කෝටි 600 ක් වටිනා වේරහැර වැඩපොළ කෝටි 3 කට විකුණයි
ඩිපෝවල වැඩ කෙරෙන්න අනිල් මුණසිංහගේ නවත්තපු කාර් එකත් ඇති
පවුම් 50,000 කට යටවුණු චන්ද්‍රිකා ආණ්ඩුවේ ලංගම පොරොන්දුව
හොර රහසේම ලංකාවට ආ එංගලන්තයේ ඉහළම බලවතා
ශ්‍රී ලාංකික දේශපාලන ධාරවේ හොඳම රත්තෙකු වූ අනිල් මුණසිංහ ප්‍රවාහන ඇමැති ධුරය දරන සමයේ ලංගමය සඳහා ෆියට් වර්ගයේ බස් රථ 500 ක් ඉතාලියෙන් ආනයනය කෙරිණි. මෙම බස් ගනුදෙනුව කළ ඉතාලි සමාගම විසින් ඒ වෙනුවෙන් මුණසිංහ මහතාට විශාල කොමිස් මුදලක් ද පිරිනමනු ලැබීය. කමිසයේ පාටින් නොව, සර්වාංගයෙන්ම රත්තෙකු වූ මුණසිංහ මහතා ඉතා කාරුණිකව මෙම මුදල ප්‍රතික්ෂේප කරනු ලැබුවද සමාගම පෙන්වා දුන්නේ මෙය එම ගනුදෙනුවේම කොටසක් නිසා එය ලබා ගැනීමේ කිසිම ගැටලුවක් නොමැති බවය. එසේ නම් එම මුදලට සරිලන ලෙස කුඩා ෆියට් මෝටර් රථ ලබා දෙන්නැයි මුණසිංහ මහතා ඉල්ලා සිටියේ ය. හැටේ හැත්තෑවේ දශකයේ ලංගම ටිකට් පරීක්ෂකවරුන්ගේ රාජකාරි සඳහා යොදවනු ලැබුවේ මෙම ෆියට් කාර් රථය.
මේ ඔබ කියවනු ලැබුවේ ලංගම හොඳට තිබුණ කාලයේ සිදුවුණු ඔබ අප වැඩිදෙනකු දන්නා කතා පුවතකි.
වැඩිදෙනකු නොදන්නා මේ දෙවැනි කතාව අප සමග පැවසුවේ මේතාක් ඇන්.එම්. ලාගේ පරපුරෙහි රත්තෙකු ලෙස දිවි ගෙවන හෝමාගම උඩුවන ඩබ්.ඒ. සුමතිපාල මහතාය. කාලයක් ලංගම බස් කොන්දොස්තරවරයකු ලෙස කටයුතු කර ඇති ඔහුට ලංගමය ගැන වැඩි අත්දැකීම් ප්‍රමාණයක් හිමිව ඇත්තේ ජ්‍යෙෂ්ඨ ඩිපෝ පරීක්ෂකවරයකු ලෙස සේවය කළ ඔහුගේ පියාගෙනි.
ඒ කතාවට අනුව අනිල් මුණසිංහ මහතාට ලැබුණු ෆියට් කාර් 32 න් දෙකක් ඔහු විසින් ළඟ තබාගෙන ඇත. එම මෝටර් රථ දෙක ළඟ තබාගෙන ඇත්තේ ද ස්වකීය රාජකාරි කටයුතු සඳහා විනා පෞද්ගලික පරිහරණය සඳහා නොවේ. තමාගේ රියදුරාත් සමගින් ලංකාව හතර දිග් භාගයේ වූ සියලුම ඩිපෝවලට ඔහු කඩා වැදුණේ මාරුවෙන් මාරුවට මෙම රථ දෙක භාවිතා කරමිනි. ඒ නිසා සෑම ලංගම ඩිපෝවකම පාහේ සේවය කළ ලොකු කුඩා තනතුරුවල සියලු සේවකයෝ ලොක්කාගේ මෙම රථ දෙක හඳුනාගෙන සිටියහ.
එයින් ප්‍රයෝජන ගත් අනිල් මුණසිංහ මහතා මෙම එක් රථයක් රැගෙන ගොස් ඩිපෝවක් අසල නවතා ගන්නා ලෙස රියදුරුට දන්වයි. මුණසිංහ මහතාගේ උපදෙස් පරිදි රියදුරුට තිබුණේ අසල කඩයකින් තේ එකක්, සිගරට්ටුවක් බී රථයට වී හිඳගෙන සිටීමය. මේ ආකාරයට පැයක් ගත වෙන්ටත් පෙර අසල ඩිපෝවේ වූ සේවකයෝ එකා දෙන්නා මෝටර් රථය අසල කැරකෙන්නට පටන් ගනිති. රියදුරු වෙතට ළං වන එකකු දෙන්නකු හිමින් සීරුවේ ඔහු හා කතාවට වැටෙයි. රියදුරු ඔවුන්ට පවසන්නේ තමා ලොකු මහත්තයා කැටුව පැමිණි බවත්, තමාට මෙතැන රැඳී සිටින්නැයි පවසා අසල වූ තවත් කාර්යාලයට ගිය බවත් ය.
මේ සමගම ලොකු මහත්තයා පැමිණ ඇතැයි යන ආරංචිය ඩිපෝව පුරා ලැව් ගින්නක් සේ පැතිර යන අතර, සියලු වැඩ කටයුතු සියයට සියයක්ම කාර්යක්ෂම වන්නට පටන් ගනී. බස් රථ නියමිත විනාඩියට ධාවනය වන්නට පටන් ගැනෙන අතර, සියලු ලිය කියවිලි, ගෙවීම් නිසි පරිදි සිදුවී පරිශ්‍රය ද සැණෙකින් පිරිසිදු වෙයි. මේ අතර තව වතාවක් දෙකක් ප්ලෙන්ටියක් බී පත්තරය බැලීමේ නිරත වන රියදුරු වටපිට බලා හිමින් සීරුවේ රථය ආපසු හරවා ගෙන මුණසිංහ මහතා හමුවීමට යයි. අනිල් මුණසිංහ මහතා පැමිණෙන බව අසන්නට ලැබීම තුළම එවන් විනයතරුක හැසිරීමක් ඩිපෝ පරිශ්‍රය තුළ ඇති කරවන්නට සමත් වූයේ ඒ මහතා එතරම්ම කාර්යක්ෂම පාලකයකු ලෙස ඇති කරගෙන තිබූ කීර්ති නාමය හේතුවෙනි.
මේ හේතුකොට ගෙන පෙනී යන්නේ ආරම්භයේ සිටම එක දිගට මෙවැනි කාර්යක්ෂම පාලකයන් විසින් ලංගමයේ පරිපාලනය සිදුවූවා නම්, ලංගම කිසිසේත් ම මේ තත්ත්වයට පත් නොවන බවය. එකල ලංගමයේ සමසමාජ වෘත්තිය සමිති ක්‍රියාධරයෙකු වූ සුමතිපාල මහතා පවසන පරිදි ලංගමයේ පිරිහීමට බලපෑ මුල්ම හේතුව වූයේ බලයට පත්වන ඇමරතිවරයා විසින් තමාගේ පාක්ෂිකයින්ගේ රැකියා පුරප්පාඩු පිරවීමට තිබූ හොඳම ස්ථානය වශයෙන්ද මෙය තෝරාගෙන තිබීමය. ඩබ්. ඒ. සුමතිපාල මහතාගේ අදහස වන්නේ වර්තමාන ආණ්ඩුවේ යටතේ ඇමැතිගේ මිනිහා අත නොදාන තත්ත්වයක් යටතේ ලංගමය දියුණු කිරීම සඳහා හොඳම අවස්ථාවක් දැන් උදාවී ඇති බවය.
