ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුව
අමතමින් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස කියයි
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වැනි වාර්ෂික මහා සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා (20 දා) පස්වරුවේ 78 වැනි වාර්ෂික මහා සමුළුව අමතන ලදී.
සෞඛ්‍ය සේවය සදහා තිරසාර මූල්‍ය පහසුකම් සැපයීමේ අවශ්‍යතාව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමුළුව හමුවේ අවධාරණය කරන ලදී.
මෙම මස 19 වැනි දින සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මෙම සමුළු පැවැත්වෙන අතර මෙවර එහි තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.
මෙවර සමුළුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇතුළත් සියලුම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගී වන අතර එම සියලු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික ප්‍රමාණයක් ද මෙම සමුළුවට එක් වී සිටී.
ශ්‍රී ලංකාවටත් සෙසු ලෝක ප්‍රජාවටත් වැදගත්වන “එකම සෞඛ්‍යමත් ලොවක්” යන කාලෝචිත තේමාව පෙරදැරිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කරන බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
ශ්‍රී ලංකාව පසුගිය අඩ සියවසක කාලය තුළ මුහුණ දුන් අභියෝග පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා මෑතකාලීන ආර්ථික අර්බුදවලින් ගොඩ එමින් සිටිනුයේ, මහජනතාවගේ ශක්තිය සහ ගෝලීය සුහදත්වය හා සහයෝගය ඇතිව බවත්, ඒ සඳහා ගෝලීය ක්‍රියාකාරීන්ගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින් අගය කරන බව ද පැවසීය.
ශ්‍රී ලංකා රජය මෙරට සෞඛ්‍ය ප්‍රතිපත්තිය මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හඳුන්වා දී ඇති “සෞඛ්‍යමත් ලොවක්” යන තේමාවෙන් යුත් වැඩසටහනට ඒකාබද්ධව සිටින බවද, තිරසර සංවර්ධන ඉලක්ක කරා නැවත එළැඹීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවයද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරන ලදී.
2023 දී ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් තෙගුණයක් මෙරට බාහිර රෝගී ප්‍රතිකාර අංශයන්ට පැමිණ ඇති බවත්, කිසිවෙකු මඟ නොහැරීම සඳහා “පුළුල් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ” ආරම්භ කර ඇති බව ද මෙම ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සැපයීමේ දී අභියෝගයක් වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැපයීම මඟහැරීම වැළැක්වීම බව ද පැවසීය.
සෞඛ්‍ය ශ්‍රම බළකායේ සංක්‍රමණ අප රටට ගැටලුවක් වී ඇති බවත්, ඒ හේතුවෙන් ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටළු විසඳීමේ අවශ්‍යතාවය ද අවධාරණය කරන ලදී. 2022 සිට 2025 දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 726 දෙනෙකු, හෙද හෙදියන් 2800 ක් හා වෛද්‍ය නිලධාරීන් 1116 දෙනෙකු වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති බවත්, මූල්‍ය අතින් එය අප රටට දැවැන්ත පාඩුවක් බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාක්‍යවරයා මෙහිදී පැවසීය.
අපේම සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා කෙරෙන ආයෝජන තුළ මූල්‍ය අලාභයන් විඳ ගැනීමට සිදු වී ඇති බවත්, සංක්‍රමණික ගමනාන්ත වූ රටවල් ද මේ සම්බන්ධව වඩාත් වගකිවයුතු බව අප විශ්වාස කරන බව ද පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර බඳවා ගැනීම් සංග්‍රහය ඵලදායී හා ශක්තිමත් අන්දමින් ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සමුළුව අමතමින් පැවසීය.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද සහභාගී වී සිටියහ.