සීතාවක රාජධානියේ පුරාවිද්‍යාත්මක සාධක

473

දැනට ඓතිහාසික වශයෙන් සීතාවක රාජධානියේ ඉතිරිව ඇත්තේ නටබුන් වශයෙන් දැකිය හැකි සාධක කිහිපයක් පමණි. බොහෝ සාධක කාලයත් සමග මැකී ගොස් ඇත. පුරාවිද්‍යාත්මක වශයෙන් බොහෝ තොරතුරු යටපත් වී ඇති නිසා ස්ථාන සොයාගැනීමේ ගැටලුවක් මතුවී තිබේ. කෙසේ වෙතත් දැනට ඇති සාධකවලදී සොයාගත් දෑ පෞරාණික වශයෙන් ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

තුන් වැනි යුගය වශයෙන් සැලකිය හැකි සීතාවක රාජධානිය ක්‍රි.ව. 1521දී කෝට්ටේ රාජධානිය බෙදීයෑමත් සමග බිහිවිය. කෝට්ටේ රාජධානිය බෙදීයෑමට පෙර කෝට්ටේ රාජධානිය පාලනය කළේ බුවනෙකබාහු රජතුමායි. රයිගම බණ්ඩාර යටතේ රයිගම් රාජධානියත්, මායාදුන්න යටතේ සීතාවක රාජධානියත් පැවතිණි. මායාදුන්න රජුගේ පුතකු වූ ටිකිරි කුමාරයා පසුව පිය රජු මරා පෘතුගීසීන් සමග සටන් කිරීමෙන් පසුව පෘතුගීසීන් පලවා හැරීමත් සමග ඔහු සීතාවක රාජසිංහ නමින් ප්‍රචලිත විය. ඒ පියා මැරු පාපයෙන් මිදෙන්න මහා සංඝරත්නයේ උපදෙස් පැතුව ද ඊට සහනයක් නොලැබුණු නිසා ඔහු සිටියේ මහා සංඝරත්නය සමග දැඩි කෝපයෙනි. ඒ නිසා සීතාවක රජු ප්‍රදේශයේ මහා සංඝයන් වහන්සේලා දෙදෙනා එකට ගැටගසා 120 නමක් සීතාවක ගඟේ ගිල්ලවා මරා දැමිණි. ඒ ස්ථානය අදටත් දැකිය හැකිය. අවිස්සාවේල්ල – පනාවල මාර්ගයේ සීතාවක රාජසිංහ මාලිගාව අසලින් ගමන් කළ විට උන්වහන්සේලා ගිල්ලවා මරා දැමූ තැන හමුවෙයි. එම ස්ථානය අද හඳුන්වන්නේ ‘කනාමැදිරිවල’ ලෙසිනි. අඩි 30ක් පමණ ගැඹුරු ස්ථානය අසල නාන තොටුපළක් වුවත් එම ස්ථානයට අදටත් කිසිවෙක් දිය නෑමට හෝ ඒ අසලටවත් යෑමට බියක් දක්වති. පසුව සිය පියා මැරූ පාපයෙන් මිදීමට ඔහු ඉන්දියාවේ සාමිවරයකුගේ සහාය පැතීය. ඒ අනුව එම සාමිවරයාගේ උපදෙස් අනුව ඉදිකළ කෝවිල බැරැන්ඩි කෝවිල ලෙස හැඳින්වේ. එහි නටබුන් අදටත් දැකිය හැක.

ආර්ථික හා සමාජීය අතින් වැදගත් ප්‍රදේශයක් ලෙස සැලකූ සීතාවක ගඟ, කැලණි ගඟ හා ගැටගැති ඔයෙන් ආරක්ෂිත වූ ප්‍රදේශයක් නිසා මායාදුන්නේ හා සීතාවක රාජසිංහ යන පිය – පුතු දෙදෙනා සීතාවක කේන්ද්‍ර කරගනිමින් පාලනය කර තිබේ. මෙහිදී එම දෙපළට පරංගින්ගෙන් දැඩි සතුරු ප්‍රහාරවලට ලක්වීමට සිදුවිය. මායාදුන්න රජුගේ මාලිගාව එකල ඉදිකර ඇත්තේ ගැටහැති ඔය, සීතාවක ගඟ, රිටිගහ ඔය හා බැලුම්ගල කඳු වැටියෙන් ස්වාභාවිකව ආරක්ෂාවක් ඇති ස්ථානයකයි. අවිස්සාවේල්ලට නුදුරුව රුවන්වැල්ල නගරයේ ‘පෙතන්ගොඩ උයන’ නමින් හැඳින්වෙන රජමඟුල් උයනේ නටබුන් දක්නට ඇත.

මේ වනවිට එහි ඉතිරිව ඇත්තේ උණ පඳුර පමණි. රාජසිංහ රජුට මරු කැඳවූ උණ කටුව පතුලේ ඇනී ඇත්තේ මේ පෙතන්ගොඩ උයනේදී බව ඉතිහාසයේ සඳහන් වෙයි. රජතුමාගේ මරණය පිළිබඳව කියැවෙන ජන කවියක් ඇත. එය අදටත් ජනතාව අතර ප්‍රචලිතයි.

රුසිරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණ කටුව පතුලේ ඇනුණාය
එක්ව සිටි සැවොම වට කොට මතුලාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුණාය

මෙම උණ පඳුරු විශේෂය වෙනත් කිසිදු ස්ථානයක දැකිය නොහැකිය. මෙය ඉන්දියාවේ සිට පැමිණි අරිට්ඨ කී වෙණ්ඩු විසින් ගෙනැවිත් බෝ කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. පෙතන්ගොඩ උයනේදී උණ කටුව ඇනී මියගිය රාජසිංහ රජුගේ දේහය තැන්පත් කළ ස්ථානය පිළිබඳ විවිධ මත පළ කෙරේ. එක් මතයක් වී ඇත්තේ රජතුමා ගමන් කළ අඟුල, කැලණි ගඟෙන් සීතාවක ඔයට හරවා උඩුගම් බලා එන අතර කිකිළි බිත්තරවැල්ල නම් ස්ථානයේ රජු මියගිය බවයි. තවත් මතයක් වී ඇත්තේ රජුගේ දේහයේ අවසන් කටයුතු සීතාවකදී සිදුකළ බවයි. එහෙත් මේ පිළිබඳව නිශ්චිත වශයෙන් සනාථ කළ හැකි පුරාවිද්‍යාත්මක සාධක නොමැත. මේ ස්ථානයේ අදට දැකිය හැක්කේ වඩා උස් නොවූ අවිධිමත් ලෙස පිහිටුවා ඇති ගල් පතුරු කිහිපයක් පමණි.

සීතාවක රාජධානියේ පුරාවිද්‍යාත්මක සාධක

රාජසිංහ රජුට පෙතන්ගොඩ උයනේදී ප්‍රතිකාර කර අඟුලේ දමා පහළට පැමිණි අතර රජු කටින් පෙණ දමා මියගිය බව තවත් මතයකි. රාජ දේහයට කළ යුතු බුහුමන් නොදන්නා සිටි රාජ සේවක පිරිස දිය ඇළ දිගේ අඟුල ගෙනැවිත් දෝනාවක් වැනි තැනක තබා වැසූ බව තවත් මතයකි. වැලිපිටිය නමින් ඒ ප්‍රදේශය හඳුන්වන අතර වැලිපිටියේ සොහොන අසලට එන්න ඇති දෝනාව වගේම කැලණි ගඟේද ඇළක් ඇත.

සත්කෝරළයේදී කන්ද උඩරට සීතාවක රාජ්‍යයේ ගමන්මඟ හඳුන්වා දී ඇත්තේ ‘රට මැද පාර’ හා ‘සිංහල පාර’ වශයෙනි. සීතාවක මායාදුන්න රජතුමාගේ නියෝගය මත ‘ආර්ය’ නම් ඇමැති රජ මාලිගාව, රාජ සභාව, පරිවාර මාලිගාවන්, මං මාවත්, මල් උයන් ආදියෙන් සුන්දර නගරයක් ලෙස සීතාවක නුවර පත්කළේය. මායාදුන්නේ හා ඔහුගේ පුත් සීතාවක රාජසිංහ රජවරුන් විනාශ කිරීමට පැමිණි පෘතුගීසීන් හා ඔවුනට පක්ෂපාතීන් පලවා හැරීම සඳහා 1592දී කොළඹ කොටුව හා යාපනයේ සුළු ප්‍රමාණයක් හැර සෙසු පළාත් සීතාවක රාජධානියට අයත් කර ගත්තේය.

සීතාවක රාජ මාලිගය තිබූ ස්ථානය අසල බිසෝවරුන්ගේ මාලිගාව හෙවත් පල්ලේ වාහල යන ස්ථානය ඇත. එහි සාධක වශයෙන් ඔප දැමූ ගල් පුවරු කිහිපයක් පමණක් තිබී ඇති අතර එහෙත් ඒවා මේ වනවිට විනාශ වී ගොස් තිබේ. මාලිගයේ බිසෝවරුන්ට මෙන්ම රාජ කුමාරියන්ට ආභරණ තැනූ රාජකීය පට්ටලය තිබූ ස්ථානය ‘පට්ටල්වත්ත’ ලෙස ව්‍යවහාරයේ පවතී. මාලිගය පිටුපස කඳු මුඳුනේ කුඩා බලකොටුවක් පෘතුගීසීන් විසින් පසු කාලයේ ඉදිකර තිබේ. මායාදුන්නේ රජ දවස පණිවිඩ යැවීමට ඊතල විදින ස්ථානයක් ලෙස ද ආරක්ෂිත මුර පොළක් ද ඉදිකර තිබේ.

මහනුවර විෂ්ණු දේවාලයට තල් දුන් නිසා ‘තෙල් දූව’ අද ‘තල්දූව’ වශයෙන් හඳුන්වයි. අවිස්සාවේල්ල පසුකර කැලණි මිටියාවත ඔස්සේ ඉහළට එන විට තල්දූව තුරඟ තරග පිටිය හමුවෙයි. මෙය ස්වාභාවික පිටියකි. විශාල පිටියක් වූ මෙය සීතාවක රාජ සමයේ අංගම්පොර සහ සටන් පුහුණු පිටියක් ලෙස භාවිත කර ඇත.

ඒ. තරුෂි ඉෂාරා
ජන සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යයන පීඨය
ත්‍රිකුණාමල මණ්ඩපය
නැඟෙනහිර විශ්වවිද්‍යාලය


advertistmentadvertistment