ප්‍රවීණ වනජීවී ඡායාරූප ශිල්පී/කලාකරු ප්‍රදීප් පත්මපෙරුම

සොබා දහමේ රහස් දරුවන්ගේ අනාගතයට බෙදන කලාකරුවා

පසුගිය සතියේ මෙන්ම මෙවරත් අපගේ Wild-eye විශේෂාංගය රසවත් කරන ප්‍රදීප් පත්මපෙරුම වන ජීවී ඡායාරූප ශිල්පියකු පමණක් නොව, අංශ ගණනාවකින්ම දක්ෂතා පෙන්වන කලාකරුවෙකි. රසවතෙකි. පෙර අප කතා කළ පරිදි, ඔහු ආරම්භයේදී වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකි. ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද ”කල්පාන්ත” වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය (ඇලෙක්ස්) රඟ පාන්නේද ප්‍රදීප් ය. එසේම ඔහු දක්ෂ ගායනවේදියෙකි.

නාට්‍ය රචනයට, නිෂ්පාදනයට, වේදිකා පසුතල නිර්මාණයට හා අධ්‍යක්ෂණයට උපන් හපනෙකි. ඔහු විසින් එසේ කරන ලද වේදිකා නාට්‍ය සතරකි. මෙම නාට්‍ය වේදිකා ගතකිරීම සඳහා ප්‍රදීප් තම නළු-නිළි පිරිවර රැගෙන දිවයිනේ බොහෝ තැන්වල සැරිසැරුවත්, ඡායාරූපකරණය ඔහු අතින් කිසිදා ගිලිහුණේ නැත. සිනමා ඡායාරූපකරණය, වෙහෙර-විහාර ඡායාරූපකරණය, අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන ඡායාරූපකරණය, සෞන්දර්යය ග්‍රහණය කරගැනීම, වනජීවී ඡායාරූපකරණය ඔහු කිසිවිටෙකත් අත්හැරියේ නැත. මේ නිසාම ඔහු සතුව ඇති ඡායාරූප ප්‍රමාණය දහස් ගණනකි.

සොබා දහමේ රහස් දරුවන්ගේ අනාගතයට බෙදන කලාකරුවා

කුඩා ප්‍රමාණයේ ඡායාරූප පොත් එකතුවක් ඔහු කරන්නේ කලක පටන්ය. ”සිරි ලක අසිරිය” නමින් ඡායාරූප විස්තර සහිත පොත් පිංච 42 ක් ඔහු දැනට නිර්මාණය කර ඇත. ජාතික උද්‍යාන, පෞරාණික ස්ථාන සහ නගර, ශ්‍රී ලංකාවේ බිතුසිතුවම්, කලාව, වෙහෙර විහාර, ශ්‍රී ලංකාවේ දිය ඇලි, ශ්‍රී ලංකාවේ කුරුළු විශේෂ යනාදී වශයෙන් මෙම ඡායාරූප පොත් නිර්මාණය කර ඇත. එසේම, එම ඡායාරූප යොදාගෙන ඔහු කාලයක් තිස්සේම තැපැල් පත් (පික්චර් පෝස්ට් කාඩ්) නිර්මාණය කරමින් සමාජයට මහත් මෙහෙවරක් සිදුකර ඇති සේම, තමාට ඉන් ආදායමක් ද උපයා ගත්තේය. අද මෙන් නොව, “පික්චර් පෝස්ට් කාඩ්” උන්මාදයක් තිබූ කලෙක ප්‍රදීප්ගේ පෝස්ට් කාඩ්වලට තිබුණේ ඉහළ පිළිගැනීමකි. ලැබුණේ ඉහළ ඉල්ලුමකි. විශේෂයෙන්ම විදෙස් සංචාරකයන් සැරිසරන සංචාරක පාරාදීසවල ප්‍රදීප්ගේ “පික්චර් පෝස්ට් කාඩ්”වලට ඉහළ අවධානයක් තිබිණි.

සොබා දහමේ රහස් දරුවන්ගේ අනාගතයට බෙදන කලාකරුවා
ප්‍රදීප්ගේ නිර්මාණ
සොබා දහමේ රහස් දරුවන්ගේ අනාගතයට බෙදන කලාකරුවා
ප්‍රදීප් සිය පවුල සමග

කලක් ‘සරසි’, සිළුමිණ – ‘රසඳුන’ වැනි පුවත්පත්වලට සම්බන්ධව සේවය කරන කල මුද්‍රණ කටයුතු පිළිබඳව ලැබූ ඇසුර නිසා මෙසේ තම ඡායාරූප ඇසුරෙන් මුද්‍රණකරණයට සිත ගිය බව ප්‍රදීප් පවසයි. අනතුරුව තමා විසින්ම ගන්නා ලද විසිතුරු ඡායාරූප යොදාගෙන ලොකු කුඩා ‘ටේබල් මැට්’, මේස දින දසුන් පවා නිර්මාණය කරමින් ඔහු අත්කම් භාණ්ඩ නිෂ්පාදනයට ද අත ගැසුවේය. මහනුවර-හේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් විසින් සිදුකරන මානා ආශ්‍රිත කඩදාසි නිෂ්පාදනයට අතදීමක් ලෙස ප්‍රදීප් එම කඩදාසි මිලදී ගෙන තම ඡායාරූප ද ඊට යොදාගනිමින් සටහන් පොත් නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදි. විදේශිකයින් ඉතා ප්‍රියකරන මෙම පරිසර හිතකාමී අත්කම් නිෂ්පාදනය ප්‍රදීප් අද දක්වාම කරගෙන එනු ලබයි. තම මව සමග මෙම නිර්මාණ කටයුතු ආරම්භ කළ ප්‍රදීප් විවාහ දිවියට ඇතුළත් වීමෙන් පසු, ප්‍රිය බිරිඳ රුවනි පත්මපෙරුමද තම නිර්මාණ කටයුතු සඳහා දායක කර ගත්තේය. ඇය ප්‍රදීප්ගේ නිර්මාණ කටයුතු සඳහා අද දක්වාම ඉතා වටිනා මෙහෙයක් ඉටු කරන්නීය. මේ බොහෝ නිර්මාණ “ලක්සල”, “ලක් ආකේඩ්”,

“බුඩිස්ට් කල්චර් සෙන්ටර්” ඇතුළු දිවයිනේ බොහෝ තරුපන්ති හෝටල්, වෙළෙඳසල් තුළ අලෙවියට තබා ඇත. කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ බොහෝ වෙළෙඳසල් තුළ ප්‍රදීප්ගේ අත්කම් නිර්මාණ විදේශිකයන්ට මිලදී ගන්නට තිබේ. එසේ අගය වැඩි ඡායාරූප නිෂ්පාදනය ඇතුළු අත්කම් වැඩ සඳහා ඔහුට වැඩි අවස්ථාවක් හිමිව ඇත්තේ ප්‍රදීප් “ජාතික ශිල්ප සභාවේ” ශිල්පියෙක් ලෙසද ලියාපදිංචි වී සිටීම නිසාය. ස්වාභාවික කඩදාසි ආශ්‍රිත නිර්මාණ, සිප්පිකටු ආශ්‍රිත නිර්මාණ, ඡායාරූප ආශ්‍රිත නිර්මාණ වැනි තරමක් පුළුල් පරාසයක අත්කම් නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ද වන ප්‍රදීප් පත්මපෙරුම, අප පෙර සඳහන් කළ පරිදි අංශ රැසකම කුසලතා පෙන්වන කලාකරුවෙකි. නමුත් විශේෂත්වය වන්නේ ඔහු මේ සියලු කලාවන් සිදුකරන්නේ පරිසරය, සොබාදහම, වන ජීවීන් පමණක් නොව, ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, රසවින්දනය යනාදී පුළුල් දැක්මක මනස පිහිටා සිටිමිනි. එසේම ඔහුගේ නිර්මාණ අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ඔහු පාසල් පරිසර වැඩසටහන් සඳහා යොදවයි. ඔබ මිලදී ගන්නා මෙම නිර්මාණවලින් පරිසර සංරක්ෂණයට ඔබද දායක වන බව ප්‍රදීප් කියයි.

සොබා දහමේ රහස් දරුවන්ගේ අනාගතයට බෙදන කලාකරුවා
ඇලෙක්ස් – ‘කල්පාන්ත’

ප්‍රදීප් පවසන්නේ තමා රසාස්වාදකයෙක් බවට පත්කරන ලද්දේ අම්මා වන නමුත්, තමා සෞන්දර්යයවාදියකු බවට පත්කරන ලද්දේ තම පියා ගුණපාල පත්මපෙරුම විසින් බවයි. කාර්මික විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කළ එතුමා ප්‍රදීප් ගැන මෙන්ම තම සොයුරියන් ගැනද දැඩි ආදරයකින් කටයුතු කළ අයෙක් බව ඔහු කියයි.

“මගේ අම්මත්, බිරිඳත් මගේ අත්කම් භාණ්ඩ සහ මුද්‍රණ වැඩ සඳහා ලොකු සහායක් දෙනවා. ඒ වගේම මගේ ලොකු පුතා ලිතිර බුවනෙක පත්මපෙරුම, පොඩි පුතා රිවිර රණජිත පත්මපෙරුම මගේ කටයුතු අගය කරනවා පමණක් නෙමෙයි, මගේ ගමන්වලට එකතු වෙලා, ඒ ආභාෂය ලබමින් ඔවුන් දෙදෙනාත් දැන් කලාවෙන්, ඡායාරූපකරණයෙන් ඉස්සරහට එනවා. පවුලේ බාල නැගණිය නවෝදී සුලක්ෂි දක්ෂ චිත්‍ර ශිල්පිණියක්. ඈත් මගේ නිර්මාණවලට දායක වෙනවා. මේ දවස්වල මම ශ්‍රී ලංකාවේ සමනලුන්, කුරුල්ලන්, ක්ෂීරපායින් ඇසුරෙන් ඡායාරූප “ගයිඩ් බුක්” පෙළක් කිරීමේ වැඩක ද නිරතවෙලා ඉන්නවා. කොහොම වුණත්, මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ කලාකරුවන් ඇසුරු කිරීම කියල මම කිව්වා. ඒ.ඩී. රංජිත් කුමාර, ධර්මසිරි ගමගේ, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, හෙන්රි ජයසේන, සුනිල් එදිරිසිංහ වැනි ප්‍රවීණයෝ විශේෂයෙන්ම මගේ ජීවිතයට අලුත් යමක් කියල, එකතු කරල දුන්නා. එයාලත් එක්ක දේශනවලට ගිහින් තමයි මම පාසල් දේශකයෙක් බවට පත් වුණේ. අදටත් ඒ දේ මම කරනවා. බොහෝ විට මගේ අතින් වියදම් කරගෙන ගිහිං මම මේ දේශන කරන්නේ මේ රටේ පරිසර හිතකාමී, පරාර්ථකාමී, අන් අයට ආදරය කරන, වින්දනාත්මක දරු පරපුරක් රටට දායාද කරන්න. මේ කටයුතු ඉදිරියට ගෙනියන්න මම “Nature Forest foundation” කියල පරිසර සංවිධානයක් පිහිටුවල තියනවා. මම එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අතරතුර පාසල් පරිසර වැඩසටහන් කරනවා” යයි ප්‍රදීප් පවසයි.

සොබා දහමේ රහස් දරුවන්ගේ අනාගතයට බෙදන කලාකරුවා

අපගේ පිළිසඳර නිමාකරමින් ප්‍රදීප් පත්මපෙරුම කලාකරුවා පැවසුවේ තමා විසින් සමාජ සත්කාරයක් ලෙස සිදුකරන රසවින්දනාත්මක පාසල් වැඩසටහන් සඳහා සහ ඡායාරූප ප්‍රදර්ශන සඳහා ඉල්ලුම් කරන පාසල්වලට ඒවා ලබාදීමට තමන් සූදානම්ව සිටින බවයි. අපේ දරුවන් සාහිත්‍යය, කලාව, සාරධර්ම සහ රසවින්දනය සහිත දරු පරපුරක් බවට ගොඩනැඟීම සඳහා තමන් කරන මේ කටයුත්තට ඕනෑම සෞන්දර්යයවාදියකුට තමා සමග සහ තම පරිසර සංගමය සමග එකතු විය බවද පවසන ප්‍රදීප් 077 2761855 දුරකථන, වට්ස්සැප් අංක මගින් සමාජ සත්කාරයක් ලෙස සිදුකරන පාසල් වැඩසටහන් සඳහා ඉල්ලීම් කළ හැකි බවද පවසයි.

කතා බහ –
ජගත් කණහැරආරච්චි
ඡායාරූප –
ප්‍රදීප් පත්මපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment