මත්පැන් නිෂ්පාදන ආයතන 13කින් කෝටි 715ක පොල්ලක්

එක් මත්පැන් නිෂ්පාදන ආයතනයක් 2019 වසරේ සිට 2023 දක්වා කාලය තුළ කෝටි 321ක් පොලු තියලා

සුරාබදු දෙපාර්තමේන්තුවේ යෝජිත ආදායම් පරිපාලන පද්ධතිය තවමත් ක්‍රියාත්මක නැහැ

මාස තුනට නව සුරා බදු බලපත්‍ර 32ක් දීලා

රජය විසින් සෑම බදු බරක්ම රට්ටුන් මත පටවා තිබේ. කොටින්ම කිවහොත් රජය විසින් පනවා ඇති නා නා මාදිලියේ බදු වර්ග දරාගැනීමට නොහැකිව රටේ ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටිති. ජීවන වියදම ජනතාවට දරා ගැනීමට නොහැකි අයුරින් වැඩි වී ඇත. උද්ධමනය අඩුවී ඇති බවට මහ බැංකුව ප්‍රකාශ කළද රටේ ජනතාවට නම් ඒ බව දැනී නැත. රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය බදු හා දඩ මුදල් බවට පත්ව තිබේ. මෙවන් පසුබිමක් තුළ රජය ජනතාව මත සියලු බර පටවමින් පීඩාවට ලක්කොට තිබියදී ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් රජයට බිලියන ගණනින් පොලු තබා ඇත. එකී ආදායම් එකතු කරගැනීමට පවා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් කටයුතු කර නැත.

බදු පනවමින් රට්ටුන්ගේ ඊරිමංශය සූරාගෙන කෑමට රජය කටයුතු කළද රජයට බිලියන ගණනින් පොලු තැබූ මත්පැන් නිෂ්පාදන සමාගම් යහතින් සිය ව්‍යාපාර කටයුතු කරගෙන යති. මත්පැන් පානය කරනු ලබන කිසිවකු ණයට මත්පැන් පානය කරන්නේ ද නැත. මෙකී සමාගම් මත්පැන් නිෂ්පාදනයෙන් ලබන්නේ අධික ලාභයකි. හිඟ සුරාබදු ආදායම හා එයට අදාළ ප්‍රමාද ගාස්තු අයකර නොගැනීම පිළිබඳ ක්‍රම හා විධි කාරක සභාවේ දී ද දැඩි කතාබහක් ඇතිවිය. මෙසේ හිඟ සුරාබදු ආදායම් හා එයට අදාළ ප්‍රමාද ගාස්තු නොගෙවන මත්පැන් නිෂ්පාදනාගාරවල සුරාබදු බලපත්‍රය අත්හිටුවන ලෙස ක්‍රම හා විධි කාරක සභාව මගින් සුරාබදු නිලධාරීන්ට නියෝග කරනු ලැබීය.

හිඟ සුරාබදු ආදායම හා ප්‍රමාද ගාස්තු මුදල කෝටි 726 පනී

සුරාබදු නිලධාරීන් ද එකී මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමට මැලිකමක් දක්වයි. සුරාබදු නිලධාරීන් සඳහන් කරන ආකාරයට එකී මත්පැන් නිෂ්පාදන සමාගම්වල සුරාබදු බලපත්‍රය තහනම් කළහොත් එම ආයතන වැසී යාහැකි බව සඳහන් කරති. එමෙන්ම දැනට එම සමාගම් විසින් ගෙවනු ලබන සුරාබදු ආදායම පවා එකතුකර ගැනීමට නොහැකි වනු ඇති බවට සුරාබදු නිලධාරීන් පවසති. රජයට ලැබිය යුතු ආදායමක් එකතුකරදීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වගකීමකි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති ස්කාගාර 23 අතුරින් සුරාබදු ආදායම සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය සපයනු ලබන්නේ ස්කාගාර දෙකකි. එකී ස්කාගාර දෙක මෙරට මත්පැන් නිෂ්පාදනයේ වෙළෙඳපොළ කොටසෙන් සියයට 73ක් දරනු ලබන අතර එම ස්කාගාර දෙක රජයට නියමිත අයුරින් බදු මුදල් ගෙවන මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකකි.

මෙරට මත්පැන් නිෂ්පාදනයේ වෙළෙඳපොළ කොටසෙන් සියයට 27ක් උසලනු ලබන්නේ ඉතිරි ස්කාගාර 21 මගිනි. රජයට බිලියන ගණන් පොලු තබා ඇත්තේ මෙකී ස්කාගාර අතුරින් කිහිපයකි. එම නිසා රජයට හිඟ සුරාබදු ආදායම අදායම් ගෙවීම හා එයට අදාළ ප්‍රමාද ගාස්තු පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වල සුරාබදු බලපත්‍රය තහනම් කිරීමෙන් රට තුළ මත්පැන් හිඟයක් ඇති වන්නේ නැත. සුරාබදු දෙපාර්තමේන්තුව මෙරට රාජ්‍ය ආදායමට විශාල දායකත්වයක් ලබාදෙන දෙපාර්තමේන්තුවකි. 2023 වර්ෂයේ සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා මහා භාණ්ඩාගාරයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 217කි. එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් එකතුකොට ඇති ආදායම රුපියල් බිලියන171.2කි. 2024 වර්ෂයේ මහා භාණ්ඩාගාරය විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 232ක ආදායම් ඉලක්කයක් ලබාදී ඇත.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 දිනට හිඟ සුරාබදු ආදායම හා එයට අදාළ හිඟ ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් හත්සිය විසිහයකෝටි, පනස්දෙලක්ෂ, හැත්තෑහතරදහස් දොළහක මුදලක් (7,265,274,012) මුදලක් අයවීමට ඇතත් සුරාබදු නිවේදනවල විධිවිධාන ප්‍රකාරව එම මුදල අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. මෙදිනට මත්පැන් නිෂ්පාදන ආයතන 13කින් අයවිය යුතු හිඟ සුරාබදු මුදල හා හිඟ ප්‍රමාද ගාස්තුව රුපියල් හත්සිය පහළොස්කෝටි, අනූඑක්ලක්ෂ, හැත්තෑඅටදහස්, හත්සිය, හැත්තෑ අටකි. (7,159,178,778) රා නිෂ්පාදන ආයතන 13කින් අයවීමට ඇති මුදල හැටදෙලක්ෂ, දහඅටදහස් නමසිය හතළිහකි (6,218,940) මත්පැන් ස්කාගාර තුනකින් තුන්කෝටි, දාහතරලක්ෂ, අසූතුන්දහස්, හයසිය දහයක මුදලක් (31,483,610) අයවීමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම සුරාබදු හා මත්පැන් නිෂ්පාදන ආයතන 04කින් අපතය සඳහා හිඟ බදු වශයෙන් රුපියල් හයකෝටි අසූතුන්ලක්ෂ, අනූදෙදහස් හයසිය අසූහතරක මුදලක් (68,392,684) අයවීමට තිබුණි.

2019 වර්ෂයේ සිට එක් මත්පැන් නිෂ්පාදන ආයතනයකින් හිඟ සුරාබදු ආදායම සහ ඒ සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් තුන්සිය විසිඑක්කෝටි, හතළිස්තුන්ලක්ෂ, අනූඑක්දහස්, නමසිය හතළිස් අටක මුදලක් (3,214,391,948) අයවීමට තිබූ බවද මෙකී වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම දැනට වසර පහක පමණ කාලයක සිට මත්පැන් නිෂ්පාදන ආයතන හතරකින් අයවිය යුතු හිඟ සුරාබදු ආදායම සහ හිඟ ප්‍රමාද ගාස්තු මුදල වූ රුපියල් දෙසිය පනස්තුන්කෝටි, හැත්තෑලක්ෂ, විසිතුන්දහස්, හත්සිය හතළිස් අටක මුදලක් (2,537,023,748) අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. එමෙන්ම ඉකුත් වර්ෂයේ අවසාන දිනට මත්පැන් නිෂ්පාදන ආයතන 02කින් හා තවත් ආයතන 06කින් වර්තමාන සුරාබදු ආදායම නිසි ලෙස නොගෙවීම හේතුවෙන් හිඟ සුරාබදු ආදායම හා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් එකසිය හතළිස් කෝටි, හතළිස්අටලක්ෂ, විසිදහස් පන්සිය දෙකක මුදලක් (1,404,820,502) මුදලක් අයවීමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඉන් ආයතන තුනකින් තවදුරටත් හෑත්තෑකෝටි, හත්ලක්ෂ, හයදහස්, අටසිය අනූඅටක මුදලක් (700,706,898) මුදලක් හිඟ ආදායම වශයෙන් අයවීමට තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

හිඟ සුරාබදු ආදායම හා ප්‍රමාද ගාස්තු මුදල කෝටි 726 පනී

2023 වර්ෂයේ හා ඉකුත් වර්ෂ හතරක හිඟ ආදායම් වාර්තා සමග සැසඳීමේ දී අයවිය යුතු මුළු සුරාබදු ආදායම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාවට ඇතුළත් කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු සඳහන්ව ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ක්‍රම හා විධි කාරක සභාවේ දෙවැනි වාර්තාවට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අයකළ යුතු මුළු හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.9කි. ඉන් රුපියල් බිලියන 1.4ක් 2023 වසරට අදාළ වන බව මෙම වාර්තාවේ සඳහන් වේ. මෙකී වාර්තාවේ සඳහන් වන ආකාරයට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම අවුරුදු පහක් දක්වා වූ කාලය තුළ (අවුරුදු 01 සිට 05 දක්වා) ගෙවිය යුතු හිඟ සුරාබදු මුදල අසූනම කෝටි, පනස්ලක්ෂ, තිස්පන්දහස් දෙසිය හැත්තෑ නමයකි. (895,035,279) සිනර්ජි ඩිස්ටිලරිස් මත්පැන් සමාගම විසින් මෙම කාලය තුළ පැහැර හැර ඇති බදු මුදල රුපියල් හත්කෝටි, තිස්හයලක්ෂ, අනූහයදහස්, හයසිය පනහකි (73,696,651) රන්දෙණිගල ඩිස්ටිලරිස් සමාගම පැහැරහැර ඇති බදු මුදල පන්කෝටි, විසිහත්ලක්ෂ, පනස්දෙදහස් පන්සිය හැත්තෑහයකි. (52,752,576) හිඟුරාන ඩිස්ටිලරිස් සමාගම විසින් ගෙවීමට ඇති හිඟ සුරාබදු මුදල දොළොස්කෝටි, හාරලක්ෂ, හයදහස් එකසිය පනස් දෙකකි (120,406,152). රෝයල් සිලෝන් ඩිස්ටිලරිස් සමාගම පැහැර හැර ඇති හිඟ සුරාබදු මුදල රුපියල් තුන්කෝටි, අසූලක්ෂ, හැටහත්දහස් අටසිය තිස්පහකි (38,067,835).

වයඹ ස්ප්‍රීතු ආයතනය විසින් දැනට වසර 15කට වඩා වැඩි කාලයක සිට පැහැර හැර ඇති හිඟ සුරාබදු මුදල රුපියල් විසිහත්කෝටි, හතළිස් තුන්ලක්ෂ, දහතුන් දහස් අසූදෙකකි (274,313,082). වයඹ ස්ප්‍රිතු ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි බවට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ක්‍රම හා විධි කාරක සභාවට දැනුම් දී තිබුණි. වයඹ ස්කාගාරය විසින් වසර 15කට වඩා වැඩි කාලයක සිට පැහැර හැර ඇති හිඟ සුරාබදු මුදල රුපියල් පනස්හතරකෝටි, හතළිස් ලක්ෂ, පනස්පන්දහස්, එකසියදහසයකි (544,055,116). හිඟ බදු නොගෙවීම මත මෙකී මත්පැන් සමාගමේ බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගත් තීරණයට එරෙහිව මෙම සමාගම විසින් අභියාචනාගාරයේ නඩුවක් ගොනුකොට ඇත.

ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් අවුරුදු 15කට වඩා වැඩි කාලයක සිට රුපියල් එකසිය දොළොස්කෝටි, පනස්දෙලක්ෂ, හැත්තැහත්දහසක හිඟ බදු මුදලක් (1,125,277,000) සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳ තොරතුරු සොයාගත නොහැකි බවට ක්‍රම හා විධි කාරක සභාවට දැනුම් දී තිබුණි. එමෙන්ම මෙකී වාර්තාවේ සඳහන් ආකාරයට වයඹ ස්ප්‍රිතු ආයතනයේ සහ ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් ආයතනයේ අධ්‍යක්ෂවරයකු හිඟ බදු ගෙවීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත. මැකලම් බෲවරි ආයතනය විසින් වසර 15ක වඩා වැඩි කාලයක සිට ගෙවීමට ඇති හිඟ සුරාබදු මුදල රුපියල් පනස්නමකෝටි, තිස්තුන්ලක්ෂ, හැත්තෑඅටදහස්, පන්සිය හතළිස් හයකි (593,378,546). මැකලම් බෲවරිස් නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතින අතර එම සමාගම විසින් හිඟ බදු ප්‍රමාණයට සමාන මුදලක් බැංකුවේ තැන්පත්කොට ඇති බවද ක්‍රම හා විධි කාරක සභා වාර්තාවේ සඳහන් වේ.

ඒ විතරක් නොව සුරාබදු දෙපාර්තමේන්තුවේ යෝජිත ආදායම් පරිපාලන පද්ධතිය ක්‍රියාවට නැංවීම සිදුවන්නේ ඉබි ගමනේය. කාර්යක්ෂම ආදායම් පරිපාලනය, සේවාදායකයන් සඳහා ඉහළ පෙළේ සේවාවක් ලබාදීම, රාජ්‍ය ආයතන හා දත්ත හුවමාරුව විධිමත් කිරීම සහ මානව සම්පත් කළමනාකරණය සඳහා විධිමත් සැපයුම් දාමයක් ක්‍රියාත්මක කිරීම ආදී අරමුණු ඉටුකර ගැනීම සඳහා ආදායම් පරිපාලන ක්‍රියාවට නැංවීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. ඒ 2020 වර්ෂයේ දීය. මෙකී පද්ධතියේ මෘදුකාංග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන සලසා තිබුණි. එහෙත් මේ සඳහා 2022 වර්ෂයේ දී කිසිදු වියදමක් දරා නොතිබුණි. ඉකුත් වර්ෂයේ දී වෙන්කරනු ලැබූ මුදලින් මිලියන 06ක මුදලක් යොදවා ප්‍රාදේශීය කාර්යාලයක් ඉදිකොට තිබුණි. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුවට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය, නිෂ්පාදනාගාර අධීක්ෂණය, බොදාහැරීම හා සැපයුම්දාම නියාමනය, අපරාධ දත්ත හා නීති කළමනාකරණය, සුරා බදු හා බදු පරිපාලනය ආදි වැදගත් ක්ෂේත්‍ර සඳහා යෝජිත පරිගණක දත්ත පද්ධතියක අවශ්‍යතාවය ප්‍රමාද වෙමින් පැවතුණි.

සුරාබදු නිවේදනය අනුව පාරිභෝගිකයා වෙත ළඟාවීමට පෙර සෑම මත්පැන් බෝතලයකම හෝ කෑන් එකක් මතම අනුමත ඩිජිටල් සලකුණ මුද්‍රණය වී තිබිය යුතුය. එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත සලකුණු කළමනාකරණ පද්ධතිය පරීක්ෂා කිරීමේ දී ඩිජිටල් සලකුණ මුද්‍රණයවීම යන විධානය අඛණ්ඩව ක්‍රියාත්මක වී නොතිබුණි.

විගණන වාර්තාවට අනුව ධාන්‍ය මත්පැන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන සමාගමක 2023 වර්ෂයේ ජනවාරි 12 සිට 2023 වර්ෂයේ සැප්තැම්බර් මස 19 දක්වා කාලය තුළ එනම් අවස්ථා 54කදී මුද්‍රණ යන්ත්‍රය අක්‍රීයව පැවතුණි. මේ හේතුවෙන් ඩිජිටල් සලකුණ මුද්‍රණය නොවී බියර් බෝතල් 1,335,591 ක ප්‍රමාණයක් හා බියර් කෑන් 3.362,568 ක් හඳුනාගෙන තිබුණි. එම බෝතල් හා කෑන් හඳුනාගත් ප්‍රදේශ වෙත නිකුත් කිරීම සහ අපනයනය කිරීමට සුරාබදු දෙපාර්තමෙන්තුව මගින් ලිඛිත අනුමැතිය ලබා දී තිබුණි.

එමෙන්ම සැර මත්පැන් නිපදවන ප්‍රධාන සමාගමක 2022 ජනවාරි මස 13 දින සිට 2022 දෙසැම්බර් මස 31 දක්වා කාලය තුළ මුද්‍රණ යන්ත්‍රය අක්‍රීයව පැවතුණි. මෙම කාලය තුළ මිලි ලීටර් 180 මත්පැන් බෝතල් 3,601,735 ක් සහ 2023 වර්ෂයේ ජනවාරි මස සිට පෙබරවාරි මස 14 වැනි දින කාලය තුළ මිලිලීටර් 180 මත්පැන් බෝතල් 66,335ක් ඩිජිටල් සලකුණු මුද්‍රණය නොවීම වාර්තා වී තිබුණි. මෙම වර්ෂයේ ජනවාරි මස සිට මාර්තු මස 31 දින කාලය තුළ දී නව සුරාබදු බලපත්‍ර 32ක් ලබා දී තිබුණි. මෙකී නව සුරාබදු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳ ක්‍රම හා විධි කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සුරාබදු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලැබීය. දේශපාලන හිතවතුන්ට හා ඇතැම් දේශපාලනඥයන්ට ද අලුතින් සුරාබදු බලපත්‍ර ලබාදී ඇති බවද පැවසේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment