ජෛව විවිධත්ව දිනය සමරයි..

සෑම වසරකම ලෝක ජෛව විවිධත්ව දිනය සමරනු ලබන්නේ මැයි මස 22 වැනිදාටය. ජෛව විවිධත්වය සංරක්ෂණය, එය තිරසර භාවිතය සහ ජෛව විවිධත්වයෙන් ජනිතවන ප්‍රතිලාභ සමානව හා සාධාරණව බෙදාගැනීම යන කාරණාවලට මුල් තැන ලබාදීම මෙම දිනය සැමරීමේ අරමුණයි.

1992 දී රියෝද ජැනයිරෝ නුවරදී මුල් වරට පැවැත්වූ ලෝක මිහිතල සමුළුවේදී ලෝක ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී, ජෛව විවිධත්ව සම්මුතිය හඳුන්වා දීමෙන් අනතුරුව 2000 වසරේ සිට මුල්වරට ලෝක ජෛව විවිධත්ව දිනය සැමරීම ලොව පුරා සිදුකෙරේ. 192 ක් පමණ වූ අනෙකුත් සාමාජික රටවල් අනුව යමින් රියෝද ජැනයිරෝ නුවරදී පැවති පළමු මිහිතල සමුළුව නොහොත් “රියෝ සමුළුව”ට තම සහභාගිත්වය ලබාදෙන ශ්‍රී ලංකාවද 1992 දීම ලෝක ජෛව විවිධත්ව සම්මුතියට අත්සන් තැබූ සාමාජික රටක් ලෙස ලෝක ජෛව විවිධත්ව දිනය සැමරීම ආරම්භයේ පටන්ම සිදුකරන රටකි. එබැවින් මෙවර ජෛව විවිධත්ව දිනය සැමරීම සඳහාද තම සක්‍රීය දායකත්වය ලබාදෙමින් සම්මුතියේ මෙරට කේන්ද්‍රීය ආයතනය වන පරිසර අමාත්‍යාංශය මගින් සැමරුම් දින උත්සවයක් සංවිධානය කර තිබුණේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය තුළය.

හෝර්ටන්තැන්නේ යුලෙක්ස් මර්දනයට පරිසරවේදීහු එක්වෙති

”Be Part Of the Plan˜ යන්න ලෙස නම් කර තිබූ මෙවර ජාත්‍යන්තර ජෛව විවිධත්ව දින තේමාව “ජෛව විවිධත්ව සංරක්ෂණ සැලැස්මේ කොටස්කරුවන් වෙමු” යනුවෙන් සිංහලට සකස් කර සැමරුමට ලක්වූ මෙම ජෛව විවිධත්ව සැමරුමේදී අරමුණු කර තිබුණේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ස්වභාවික පරිසර පද්ධතියට තර්ජනයක්ව පැතිර පවතින “යුලෙක්ස් යුරෝපියස් – Ulex europaeus” නමැති ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂය ගලවා ඉවත්කිරීමේ වැඩසටහනකි.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සහ ප්‍රවීණ උද්භිද විද්‍යාඥ සිරිල් විජේසුන්දර, ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය ඇතුළු පරිසර අමාත්‍යාංශයට අයත් නිලධාරීන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා ඇතුළු එම දෙපාර්තමේන්තු නිලධාරීන්, අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, ශ්‍රී ලංකා යුද හමුදාව, පුද්ගලික අංශය, විශ්වවිද්‍යාල, යොවුන් සේනාංක, පරිසරවේදීන්, පාසල් සිසුන්ගේ යන පුළුල් සහභාගිත්වයකින් පැවති මෙම සැමරුමේදී පෙර දැක්වූ පරිදි හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය වසා පැතිර යමින් පවතින “යුලෙක්ස් යුරෝපියස් – Ulex europaeus” නමැති ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂය ගලවා ඉවත් කිරීමේ වැඩසටහනක් මනාව ක්‍රියාවට නගන ලදී.

හෝර්ටන්තැන්නේ යුලෙක්ස් මර්දනයට පරිසරවේදීහු එක්වෙති

මේ දිනවල දිවයිනට බලපාන අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේම හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ කාර්යාලය සහ තොරතුරු මධ්‍යස්ථාන පර්යන්තය අසලදී පෙරවරු 9.00 ට පමණ ආරම්භ කරන ලද සමාරම්භක වැඩසටහන සඳහා ආරාධිතයන් ඇතුළු ශ්‍රමදාන කටයුතු සඳහා සහභාගිත්වය දක්වන්නන් සියලුම දෙනා එක්ව සිටි අතර, මෙහිදී පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආචාර්ය සිරිල් විජේසුන්දර, හෝර්ටන්තැන්න උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහත්වරු සහ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කුමුදුනී විද්‍යාලංකාර මෙනවිය අදහස් දැක්වූහ. ජාත්‍යන්තර ජෛව විවිධත්ව දින වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳව මෙහිදී චන්ද්‍රකීර්ති මහතා සභාව දැනුවත් කළ අතර, ආචාර්ය විජේසුන්දර මහතා විසින් “යුලෙක්ස් යුරෝපියස් – Ulex europaeus” නමැති ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂය සහ ඒවා ගලවා ඉවත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන ලදී. “හෝර්ටන්තැන්න කියන්නේ වටිනා පරිසර පද්ධතියක් වගේම වටිනා පරිසර කලාපයක්. මෙහි ශ්‍රී ලංකාවට ආවේණික ජීවීන් 34 දෙනෙක් වාර්තාවන අතරම හෝර්ටන්තැන්නටම පමණක් ආවේණික වූ ජීවීන් 25 දෙනෙක් ජීවත් වෙනවා. මේ සංවේදී පරිසර නිකේතනය අපි ඉතා අවශ්‍යතාවයකින් සුරක්ෂිත කළ යුතුයි. එම නිසා අද වැඩසටහනට හෝ ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනයට පමණක් සීමා නොවී “යුලෙක්ස් යුරෝපියස් ඇතුළු ආගන්තුක ආක්‍රමණශීලී ශාක මෙයින් ඉවත් කිරීමේ වැඩසටහන් දිගටම ක්‍රියාත්මක විය යුතුයි” යනුවෙන්ද ආචාර්ය විජේසුන්දර මහතා මෙහිදී පැවසීය. උද්‍යාන පාලක සිසිර රත්නායක මහතා පෙන්වා දුන්නේ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය යනු ආවේණික ශාක සහ සතුන් දිවිගෙවන වටිනා භූමිභාගයක් වන මෙහි ආක්‍රමණික ශාක ඉවත් කිරීමද ඉතා සීරු-මාරුවට සිදුකළ යුත්තක් විය යුතුව ඇති බවයි.

හෝර්ටන්තැන්නේ යුලෙක්ස් මර්දනයට පරිසරවේදීහු එක්වෙති

අනතුරුව සහභාගි වූවන් සියල්ලෝම “යුලෙක්ස් යුරෝපියස් – Ulex europaeus” ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂය ගලවා ඉවත්කිරීමේ ශ්‍රමදානය සඳහා තම දායකත්වය ලබාදුන්හ. යුද හමුදා භට පිරිස් ඇතුළු කණ්ඩායම් “යුලෙක්ස්” ශාක ගලවා ඉවත්කිරීමේ ශ්‍රමදානයට තම ක්‍රියාශීලී දායකත්වය ලබාදුන් අතර, කන්දේඇල යොවුන් සේනාංකයේ සිසුන් සහ කාර්ය මණ්ඩලය ගලවා ඉවත්කරන ලද ආක්‍රමණික ශාක ක්ෂේත්‍රයෙන් ඉවත් කර විනාශකර දැමීමේ කටයුත්තට සහාය දක්වන ලදී.

මෙම වැඩසටහනේ තවත් වැදගත්ම කාර්යයක් වූයේ පරිසර අමාත්‍යාංශයේ මැදිහත්වීම මගින් එදින සිදුකරන ලද වැඩසටහන සඳහා සිදුකරන ලද සියලු කාර්යන්ගෙන් පරිසරයට මුදාහැරෙන කාබන් විමෝචනය බින්දුවක් වන පරිදි කටයුතු කිරීමට වැඩසටහනක් සැලසුම් කර තිබීමයි. ඒ බවට දැක්වෙන සහතිකය අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතාට පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරිණි.

සංචාරක සටහන –
ජගත් කණහැරආරච්චි
ඡායාරූප – නීලක අබේරත්න
ලසිත් සුරංග කුළුගම්මන

advertistmentadvertistment
advertistmentadvertistment