අප විසින් පෙර සඳහන් කළ අනිල් මුණසිංහ මහතාගේ පාලනය යටතේ ලංගමය පැවැති සමයේ දී ලංගමයේ වැඩ සිදු වූ ආකාරය ගැන කිවයුතු කතාන්තර රැසක් ඇති අතර, ඒ පිළිබඳව කෙටියෙන් සඳහන් කළ හැක්කේ ලංගමය යයි කී විට අනිල් මුණසිංහන් සිහිපත් වන තරමට ඔහු ඒ සඳහා ඇප කැප වී කටයුතු කළ බවය.
පරිපාලනය පැත්තෙන් ලංගමය පිළිබඳව කරුණු කාරණා එසේ වූ අතර, ලංගමය බිහිවීමත් සමග, එනම් බස් ජනසතුවෙන් අනතුරුව මෙරට පොදු ජනතාව ඒ පිළිබඳව බලවත් අමන්දානන්දයට පත් වූ බවද සඳහන් කළ යුතුය. හෝමාගම මගී අයිතිවාසිකම් පිළිබඳ සංසදයේ ලේකම්වරයා වන අතුල ගන්කන්ද මහතා සඳහන් කළේ තමන්ගේ ගම හරහා පළමු ලංගම බස් රථය ධාවනය වූ දිනයේ මග දෙපස වැසියන් කිරිබත් සාදා බස් රථයේ ගමන් කළ මගීන්ට පිරිනැමූ බවය. සමසමාජ පක්ෂයට අයත් ආසනයක් වූ අවිස්සාවේල්ලේ හෝමාගම උඩුවන ප්‍රදේශයේ ඡන්ද දායකයන් තුළ ඒ පිළිබඳව විශේෂ සතුටක් ඇති වන්නට ද ඇති බව ඔහුගේ අදහසයි.
අපේ පාරේ ප්‍රයිවෙට් බස් තුනකුයි, ලංගම බස් රථ දෙකකුයි දුවනවා. හෝමාගම ටවුමෙදී ලංගම බස් එක නැත්නම් විතරක් ප්‍රයිවෙට් බස් එකේ මිනිසුන් එන්නේ. එහෙම අය අපේ ගමේ තවමත් ඉන්නවා යයි අතුල ගන්කන්ද මහතා පවසයි. ඔහුගේ අදහස වන්නේ මගී ජනතාවට තම ආත්ම ගෞරවය රැකගෙන ගමන් කළ හැකි ප්‍රවාහන මාධ්‍යයක් ලෙස තවමත් ලංගම කෙරෙහි විශ්වාසයක් ඇති බවයි.
ප්‍රකට ලේඛකයෙක් ද වන සුනිල් කුසුම්සිරි ඇසෝසියේටඩ්හි අධිපති බලය ලත් මිනින්දෝරු සුනිල් කුසුම්සිරි මහතා ද තමාගේ ගැටවර වියේදී ගම් පාරට වැටුණු ලංගම බස් රථය ගැන අමන්දානන්දයට පත් වූ අයෙකි. ගාල්ලේ තම ගම්මානය හරහා පළමු වරට ධාවනය වූ බස් රථයට නැගගත් ඔහු වරින්වර ප්‍රවේශපත් මිලදී ගනිමින් දවස තිස්සේම බස් රථයේ ගමන් කළා විනා බත් කන්නටවත් ගෙදර ගියේ නැති බව කීවේය. ආසනවල කොතරම් ඉඩකඩ තිබුණත් මු`එ දවසේම ඔහු වාඩි වී ගියේ රියදුරාට සමාන්තරව වම් පැත්තේ වූ බැටරි පෙට්ටිය මතය.
අප මීට පෙර සඳහන් කළ පරිදි දේශපාලනඥයින්ගේ හිතවතුන් උදෙසා රැකියා දීමේ තෝතැන්නක් බවට පත් කිරීමෙන් ලංගමයට උසුලා ගත නොහැකි බරක් පැටවුණ නමුදු එය අද තිබෙන විනාශ දායක තත්ත්වය කරා යොමු කරනු ලැබුවේ, ඉන් අනතුරුව මෑත භාගයේ බලයට පත් වූ දේශපාලනඥයින්ගේ මූලිකත්වයෙනි.
ඉතාමත් පැහැදිලිව සුදු කරපටිකරුවන්ගේ කුමන්ත්‍රණයක් යයි පෙන්වාදිය හැකිය. ව්‍යාපෘතියක් මගින් රටේ සමස්ත ජනතාවටම බලපාන්නා වූ ලංගමය බිමට සමතලා කිරීමේ කතාව හොලිවුඩ් සිනමාව උදෙසා චිත්‍රපට කතාවකට සුදුසු පුවතක් තරමට සිදුවීම් ගහණ වූවකි.
සාමානයෙන් මැතිවරණයකින් පසුව සේවකයින් පිරවීමට යොදා ගන්නා ලංගමයට හැත්තෑ හතේදී ජේ. ආර්. ජයර්ධන මහතා විසින් මරු පහරක් එල්ල කරන ලද්දේ පෞද්ගලික අංශයට ද මගී ප්‍රවාහන කටයුතු සඳහා අවස්ථාවක් ලබා දීමෙනි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගවල අලුතෙන්ම ගෙන්වන ලද සීට් කවරවත් නොගැලවූ බස් රථවල යෑමට ජනයාට අවස්ථාව උදා වූ අතර. බැරි මරගාතේ ගමන් කරමින් තිබූ ලංගම බස් රථ සමච්චලයට හඳුන්වන ලද්දේ සිලෝන් ටකරන් බස් වශයෙනි. ඒ සමගම ඩිපෝවල තිබූ අබලන් බස් රථ වෙන්දේසි කිරීමට ද තීරණයක් ගත් බැවින් දේශපාලන හයි හත්තියක් තිබූ ව්‍යාපාරිකයෝ ඉතා හොඳ තත්ත්වයේ බස් රථ පවා විශාල වශයෙන් කුණු කොල්ලයට ලබා ගැනීමට සමත් වූහ. මේ සමහර බස් රථ මහජනතාවට පෙනෙන්නට ඩිපෝවෙන් පිටතට ඇදගෙන විත් එතැන් සිට එන්ජින් පණ ගන්වා ඇදගෙන ගිය අවස්ථා බොහෝය. අප කලින් සඳහන් කළ ආකාරයට ප්‍රධාන මාර්ගවල සුඛෝපභෝගී බස් රථ ධාවනය වුවද, සෑම අතුරු මාර්ගයකම මගී ප්‍රවාහනය උදෙසා විවිධාකාර රථ එකතු වී තිබුණි. මාර්ගයේ දුර ප්‍රමාණය අනුව ලොකු කුඩා වශයෙන් යොදවන මෙවැනි රථ අතරට ආසන 12, 13 සහිත කුඩා වෑන් රථ ද, වෑන් ආකාරයට සකසන ලද කුඩා ලොරි රථ ද විය. මගීන් මේවායේ ගමන් ගත්තේ දෙකට තුනට කොන්ද නවා ගනිමින් ඉමහත් අපහසුවෙනි.
රටේ ප්‍රවාහනය මෙවැනි තත්ත්වයකට පත්වී තිබියදී එංගලන්තයේ දේශපාලන බල අධිකාරියේ ඉහළම පවුලක පුත්‍රයකු ඉතාමත් රහසිගතව ලංකාවට පැමිණියේ ය. සිය පවුලේ දේශපාලන හයි හත්තිය උපයෝගී කර ගනිමින් බොහෝ අයථා ගනුදෙනුවලින් මුදල් ඉපයූ බවට චෝදනා ලැබ සිටි හෙතෙම ලංකාවට පැමිණ එක්තරා පුද්ගලයකු මුණ ගැසිණි. ඔහු ලන්ඩනයේ සිටිය දී ඔහුගේ ගජ මිතුරකු විය. එංගලන්තයේ සිට පැමිණි පුද්ගලයා ඒ වන විට අන්තර්කාලීන ජනාධිපතිවරයා ලෙස පත්ව සිටි ඩී.බී. විජේතුංග මහතාව ද මුණ ගැසෙයි. ඒ මුණ ගැසීමට ශ්‍රී ලංකාවේ පෙර සඳහන් කළ සමාගම්කරුවන් ද පැමිණෙන්නේ තමන්ගේ අන්තර්ජාතික සබඳතා කොතරම් බලවත්දැයි පෙන්වා දෙනු පිණිසය. මේ හමුවීම සඳහා ඒ වනවිට දේශපාලන බල අධිකාරියේ මුල් පුටුවල සිටින තවත් දෙදෙනකු ඉදිරිපත් වූ බවද සඳහන්ය.
