හමුදා නිල ඇඳුම් සහ යුද උපකරණ තොගයක් ගෙදර ගෙනා සෙබළා මාට්ටු

2

හමුදා බඳ පටි – කැමා කලිසම් – කමිස – තොප්පි සහ ජීව උණ්ඩ – පුහු උණ්ඩ මෙන්ම හිස් කොපුත් ගොඩගහගෙන

බඩු ලැබුණු හැටි ගැන පොලිසියෙන් විමර්ශන

දඹගල්ල පොලිසියට ලද තොරතුරක් මත දඹගල්ල පහළවත්ත ප්‍රදේශයේ නිවසක තිබී පසුගිය 22 දා සොයාගත් යුද හමුදා නිල ඇඳුම් කොටස් සහ සංග්‍රාමික උපකරණ රැසක් නිවසට රැගෙන ආ යුද හමුදා සෙබළා පෙරේදා (23 දා) පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන යුද හමුදා කඳවුරේ සේවය කරන දඹගල්ල පහළවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සෙබළෙකි.

අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර යුද හමුදා බඳ පටි 02 ක්, යුද හමුදා කළු පැහැති කලිසම් 05 ක්, යුද හමුදා අත්දිග කමිස 04 ක්, කොළ පාට යුද හමුදා ටී ෂර්ට් 03 ක්, කැමා ටී ෂර්ට් 01 ක්, කැමා කලිසම් 01 ක්, අත්දිග කැමා කමිස 01 ක් අඩංගු 01 ලෙස සලකුණු කර මුද්‍රා කළ යකඩ පෙට්ටි 02 ක්, බෙල්ට් ඕඩර් 03 ක්, වෙබින් පුචස් ක්, ටී 56 අවි රැඳවුම් 01 ක්, අත්බෝම්බයක් සහිත අඩක් වැලි පිරවූ මුද්‍රා කළ විනිවිද පෙනෙන ප්ලාස්ටික් බෝතල් 01 ක්, ජීව අත්බෝම්බයක් බහා තිබූ කළු පැහැති ප්ලාස්ටික් කප් එකක්, අත්බෝම්බ රඳවන කොළ පාට හිස් ප්ලාස්ටික් කප් එකක් මුද්‍රා කළ පාර්සල් 01 ක්, මි.මී. 09 ජීව උණ්ඩ 05 ක්, ටී 56 ජීව උණ්ඩ 25 ක්, ටී 56 පුහු උණ්ඩ 03 ක්, ටී 56 උණ්ඩ හිස් කොපු 02ක්, එන් 16 වර්ගයේ ජීව උණ්ඩ 01 ක් සහ හඳුනා ගැනීමට අපහසු කුඩා ප්‍රමාණයේ ජීව උණ්ඩයක් අඩංගු මුද්‍රා කළ පාර්සල් 01 ක් වේ. මෙම භාණ්ඩ සමග නිවසේ හිමිකරු වූ හමුදා සෙබළාගේ පියා වන 60 හැවිරිදි පුද්ගලයකුද මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම භාණ්ඩ යුද හමුදා සෙබළාට ලැබුණු ආකාරය පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මොනරාගල නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.යූ.පී. කළුපහන මහතාගේ උපදෙස් මත මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් දඹගල්ල පොලිස් ස්ථානාධිපති ජී.එස්.අයි. ගිණිගේ මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ. (60244) රුවන් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබේ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක


advertistmentadvertistment