිළිබඳව සමාජය තුළ තුළ කතිකාවක් ඇති වෙමින් තිබුණා. දේශ සීමා නොමැති වාර්තාකරුවෝ විසින් කරන ලද නිරීක්ෂණයකට අනුව 2023 වසරේ අපේ රට මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලෝකයේ රටවල් 180 කින් 135 වෙනි තැනට පත්වෙලා.

ලෝක මාධ්‍ය නිදහස සම්බන්ධව සලකා බැලූ විට රටවල්වලින් 70% ක ම මාධ්‍ය නිදහස අතිශය බරපතල තත්ත්වයකට පත්වෙලා.

ලංකාවත් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දුෂ්කර තත්ත්වයක තිබෙන බව තමයි සමීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ. අනෙක් අතට මාධ්‍ය විශාල අර්බුද රැසක පැටලී සිටින බව වාර්තා වෙනවා. තර්ජනයන් මර්දනයන් මෙන්ම කෘතිම බුද්ධියෙ නැගීමත් ඊට හේතු වෙලා තියෙනවා.

ලංකාවේ මාධ්‍ය මුහුණදෙන විශේෂ අර්බුදකාරී තත්ත්වය වන්නේ නිදහස සීමා කිරීමයි.

විශේෂයෙන්ම යෝජිත ත්‍රස්ත විරෝධී පනතෙන් නීතිපතිවරයාට විශේෂිත බලයක් ආරෝපණය වනවා. ඒ වගේම මේ යෝජිත පනත මගින් ජනාධිපතිවරයාට කිසිදු බලපෑමකින් තොරව යම් සංවිධානයක් තහනම් කිරීමට හෝ සීමා කිරීමට බලය ලැබෙනවා. මෙම පනත සම්මත වුණොත් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා ස්වාධීන කොමිෂන් නොවන තත්ත්වයක් ඇතිවෙනවා.

මෙම පනත් කෙටුම්පතේ වඩාත් අවධානයට සහ විවේචනයට ලක්ව ඇති ප්‍රතිපාදනයක් වන්නේ 10 වැනි වගන්තිය. එහි දැක්වෙන්නේ ත්‍රස්තවාදය දිරිගැන්වීම සඳහා; 01. මුද්‍රිත මාධ්‍ය 02. අන්තර්ජාලය 03. ඉලෙක්ට්‍රොනික මාධ්‍ය 04. වෙනත් ආකාරයක ප්‍රසිද්ධ දැන්වීමක් යන මාධ්‍ය භාවිත කරමින් “ජනතාවගෙන් ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් ත්‍රස්තවාදය පිළිබඳ වරද සිදු කිරීමට, ඒ සඳහා සූදානම් වීමට හෝ පෙළඹවීමට ඔවුන් සෘජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඹවන්නක් ලෙස තේරුම්

ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නා වූ හෝ පළ කිරීමට කටයුතු සලස්වන්නා වූ හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වූ හෝ සංඥා හෝ දෘශ්‍ය නිරූපණය සිදු කරන්නා වූ” තැනැත්තකු ත්‍රස්තවාදී වරදක් සිදුකරන්නකු බව.

බරපතළම තත්ත්වය කුමක්ද?.

මෙම වගන්තිය ඔස්සේ ඕනෑම ප්‍රසිද්ධ ජනමාධ්‍යයකින්, දැන්වීමකින් හෝ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වේදිකාවකින් යමෙකු ප්‍රකාශ කරන කාරණයක් ‘ත්‍රස්තවාදය දිරිගැන්වීමක්’ ලෙස සලකා දඬුවමට යටත් කළ හැකියි.

මෙවන් බරපතළ පනතක් සම්බන්ධයෙන් “හිරිවැටුණු ස්වභාවයකින්” කටයුතු කරන්නේ නම් එය සමාජ ඛේදවාචකයක්. එබැවින් එම බරපතළ තත්ත්වයට එරෙහිව සක්‍රීයව මැදිහත් වීම අවශ්‍යයෙන්ම කළ යුත්තක්. විශේෂයෙන්ම විවිධ දේශපාලන පක්ෂවලට ඒ ඒ පක්ෂවලට අන්‍යොන්‍ය සහ අනන්‍ය වූ චින්තන තිබෙනවා. න්‍යාය තිබෙනවා. නමුත් ජාතික වශයෙන් වැදගත් වන කටයුතුවලදී එකට එක්වීම එක්වීම අතිශයින් වැදගත්.

1989 චෙකොස්ලෝවැකියාව මර්දනකාරී රාජ තන්ත්‍රයක් තුළ සිරවී සිටියා. එහි ජනතාව බලවත් පීඩනයන්ට හසු වී සිටියා විතරක් නෙවෙයි, බරපතළ ලෙස මාධ්‍ය මර්දනයත් සිදු වෙමින් තිබුණා.

“අපිට මේ පීඩනයෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ” චෙකොස්ලෝවැකියාවේ බහුතරයක් මිනිස්සු හිතුවේ එහෙම. හැබැයි එහෙම හිතලා වැඩි දවසක් ගියේ නෑ. පීඩනය පුපුරා ගියා. මුළු චෙකොස්ලොවැකියාව ම එකතුවෙලා මර්දනකාරී ආණ්ඩුව පෙරළා දැම්මා. නැගෙනහිර යුරෝපයේ සර්බියාවේ 2000ට පෙර සිටි පාලකයා ඒ රටට මර්දනය කැන්දාගෙන ආවා. බරපතළ විදිහට මාධ්‍යවේදීන් මරා දැම්මා. අපිට මේ ආණ්ඩුව පෙරළන්න බැරි වෙයි” කියලා සමහරු එහෙම හිතුවා. හැබැයි 2000 මැතිවරණයේදී, ඒ රටේ මිනිස්සු එකතුවෙලා ආණ්ඩුව පෙරළා දැම්මා. අපි ලෝකයේ උදාහරණ සොයා ලුහු බැඳිය යුතු නැහැ. ආසන්නම උදාහරණය අපේ රටම සපයනවා. හැට නව ලක්ෂයක ජනවරම අවභාවිතා කරමින් සිටින බව තේරුම් ගත්ත මේ රටේ ජනතාව අතිශය සාමකාමී අරගලයකට පාර හදාගත්තා. අවසානයේදී තුනෙන් දෙකේ බලයක් තිබුණු ආණ්ඩුවක් අවුරුදු දෙකහමාරකින් ආපසු හරවන්න රටේ ජනතාවට පුළුවන්කම ලැබුණා.

ඕනෑම පාලකයකු අවබෝධ කරගත යුතු විශේෂ කරුණක් තිබෙනවා. ඒ තමයි, මොන තරම් බලසම්පන්න වුණත් ජනතා බලය සහ පරමාධිපත්‍යය ඉදිරියේ සියල්ල වෙනස් වන බව. සියල්ල යටපත් වන බව.

ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව තර්ජනය සහ මර්දනය ඉස්මතු වන ඕනෑම මොහොතක කොන්දේසි විරහිතව ඊට අපි එරෙහි විය යුතුයි.

ඉමිතියාස් බාකීර් මාකර්

advertistmentadvertistment
advertistmentadvertistment