ලංකාවේ මිතුරාට ඔවුන්ගේ හමුව බලවත් වාසි ගෙන දෙන්නක් විය. මක් නිසාද යත් ලංකාවේ ඉහළම දේශපාලන භූමිකාවලට එංගලන්ත රජය සමග තමාගේ ඇති ඉහළම පෞද්ගලික සබඳතා කෙසේදැයි පෙන්වා දෙන්නට ඔහුට අවස්ථාවක් ලැබීම නිසාය. එය කොතරම් ඉහළ මට්ටමකින් ඔහුට වාසි දායක වීදැයි යන්නට හොඳම උදාහරණය ලෙස රජයෙන් මේ ලැබුණු වාසිය ගැන පෙන්වාදීම පමණක් වුවද ප්‍රමාණවත්ය.
ඒ වනවිට ලංගමය විසින් දකුණු ආසියාවේ විශාලම බස් වැඩපොළ පිහිටුවා තිබුණේ වේරහැරය. මෙහි වටිනාකම තක්සේරු කර තිබුණේ රුපියල් කෝටි 600ක් වශයෙනි. එදා අසූව දශකයේ මූල්‍ය වටිනාකම අනුව එය ඉතා ලොකු මුදලකි. නමුත් ඒ වන විට පිහිටුවා තිබූ එක්තරා සමාගමකට රුපියල් කෝටි 3ක් වැනි සුළු මුදලකට මෙය ලබා ගත හැකි වූයේ ඒ මුණ ගැසීම් නිසා බව කිව යුතුය.
මේ වනවිට ලංකාවේ පෞද්ගලික බස් රථ ප්‍රමාණය 12,000 ක් පමණ වී තිබුණි. සිලෝන් ටකරන් බස් ලෙස අපහාස විඳිමින් වුවද, ලංගමය ද හැකි උපරිමයෙන් සිය සේවාව පවත්වා ගනිමින් සිටියේ ය. මෙසේ පාඩු ලබන බවට හංවඩු ගැසී තිබුණු ලංගමය වෙනුවෙන් බස් රථ 2500 ක් සැපයීම සඳහා එක්තරා සමාගමක් ලංකාවේ රජය සමග ගිවිසුමකට එළඹී තිබුණේ මේ කාලයේදී ය.
එම ගිවිසුමේ වටිනාකම කෝටි 60ක් පමණ වූ බව පැවසේ.
