වමේ බුද්ධිමතුන් සහ දේශපාලන නායකයන් ගෙන් විරෝධය
පළාත් සභාවල අනුමැතිය නැතිව ක්‍රියාත්මක කරන්න බැහැ!
ප්‍රධාන යෝජනා 10ක් පාර්ලිමේන්තු කමිටුවේදී ඉවතට
වගකීම් පවරන්න කලින් මැතිවරණය පවත්වන්න
දැන් තීරණය තියෙන්නෙ ජනතාව අතේ
ජනාධිපතිවරණ උණුසුමත් සමග අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදය යළි පෙරට පැමිණ තිබේ. වත්මන් ජනාධිපතිවරයාගේ උපදේශකත්වය මත, අගමැතිවරයා, අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු දසදෙනකු ගෙන් යුත් ඇමැති මණ්ඩල කමිටුවක් විසින් සම්පාදනය කරන ලද ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව’ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී එළිදැක්විණි. එය නිර්දේශ 41ක් සහිත පිටු 33ක වාර්තාවකි. රටක අධ්‍යාපනය වැනි තීරණාත්මක වැදගත්කමක් දරන ක්ෂේත්‍රයක ප්‍රතිපත්ති සම්පාදනය අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වකරුවන් මෙන්ම මහජනතාවගේ ද පුළුල් සහභාගීත්වයෙන් යුතුව සිදු වියයුතු වුවත් මෙහිදී එවැනි පිළිවෙතක් අනුගමනය නොකෙරිණි. අදාළ ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් මේ වනවිට විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍ය ප්‍රජාව, ගුරු සංගම්, සිවිල් සමාජ සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින් ද සිය විරෝධය පළ කොට තිබේ.
පාර්ලිමේන්තුවේ, අධ්‍යාපනය සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව එම යෝජනාවලිය පිළිබඳව රැස්වීම් වාර 5ක දී සාකච්ඡාවට ලක් කළ අතර අදාළ ආයතන ප්‍රධානීන් සහ ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් ද එම සාකච්ඡා සඳහා සහභාගී කර ගැනිණි. 2024 මැයි 09 වැනිදා කාරක සභාව සිය සමාලෝචන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එමගින් අදාළ ප්‍රතිපත්ති රාමුවෙහි සඳහන් නිර්දේශ 41 අතුරින් 31 අවශ්‍ය සම්පත් සැපයීමට හා කාරක සභාව විසින් යෝජිත සංශෝධනවලට යටත්ව අනුමත කර ඇති අතර නිර්දේශ 10ක් සඳහා අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබේ. යෝජිත ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් වැඩිම විරෝධයට හේතු වූ උසස් අධ්‍යාපනය සඳහා සිසුන් ගෙන් මුදල් අය කිරීම ඇතුළු අරමුදල් සම්පාදනය පිළිබඳ යෝජනා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ‘ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව’ බවට පත් කිරීම, පළාත් අධ්‍යාපන මණ්ඩලවලට විශ්වවිද්‍යාල පිහිටු වීමේ බලය ලබාදීම, ජාතික පාසල් අහෝසි කොට සියලු පාසල් පළාත් සභා යටතට පැවරීම ඇතුළු ආන්දෝලනාත්මක යෝජනා එම ප්‍රතික්‍ෂේපිත යෝජනා අතර වේ. මෙය පැහැදිලිවම, යෝජනාවලියෙහි දුෂ්ට අරමුණුවලට එරෙහිව හඬ නැඟූවන්ගේ ජයග්‍රහණයකි.
එසේ වුවද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අදාළ කේන්ද්‍රීය ගැටලුවක් සම්බන්ධයෙන් එම කාරක සභාවේද අවධානය යොමු වී නැත. එනම්, 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මධ්‍යම ආණ්ඩුවට මෙන්ම පළාත් සභා විෂය පථයට ද අයත් වන අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පළාත් සභාවල අදහස් විමසීමකින් තොරව මධ්‍යම ආණ්ඩුවේ තනි අභිමතය පරිදි තීරණ ගැනීමයි. පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් මේ වනවිට කිසිදු පළාත් සභාවක මහජන නියෝජිතයන් නොමැති අතර ඒවා පාලනය වන්නේ විධායකය විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් යටතේය. යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මෙම ගැටලුව මුල්වරට අවධාරණය කළේ සිවිල් සංවිධාන 57ක් නියෝජනය කරන අධ්‍යාපන සංවර්ධන සන්ධානයයි.
බලය බෙදාහැරීම හා පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් සාධනීය අදහසක් දරන විද්වතුන් සහ විශේෂයෙන් වාමාංශික ප්‍රතිපත්ති නියෝජනය කරන දේශපාලන නායකයන් මේ පිළිබඳව දරන අදහස කුමක් ද? අප සමග අදහස් පළ කළ බොහෝ දෙනකු පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිපත්ති රාමුව ඒකපාර්ශ්විකව ක්‍රියාවට නැංවීම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එමෙන්ම, යෝජිත ප්‍රතිපත්ති රාමුවෙහි අරමුණු සම්බන්ධයෙන් ද ඔවුන් ගෙන් පළ වූයේ දැඩි විරෝධයකි.
මහාචාර්ය සුමනසිරි ලියනගේ සිය අදහස් දැක්වීම ආරම්භ කළේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුදය මුලින්ම අවධාරණය කරමිනි.
“පළාත් සභා අක්‍රිය කිරීමත් මධ්‍යම ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියේ වැඩක්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය, මහ මැතිවරණය, ආණ්ඩුවට නොපවත්වා ඉන්න බැහැ. ඒ වගේම පළාත් සභාවත් එවැනි නිශ්චිත කාලයක දී පවත්වන්න ආණ්ඩුවට බලකෙරෙන නීති සම්පාදනය වෙන්න ඕන. ආණ්ඩුව කියන්නේ ලබන වසර මුලදි එය පවත්වන බව. නමුත් ඒ අතරේ තමය,ි මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉදිරියට දාල තියෙන්නේ. ලංකාවේ අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය අඩුයි. එතැනින් පළාත් පාලන මුදල් කොමිසමට ලැබෙන ප්‍රමාණය තවත් අඩුයි. එතැනින් මුදල් බෙදීමෙත් විෂමතාවක් තියෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම මේ යෝජනාවලියේ අරමුණ බව ඉතා පැහැදිලියි. මේ ප්‍රතිපත්ති රාමුවේ අඩංගු කරුණු දිහා බලපුවම ඒව ක්‍රියාවට නැඟුණොත් නිදහස් අධ්‍යාපනය මේ පවතින මට්ටමින්වත් ගෙනියන්න බැරි වෙනවා. අධ්‍යාපනය අද මුහුණ දෙන ගැටලු එකකටවත් විසඳුම් ඔය හැදුවෙ කවුද කියන එකවත් නොදන්න ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ නැහැ.
යහපාලන රජය සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ නීතිඥ ලාල් විජේනායක පෙන්වා දෙන්නේ, විමධ්‍යගත කළ බලතල යළි මධ්‍යගත කිරීමක් මෙමගින් සිදු වන බවයි.
“මේ මොහොත වනවිට පළාත් සභාවල තියෙන්නේ පරිපාලන ව්‍යුහය විතරයි. දේශපාලන නායකත්වයක් නැහැ. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි යෝජනා ගෙන ඒම ව්‍යවස්ථානුකූල නෑ. මොකද ප්‍රතිපත්ති තීරණය කරන්නේ දේශපාලන නායකත්වය. පළාත් සභාවට රටේ යම් තීරණාත්මක වගකීමක් පවරන්න අදහස් කරනවනම් ඉස්සරවෙලා කරන්න ඕන පළාත් සභා මැතිවරණය පවත්වලා, පළාත් සභා සක්‍රීය කරන එක. ඊට පස්සෙයි මෙවැනි තීරණවලට යා යුත්තේ.
අනිත් වැදගත් කාරණය තමයි, විමධ්‍යගත කරපු බලතල වෙනත් ආකාරයකින් මධ්‍යගත කිරීමක් මෙතැනදි සිද්ධ වෙනවා. දැන් පළාත් සභාවලට නායකත්වය දෙන්නේ ආණ්ඩුකාරවරයාය. ආණ්ඩුකාරවරයා පත්කරන්නේ ජනාධිපතිවරයා විසින් ඔහුගේ නියෝජිතයා හැටියට. ආණ්ඩුකාරයා විසින් තමයි කොමිෂන් සභා, කමිටු ආදිය පත් කරන්නේ. පළාත් රාජ්‍ය සේවා කොමිසමට නිලධාරීන් පත්කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. දැන් අනියම් ආකාරයෙන් පළාත් සභා සතු බලතල විධායකය අතට අරගෙන තියෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාමලා කුමාර් යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සම්බන්ධයෙන් ගැටලු රැසක් අවධාරණය කළාය.
“ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන ඔය ලියවිල්ලේ ප්‍රශ්න රාශියක් තියෙනවා. ලියල තියෙන ස්වරූපයේ ඉඳලම ප්‍රශ්න. අපේ රටේ අධ්‍යාපනය කියන්නේ ප්‍රශ්න ගොඩක්. නමුත් මේ ප්‍රතිපත්ති සම්පාදකයෝ කවුරු වුණත් ඒව නිවැරදිව තේරුම් අරගෙන නැහැ. පළාත් සභා ක්‍රියාත්මක නැති මොහොතක රටේ ඉහළම ක්ෂේත්‍රයක් වන අධ්‍යාපනය සම්බන්ධයෙන් පළාත් සභාවලට වගකීම් පැවරීමට කරන යෝජනාවේ ඇත්ත අරමුණ මොකක්ද කියන එක අපි තේරුම් ගතයුතුයි. මේ වාර්තාව සියලු පාසල් පළාත් සභාවලට පැවරීමට යෝජනා කරනවා. ඒත් රෝයල් කොලේජ් වැනි අති සුපිරි පාසල් එහෙම නොකරන බවත් වාර්තා වෙනවා. මේක එක පන්තියක වරප්‍රසාද ආරක්ෂා කරන්න ගේන යෝජනාවක් නොවෙයි ද? විශ්වවිද්‍යාල මූල්‍යමය අතින් ස්වාධීන කරන බව කියනවා. ඒත් පළාත්වල මූල්‍යමය විෂමතා තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලය උපයන මුදල යාපනය විශ්වවිද්‍යාලයට හෝ වෙනත් පළාතක විශ්වවිද්‍යාලයකට උපයන්න පුළුවන් ද? මේවා සම්බන්ධයෙන් කතා කරන්න අද පළාත් සභාවල මහජන නියෝජිතයන් නැහැ. පළාත් සභා අක්‍රිය කරලා, ඒවාට පත්වන මහජන නියෝජිතයන්ට මේ ගැන අදහස් දක්වන්න තියෙන අවස්ථාව අහිමි කරලා මේ කරන්නෙ මොකක් ද?
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරියන් පවසන්නේ, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පරාජය කළයුතු සැලසුමක් බවයි.
“පළාත් සභාවලට අධ්‍යාපනයේ බර දෙන්න පළාත් සභා තියෙන්න එපැයි. නීතිමය පැත්ත කොහොම වුණත් මේක සදාචාර සම්පන්න නෑ. පළාත් සභා විතරක් නෙවෙයි, මුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයම අක්‍රිය වෙච්ච මොහොතක් මේක. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු, මහජන මතයක් නැති ජනාධිපතිවරයෙක් එයාගේ මතය අනුව වැඩ කරනවා. එතකොට ජනතාවට වගකියන්න ඕන කියන අදහසක් එතැන තියෙන්න බෑ. ප්‍රතිපත්ති පිළිබඳ බරපතළ සිතා බැලීමක් ඇතුළෙ නොවෙයි මේවා සිද්ධ වෙන්නේ. දැන් මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන එක බැලුවම පැහැලිවම පේනව මේක ව්‍යාපාරික සැලසුමක් කියල. රට නිරවුල් මොහොතක, ජනතාව නිදහසේ හුස්ම ගන්න මොහොතක මේවගේ සැලසුම් ගේන්න බෑ කියන එක දන්න පාලකයෝ රට අවුලට පත් කරල තමන්ගේ කඳවුරේ අවශ්‍යතා ඉෂ්ට කර ගන්න උත්සාහ කරනවා. ජනතාව මේවා තේරුම් අරගෙන මේ සැලසුම් පරාජය කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකරයන් මෙසේ පැවසුවේය.
“අධ්‍යාපනයේ සියලු වගකීම් පළාත් සභාවට පවරලා අණ්ඩුවට අත පිහදා ගන්න බෑ. ප්‍රතිපත්ති හදන්න ඕන මහ ආණ්ඩුව. මොකද ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය හින්දා. ඊළඟ කාරණය අධ්‍යාපනය ගෙනියන්න පළාත් සභාවලට මුදල් නෑ. අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහ ආණ්ඩුවෙන් දෙන්න ඕන. පරිපාලනය පළාත් සභාවලට පැවරීමේ වරදක් නෑ. වැදගත්ම කාරණය ප්‍රතිපත්තිය. මේ සංකල්පය නීතියක් බවට පත්වෙන්නනම්, එය පාර්ලිමේන්තුවට පනතක් ලෙස ඉදිරිපත් කරලා සම්මත කර ගතයුතුයි. එහෙම නැතිව යෝජනා හැටියට ආවට ඒවට නෛතික බලයක් නෑ. දැන් පළාත් සභාවලට බලතල පැවරෙන්නේ පළාත් සභා පනත අනුව. මේ මොහොතේ පළාත් සභා නැති නිසා මේක ක්‍රියාවට නඟන්න වෙන්නෙ පළාත් සභා ඇති කළ පසුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් අධ්‍යාපනයේ වගකීම් පළාත් සභාවලට වැඩිපුර පැවරීම සාධනීය ලෙස දකින්නෙකි. එහෙත් පළමුව පළාත් සභා සක්‍රීය කිරීම පළමු අවශ්‍යතාව බව ඔහු ද අවධාරණය කළේය.
“පළාත් සභාවලට අධ්‍යාපනයේ වගකීම වැඩි වැඩියෙන් භාර දීම හොඳයි. අපි ඒ ගැන සතුටුයි. මොකද, මධ්‍යම ආණ්ඩුව තමන්ගේ බලතල පල්ලෙහා යාන්ත්‍රණවලට යවන එක හොඳයි. නමුත් ආණ්ඩුව රටේ පළාත් සභා නවයම අක්‍රීය කර තිබෙන බවත්, පළාත් සභා ඡන්දය පවත්වා ඒවා නැවත පිහිටු වන්නට කිසිම උත්සාහයක් නොගත් බවත් අපි දන්නවා. මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කලින් කරන්න ඕන, පළාත් සභා පිහිටු වන එක. පළාත් සභාවලට මුදල් අයිතිවාසිකම් ලබාදෙන්න ඕන. මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපනයට වෙන් කර මුදල වැඩි වෙන්න ඕන. ඒවායෙන් සාධාරණ පදනමක් යටතේ පළාත් සභාවලට මුදල් වෙන් කරන්න ඕන. එතකොටයි, පළාත් සභා යටතේ අධ්‍යාපනය වැඩිදියුණු කරන්නට පුළුවන් වෙන්නෙ.
හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම මධ්‍යම පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු ද වන ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් මෙම ගැටලුව පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක්ම අනාවරණය කළේය.
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති හැටියට කටයුතු කළේ මම. එතැන යෝජනාවක් ආවා සියලුම පාසල් ජාතික පාසල් කරන්න කියලා. එතැන දී අපි ඊට විරුද්ධ වෙලා කියා සිටියා සියලුම පාසල් පළාත් පාසල් කරන්න, ඒවා දියුණු කරන්න අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ආණ්ඩුවෙන් දෙන්න කියලා. එතැනදි කිව්වා ආනන්ද, නාලන්ද, රෝයල්, ඩී.එස්. එහෙම කරන්න බෑ කියලා. අපි කිව්වා ආයෙත් අලුත් ජාතික පාසල් ඇති කරන්න එපා කියලා. මම මධ්‍යම පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමැති. මධ්‍යම ආණ්ඩුවෙත් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය හැටියට කටයුතු කළා. මම වැඩියෙන් ජනතාවට සමීපව වැඩ කළේ පළාත් ඇමැති කාලේ පළාත් සභා අවශ්‍යයි. ඒකෙන් විශාල වැඩ කොටසක් කළ හැකියි. මෙතැනදිත් පළාත් සභාව පිහිටු වන්නෙ නැතිව, ඒකෙ මතය විමසන්නෙ නැතිව, අධ්‍යාපන බලතල පළාත් සභාවටට දෙන්න බෑ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පළාත් සභාවේ බලතලවල යම් වෙනසක් වෙනවනම්, ඒ කියන්නේ බලතල ආපහු ගන්නව නම් හෝ වැඩි බලතල දෙනව නම් ඒකට පළාත් සභාවේ එකඟත්වය අවශ්‍යයි.
හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙන්ම ප්‍රධාන අමාත්‍ය සංසදයේ සභාපතිවරයා ද වූ පා.ම. ශාන් විජයලාල් ද සිල්වා පෙන්වා දෙන්නේ යෝජිත ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථා විරෝධී බවයි.
“පළාත් පාසල්වලට හැමදාම මධ්‍යම ආණ්ඩුවෙන් ලැබුණෙ කුඩම්මාගේ සැලකිලි. ප්‍රතිපාදන වෙන් කිරීමේදී පමණක් නොවෙයි, පළාත් පාසල්වලට ගුරුවරුන් ලබාදීමේදීත් නොසලකා හැරීම් සිද්ධ කළා. මධ්‍යම ආණ්ඩුවේ අධ්‍යාපන ඇමැතිවරු තමන්ට හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන පාසල් ජාතික පාසල් කළා. අද රටේ පාසල් පද්ධතිය හැම අතින්ම අවුලට පත්වෙලයි තියෙන්නෙ. ග්‍රාමීය ප්‍රදේශවල දුෂ්කර, අති දුෂ්කර පාසල් වැසෙන්නට පටන් අරන්. එහෙම වටපිටාවක් ඇතුළේ ආණ්ඩුව පළාත් සභාවලට පාසල් අධ්‍යාපනයේ වගකීම භාර දෙන්න යනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව බලතල වෙන් කරපු පළාත් සභා ක්‍රියාත්මක නොකර රටේ තීරණාත්මක ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් මෙහෙම ක්‍රියාකරන එක නීති විරෝධී වගේම සදාචාර විරෝධී ක්‍රියාවක්. මධ්‍යම ආණ්ඩුවට පළාත් සභාව සම්බන්ධයෙන් එහෙම තීරණ ගන්න අයිතියක් නෑ. මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පළාත් සභාවේ මතය විමසුම් කළ යුතුයි. පළාතේ මහජන මතය නියෝජනය කරන්නේ මහජනයා පළාත් සභාවට පත් කර එවන මහජන නියෝජිතයන් මිසක් ජනාධිපතිගේ නියෝජිතයා වන ආණ්ඩුකාරයා හෝ ඔහුට වගකියන පළාත් නිලධාරීන් නොවෙයි. මේක පැහැදිලිවම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොතකා හැරීමක් ලෙසයි මම දකින්නේ.
එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය අවධාරණය කරන්නේ, මෙම ප්‍රතිපත්ති රාමුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ උවමනාව නියෝජනය කරන අතර එය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතු බවයි.
“නිදහස් අධ්‍යාපනය වළලා දැමීමේ සූක්ෂම සැලැස්මක් අතේ තියාගෙන තමයි රනිල් වික්‍රමසිංහ වැඩ කරන්නෙ. අධ්‍යාපනය වැනි රටේ ඉතාම වැදගත් විෂය ක්ෂේත්‍රයක වැඩි බර පළාත් සභාවට පවරලා අන්තිමේදී පළාත් සභාවට කරගන්න බෑ පුද්ගලික අංශයට දෙන්න වෙනව වගේ එකක් තමයි ඕකෙන් එළියට එන්නෙ. දැන් ඔය ආණ්ඩුව පළාත් සභා හරහා ක්‍රියාත්මක කරන්න යන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව වගකීම භාර ගන්නෙ ආණ්ඩුකාරයා ද? ඕකට තමයි කියන්නෙ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. රනිල්ට ඕන කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි නිදහස් අධ්‍යාපනය ඉවරයක් කරල දාන්න. නීතියකුත් නෑ. සදාචාරයකුත් නෑ. අපි මේ ගැන දැනට සාකච්ඡා කරමින් යනවා. මේ වැඩ පිළිවෙළ පරාජය කිරීම සඳහා පුළුල් ජනතා විරෝධයක් එළියට ගන්න.
ඉහත සියලුම අදහස් දැක්වීම්වලින් පැහැදිලිවම අවධාරණය කෙරෙන්නේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි අරමුණු මෙන්ම එය ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති ආකාරය ද ගැටලු සහගත බවයි. වඩාත් ගැඹුරින් විමසා බලනවිට එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව සමග බැඳී පවතින්නකි. පුරවැසියන් ලෙස අපේ පළමු අභියෝගය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ගැනීමයි. එළැඹෙන ජනාධිපතිවරණය, ඒ සඳහා ලැබෙන අනගි අවස්ථාවකි.
සමන් සී. ලියනගේ