බක්මස හෙවත් භාග්‍යවන්ත මාසයේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවය සිංහල ජන දිවියේ වැදගත් සංස්කෘතික ලක්‍ෂණ රැසක් මතු කර පෙන්වන උත්කර්ෂවත් අවස්ථාවකි. බැලු බැල්මට හුදු අවුරුදු සිරියෙන් ඔප්නැංවෙන උත්සවශ්‍රීයෙන් යුතු අවස්ථාවක් සේ පමණක් පෙනෙන අලුත් අවුරුද්ද දෙස විමර්ශනාත්මකව බැලීමේදී ඒ හා බැඳුණු සමාජ සංස්කෘතික ඓතිහාසික කරුණු සහ මූලයන් රැසක්ම පවතින බව පෙනේ. අප අලුත් අවුරුද්ද දෙස බැලිය යුතු එක් දෘෂ්ටිකෝණයක් ලෙස එම සොයා බැලීම වැදගත්ය.

සිංහලයාගේ සාම්ප්‍රදායික උත්සව සියල්ලම යෙදී තිබෙන්නේ චන්ද්‍ර මාස ක්‍රමය අනුව වුවත් බක්මහට යෙදෙන අලුත් අවුරුද්ද චන්ද්‍ර මාස ක්‍රමය මෙන්ම සූර්ය මාස ක්‍රමයද අනුව පවත්වන උත්සවයක් වීම මෙහිදී පළමු කොට හඳුනාගත යුතු කරුණකි. එනම් චන්ද්‍ර වර්ෂය සහ සූර්ය වර්ෂය යන වර්ෂ දෙකම පදනම් කරගෙන මෙම උළෙලේ සියලු පිළිවෙත් ගොඩනැඟී පැවතීමය. ඒ අනුව අභිනව වර්ෂයක් බිහිවන්නේ සූර්යයා මීන රාශිය ගෙවා මේෂ රාශියට පැමිණීමෙනි. එය සූර්ය රාශිය අතර කෙරෙන සංක්‍රාන්තියේදී සිදුවන තවත් සංක්‍රාන්තියකි. එම දිනය සූර්යයා පදනම් කර ගනිමින් සිදුවන ක්‍රියාවක් වන අතර චන්ද්‍රයා අනුව සිදුවන, නැත්නම් චන්ද්‍ර කලාවන් අනුව සිදුවන චන්ද්‍රයාගේ කලාවන්ගේ නැඟිම සහ බැසීම මත සිදුවන ක්‍රියාවලිය අනුව දින හා මාස ගණනය කරනු ලැබේ. අනෙක් අතට අවුරුදු චාරිත්‍ර අතර නව සඳ බැලීමක්ද හඳුනාගත හැකි අතර, බක්මාසයේදී නව සඳ හෙවත් නව බක් සඳ බැලීම වාසනාවක් ලෙස සීගිරි කවීන් පවා සඳහන් කර ඇත. මේ අනුව සූර්ය සංවත්සරය සහ චන්ද්‍ර සංවත්සරය මත බක්මස ඇරඹෙන අවුරුදු සංක්‍රාන්තිය සිංහල අලුත් අවුරුද්ද ලෙස සලකන බව කිව යුතුය.

සිංහල අවුරුද්ද ශත වර්ෂ ගණනකට පෙරින් බක්මස පුර පෑලවියෙන් ආරම්භ වූ බවට සාධක ඇත. එමෙන්ම මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුතු කරුණක් නම් හරියටම අවුරුද්ද යෙදෙන්නේ අප්‍රේල් 14 වෙනිදාය යන පිළිගැනීමත් අතීතයේදී වෙනස් වී තිබුණ බවයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වූයේ මාර්තු 21 දිනයේ සිට බවට ඇති ප්‍රවාදය මෙහිලා සඳහන් කළ යුත්තකි. රොබට් නොක්ස් ගේ වාර්තාව පෙන්වා දෙන්නේ දෙවන රාජසිංහ රජු සමයේ අප්‍රේල් 8 සහ 9 යන දෙදින අවුරුද්ද පැවැත්වූ බවකි. පැරණි සිංහලයා මේෂ රාශියේ පළමු ලක්ෂ්‍යය සූර්යය ගමනට ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වන බවද ඔවුන් පූර්වායනය පිළිබඳ දැන සිටි බවද මෙයින් පෙනී යයි. මේෂ රාශියේ ප්‍රථම ලක්ෂ්‍යය අංශක එකකින් ආපස්සට යෑමට වසර 172 ක් පමණ ගත වන බවත් රොබට් නොක්ස්ගේ කාලයේ සිට අද දක්වා දින 5 කින් පමණ අවුරුද්ද ඉදිරියට ගොස් ඇතැයිද අපට ඒ සමඟ සිතිය හැකිය.

අලුත් අවුරුද්දේ ඓතිහාසික පසුබිම තවදුරටත් විමසා බැලීමේදී පැහැදිලිවම පෙනී යන කරුණක් නම් අද අප පවත්වන අන්දමේ අලුත් අවුරුද්දක් පැවැති බවට ලිඛිත සාධක නොමැති බවය. මහා වංශයේ මෙම උළෙල පිළිබඳව කිසිදු සඳහනක් නොමැති අතර එයට පසුව ලියැවුණ වංසත්තපකාසිනී මහා වංශ ටීකාවේත් අවුරුදු උළෙලක් පිළිබඳ තොරතුරු දක්නට නොලැබේ. ප්‍රධාන ධර්ම ශාස්ත්‍රීය කෘති වන ධර්මප්‍රදීපිකාව, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි පොත්වලත් අවුරුද්ද පිළිබඳව සඳහන් නොවන බව කිව යුතුය. අවුරුදු උළෙලවල් ගැන අපේ ඉතිහාසයේ මුල් වරට යම් සඳහනක් දක්නට ලැබෙන්නේ මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1781) රජුගේ කාලයේදීය. රජතුමා නොනගත කාලය තුළදී ග්‍රහයන්ගේ ආරක්‍ෂාවක් නැතිවීම නිසා දළදා මාලිගාවේ සිටි බවත් හිස තෙල් ගෑමට අවශ්‍ය ශාක පත්‍ර නානු සෑදීමට හැලි වලන් ආදිය මල්වතු අස්ගිරි විහාරවලට සැපයූ බවත් කියවේ. කෙසේ වුවද මෙම අවුරුදු ක්‍රියාකාරකම් අද අප අවුරුද්දේ කරන ක්‍රියාකාරකම් නොවන බව ‘කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ආගමික ලෝකය’ (The Religious World of Keerthi Sri) නමින් ක්ලිපර්ඩ් හොල්ඩ් නම් ලේඛකයා ලියූ කෘතියේ සඳහන් කරුණු වලින් පැහැදිලි වේ. මේ හැර පැරකුම් රජුගේ ළමා කාලයේදී පැවැත්වූ වසන්ත සැණකෙළියක් පිළිබඳ තොරතුරු මහා වංශයේ 64 වන පරිච්ජේදයේ සඳහන් වුවත් එයද සිංහල අලුත් අවුරුද්දක් නොවන බව පැහැදිලිය. ක්‍රි.ව. 1660 දී ලක්දිව පැමිණි රොබට් නොක්ස් පවසන්නේ රජතුමාගේ මූලිකත්වය ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් මත අප්‍රේල් 8 සහ 9 දිනයන්හි උත්සවයක් පැවැති බවයි. නොක්ස්ගේ කෘතිය ප්‍රසිද්ධ කර වසර 140 කට පමණ පසුව ජෝන් ඩේවි තමාගේ උඩරට සමාජය ගැන ලියූ කෘතියේ ද මෙබඳුම උත්සවයක් ගැන සඳහන් වෙතද එයද අද අවුරුදු උළෙලට වඩා වෙනස් වූ එකකි. එයින් පසුව ජාතික උත්සවයක් ලෙස අවුරුදු උත්සවය ගැන අපට ලිඛිත සාධක නැත. සිංහල අවුරුද්ද පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ ලිපියකින් පවසා තිබුණේ අවුරුදු උළෙල ජාතික උත්සවයක් ලෙස පළමුවරට කොළඹ නගරයේ පවත්වන ලද්දේ 1914 දී බවයි. ඒ සඳහා සිංහල තරුණ සංගමය මූලික කර ගත් දේවගැති ජේ. සයිමන් ද සිල්වා, සර් ඩී.බී. ජයතිලක, හෙන්රි ද මැල්, දොස්තර සොලමන් ප්‍රනාන්දු වැනි අය ඉදිරිපත් වී ඇති අතර එම උත්සවයට දස දහසකට වැඩි පිරිසක් සහභාගි වූ බව දක්වා තිබේ. එහි කථිකයන් වශයෙන් මහ මුදලිඳු ක්‍රිස්ට්‍රෝපර් ඔබේසේකර, ආර්. බටුවන්තුඩාවේ, පෝල් ඊ. පීරිස් වැනි ජාතික නායකයන් සිටි බවද ලියා ඇත. ඉන් පසුව මෙම උළෙල ක්‍රමයෙන් අභාවයට ගොස් ඇත. 1914 අප්‍රේල් 13 වන දින ජේ. සයිමන් ද සිල්වා දේවගැතිතුමා ඔහුගේ දිනපොතේ එදින පැවැත්වූ අවුරුදු උත්සවය ගැන සඳහන් කරමින්. “එය සිහි කටයුතු උතුම් දිනයක් විය” යනුවෙන් ලියා ඇති අතර අනතුරුව 1927 අප්‍රේල් 23 වන දා නැවැත මෙසේ ලියා ඇත. “අවුරුදු 12 කට පමණ උඩදී අප මේ දවස නිමිති කොට පැවැත්වීමට ආරම්භ කළ ජාතික උත්සවය යළිත් නැඟිට නොහැකි සේ යට ගියේය. එය පැරණි විධියෙන් පොදු ජනකාය තවම පවත්වති. ප්‍රදර්ශනයක හා නාට්‍යයක ස්වරූපයෙන් ජාතික උත්සවය පවත්වන්නට පටන් ගනු ලැබීමත්, අවුරුදු කිහිපයකදී එය කෙමෙන් මියයෑමත්, පුදුම ධර්මතාවයකි.”

(මාර්ටින් වික්‍රමසිංහ රසවාහිනි සඟරාව – 1970 අප්‍රේල්)

සිංහල අවුරුද්දේ ඓතිහාසික පසුබිම විමසීමේදී හඳුනාගත යුතු තවත් වැදගත් කරුණක් නම් එය සිංහල මෙන්ම දෙමළ අවුරුද්ද ලෙසද හැඳින්වීමයි. එහෙත් හින්දු සංස්කෘතියට අනුව අවුරුද්දක් ලෙස එක දවසක සැමරුමක් පැවැතිය හැක. හින්දු සංස්කෘතිය මුල් බැසගත් උත්තර භාරතයේ අලුත් අවුරුද්දක් නැති අතර, අප්‍රේල් 14 දින වසන්ත උත්සවය ලෙස සලකා පවත්වන සිත්තර පුත්තාණ්ඩු විතනිරෙයි පිරප්පු සහ සිත්තර වර්ෂම්’ යන නම් වලින් හඳුන්වන උළෙලක් ඇත. එය සිංහල අවුරුද්දට කිසිසේත් සමාන නොවේ. මෙම දිනය සිංහල සහ දෙමළ දෙඅංශයටම වැදගත්වීමට බලපෑ විශේෂ හේතුව නම් 1886 ජනවාරි 15 වැනිදා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ විවාද කළ 1886 අංක 4 දරන නිවාඩු පනත් කෙටුම්පතයි. එහිදී එවකට මුදල් භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ පැටර්සන් පැවසුයේ මිනිසුන් වැඩිපුරම නිවාඩු ගෙන ඇත්තේ සිංහල අවුරුද්ද (අප්‍රේල් 11) වුවත් යාපනයේ දෙමළ ජනයා එම දිනයේම ආගමික උත්සවයක් පවත්වන නිසා මෙම නිවාඩු දින 02 බෞද්ධ සහ හින්දු නිවාඩු දිනය ලෙස උපලේඛනයට ඇතුළු කළ යුතු බවයි. මේ අනුව ගැසට් පත්‍රයේ පළවූයේ සිංහල සහ හින්දු අලුත් අවුැරද්ද ලෙසයි. ලංකාවේ බහුතර හින්දුන් දෙමළ වීම නිසා පසුව සිංහල සහ දෙමළ අවුරුද්ද ලෙස නීතිගත වී යැයි සිතිය හැක.

සිංහල අවුරුද්ද අද පවතින තත්ත්වයට පත්වූයේ කෙසේදැයි සොයා බලන ශාස්ත්‍රීය විමර්ශනයකදී ශක වර්ෂ ක්‍රමය හෙවත් සූර්යය මාස ක්‍රමය අනුව සකසා ගත් ලිත් ක්‍රමය පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. මේ සක වර්ෂ ක්‍රමය අපේ සමාජය තුළ භාවිතාවට පැමිණියේ 14 වන සිය වසේදී පමණ විය හැකි යැයි අනුමාන කළ හැක්කේ එම කාලයේ ලියවුණු දළදා සිරිත නම් වූ පොතේ එන “සක වසින් 1247 වැන්න” නම් පාඨයයි. එමෙන්ම එම සියවසටම අයත් ගඩලාදෙණිය සෙල් ලිපියේ “ශ්‍රී ශත වර්ෂයෙන් එක්වා දහස් අවුරුද්දක්ම පිරුණු” යන යෙදුමද වැදගත් වේ. මෙයින් පෙනී යන්නේ දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පය අනුව ගොඩනැඟුණු ගඩලාදෙණිය ගෘහ නිර්මාණ ශිල්පය මෙන්ම ශක වර්ෂ ලිත් ක්‍රමයත් අපට ලැබුණේ ඉන්දියානු ද්‍රවිඩ සංස්කෘතිය හරහා බවයි. පසුව කෝට්ටේ කාලයේදී මෙම දකුණු ඉන්දියානු බලපෑම වර්ධනය වූ අතර කන්ද උඩරට රාජධානී කාලය වන විට එහි උපරිමයට ළඟා වෙමින් ඉන්දියානු රජවරුන් මදුරාපුර රාජාවලියක් මහනුවර පටන් ගත් බවත් පෙනේ. එදා රජුන්ගේ කාලයේ එහි පැවැති ප්‍රධාන මංගල්ල 4 වූයේ

  1. දුරුතු මස අලුත් සහල් මංගල්ලේ
  2. බක්මස අවුරුදු මංගල්ලේ
  3. ඇසළ මස පෙරහැර මංගල්ලේ
  4. ඉල් මස කාර්තිකේය මංගල්ලේ ය.

මෙම මංගල්‍ය හතරටම තිබුණේ පැහැදිලි හින්දු පසුබිමකි. මහවාසල දකුණු ඉන්දියානු රජවරුන්ගේ අනුග්‍රහය ලබාගෙන පැවැත්වූ අවුරුදු චාරිත්‍ර සියල්ලම සිංහල අවුරුදු චාරිත්‍ර ලෙසයි. සමාජයේ ප්‍රචලිත වූයේ සඳ බැලීමේ චාරිත්‍රය වෙනුවට මෙහිදී දැකිය හැකි වූයේ බේත් යුෂ නානු සමඟ පිරිසිදු වීමේ චාරිත්‍රයයි.

මෙලෙස විවිධ මුහුණුවරින් ක්‍රමිකව හැඩගැසුණු අවුරුද්ද පොදුවේ ගත් විට මුළුමනින්ම කෘෂක ගැමි සමාජයේ නිෂ්පාදිතයක් ලෙස පසු කාලයේ මෙරට සමාජයේ ස්ථාපිත වූ බව පෙනේ. මහ පොළොව සමඟ ඉතා කිට්ටු සබඳතාවයක් තිබුණු අපේ ගැමියා තමාගේ ජීවන රටාව හදාගත්තේද පොළොවේ ස්වභාවික ක්‍රියාවලිය නිවරදිව තේරුම් ගනිමිනි. එසේ බලන විට මහකන්නය නම් ප්‍රධාන කන්නයේ අස්වනු ගෙට ගැනීමේ සතුටයි. මෙහිදි කැපී පෙනෙන්නේ දෙවනුව ඒ සතුට ඇතුළේ ඔවුන්ට ඒ සතුට ලබා ගැනීමට උපකාර වූ අයට යාතුකර්ම පිළිවෙත් මගින් කලගුණ සැලකීමක් දැකිය හැකිය. මේ ක්‍රියාදාමය තුළ ගොඩනැඟුණු සංස්කෘතියේ හිරු පිළිබඳ විශ්වාසය මූලික විය. මෙලෙස ආර්යයන් පර්සියාවේ සිට ඉන්දියාව දක්වා ගමන් කළේ මෙබඳු විශ්වාස පද්ධතියක් සහිතව බවත් ලංකාවේදී එය බුදු දහමට අනුකූලව හැඩ ගැසුණු බවත් කිව යුතුයි.

කෙසේ වුවද සිංහල අලුත් අවුරුද්ද අපට ආවේණික සංස්කෘතිකාංග හර ඇගයුම් ඔප් නංවා පෙන්වන සමාජ ප්‍රතිසංස්කරණ උත්සවයක් බව පොදුවේ පිළිගැනේ. එසේ වුවද නූතනයෙහි එම තත්ත්වයෙහි බරපතළ වෙනස්වීමක් දැකිය හැකි වීමද ඒ සමඟම අවධාරණය කළ යුතුය. එම වෙනස අප තේරුම් ගත යුත්තේ වේගයෙන් නවීකරණය වන නූතන සමාජයේ සිටින මිනිසා කවුදැයි නිවැරදිව තේරුම් ගැනීමෙනි. අද සිටින මිනිසා පළමු කොට දැඩි ආත්මීය හුදකලා බවට පත්ව සිටී. දෙවනුව ඔහු නිර්වින්දනීය මිනිසෙකු ලෙසද හඳුනාගත හැක. තෙවනුව තමාට උසුලාගත නොහැකි බලාපොරොත්තු සහ ආශාවන් පොදියක් ඔහු හිස මත තබා ගෙන සිටී. අද දැකිය හැක්කේ වැවෙන් උපන් සංස්කෘතියක් නොව තාක්‍ෂණික මෙවලම් සංස්කෘතියක් වීම එයට හේතුවයි. එසේ නම් අද අවුරුද්ද අප තේරුම් ගත යුත්තේ කෙසේද ? මිනිසුන් විසින් තම අවශ්‍යතා මත ඊට ගැළපෙන පරිදි වෙනස් කර ගත් උත්සවයක් බවට අද සිංහල අලුත් අවුරුද්ද පත්ව ඇත.

දයා අමරසේකර
සම්මානිත මහාචාර්ය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.


advertistmentadvertistment