දශක හතරක මෙහෙවර නිමාකර ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේ දවස පුරා දැල්වූ ආලෝකය නිවා දමමින් හිරු මුහුදු පත්ලේ ගිලී යන්නා සේය. හිරු නම් යළි පිබිදේ… ඒත් ඔහු ගියේ යළි නොඑන්නටමය.

හඬවලා හිතක් හඬවලා ඔබ ඉඳී අදත් හිනැහිලා

මාස විසි අටකට කලින් සමන්ගේ කල්‍යාණ මිත්‍රයෝ දෙදෙනා ද මේ ගමන ගියෝය. පළමුව නුවන් ගුණවර්ධන ය. ඉන් දින පහකට පසුව නිහාල් නෙල්සන් ය.

“තාත්තේ නිහාල් අංකල්ව හොඳින් බලාගන්න. නිහාල් අංකල් අපේ තාත්තාව හොඳින් බලාගන්න…” නුවන්ගේ ආදරණීය පුත් ගයාන් එදා නිහාල් අතේ තම පියාණන්ට පණිවිඩයක් යැව්වේය.

හඬවලා හිතක් හඬවලා ඔබ ඉඳී අදත් හිනැහිලා

“සමන් අංකල් අපේ තාත්තව මතක් කළා කියන්න” ගයාන් ඒ සංවේදී පණිවිඩයම සමන් අතේ ද පසුගියදා නුවන්ට යැව්වේ අනිවාර්යයෙන්ම මේ කළණ මිතුරන් තිදෙනා යළි එකට හමුවන නිසාවෙනි.

“මම මේ සංගීත ක්ෂේත්‍රයට එන කාලේ ඉඳන්ම නුවන් ගුණවර්ධන මගේ යාළුවා. ඒ වගේම තමයි නිහාල්. අපි තුන්දෙනා හොඳම යාළුවෝ. දැන් ඒ දෙන්නම නැහැ. මමත් පෝලිමේ ඉන්නවා. බලමු ඉතිං මොනවද වෙන්නේ කියලා… සමන් කියන්න කියෙන දේ කෙළින්ම කියයි, ඒ ඔහුගේ හැටිය.

හඬවලා හිතක් හඬවලා ඔබ ඉඳී අදත් හිනැහිලා

සමන්ට තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය කලක පටන් රහසක් නොවීය. මේ ගමන යන බව ඔහු කල් තියා දැන සිටියේය. ඔහු ඊට සූදානම්ව වූවේය. දරු තිදෙනාට මෙන්ම උපන් රටට ද සිය යුතුකම නොපිරිහෙළා ඉටු කළ ඔහු ජීවිතයේ අවසන් කාලය නිදහසේ සතුටින් ගත කළේය. ඔහු සමග නිතර සිටියේ රෝහණ හෙට්ටිආරච්චි ය. ගී පද රචක රෝහණ ද සමන්ගේ ගජ මිතුරෙකි. ජීවිතයේ අවසාන කාලයේදීත් දුක සැප දෙකම බෙදා ගත්තේ රෝහණ සමගය.

දවසේ පහන නිවා හිරු ද නිදැල්ලේ
වැටකේ වැටට උඩින් මුහුදෙ ගිලෙන්නේ
ළඳුනේ කොහෙද දුවන්නේ
හැන්දෑ අඳුර ගලන්නේ

සමන් ගී ගයන්න පටන් ගන්නේ එක්දහස් නවසිය හැත්තෑපහේදීය. ඒ ප්‍රවීණ ගායක වර්නන් පෙරේරාගේ මඟ පෙන්වීම යටතේය.

මුල්ම සංගීත ප්‍රසංගයේදී නිවේදකයා විසින් සමන් හැඳින්වූයේ නමින් නොව ‘බයිලා කුරුල්ලා’ යනුවෙනි. සමන් ඊට විරෝධය දැක්වූවේය. පසු කාලයේ ද බයිලා ගායකයකු ලෙස හඳුන්වනවාට ද සමන් කැමැත්තක් දැක්වුවේ නැත.

තණ නිල්ල දිගේ ඇදිලා යනවා
සිත මා පිරිලා
දහසක් නෙතු මා වෙත යොමුවෙනවා
සිත මා පිරිලා

“මම ගායන ශිල්පියෙක්. කිසිසේත්ම බයිලා ගායකයෙක් නෙවෙයි. සික්ස් එයිට් රිද්මයට තමයි මම මගේ ගීත හුඟක් ගායනා කරලා තියෙන්නේ. සික්ස් එයිට් වූ පමණින්ම ගීතයක් බයිලාවක් වෙන්නෙ කොහොමද?. මම ගායනා කරපු සින්දු අරගෙන බලන්න. හැම රිද්මයකම ගීත මම ගායනා කරලා තියෙනවා.”

පුංචි කුරුලු කූඩුවේ
උන් ඉන්නවා පාඩුවේ
එපා මුගුරු විසි කරන්න
නිකන් ඉඳින් යාළුවේ

සමන්ගේ හඬට ආදේශකයක් නැත. ඒ ඔහුටම අනන්‍ය වූ හඬකි. ඔහු සංගීතය විෂයයක් හැදෑරූ අයෙකු ද නොවේ. නාලන්දාවේදී මිතුරන් හා එක්ව මේසයකට ගසමින් ගී ගැයූ ඔහු මෙතෙක් ආ දුර පුදුමය. එය තමන්ට ද හිතාගත නොහැකි බව සමන් වරෙක පවසා තිබිණි.

පාසල් අධ්‍යාපනයෙන් පසුව මැණික් සංස්ථාවේ රැකියාවක් කළ සමන් ඒ අතරතුර ගල්කිස්සේ හෝටල්වලට ගොස් සිංදු කියන්නට පටන් ගත්තේය. දවසේ වැටුප රුපියල් තිස්පහකි. මේ කොලු ගැටයාගේ දස්කම් හඳුනාගත් ජනප්‍රිය ගායක වර්නන් පෙරේරා ඔහුට ඉදිරියට එන්නට අත දුන්නේය.

“ලංකාවට ටෙස්ට් වරම් ලැබුණා. ගාමිණී දිසානායක ඇමැතිතුමාට උවමනා වුණා ක්‍රිකට් ගැන ගීත කීපයක් නිර්මාණය කරන්න. මටත් අවස්ථාව හිමි වුණා ගීයක් කරන්න. වර්නන් පෙරේරා පද රචනා කළා. ක්ලැරන්ස් විජේවර්ධනගේ මෙලඩිය. ගීතයේ විෂුවල්වලටත් මාවම යොදා ගත්තා.’

සැඩ හිරු ඈත දිලෙනා
සුව බර මේ සැඳෑවේ හසරැල් නැගී සතුටින් වගේ ජය ගීතිකා ගැයෙනා

තණ නිල්ල දිගේ ගීය හැදුනු හැටි සමන් වරෙක අපට හෙළි කළේ ඒ ආකාරයටය.

සමන් ගැයූ ගීත සංඛ්‍යාව අතිවිශාලය. ගීතයක් තෝරා ගැනීමේදී ඔහු එහි පදමාලාව ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙයි. ඒ බැව් ඔහු ගැයූ ගීතාවලියේ පදමාලාව දෙස බලද්දී වැටහේ. ගීයේ ප්‍රමිතිය ඔහුට වැදගත්ය. ඒ ඔහු ගුවන් විදුලියෙන් බිහිවූ ගායකයෙකු නිසා වන්නට ඇත. එකල ගුවන් විදුලියේ ගීයක් ගැයීම පහසු කටයුත්තක් නොවන බව සමන් නිතර පැවැසුවේය.

“එදා අලුත් ගීයක් ගයන්න කලින් ඒකෙ පදමාලාව, සංගීතය ගායනය උපරිමයෙන්ම පරීක්ෂා කරනවා. එතැනින් පාස් වුණේ නැත්තං ඒ ගීය එළියට එන්නේ නැහැ.”

රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ
ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
වාසනාව පාවෙලා ගියා

“අපි ගායනා කරපු ගීත අදටත් පවතින්නේ මේ ප්‍රමිතිය නිසයි. එදා එම්.එස්. ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, එච්. ආර්. ජෝතිපාල, සනත් නන්දසිරි වගේ ගායකයන්ට ස්වාධීනව හඬක් තිබුණා. මමත් වාසනාවන්ත වුණා මටත් ඒ වගේ ස්වාධීන හඬක් හිමිවුණා.”

සමන් ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන චරිතයක්. ඒ බව ක්ෂේත්‍රයේ කවුරුත් දන්නා කරුණක්. ඔහු නිතරම නවකයන්ට පවා අවවාද කරන්නේ ක්ෂේත්‍රය තුළ පවතින්න නම් ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන ලෙසයි.

පිනිබර සීත යාමේ මේ උදෑසනේ
ලස්සන රෝස මලේ ඇයි සිනාසුනේ
ආදර සුවඳ ඔබේ ළඟදි මට දැනේ
කාටද ආදරේ ඔබේ

සමන්ගේ ගීත රසවිඳින්න විදෙස්ගත ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළ ඇත්තේ පුදුමාකාර කැමැත්තකි. ඒ බවට හොඳම සාක්ෂිය වන්නේ ඔහු කළ විදෙස් සංචාර ගණනය. එය දෙසීයකට අධිකය. විදෙස් සංචාර සඳහා ආරාධනා කරන අය නැවත නැවතත් ඔහු ගෙන්වන්නේ ඒ එකිනෙකා අතර පවතින අන්‍යොනය අවබෝධය නිසාය. සමන් කිසිදාක සංවිධායකයින් තුළ තමා කෙරෙහි ඇති විශ්වාසය කඩකළ කෙනෙකු නොවේ. මේ අන්‍යොනය අවබෝධය කලාකරුවකුට සහ සංවිධායකයකුට වැදගත් බව සමන් විශ්වාස කරයි.

“විදෙස් රටක සංදර්ශන කීපයක් කරන්න ලේසි නෑ, මම අය කරන මිලත් සාධාරණයි විශේෂ කාරණය තමයි කිසිදාක ඒ අයට කරදරයක් සහ පාඩුවක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම රටේ ගෞරවයක් රැකෙන විදිහට තමයි මම වැඩ කරලා තියෙන්නේ. රටකට ගියත් මම දවස් දහයකට දොළහකට වඩා ඒ රටේ ඉන්නේ නැහැ. මට ඕනේ ඉක්මනින් ලංකාවට එන්න. ලංකාවට ඇවිත් මගේ ඇඳට වැටුණට පස්සේ ඒ දැනෙන සතුට, නිදහස කොහෙදිවත් ලබන්න බැහැ. ලංකාව මං ඉපදුණු රටේ පාරට බැස්සාම සමන් අයියේ කියලා කතා කරන එක මගේ ජීවිතයට වැදගත්.

සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න
එන්න මිත්‍රයෝ
ඉන්නාවු ඩිංගෙ භේද වෙන්නෙ
ඇයි අහෝ මෙසේ

සමන් මිතුරු සමාගමට බොහෝ ප්‍රිය අයෙකි. මිතුරන් සමග සිත් අමනාපකම් ඇතිවූවද ඉතා කෙටි කාලයකටය. ඔහු දඩබ්බර චරිතයක් නොවේ. කලක් ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා වූයේද සමන්ය. පණ්ඩිත් අමරදේවයන්ගේ මෙන්ම සංගීත් නිපුන් සනත් නන්දසිරීගේ අවමංගල උළෙලදී දෙනෙත් කඳුළින් බරව සංවේදී වූ අයුරුත් නුවන් ගුණවර්ධන සහ නිහාල් නෙල්සන් දෙමිතුරන්ගේ වියෝවේදී ඉකිගැසූ අයුරුත් බොහෝ දෙනකුට රහසක් නොවේ.

අද ඔහුත් නැත. නොකියාම ගොසිනි. හඬ පමණක් ඉතිරිව ඇත. සමන් නැති අඩුපාඩුව, පාළුව ප්‍රසංග වේදිකාවට තදින් දැනෙන බව නම් නිසැකය.

ආවොත් නොගිහින් බැරිය. ඒ සනාතන දහම අප හැම දෙනාටම පොදුය. සමන් ඊට නතු විය.

සුබ ගමන් සමන්…

අජිත් අලහකෝන්
නිව්යෝර්ක් සිට


advertistmentadvertistment