පොල් මිල වැඩි වුණේ අධිකාරියේ දූෂිත නිලධාරීන්ගේ වැඩ නිසා

781

පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු

පොල් මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා යැයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ අවධානය මේ සඳහා යොමුවිය යුතු බවද ඔහු පවසයි.

පොල් සංවර්ධන අධිකාරි පනතට අනුව පොල් අපනයන පාලනය, පොල් වෙන්දේසිය, අපනයනය කිරීම සඳහා පොල් නිෂ්පාදනය කිරීම ඇතුළු කරුණු රැසක වගකීම පොල් සංවර්ධන අධිකාරියට පැවරී තිබේ. එහෙත් එහි ඇතැම් නිලධාරීන් පනතේ උපදෙස් පිළිනොපැද කටයුතු කිරීම නිසා පොල් මිල ඉහළ ගොස් ඇතැයිද පෙරේදා (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බුද්ධික මහතා කියාසිටියේය.

සෑම වසරකම ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල පොල් ඵලදාව අඩු බවත් එම කාලවලදී දේශීය පොල් පාරිභෝජනයට ප්‍රමුඛ අවස්ථාව ලබාදී අපනයනයට සීමා පැනවෙන නමුත් අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන් විසින් පොල් වෙන්දේසියේදී ජාවාරම්කරුවන් සමග එක්ව පොල් අපනයනයට මුල්තැන ලබාදීමට කටයුතු කරන නිසා මේ වනවිට මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 160, 170, 180 වැනි මිලකට ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.

1971 අංක 46 දරන පොල් සංවර්ධන අධිකාරි පනතට වසර 53ක් ගතවී ඇතත් එම පනත උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි ආකාරයට නීති සකස් වී නැති නිසා දූෂිත නිලධාරීන් පනත උල්ලංඝනය කරමින් කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.

මේ වනවිට අධිකාරිය සතු රුපියල් මිලියන 500ක් බැංකුවල අඩු පොලියට මාස තුනෙන් තුන තැන්පත් කර එවැනි විශාල මුදලක් බැංකුවලට හඳුන්වා දීම වෙනුවෙන් බැංකු මගින් ලබාදෙන ‘හඳුන්වාදීමේ කොමිස් මුදල’ ඇතැම් දූෂිත නිලධාරීන් ලබාගනිමින් සිටින බවත් එවැනි මුදලක් ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට කිසිදු නීතිමය හැකියාවක් නැති බවත් පැවසූ ඒ මහතා මෙම දූෂණ ගැන විගණකාධිපති වාර්තා මගින්ද හෙළිකර ඇතැයිද කියා සිටියේය.

චමින්ද සිල්වා


advertistmentadvertistment