ඇමරිකාවට ශූරතාව අත්කර දෙමින් ටෝකියෝ ඔලිම්පික් උළෙල නිමාවෙයි

735

125 වසරක ඉතිහාසයකට හිමිකම් කියන නූතන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ 32 වැන්න ඊයේ (08) සවස ජපානයේ ටෝකියෝ අගනුවර දි නිමාවට පත් වූයේ අතිශය දියුණු තරගයකින් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයට සමස්ත ශූරතාවය හිමිකර දෙමිනි.

ප‍්‍රතිවාදී චීන ජනරජයෙන් එල්ල වූ ප‍්‍රබල අභියෝගයට අසීරුවෙන් මුහුණ දුන් ඇමරිකා එක්සත් ජනපදය මෙවර ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනයේදී සමස්ත ශූරතාව තහවුරු කර ගැනීමට සමත් වීම කැපී පෙනුණි. එය ඔලිම්පික් ක‍්‍රීඩා ඉතිහාසයේ සටහන් වූ තියුණුම තරගකාරීත්වය ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

ඇමරිකාවට  ශූරතාව අත්කර දෙමින් ටෝකියෝ ඔලිම්පික් උළෙල නිමාවෙයි

රටවල් 206 ක් නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 11000 ක සහභාගිත්වයෙන් යුතුව ක‍්‍රියාත්මක කෙරුණු මෙවර ක‍්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය තහවුරු කර ගැනීම සඳහා පැමිණි ගමනේදී ඇමරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 39 ක්ද රිදී පදක්කම් 41 ක්ද ලෝකඩ පදක්කම් 33 ක්ද ලෙස පදක්කම් 113 දිනා ගත්හ.

2012 සහ 2016 සමස්ත ශූරතාව තහවුරු කරගැනීම සඳහා දිනා ගන්නා ලද රන් පදක්කම් ප‍්‍රමාණයට වඩා 07 ක් අඩු වුවද එය මෙවර සමස්ත ශූරතාවය දිනා ගැනීම සදහා ඇමරිකා එක්සත් ජනපදයට ප‍්‍රමාණවත් වීම විශේෂත්වයකි.

ඇමරිකාවට  ශූරතාව අත්කර දෙමින් ටෝකියෝ ඔලිම්පික් උළෙල නිමාවෙයි



එක රන් පදක්කමකින් පමණක් මෙවර ඇමෙරිකාව ට දෙවැනි වූ චීනයට සමස්ත අනුශූරතාව හිමිවිය.

රන් 38 රිදී 32 සහ ලෝකඩ 18 ක් ලෙස පදක්කම් 88 ක එකතුවක් චීනය නියෝජනය කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දිනා ගත්හ.

2008 සමස්ත ශූරතාව තහවුරු කරගත් චීනය එවර දිනා ගත් රන් පදක්කම් සංඛ්‍යාව 51 කි.

පසුගිය ‘රියෝ – 2016’ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී 06 වන ස්ථානයෙන් සෑහීමට පත්වන්නට වූ සත්කාරක ජපානය මෙවර සමස්ත තෙවන ස්ථානය තහවුරු කර ගැනීම කැපී පෙනුණි. රන් 27, රිදී 14, ලෝකඩ 17 ක් ලෙස ජපානය මෙවර දිනා ගන්නා ලද පදක්කම් එකතුව 58 කී.

ඉකුත් වර සමස්ත අනුශූරයින් බවට පත් වූ මහා බි‍්‍රතාන්‍යයට මෙවර 04 වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු විය.

මෙහි 05 වන ස්ථානය ජාත්‍යන්තර ඔලිම්පික් ධජය යටතේ පිවිසි සෝවියට් රුසියාවටද 06 වන ස්ථානය ඔස්ටේ‍්‍රලියාවටද 07 වන ස්ථානය නෙදර්ලන්තයටද 08 වන ස්ථානය ප‍්‍රංශයටද 09 වන ස්ථානය ජර්මනියටද 10 වන ස්ථානය ඉතාලියටද හිමි විය.

දකුණු ආසියාවේ කීර්තිය ආරක්ෂා කර ගැනීමට සමත් වූ ඉන්දියාව රන් 01, රිදී 02 සහ ලෝකඩ 04 ලෙස පදක්කම් 07 ක් තහවුරු කර ගනිමින් ඔලිම්පික් ඉතිහාසයේ ප‍්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය ට හිමිකම් කීවේය. පසුගිය වර ඔවුන්ට හිමි වූ පදක්කම් සංඛ්‍යාව 02 කි. එය රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ලෙසිනි.

මෙවර ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 09 දෙනකු සහභාගි වූ අතර ඔවුන්ට පදක්කමක් අහලකට හෝ පැමිණීමට නොහැකි වීම ද කැපී පෙනුණි.

බර ඉසිලීම, පිහිණුම් සහ මලල ක‍්‍රීඩා ආශ‍්‍රිතව නව ලෝක වාර්තා මෙන්ම ඔලිම්පික් වාර්තා පිහිටුවමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ප‍්‍රදර්ශනය කළ දක්ෂතාවය තුළින් මෙවර ක‍්‍රීඩා උළෙල ආලෝකමත් වූ බව සඳහන් කළ යුතුමය. ක‍්‍රීඩා 33 ක් ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක කෙරුණු මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට සමත් වූ රටවල් ප‍්‍රමාණය 93 කි. ඒ අතරේ රටවල් 65 ක් එක් රන් පදක්කමක් හෝ දිනා ගැනීමට සමත්වීම කැපී පෙනුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment