මතුගම වෙඩි පත්තු වෙයි – අපේක්‍ෂකයාගේ රථය පොලිස් භාරයට

1447

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ නියෝගය මත මතුගම ගාමිණි මාවතේ නිවසක ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු පෙරේදා (06 දා) රාත්‍රී 8.15 ට පමණ සැක කටයුතු වාහනයක් දෙසට වෙඩි ප්‍රහාර 05 ක් එල්ල කර ඇති බවත් ඉන් කිසිදු පුද්ගලයකුට හෝ දේපොළකට හානියක් සිදුවී නොමැති බවත් මතුගම පොලිසිය කියයි.

මෙසේ පොලිස් ආරක්ෂාව යොදවා ඇත්තේ අපරාධ වින්දිතයකු වන මල්වතු කංකානම්ලාගේ අසංක ප්‍රකාශ් පෙරේරා නම්වූ අයට අයත් නිවසටය.

තමා අදාළ නිවසේ උඩු මහලේ බැල්කනියේ රැඳී සිටිමින් රාජකාරියේ යෙදී සිටියදී කළු පැහැති නිසාන් වර්ගයේ ජීප් රථයක් මතුගම ඇතුලත්මුදලි වටරවුමේ සිට ගාමිණී මාවත දෙසට ආ බවත් එය නිවස ඉදිරිපිටදී වේගය අඩු කළ බවත් ඒ සමගම වෙඩි ශබ්දයක් ඇසුණු බවත් පොලිස් සැරයන් (62907) සිල්වා මහතා කර තිබූ ප්‍රකාශයේ සඳහන් වෙයි.

ඒ අනුව ජීප් රථයෙන් නිවසට වෙඩි තැබූ බවට සැක කොට ජීප් රථය දෙසට වෙඩි තැබූ බවත් ඔහු කර තිබූ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ය. මේ අතර ජීප් රථය පැදවූ නිහාල් ජයසිංහ යන අය පොලිසියට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ තමා පාරේ ගමන් කරමින් සිටින විට වෙඩි තැබීමක් සිදුවූ බවයි. ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයෙකි. ඔහු ගමන් කළ ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර මහතාගේ උපදෙස් මත මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

කළුතර විශේෂ එස්.ආරච්චිගේ


advertistmentadvertistment