බාල පොහොර සිද්ධියට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු අතිරේක ලේකම්ට ඇප
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ රාජ්‍ය පාලන සමයේ 2021 වසරේ චීනයේ පෞද්ගලික සමාගමකින් ගෙන්වූ ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් දීමෙන් පළමු පොහොර තොගයෙන් 75% ක් එනම් රජයට ඇමරිකානු ඩොලර් මිලියන 6.9 කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ සිද්ධියට එවකට කෘෂිකර්ම විෂය භාර අමාත්‍යවරුන් ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව අල්ලස් කොමිෂන් සභාව ඊයේ (05දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
සිය සේවාදායකයා ක්‍රියාත්මක කර ඇත්තේ කෘෂිකර්මය කාබනික පොහොර ඇතුළු ප්‍රාමාණික දැනුම්වත් කමිටුවකින් ගත් තීරණයක් ක්‍රියාත්මක කිරීම පමණක් බවත් එම කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ රජයේ නිලධාරියකු වන රස්තියාදුකාරයකු නොවන ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නේ නම් ඒ සඳහා කැබිනට් තීරණ ගත් පිරිසත් අත්අඩංගුවට ගතයුතු බවත් පෙන්වා දෙමින් සැකකාර මහේෂ් ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කළ කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියෙක් එලෙස පැවැසීය.
සැකකරු රස්තියාදුකාරයෙකු නොව දැන උගත් රාජ්‍ය නිලධාරියකු බව තමන් ද පිළිගන්නා බව අධිකරණය හමුවේ පැවසූ එකී විමර්ශන නිලධාරියා දැන උගත් නිලධාරියකු වුවත් විචක්ෂණශීලීව කටයුතු නොකර රටේ ජනතාවගේ කෝටි 130 ක මුදලක් විනාශ කර තිබූ බවට ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව තම කොමිෂන් සභාව විමර්ශන සිදුකොට එම සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පැවැසීය.
එකී විදේශීය සමාගම රැගෙන ආ කාබනික පොහොර නැවෙන් ලබාගත් පොහොර සාම්පලය පරීක්‍ෂා කළ ශාක නිරෝධායන ආයතනය එකී පොහොර තොගය ප්‍රතික්ෂේප කර තිබියදී ඉන් තවත් සාම්පලයක් ලැබෙන තුරු දින 10 ක් ඉවසා නොසිට ක්‍රියාකළ ආකාරය නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබූ එවැනි විශාල මුදලක් අහිමිවී ඇති බවත් එම නිලධාරියා පැවැසීය. මෙම සැකකරු පොහොර සංස්ථාවේ සභාපතිවරයාට එම ණයවර ලිපි විවෘත කිරීමට බලපෑම් කර ඇති බවත්, එකී පොහොර තොගය ආනයනය කිරීමට දායක වූ අනෙක් සභාපතිවරයාට ඔහු යම් බලපෑමක් කර ඇත්තේ දැයි අනාවරණය කර ගැනීමට වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පැවැසූ විමර්ශන නිලධාරියා එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද කීය. විමර්ශන අවසන් නොමැති විටක සැකකරු ඇපමත මුදාහැරීමෙන් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට තර්ජනයක් මෙන්ම ඉදිරි විමර්ශනවලට ද බාධාවක් විය හැකි බැවින් විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසට ද හෙතෙම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
චීනයේ සිට ආනයනය කළ එකී පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම බරපතළ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට පත්ව තිබූ බව අධිකරණයට පැවසූ සැකකාර මහේෂ් ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අල්ලස් කොමිසම ඒ බව තේරුම් නොගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පසුගිය 28 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප පහක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (05දා) නියෝග කළාය.
සැකකරුට විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් ද නිකුත් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එම නඩුව ලබන ජූලි 11 වැනිදා යළි කැඳවීමට ද නියෝග කළාය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ දී ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් මත කාබනික පොහොර ආනයනය කිරීමට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එකී කැබිනට් සංදේශය 2021 වසරේදී ඉදිරිපත් කොට තිබූ බව ද ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා අධිකරණයට පැවැසීය.
කෙසේ නමුත් අධිකරණය විසින් නියම කළ එකී ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම නිසා එම සැකකරු පස්වරු 3.15 ට පමණ යළි බන්ධනාගාරය වෙත රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක