කාන්ස් ලෝක සිනමා සම්මාන උළෙලේදී හොඳම නර්තනයට හිමි සම්මානය දිනාගත් “ශේෂ”

හරි අතළොස්සක් මේක වැරදියට තේරුම් ගත්තා - අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක

මේ දූපතෙන් එහාට අපේ කල්චර් එක රැගෙන යන්න අලුත් පරපුර සෑහෙන වෙහෙසෙනවා. ඒකට සිනමාව ද සාහිත්‍යය ද ගීතය ද නර්තනය ද කියන කාරණා අදාළ වෙන්නේ නැහැ. මේ මොන වැඩෙන් වුණත් කමක් නැහැ අපේ කල්චර් එක ලෝකයට රැගෙන යෑමයි වැදගත් වෙන්නේ.

අවශේෂයි කියන ලද මිනිස් ශේෂයක, සුවිශේෂීව තිබී අවශේෂ වෙමින් පවතින කලාවක් රැකගන්නට අපරිමිත කැපකිරීම් කළ සුවිශේෂී මිනිසුන්ට උපහාරයක් ලෙස “ශේෂ”, ප්‍රංශයේ ජීවත්වන තරුණ අධ්‍යක්ෂවරයෙක් වන ඉසුරු ගුණතිලක සිනමාවට නඟනවා. දූපතින් එහාට අපේ කල්චර් එක ගෙනියන්න හදපු සුවිශේෂී ‘ශේෂ’ (Cannes World Film Festival) කාන්ස් ලෝක සිනමා සම්මාන උළෙලේ හොඳම නර්තන චිත්‍රපටය ලෙස තේරී පත්වුණා.

‘ශේෂ’ සිනමාවට නැඟූ තරුණ අධ්‍යක්ෂවරයෙක් වන ඉසුරු ගුණතිලක සමග ‘දිවයින සිනමා කලා’ සංවාදයක යෙදුණේ, පසුගියදා දූපතින් එහා ලද ජයග්‍රහණය ගැන වගේම ඒ ගැන ලංකාවේ නැඟුන විවිධ මතවාදයන් ගැනය.

ශේෂ සිනමා නිර්මාණයට ලැබුණු ජාත්‍යන්තර සම්මානය ගැන මුලින්ම කතා කළොත් ?

කාන්ස් ලෝක සිනමා සම්මාන උළෙලේදී හොඳම නර්තන අංශයේ කාණ්ඩයෙන් තමයි අපි මේ ජයග්‍රහණය ලබන්නේ. ‘ශේෂ’ සිනමා නිර්මාණය නර්තනය මූලික කරගෙන නිර්මානය වුණු චිත්‍රපටයක් හින්දා, මේක නියෝජනය කළේ නර්තන අංශයේ චිත්‍රපටයක් ලෙසයි.

හරි අතළොස්සක් මේක වැරදියට තේරුම් ගත්තා - අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක

හැබැයි ලංකාවෙ මේ ගැන විවිධ කතා පැතිරුණා නේද?

ඔව්. ලංකාවෙ මේ සම්මානය ගැන විවිධ කතා පැතිරෙනවා. මේ ජයග්‍රහණය ගැන සමාජ මාධ්‍ය හරහා අපිට සුභ පතලා තියෙනවාත් අපි දැක්කා. ඒ වගේම හරි අතළොස්සක් මේක වැරදියට තේරුම් ගත්තා. ඔවුන් කාන්ස් ලෝක සිනමා සම්මාන උළෙල තවත් සිනමා සම්මාන උළෙලක් සමග පටලවා ගත්තා. අධ්‍යක්ෂවරයා විදිහට මට මෙතැනදී කියන්න තියෙන්නේ මේ ටික තමයි.

කාන්ස් කියන්නේ ලෝකයේ එක රටක තියෙන එක නගරයක්. ඉතිං ඒ නගරයේ එක සිනමා සම්මාන උළෙලක් නෙමෙයි තියෙන්නේ. ෆෙස්ටිවල් ගණනාවක් තියෙනවා. ඉතිං ඒ ෆෙස්ටිවල් ගණනාවකින් එකකට අයැදුම් කරලා තමයි අපි මේ ජයග්‍රහණය ලබාගන්නේ. ඒ ජයග්‍රහණය පිළිබඳ පුවත තමයි මෙතැනදී පටලවා ගැනීමක් වෙන්නේ. ඇත්තටම යම් පිරිසක් මේක පැටලෙව්වාද කියලත් සැකයි.

හරි අතළොස්සක් මේක වැරදියට තේරුම් ගත්තා - අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක

ශේෂ සිනමා නිර්මාණය බිහිවුණේ කොහොමද?

මම ලංකාවෙ ජීවත්වන කාලයේ අපේ රටේ දේවල් ගැන ලොකු වුවමකාවක් තිබුණේ නැහැ. විදේශයකදී ජීවත්වෙනකොට ලංකාවෙ තිබුණ සංස්කෘතිය නැති වෙනකොට ලොකුවට ඒ අඩුව දැනෙන්න පටන්ගත්තා. ඒක ලංකාවෙත් පිට ජීවත්වන සියලුම ශ්‍රී ලාංකිකයන්ට දැනෙන කාරණාවක්.

අපේ සාම්ප්‍රදායික නර්තනයට විදේශිකයන්ට ලොකු ආකර්ෂණයක් තිබෙනවා. ඉතිං ඒ දේවල් එක්ක ලංකාවෙ චිත්‍රපටයක් හදනවා නම් ඒක ලංකාවෙන් එළියට ගෙනයනවා නම් ඒකට හොඳම දෙය තමයි සාම්ප්‍රදායික නර්තනය කියන මාතෘකාව. ඒ නර්තනය ඇතුළේ රටේ විකාශනය ඇතුළුව හැමදේම පෙන්වන්න පුළුවන්. ඒ අනුව තමයි ශේෂ සිනමා නිර්මාණය

බිහිවෙන්නේ. ලංකාවෙ ජීවත්වෙන සාම්ප්‍රදායික නර්තන ගුරුන්නාන්සේ කෙනකු වටා තමයි මේ නර්මාණය බිහිවෙන්නේ.

මෙම සම්මාන උළෙල නියෝජනය කරන්න අවස්ථාව උදා වුණේ කොහොමද?

ශේෂ සිනමා පටය සම්මානනීය වන අවස්ථාව උදා වෙන්නේ මම මුලින් සඳහන් කරපු කාන්ස් ලෝක සිනමා සම්මාන උළෙලේදී. මෙම සිනමා සම්මාන උළෙල සඳහා වෘත්තාන්ත සිනමා නිර්මාණයක් විදිහට ඇතුළත් කරලා තමයි අයැදුම් කරන්නේ. එතැනදී සංවිධායකවරු ඔවුන්ගේ කාණ්ඩගත කිරීම අනුව, නර්තන අංශයට කාණ්ඩගත කරනවා. අන්තිමේ මට ඔවුන් ඊමේල් මාර්ගයෙන් සඳහන් කරනවා ශේෂ සිනමා පටය නර්තන අංශයේ කාණ්ඩයේ තරගකාරී අංශයට නිර්දේශවෙලා තිබෙනවා කියලා. මට ඒ වෙලාවේ ලොකු සතුටක් දැනුණා, මොකද මගේ නිර්මාණයත් එක්ක නිර්දේශවෙලා තිබුණේ ප්‍රංශයේ සිනමා නිර්මාණයක් හින්දා. මම උසස් අධ්‍යාපනය හදාරන්නේ ප්‍රංශයේ. මගේ පළමු සිනමා නිර්මාණය වගේම මම අයැදුම් කරපු පළමුවැනි ෆිල්ම් ෆෙස්ටිවල් එක. මම ඉගෙනගත්තු රටේ වගේම දැනට මම ජීවත්වෙන රටේ චිත්‍රපටයක් සමග නිර්දේශ වීම ගැන ඇත්තටම සතුටක් තිබුණා. අන්තිමේ සම්මාන රාත්‍රියේදී ඔවුන් සඳහන් කළා, මගේ නිර්මාණය ජයග්‍රහණය කළා කියලා. අපි ඉදිරියේදී තවත් ලෝක සිනමා සම්මාන උළෙලවලට මේ නිර්මාණය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

හරි අතළොස්සක් මේක වැරදියට තේරුම් ගත්තා - අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක

ලංකාවේ ප්‍රේක්ෂකයන්ට මේක කවදාද දකින්න ලැබෙන්නේ ?

ඒ වෙනුවෙන් මම මේ දිනවල කටයුතු සූදානම් කරමින් යනවා. නමුත් මට විශ්වාසයෙන් කියන්න පුළුවන් අපේ ලංකාවෙ ඉන්න ප්‍රේක්ෂකයන්ට කලින් ජාත්‍යන්තරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සහ විදේශීය ප්‍රේක්ෂකයන් නරඹයි කියලා. ඒ සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් වෙලා ඉවරයි.

දිනේෂ් විතාන

හරි අතළොස්සක් මේක වැරදියට තේරුම් ගත්තා - අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක
advertistmentadvertistment
advertistmentadvertistment