නමුත් මේ කාලය වන විට ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ලංගමය සම්පූර්ණයෙන්ම අහෝසි කර දමන ලෙස උපදෙස් ලබා දී තිබුණි. එසේ වුවද, මෙම කොන්ත්‍රාත්කාර සමාගම එහිදී පෙන්වා දී තිබුණේ මෙමම ව්‍යාපෘතිය නිසා රුපියල් කෝටි 20ක් පමණ වූ ආධාර ප්‍රමාණයක් මහා බි්‍රතාන්‍යයෙන් ලබාගත හැකි බවය. එම ප්‍රමාණය මෙම ව්‍යාපෘතියෙන් 30%ක් පමණ විය. නමුත් මෙම ව්‍යාපෘතිය කොතෙක් ව්‍යාජ එකක් වූයේ ද කියන්නේ නම් ඒ කාලයේ ලංකාවේ සිටි විදෙස් තානාපතිවරයෙක් “ශ්‍රී ලංකාවේ බස් ගනුදෙනුවකින් – රටක් කොල්ලකන ආකාරය… යනුවෙන් සිය වාර්තාවකට සිරස්තලයක් යෙදූ බවද දැන ගන්නට ඇත. මේ කාලය වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලංගමය පෞද්ගලිකකරණ ක්‍රියාවලිය පිළිබඳව සකස් කළ වාර්තාවට අනුව 1991 වනවිට ලංගම සේවකයින් 13,000 ක් පමණ සේවයෙන් ඉවත් කර තිබුණි. ලංගමය තුළ බස් සමාගම් 22ක් ඇතිකර ජනතාකරණයට ලක් කරන ලදී. බසු ගාස්තු පාලනය ඉවත් කර ඇත. 1992 වන විට ඉතිරි කොටස් ද ජනතාකරණයට සැලසුම් කර ඇත යනුවෙන් සඳහන්ව තිබිණි. මේ ආකාරයට ජේ. ආර්. ජයවර්ධන යුගයේදී පෞද්ගලීකරණය ආරම්භ කරන ලද නමුත් ඔහු විසින් ලංගමය 100% ක්ම විකුණා නොදැමූ බව කිව යුතුය. නමුත් ප්‍රේමදාස ජනාධිපති යුගයේදී ‘ජනතාකරණය’ නමැති වචනය උපයෝගි කර ගනිමින් මෙම ක්‍රියාව තවත් වේගවත් කරන ලදි. පෙර සඳහන් කරන ලද පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සකස් කරන ලද වාර්තාවේ සඳහන් සමාගම් 22 එවැනි ඒවාය.
මෙම සමාගම් තැනීමේ අරමුණු වූයේ ඒවා පවත්වාගෙන යෑමට බැරි තැනට පත්කර වසා දැමීම සහ පෞද්ගලික අංශයට පැවරීමය. මේ වන විට ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන අවශ්‍යතාවයන්ගෙන් 50%ක් ඉටු කළ ලංගමයේ තත්ත්වය පවතින දේශපාලන තීන්දුවලට සමගාමීව තවදුරටත් පහළ බසින තත්ත්වයක් ඇති වී තිබුණි.
නමුත් 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බලයට පැමිණීමේ දී දෙනු ලැබූ එක් ප්‍රතිඥාවක් වූයේ ලංගමය නැවතත් ස්ථාපිත කරන බවය. ඉන් උද්දාමයට පත් ලංගම සේවකයින් යළිත් ප්‍රාණය ලැබ බස් රථවල සිංහයා සලකුණු කළ නමුත් ප්‍රවාහනය ගැන කිසිදු අත්දැකීමක් නොමැති ශ්‍රීමනී ඇතුලත්මුදලි මහත්මියට එම අමාත්‍යාංශය භාරදීම තුළ පෙනී ගියේ චන්ද්‍රිකා ආණ්ඩුවට ද ඒ සඳහා කිසිදු උවමනාවක් නොතිබූ බවය. එය තවදුරටත් සාක්ෂාත් වූයේ ලංගමය සඳහා අතපොවා සිටි සමාගම්කරුවන් විසින් චන්ද්‍රිකා මැතිනියගේ මැතිවරණ අරමුදලට රුපියල් ලක්ෂ 65 කට ආසන්න මුදලක් ලබා දී ඇතැයි රූපවාහිනී වැඩසටහනකදී හෙළිවීමත් සමගය. ඒ නිසා චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ ද පෙර කී සමාගමේ හිමිකරුවන්ට හිතුමනාපයේ කටයුතු කර ගැනීමේ අවස්ථාව උදාවිය.
2001 වසර වනවිට ඇති වී තිබූ දේශපාලන අර්බුද හේතුවෙන් ජනාධිපති එක් පක්ෂයකින්ද, අගමැති තවත් පක්ෂයකින් ද වන ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවීමත් සමග එම අර්බුදය තවත් උග්‍රවිය.
ආණ්ඩුව කවර පැත්තකට හැරුණද තමන්ට වාසිදායක අයුරින් කටයුතු කිරීමට සමත් මෙකී සමාගම එජාපයේ ප්‍රචාරක කටයුතු සඳහා දැඩි ලෙස උදව් කරන්නට පටත් ගත්තේ ය. එම පක්ෂයේ ප්‍රචාරක කටයුතු සඳහා කදිම ජංගම රථයක් ලබා දීම කරනු ලැබුවේ ද මෙම සමාගම විසින් යයි ඇතැම්හු පවසති.
මේ කාලයේ මෙම සමාගමට අසීමිතව උදව් උපකාර ලබාගත හැකි තවත් පුද්ගලයෙකු ලංකාවට පැමිණියේ ය. ඔහු ප්‍රේමදාස රජය සමයේ මහා භාණ්ඩාගාර ලේකම්ව සිට චන්ද්‍රිකා පාලන සමයේ විදෙස්ගතව සිටි ආර්. පාස්කරලිංගම් මහතාය.
එජාප ආණ්ඩුවේ විශේෂ තනතුරකට පත්වන ඔහු පෙර කී සමාගමෙහි ඉතිරි වැඩ කටයුතු සපුරා දීමට ඉදිරිපත් වන පුද්ගලයා බවට පත්වෙයි. මේ කාලයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යටතේ ‘රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසම’ පිහිටුවා තිබූ අතර එය හඳුන්වනු ලැබුවේ ‘පර්ක්’ ආයතනය වශයෙනි.
ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලිකකරණය කිරීම සඳහා බස් සමාගම් 6ක් වෙනුවෙන් 39% ක කොටස් විකිණීමට මිල ගණන් කැඳවනුයේ මින් පසුවය. මේවා නම් කලම්බු මෙටොපොලිටන් බස් සමාගම, ගම්පහ බස් කොම්පැණි ලිමිටඩ්, කළුතර බස් කොම්පැණි ලිමිටඩ්, මහනුවර බස් සමාගම, රජරට බස් සමාගම සහ සබරගමුව බස් සමාගම යන ඒවාය.
මෙ සඳහා විවිධ සමාගම් විසින් මිල ගණන් ඉදිරිපත් කරන ලද අතර ඉන් සමාගම් තුනක්ම ලියාපදිංචි කර තිබුණේ ටෙන්ඩර් විවෘත කිරීමට සති තුනකට කලින් එකම දිනකදීය. අනෙක් කරුණ වන්නේ මෙම සමාගම් තුනෙහිම ලිපිනය එකක් වීමය. ඊළඟ කාරණය මෙම සමාගම් තුනම අප මෙහි සඳහන් කරන සමාගම් හිමිකරුවාට අයිතිවීමය.
ඒ නිසා මෙම ගනුදෙනුව සැක සහිත බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. එහි තීන්දුව වූයේ නැවත මිල ගණන් කැඳවීම සිදු කරන ලෙසය. ඒ අවස්ථාවේදී පෙර කී සමාගම් හිමිකරුවන් විසින් ව්‍යාපාරික ක්‍ෂේත්‍රය තුළ අමුතු ප්‍රචාරයක් ගෙන ගිය අතර ඉන් කියවුණේ කොතරම් සමාගම් ඉදිරිපත් වුවත්, කොයිතරම් ඉහළ මුදලක් ගෙවීමට සිදු වුවත්, තමන් මෙම සමාගම්වල කොටස් සියල්ලම මිලදී ගන්නා බවය. මේ නිසා දෙවැනි මිල ගණන් කැඳවීමේදී කිසිදු තරගකරුවකු ඉදිරිපත් නොවූ අතර සමාගම්වලින් සියයට 39 ක අයිතිය නිතරගයෙන්ම අදාළ සමාගමට හිමි වූයේය.
අනෙක් සමාගම්කරුවන් බිය වැද්දීම සඳහා උපායක් වශයෙන් වහසි බස් දොඩනු ලැබුවද එම කොටස් සඳහා ගෙවීමට ඔහුට මුදල් තිබුණේ නැත. මේ අවස්ථාවේදී එම සමාගමට උදව් කරන්නට පාස්කරලිංගම් මහතා ඉදිරිපත් විය. මෙම කොටස් මුදල දෙවතාවකට ගෙවන්නට අවස්ථාව දියයුතු බවට රනිල් චන්ද්‍රිකා හවුල් ආණ්ඩුවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. එමෙන්ම එම මුදලින් 60% ක් ගෙවූ පසු එම සමාගම් 6 හි පරිපාලනය එම සමාගමටම භාරදිය යුතු බවද සඳහන් විය. නමුත් මොනයම් හේතුවක් නිසා හෝ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මෙයට සිය දැඩි විරෝධය පළ කරනු ලැබුවාය. නමුත් හවුල් ආණ්ඩුවේ කැබිනෙට්ටුව එම විරෝධයට පිටුපා එම කැබිනට් පත්‍රිකාව අනුමත කර තිබේ. මේ 2003 පෙබරවාරියේදීය. නමුත් එහිදී එම පෙබරවාරි 4 වන විට 39% ක් සඳහා වූ මුදලින් කොටසක් ද ඉතිරිය මාර්තු මස 14 වෙනි දිනට පෙර ද ගෙවිය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කෙරිණි.
නමුත් අදාළ සමාගමට මේ ආකාරයට එම මුදල ගෙවීමට හැකියාවක් නොවීය. ඇත්ත වශයෙන්ම සමාගම බලාපොරොත්තුව සිටියේ සමස්ත මුදලින් සියයට 60ක් ගෙවා ඉතිරිය රජයේ වගකීම සහිතව ණයක් ලෙස ලබා ගැනීමටය.
මේ සියල්ල ව්‍යර්ථ වූ කල්හි මෙම සමාගම විසින් සියලු මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන ගියේ ලංගමය එංගලන්තයේ එක්තරා සමාගමක් විසින් මිලදී ගත් බව පවසමිනි. එහෙත් ටෙන්ඩර් කැඳවීමේ දී එවැනි සමාගමක් මිල ගණන් කැඳවීමක් කර නොතිබූ බැවින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් එවකට මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යවමින් අදාළ සමාගම පොරොන්දු වූ පරිදි මුදල් නොගෙවීම නිසා මෙම ගිවිසුම අවලංගු වූ බව දන්වා ඇත.
මෙයින් ද පසුබට නොවුණු අදාළ සමාගම එංගලන්තයේ සමාගමකින් සහතිකයක් ගෙනවිත් රජයට ඉදිරිපත් කළේය. ඉන් කියවුණේ ඔහුට රුපියල් කෝටි 75 ක ණයක් දෙන්නට එම සමාගම සූදානම් බවය. නමුත් ටෙන්ඩරයක් කැඳවීමෙන් පසු අදාළ මුදල හැර අන් කිසිවක් භාර නොගැනීමේ ප්‍රතිපත්තිය මත එය ප්‍රතික්ෂේප වෙයි. ඒ අනුව ලංගමයට අන්තිමට ගෙන ගිය මෙම සුදු කරපටිකාර ව්‍යාපෘතියේ අවසන් උත්සාහය ද ව්‍යර්ථ විය.
ඒ නිසා සර්ව සම්පූර්ණ ඝාතනයකට ලක් නොවී ලංගමය තවමත් ඉතිරිව තිබේ. දැන් සමස්ත ජනතාව බලා සිටින්නේ තමන් විසින් ලබා දුන් ඓතිහාසික ජනවරම උපයෝගී කර ගනිමින් වත්මන් සභාපති ප්‍රසන්න පුරසිංහ මහතා ලංගමය ඉදිරියට ඔසවා තබන්නේ කෙසේද යන්න පිළිබඳවය.
තිස්ස ප්‍රේමසිරි