පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ෂෙයාර්ස් අයියර්ගේ නායකත්වයේ ඉනිමත්, යස්වේන්ද්‍ර චහාල් ගේ සුපිරි පන්දු යැවීමත් හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 49වන තරගය වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලැබීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්විය.
පෙරේදා (30 දා) චෙන්නායිහිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ ඇරයුමින් යුතුව පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 190ක් ලබාගත්තද, ලකුණු 191ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කිරීමට සමත්විය.
පන්ජාබ් කණ්ඩායමේ මෙම ජයග්‍රහණයත් සමගම මෙවර (2025) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවතට විසිවන්නට චෙන්නායි කණ්ඩායමට සිදුවිය. 5 වතාවක් තරගාවලි ශූරතාව දිනාගත් ඔවුන් මේ වන තෙක් මුහුණ දුන් තරග 10න් තරග 8ක්ම පරාජයට පත්වීම හේතුවෙනි.
චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී විශිෂ්ට ඉනිමක් ක්‍රියාත්මක කිරීමට සෑම් කරන් සමත්වූ අතර, ඔහු පන්දු 47කින් ලකුණු 88ක් ලබාගත් අතර, එම ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ද අන්තර්ඝත විය. ඊට අමතරව ඩෙවල්ඩ් බ්‍රෙවිෂ් ලකුණු 32ක් ලැබීය.
පන්දු යැවීමේදී යස්වේන්ද්‍ර චහාල් ලකුණු 32කට කඩුලු 4ක්, අර්ෂදීප් සිං ලකුණු 25කට කඩුලු 2ක්, මාකෝ ජැන්සන් ලකුණු 30කට කඩුලු 2ක් දවාලීය.
පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී නායකත්වයේ ඉනිමක් දියත් කළ ෂෙයාර්ස් අයියර් පන්දු 41ක් තුළ ලකුණු 72ක් ලබාගැනීමට සමත්වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත්ව තිබිණි. ඊට අමරතව ප්‍රභාෂිමරන් සිංග් ලකුණු 54ක් සහ ප්‍රියන්ෂ් ආර්යා ලකුණු 23ක් ලැබීය.
පන්දු යැවීමේදී කලීල් අහමඩ් ලකුණු 28කට කඩුලු 2ක් සහ මතීෂ පතිරණ ලකුණු 45කට කඩුලු 2ක් බිඳහෙළීය.
තරගයේ වීරයා ලෙස ෂෙයාර්ස් අයියර් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්